lakbima.lk

රසිකයෙක් විදියට ඔහු මා සොයා ආවේ භයානක සැලසුමක් දියත් කරන්න

මුහුණු‍පොත හින්දා සමහර වෙලාවට අපිට නොසිතූ විදියේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. සමහර විට අපි කිසිසේත්ම නොදැන අපේ නම පාවිච්චි කරලා නොයෙක් දේ කරන්න සමහරු මුහුණු‍පොත භාවිතා කරනවා. වතාවක් මටත් ඒ වගේ අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා.

දවසක් එක්තරා උත්සවයකදී අවුරුදු 24 ක විතර පිරිමි ළමයෙක් මගේ ළඟට ඇවිත් කතා කළා. එයා මගේ රසිකයෙක් කියලා තමයි කිව්වේ. මාත් එක්ක බොහෝම සුහදව කතා කරපු මේ තරුණයා ඔහුට මාත් එක්ක ෆොටෝ එකක් ගන්න ඕනෑ කියලා කිව්වා. සාමාන්‍යයෙන් අපි ඒ වගේ ඉල්ලීමක් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැනේ. මමත් කිසිම පැකිලීමක් නැතුව එයා එක්ක ඡායාරූපයකට  පෙනී සිටියා. ඒ ඡායාරූපය මුහුණු ‍පොතට දාන්න අවසර ඉල්ලුවාම මම ඒකටත් හා කිව්වා.

ඔය විදියට තමයි එයාව මම හඳුනාගත්තේ. ඊට පස්සෙත් විවිධ අවස්ථාවල මට එයා හමුවුණා. ඔහු කලාකරුවන් රැස්වන උත්සව හොයා ගෙන එන කෙනෙක්. හැම වෙලාවේම ඒ තැන්වලදී මාව හමුවෙන ඔහු මගේ ළඟට ඇවිත් කරට අතදාගෙන, බදාගෙන හරිම මිත්‍රශීලී විදියට ඡායාරූප අරගෙන එයාගේ FB එකේ දානවා. ඒ හැම එකක්ම දාන්නේ “මේ මගේ බොක්ක, මේ මගේ හොඳම යාළුවා” කියලා.

ඔය විදියට ටික දවසක් ගත වුණා. ඔය අතරේ ගෑනු ළමයි කීප දෙනෙකුගෙන්ම මට පැමිණිලි ලැබෙන්න පටන් ගත්තා.

“අයියේ ඔයාගේ යාළුවෙක් අපිට FB හරහා “Friend request” එවලා තිබුණා. ඔයාගේ යාළුවෙක් කියන විශ්වාසෙට අපි එයාව Add කරගත්තා.

ඊට පස්සේ එයා Message කරන්න පටන් ගත්තා. මුලදී නිකම් ආගිය තොරතුරු කතා කරලා ඊට පස්සේ කියනවා එයා ඔයාගේ යාළුවෙක් නිසා ඔයාට කියලා අපට රඟපාන්න අවස්ථාව අරගෙන දෙන්න එයාට පුළුවන්ලු. එහෙම කියලා එයාව මුණ ගැහෙන්න එන්න කියලා කතා කරනවා....”

මුලදී මම මේ පැමිණිලි ගණන් ගත්තේ නැතත් දිගින් දිගට මේ වගේ පැමිණිලි එද්දී මටත් කුතුහලයක් ඇතිවුණා කවුද මේ වගේ වැඩක් කරන්නේ කියලා සොයා බලන්න. ඔය අතරේ අපේ නව පරපුරේ ගායකයෝ දෙන්නෙක් මට තවත් අපූරු කතාවක් කිව්වා.

“එක තරුණ පිරිමි ළමයෙක් අපිව මුණ ගැහිලා අපිත් එක්ක ෆොටෝස් ගත්තා ඊට පස්සේ එයා එයාගේ facebook එකට දාලා ඒ හරහා අපේ රසිකාවියෝ හඳුනාගෙන. ඒ මනුස්සයා දැන් අපේ නම් විකුණලා ඒ ගෑනු ළමයින්ට නොයෙක් යෝජනා කරනවලු....”

ඒ ගායකයෝ දෙන්නා ඒ කියපු පුද්ගලයාගේ ඡායාරූප පෙන්නුවාම තමයි මට මතක් වුණේ ඒ  නිතර මට හමුවෙන ඒ තරුණයාම බව. එයාගේ facebook ගිණුමට ගිහින් බැලුවාම මමයි අර ගායකයෝ දෙන්නයි එක්ක ගත්තු Photos  ඒකේ  තියෙනවා. අපේ සමීපතම යාළුවෙක් විදියට තමයි ඒවාට comment දාලා  තියෙන්නේ.

ඒ විතරක් ‍නෙවෙයි එයාගේ මුහුණු‍පොත පුරාම මගෙයි අර ගායකයෝ දෙන්නගෙයි පින්තූර තියෙනවා. අපි අපේ Facebook ගිණුම්වල පළ කරන පින්තූර ඒ වෙලාවේම එයා එයාගේ ගිණුමට ඇතුළත් කරනවා. ඊට  යටින් “අසවල් ටෙලි නාට්‍යයේ ෂූටිං, මේ අසවල් උත්සවය” විදියට comment  දානවා. මෙයා අපේ සමීපතම යාළුවෙක් කියලා තමයි එතකොට හැමෝටම හිතෙන්නේ.

මට පැමිණිලි කළ ගෑනු ළමයි කියපු පුද්ගලයා කවුද කියලා ඊට පසුව මම හොයා බැලුවා. මම අනුමාන කරපු විදිහටම ඒ වැඩේ කරලා තියෙන්නේ මේ තරුණයා. මාවයි අර ගායකයෝ දෙන්නවයි පාවිච්චි කරලා මෙයා උත්සාහ කරලා තියෙන්නේ ගෑනු ළමයි අල්ලා ගන්නයි. මම එයාට හොඳටම බැණලා ඔහුගේ FB  එකත් බ්ලොක් කළා. ඊට පස්සේ තමයි ඒ ප්‍රශ්නය විසඳුනේ.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.