lakbima.lk

වරෙන්තුව මල්සරාට වුණත් එකතුවන මුදල් කලාකරුවෙක් යළි දෙපයින් නගා සිටුවන්නයි

නන්දික අළුවිහාරේ කියන්නේ වේදිකාව, ටෙලි නාට්‍යය වගේම සිනමාව තුළත් රැඳී සිටි රංගන ශිල්පියෙක්. ධර්ම යුද්ධය, සත්කාරං, දළදාගමනය වැනි චිත්‍රපට, මලී, ඒ ලෙවල් ඉවරයි, ගිනි අවි සහ ගිනිකෙළි, ආදරියේ, පියවි, යෙහෙළි වැනි ටෙලි නාට්‍යය වගේම බල්ලා, භූතයාගේ කතාවක්, උඩගිය දවස වේදිකා නාට්‍යය තුළත් ඔහු විවිධ චරිත නිරූපණය කළා. කලාවට පෙම්බඳින සෑම දෙනාගේම සිහිනය ඒ තුළින් ඉදිරියට යාම වුණත් නන්දිකගේ හැම හීනයක්ම බිඳී ගිහින් ඔහු ලෙඩ ඇඳට වැටුණේ ෙදෙවයේ සරදමක් විදියටයි.

“මගේ කොඳුඇට පෙළේ යම් අස්වාභාවික පිහිටීමක් තියෙන බව තමයි වෛද්‍යවරු කියන්නේ. ඒ සඳහා සැත්කමක් කළ යුතුයි. එය සිදු කරන්න වෙන්නේ කොළඹ පෞද්ගලික රෝහලකදී. ඒ සඳහා අති විශාල මුදලක්  වැයවෙනවා. දන්නා කියන බොහෝ දෙනෙකුගේ උපකාරයෙන් යම් මුදලක් සොයා ගත්තත් තවත් විශාල මුදලක් මේ ශල්‍යකර්මය සඳහා සොයාගන්නට තියෙනවා.”


නන්දික කියන විදිහට ඔහු මේ මොහොතේ ආර්ථික වශයෙන්ද පසුවන්නේ දැඩි අසීරුතාවකයි. කලාව වෙනුවෙන් කැපවූ අය ජනතාව හරි හම්බ කළාට මුදල් හම්බ කළ අය නොවන බව කාටත් රහසක් නමෛයි. මේ වගේ වෙලාවට ලෝකයට සතුට දෙන කලාකරුවකුට පිහිට වන්නට අත දිගු කරන්නේත් සංවේදී හිත් ඇති පිරිසක් විතරයි.

නන්දිකගේ සැත්කම සඳහා මූල්‍ය දායකත්වය සපයන්නටත් මේ මොහොතේ කලාකරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. ජයන්ත මුතුතන්ත්‍රි, අරුණ අබේරත්න, රුවන් බුද්ධික හා රවීන්ද්‍ර ප්‍රදීප් එකතු වෙලා නන්දික වෙනුවෙන් මුදලක් සොයා ගන්ඩ වේදිකා නාට්‍යයක් රඟදක්වනවා. ඒ අනුව අරුණ අබේරත්නගේ “මල්සාරාට වරෙන්තුවක්” වේදිකා නාට්‍යය ජුනි මාසේ 15 වැනිදා සවස 3.30 ට හා 6.30ට මරදාන ටවර් රඟහ‍ලේදී වේදිකාගත වෙනවා. ඒ නන්දිකගේ ශල්‍යකර්මයට අවශ්‍ය ඉතිරි මුදල සොයාගන්නයිි.


නිල්මිණි කෝට්ටේගොඩ, ජගත් බෙනරගම, ජයන්ත මුතුතන්ත්‍රි, පවිත්‍රා වික්‍රමසිංහ, දිලීප  මනෝහාර, මනෝජ් ගලප්පත්ති, තරිඳු ඉලංගකෝන් හා අයේෂා එදිරිසිංහ “මල්සරාට වරෙන්තුවක්” නාට්‍යය සඳහා රංගනයෙන් දායක වෙනවා.


“කලාකරුවෝ කියන්නේ ධනවතුන් නොවෙයි. ලෙඩක් දුකක් හැඳුණාම, මහලුවියට පත්වුණාම අසරණ වන කලාකරුවන් බොහොමයක් සිටිනවා. ඔවුන්ට පිළිසරණක් වන්නට අපි සංගමයක් පිහිටුවාගන්නත් බලා‍පොරොත්තු වෙනවා. සහෝදර කලාකරු නන්දික වෙනුවෙන් කරන මේ කටයුත්තත් එක්ක තමයි අපිට මේ අදහස ඇතිවුණේ. සංගමයක් විදියට පිහිටුවාගෙන තවත් කලාකරුවන් ඒකරාශී කරගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්නත් අපි බලා‍පොරොත්තු වෙනවා.”


ජයන්ත, අරුණ, රුවින් හා රවින්ද්‍ර එසේ පවසනවා. නන්දික අළුවිහාරේ කලාකරුවාගේ සැත්කමට ආධාර පිණිස සෙනසුරාදා සවස 3.30ට හා 6.30ට ටවර් හෝල් රඟහ‍ලේදී වේදිකා ගතවන “මල්සරාට වරෙන්තුවක්” නරඹා නන්දිකව යළි දෙපයින් නගා සිටුවන්නට එක්වන ලෙස මේ කලාකරුවන් රසික ජනතාවගෙන්ද ඉල්ලා සිටිනවා.

ආරියවංශ කුලතිලක
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.