lakbima.lk

ඔස්කාර් සම්මාන 2019

ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙළ පසුගිය පෙබරවාරි 25 වැනිදා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඩොල්බි තියටර්හිදී 91 වැනි වරටත් පැවැත්වුණේ දෙස් විදෙස් කලාකරුවන් දෙදහසකගේ පමණ සහභාගිත්වයෙන්. මෙවර හොඳම චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය පීටර් ෆැරලි අධ්‍යක්ෂණය කළ “ග්‍රීන් බුක්” නමැති චිත්‍රපටය හිමි කර ගත්තා. හොඳම අධ්‍යක්ෂවරයා  බවට පත් වුණේ අල්ෆොන්සෝ කුවරොන්.

ද ෆේවරිට් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය සඳහා වන ඔස්කාර් සම්මානය ඔලිවියා කෝල්මන්ටත්, බොහීමියන් රැප්සඩි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සඳහා වන සම්මානය රුමි මලෙක්ටත් හිමි වුණා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙ‍ලේ ප්‍රධාන සම්මාන එලෙස බෙදී යද්දී සම්මාන ප්‍රදානය අතරතුර විනෝදාත්මක හරි අපූරු සිදුවීම් රැසක්ද සිදු වුණා. ඒ අතරින් කාගෙ කාගේත් වඩාත් සිත් ගත්තේ මෙලිස්සා මැකාති සහ බ්‍රයන් ටයිරි මෙන්රිගේ ඇඳුම් විලාසිතාවයි. මේ දෙදෙනා ඔස්කාර්  වේදිකාවට ගොඩ වුණේ හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය සඳහා නිර්දේශිත නම් ප්‍රකාශ කරන්නටයි.

එහෙම ආපු මේ දෙදෙනාගේ ඇඳුම් විලාසිතාව දැක්කාම නරඹන්නන් මවිතයට පත් වුණා. මෙලිස්සාගේ දිග ගවුමේ සුරතල් ටෙඩි බෙයාර්වන්, හා පැටවුන්, ‍ලේනුන් ආදී සතුන් විසි දෙදෙනෙක් දකින්නට ලැබුණා. මේ සතුන් සියල්ලම පුළුං යොදා කළ නිර්මාණයි. බ්‍රයන් සැරසී හිටියේ හරියට ඇමෙරිකානු ආදිවාසී  නායකයෙකුගේ පෙනුම ලැබෙන විදියටයි. මේ නිසා ඔක්කෝටම කලින් මේ ඇඳුම් දෙක නිර්මාණය කරපු කෙනාට ඔස්කාර් සම්මානයක් දෙන්න ඕනේ කියලා තමයි නරඹන්නන් බොහෝ දෙනෙකුගේ අදහස වෙලා තිබුණේ.

මේ වතාවේ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වන ස්පයික් ලී ඔස්කාර් සම්මාන තුනකට නිර්දේශ වෙලා ඉන් එකක් දිනා ගන්න සමත් වුණා. ඔහුගේ නම සම්මානය වෙනුවෙන් නිවේදනය කරපු වෙලාවෙ වේදිකාවට දුවගෙන ආපු ලී වේදිකාව උඩ හිටපු සැමුවෙල් ජැක්සන්ගේ ඇඟේ එල්ලුණු විදිය දැක්කාම නරඹන්නන් පුදුමයට පත්වුණා. 

ඒ ඔහුට සම්මානය ලැබුණු එකට ‍නෙවෙයි. ලී එල්ලුණු  එල්ලිල්ලට සැමුවෙල්වයි ලීවයි නොවැටී බේරුණු හැටි දැකලයි.

හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලැබුණට පස්සේ රුමි මලෙක් වෙනුවෙන් ෂැම්පේන් බෝතලයක් විවෘත වුණා. නමුත් සතුටයි නොඉවසිල්ලයි දෙකම නිසා එකපාරින් ෂැම්පේන් බෝතලය කඩා ගන්න බැරි වුණු රුමිට ෂැම්පේන් බෝතලය කඩලා දෙන්න සිද්ධ වුණේ එතන හිටපු වේටර් කෙනෙකුටයි.

හොඳම නිළිය සම්මානය දිනා ගත් ඔලිවියා කෝල්මන් නිර්දේශිත නාමයන් ප්‍රචාරය වෙද්දී කඳුළු සළමින් හඬා වැටුණා. ඒ වගේම ඇය සම්මානය ලබා ගත් මොහොතේත් හඬා වැටුණා. නිර්දේශිත නාම ප්‍රචාරය වෙද්දී ඇය හැඬුවේ ඇයි කියලා මාධ්‍යවේදියෙක් ඇගෙන් ඇහුවාම ඇය දුන්නේ හරි අපූරු උත්තරයක්. “ද ක්‍රවුන්” මාලා නාට්‍යයේ එලිසබෙත් රැජින කොහොමද වෙනින් කාටවත් දවෛනි වෙන්නේ කියලා මට හිතුණා. ඒකයි මට ඇඬුණේ. ඇය මාධ්‍යවේදියාට දුන්නේ එවැනි පිළිතුරක්.

දුලංජලී මුතුවාඩිගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.