lakbima.lk

ඇස නොගැසුණු සුන්දර සංචාරක ඉසව්වක් ගැන තොරතුරු


ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රියකරන්නන් අතර මෙරට ගිනිකොණ දිසාවේ සුන්දර මුහුදුතීරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තවමත් ඒ තරම්ම ජනප්‍රිය වෙලා නැහැ. ඒත් මේ ප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ වැනි ඉසව් සැතපුම් දහස් ගණන් ඈත රටවල සංචාරකයන් අතර පවා මහත් සේ ජනප්‍රියයි. විශේෂයෙන් රළ මත ෆයිබර් පුවරුවක් ආධාරයෙන් ලිස්සා යන සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන්ට නම් ආරුගම්බේ කියන්නේ පාරාදීසයක්. බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මේ පළාතේ කරන්න තියෙන්නේ ඔය සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන එක විතරයි කියලා. ඒත් අපේ රටේ නොඉඳුල් සුන්දරත්වය විඳින්න පානම, ‍පොතුවිල් හා ආරුගම්බේ වගේ පැත්තක් ලංකාවේ තවත් නැතිතරම් බව බොහෝ දෙනා නොදන්න කාරණයක්.


කොළඹ පැත්තේ ඉඳන් යනවානම් වැල්ලවායට ඇවිත් බුත්තල, මොණරාගල, සියඹලාණ්ඩුව හා ලාහුගල හරහා ‍පොතුවිල් පැත්තට එන්න පුළුවන්. ඒ වගේම අම්පාරට ඇවිත් මඩකලපුව හරහාත් මේ පැත්තට ළඟාවීමේ හැකියාව තිබෙනවා. මේ කොයි පැත්තෙන් ආවත් එන මාර්ගය පවා සංචාරයෙකුට අලුත් අත්දැකීම් ලබා දෙන බව නම් නිසැකයි.


අපට මේ සංචාරය ‍පොතුවිල් කලපුව සහ ඌරනිය ගඟේ කරන්නාවූ සෆාරි සංචාරවලින් ආරම්භ කළ හැකියි. දෙස්, විදෙස් පක්ෂීන්, උරගයන් මෙන්ම තණපිටිවල නිදහසේ තණ බුදින ඇත් පන්තිවල අසිරියද මේ සෆාරි සංචාරවලදී සංචාරකයන්ට විඳගන්නට ලැබෙනවා. ඒ වගේම පානම, රොටකුලම සහ සෙමිනිකුලම යන වැව් ආශ්‍රීත සංචාරයන්වලදී ලබන අත්දැකීමත් කිසිදා අමතක වෙන්නෙ නැහැ. හිමිදිරියේ වගේම හැන්දෑ කාලයෙත් මේ පැතිවල කුරුල්ලන් දහස් ගණනින් ගැවසෙන ආකාරය පරිසරය ප්‍රියකරන කෙනෙක් දැකගන්නම ඕනෙ දර්ශනයක්.


‍පොතුවිල් නගරයේ ඉඳන් පැයක පමණ දුරින් පිහිටි කුමන වනෝද්‍යානයද මේ  සංචාරයේදී නොවරදවා යා යුතු ස්ථානයක්. පානමෙන් හැරිලා කිලෝ මීටර් 15ක් විතර ආවිට කුමන වනෝද්‍යානයට පිවිසෙන්න කලින් ඔබට වම් පැත්තෙන් හමුවෙන්නේ අනුහස් ඇති ඔකඳ දේවාලයට යන කුඩා මාර්ගයයි.

කතරගම දෙවියන් වෙනුවෙන් කැපවුණු දේවාලයක් මෙහි මුහුදු තීරයේ පිහිටා ඇති අතර ඒ අසල පර්වතයක් මත වල්ලි අම්මා වෙනුවෙන් ඉදිකළ දේවාලයක්ද දැකගත හැකියි. ඔකඳ දේවාලය අසලින් වනෝද්‍යානයට පිවිසෙන ඔබට වාහනවලින් පිරී ගිය යාල වනෝද්‍යානයට වඩා සතුන් රැසක් දැකබලා ගැනීමේ අවස්ථාව ලැබේවි.

ඒ වගේම මේ වනඅසිරිය විඳීම සඳහා සියඹලාණ්ඩුවේ ඉඳන් ‍පොතුවිල් දක්වා එන ගමනේදී හමුවන ලාහුගල වනෝද්‍යානයත් කදිමයි.


‍පොතුවිල් නගරයට නුදුරින් ඉතා පළල් වූ වෙරළ තීරයක පිහිටා ඇති මුහුදු මහා විහාරයද ශ්‍රී ලංකාවේ ගිනිකොන දිසාවේ කරන සංචාරයේදී දැක ගැනීමට ලැබෙන විශේෂම තැනක්. මීට වසර 2000කට පමණ පෙර මෙය ඉදිකළ බව පැවැසෙන්නේ කාවන්තිස්ස රජු විසින්. මේ බිමේ නටබුන් රැසක්ද දැක ගත හැකියි. විහාරමහා දේවිය කිරින්දට කලින් ගොඩ බැස්සේ මේ මුහුදු මහා විහාරය පිහිටි ඉසව්වට බවයි ඇතැමුන් සඳහන් කරන්නේ.


‍පොතුවිල් පානම අතර මාර්ගයේදී හමුවන ශාස්ත්‍රවෙලද මේ සංචාරයේදී යා යුතුම තැනක්. මෙහි පිහිටි මනිනාග පබ්බත විහාරය මහානාග රජු විසින් කරවන ලද්දක් බවයි සැලකෙන්නේ. අතීතයේ විවිධ ශාස්ත්‍ර හැදෑරීම සඳහා ඉන්දියාව වැනි ඈත ප්‍රදේශවලින් පවා පුද්ගලයන් මෙහි පැමිණ ඇති බව සඳහන්. මේ ශාස්ත්‍රවෙල අවට ලෙන් රැසක් පිහිටා ඇති අතර විහාරය ඉදිරිපස පර්වතය මුදුනට නැග්ගාම බොහෝ ඈතට යනතුරු පානම අවට සුන්දරත්වය උපරිමයෙන් විඳගත හැකියි.


පානම ඉඳන් කිලෝමීටර් 11ක් විතර ඈතින් පිහිටි කුඩුම්බිගල වන සෙනසුනද පරිසර අසිරිය විඳින අතරේම සිතට මානසික අස්වැසිල්ලක්ද ලබා දෙන අපූරු තැනක්. ක්‍රිස්තු පූර්ව 246 දී පමණ මෙය ඉදිකොට ඇත්තේ ජනාකීර්ණ පැතිවල සිටි භික්ෂුන් වහන්සේලාට වනගතවී භාවනා කිරීමට බව සඳහන් වෙනවා. ඒ අවට ඇති ලෙන් සංඛ්‍යාව 200කට අධිකයි. ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති එකම සිලින්ඩරාකාර දාගැබ ඇති බව සඳහන් වන්නේත් මේ කුඩුම්බිගල සෙනසුන් භූමියේයි.


මීට අමතරව ලාහුගල වනෝද්‍යානය, මගුල් මහා විහාරය මඳක් ඈතින් පිහිටා ඇති ගල්ඔය වනෝද්‍යානය වගේ අසිරිය විඳිය හැකිතැන් බොහෝමයි.  ඇත්තෙන්ම මේ සියලු තැන් දවසකින් දෙකකින් නරඹන්න බැහැ. හොඳම දේ තමයි, ‍පොතුවිල් නගරය කේන්ද්‍ර කරගෙන නතර වෙලා මේ තැන්වල සංචාරය කරන එක.

ඒ සඳහා ලංකාවේ සෙසු වෙරළ තීරයන් මෙන් නොවූ ජනාකීර්ණත්වයෙන් තොර අතිශයින් සුන්දර වූ සුපැහැදිලි මුහුදක් සහිත ඉතා නිස්කලංක වෙරළ තීරයක පිහිටා ඇති ජෙට්වින් සර්ෆ් හෝටලය කදිම තැනක්. දවස පුරා වෙහෙස වී ඇවිත් විඩාව නිවාගන්න විතරක් නමෛයි, යායුතු තැන් ගැන තොරතුරු වගේම ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් ඔවුන් නිරන්තරයෙන්ම සැදී පැහැදී ඉන්නවා.
 
සටහන හා ඡායාරූප - ගයාන් අසේල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.