lakbima.lk

සීතල දුරුත්තේ සිනමාශාලාවලට ගින්දර

මේ වසරේ ප්‍රේක්ෂකයන්  වඩාත් බලා‍පොරොත්තු සහගතව සිටින චිත්‍රපටයක් වන “ගින්නෙන් උපන් සීතල” මෙම මස 18 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. මේ වනවිටත් මුළු රටේම අවධානයට ලක්ව තිබෙන චිත්‍රපටයක් වන මෙය සිනමාවේදී අනුරුද්ධ ජයසිංහගේ නිර්මාණයක්. “ගින්නෙන් උපන් සීතල”, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය වන පළමු චිත්‍රපටය වීමද විශේෂත්වයක්.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ චරිතය ප්‍රතිනිර්මාණය කරමින් ඔබ කරලා තියෙන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලයි බොහෝ දෙනා පවසන්නේ. ඔහුගේ චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පෙර ඔබට ඒ සඳහා කිසියම් පාර්ශ්වයකින් අවසර ලබා ගැනීමට සිදුවුණාද?

නැහැ. මොකද මට එවැනි අවශ්‍යතාවක් මතුවුණේ නැහැ. රෝහණ විජේවීර කියන චරිතය සහ ඔහුට සම්බන්ධ සිදුවීම් ගැන ලියැවුණු නඩු වාර්තා, පුවත්පත් ලිපි, කෘතීන් ආදිය මූලාශ්‍ර කරගෙනයි මම මෙහි පිටපත රචනා කළේ. ඒවා සත්‍ය මූලාශ්‍ර. ඒ නිසා මම හිතන්නේ නැහැ ඒ මූලාශ්‍ර පදනම් කරගෙන චිත්‍රපටයක් හදන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෑ කියලා. එහෙම නම් මීට කලින් මේ සිදුවීම් ගැන ලියපු හැමෝමත් ඒ සඳහා අවසර ගන්න ඕනනේ.

විජේවීර මහතාගේ පවු‍ලේ උදවිය අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන්ටවත් ඔබ දැනුම්දීමක් කළේ නැද්ද මේ විදියේ චිත්‍රපටයක් ඔබ අතින් නිර්මාණය වෙනවා කියලා?

නැහැ. මොකද මම මේ චිත්‍රපටයෙන් රෝහණ විජේවීර ගැන පෙන්වන්න හදන්නේ බොරුවක් ‍නෙවෙයිනේ. ඔන්න මම ඔහුගේ චරිතයට අපහාසයක් කරන්න යනවා නම් මට ඒ ගැන යම්කිසි බයක් ඇතිවෙන්න ඉඩ තිබුණා. මම ඔහුටවත් ඔහුගේ පවු‍ලේ උදවියටවත් මේ චිත්‍රපටයෙන් කිසිම අසාධාරණයක් කරලා නැහැ.

මෙවැනි තේමාවක් ඇයි මීට කලින් කිසිම සිනමාකරුවකුගේ ඇස නොගැසුණේ?

අපේ රටේ උතුරේ ඇතිවූ වර්ගවාදී අරගලය ගැන මීට කලින් සිනමාපට නිර්මාණය වෙලා තියෙනවා. නමුත් දකුණේ ඇතිවූ මෙම තරුණ කැරැල්ල පසුබිම් කරගෙන මීට කලින් කිසිම සිනමාකරුවෙක් නිර්මාණයක් බිහි කරන්න  පසුබට වුණේ ඇයිද කියන එක ගැටලුවක්. සමහර විට එවැනි සිනමා නිර්මාණයක් කරන්න ගියොත් ඊට බාධා එල්ල වේවි කියන පසුගාමී මානසිකත්වයෙන් තමයි ඔවුන් ඉන්න ඇත්තේ.

එතකොට ඔබ ඇයි මේ කා‍ලේ මේ වගේ චිත්‍රපටයකට අතගහන්න හිතුවේ?

තරුණයන් විදිහට එදා අපට මේ තරම් ප්‍රබල කම්පනයක් ඇති කළ වෙනත් සිදුවීමක් තිබුණේ නැහැ. පාසල් ශිෂ්‍යයෙක් විදිහට මමත් 1988-89 කැරැල්ල කා‍ලේ ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. ඒ කා‍ලේ රජයට විරුද්ධව ‍පෝස්ටර් අලවන්න ගිහින් මමත් අත්අඩංගුවට පත් වුණා. ඒ සිදුවීම් ගැන ආවර්ජනය කරද්දී සිනමාකරුවෙක් ලෙස පසු කාලෙක මට හිතුණා මම කවදා හෝ ඒ සිදුවීම් පෙළ සිනමාවට ගේනවා කියලා.

පසුගියදා පැවැත් වුණු “ගින්නෙන් උපන් සීතල” විශේෂ මාධ්‍ය දැක්මට, රෝහණ විජේවීර පුත් උවිඳු විජේවීරත් පැමිණ සිටියා. චිත්‍රපටය ගැන ඔහු මොනවාද කිව්වේ?

පියා මිය යද්දී ඔහු වයස අවුරුදු 1 1/2ක විතර අතදරුවෙක්. ඒනිසා ඒ කා‍ලේ සිදුවූ සිදුවීම් ගැන ලොකු අවබෝධයක් ඔහුට නැහැ. නමුත් තමන් පසුකාලීනව අසා දැනගත් දේ අනුව ඔහු පිළිගත්තා මේ චිත්‍රපටයෙන් තමන්ගේ පියාගේ ප්‍රතිරූපයට කිසිම අසාධාරණයක් සිදුවී නැති බව. අනික චිත්‍රපටයෙන් ඒ සිදුවීම් බොහොම අපූරුවට ප්‍රතිනිර්මාණය කර තිබෙන බව ඔහු පැවැසුවා.

ඇයි රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ අනෙක් දරුවන් ඒ මාධ්‍ය දැක්මට පැමිණ සිටියේ නැත්තේ?

මම ඔහුගේ මුළු පවුලටම ආරාධනා කළා චිත්‍රපටය නරඹන්න එන්න කියලා. මොනයම් හෝ හේතුවක් නිසා  ඔවුන්ට එදා එන්න බැරිවෙන්න ඇති. නමුත් අපට තවත් කාලය ඉතුරු වෙලා තියෙනවා. මම කැමැතියි ඔවුන් මේ චිත්‍රපටය නරඹනවා නම්.

මේ සිදුවීම්වලට සම්බන්ධ අදටත් ජීවතුන් අතර සිටින චරිත සමග, චිත්‍රපටය හදද්දී ඔබට තිබුණේ මොනවගේ ගනුදෙනුවක්ද?

රෝහණ විජේවීර ළඟින් ඇසුරු කළ බොහෝ අය අදටත් ජීවතුන් අතර ඉන්නවා. උදාහරණ විදිහට කීවොත්, ඔහු කාලයක් ව්‍යාපාරිකයකු ලෙස සැඟව සිටි බංගලාව හිමි  වෛද්‍යවරයාගේ බිරිඳ, ඔහුගේ රියැදුරා, ඔහුගේ දරුවන්ගේ සංගීත ගුරුවරිය ආදින් සඳහන් කරන්න පුළුවන්. මේ වගේ හැමෝම එක්ක කතා බහ කරලා අපි තොරතුරු එක්කාසු කර ගත්තා. ඒ විතරක් ‍නෙවෙයි, බොහෝ දර්ශන තල පවා ඒ සිදුවීම්වලට පසුබිම් වූ ඇත්තම ස්ථාන තමයි යොදාගත්තේ.

ඒ සඳහා උදාහරණ දෙන්න පුළුවන්ද?

රෝහණ විජේවීර මැණික් ව්‍යාපාරිකයකු ලෙස වෛද්‍යවරයකුගේ නිවසේ සැඟව සිටියදී, එම වෛද්‍යවරයාගේ බිරිඳට හසුවෙනවා ඔහු රෝහණ විජේවීර නමින් අත්සන් කළ ලිපියක්. ඇය මේ බව තමන්ගේ සැමියාට කියන්න දුවගෙන යන ගල්පඩිපෙළ, වෛද්‍යවරයා සිටි රෝහල, වාට්ටුව ආදී සියල්ල ඒ සිදුවීම්වලට සම්බන්ධ ඇත්තම ස්ථාන. ඒ වගේම රැස්වීම් වැඩි ප්‍රමාණයක් පැවැත්වූ ලෙව්ලෙගොඩ වත්තත් අපි ඒ විදිහටම යොදා ගත්තා. ඒ වත්ත බලාගෙන හිටපු නෙවිල් කියන කළමනාකාරවරයාත් හමුදාවෙන් එල්ලනවා. නමුත් ඔහු මිය යන්නේ නැහැ. ඔහු තවමත් ජීවත්වෙනවා. අපි ඒ දර්ශන රූ ගත කරද්දී ඔහුම තමයි මෙතනයි මාව එල්ලුවේ කියල අපට තැන පෙන්නුවේ. චිත්‍රපටයේ ඔහුගේ චරිතය රඟපාන නළුවා හරියටම එතන එල්ලන හැටි ඔහුත් බලාගෙන සිටියා.

චිත්‍රපටයේදී විශාල නළු නිළි කැලක් හසුරුවන්න ඔබට සිදුවුණා නේද?

සමහර දර්ශන සඳහා අපට දහසකට වැඩි අතිරේක නළු නිළි පිරිසක්  යොදා ගන්න සිද්ධ වුණා. මොකද එදා ජනතා විමුක්ති පෙරමුණේ සමහර පෙළපාළවලට දහස් ගණනක් සෙනඟ සහභාගි වෙලා තියෙනවා. ඒ තරම් පිරිසකට කන්න බොන්න දීලා, ඒ කාලෙට ගැළපෙන්න ඇඳුම් අන්දවලා දර්ශන තලය තුළ හසුරුවා ගන්න එක කිසිසේත්ම පහසු නැහැ. කමල් අද්දරආරච්චි රෝහණ විජේවීර ලෙස වෙස් ගන්වන්නත් හැමදාම පැය 4-5ක් ගත වුණා. ඉතින් මේ වගේ අභියෝග රැසක් මැද තමයි චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කළේ.

චිත්‍රපටය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරන්න සිද්ධ වුණාද?

මම හිතන්නේ දැනටමත් රුපියල් ලක්ෂ 700-750ක් විතර වැයවෙලා තියෙනවා. ප්‍රචාරක වියදම් සඳහා තවත් විශාල මුදලක් වැයවේවි.

---------------------------------------------

තවමත් මා ඉන්නේ කම්පනයෙන්

රෝහණ විජේවීරට සැඟවී සිටීමට  රැකවරණය දුන් දොස්තර බිරිඳ - සුසිලා ජයතිලක

එදා අපි මුහුණදුන් ඒ අමිහිරි සිදුවීම් පෙළ ගැන මට තවමත් අදහස් පළ කරන්න බැහැ. මොකද එදා ඇති වූ ඒ කම්පනය තවමත් මගේ හිතේ ඒ විදිහටම තියෙනවා. නමුත් මට මේ චිත්‍රපටය ගැන එක දෙයක් කියන්න පුළුවන්. මේ චිත්‍රපටයෙන් පෙන්වන හැම දෙයක්ම ඇත්ත. අපේ නිවසේ නැවතිලා ඉන්නේ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර බව දැනගත් වෙලාවේ ඒ බව  මගේ සැමියාට දන්වන්න මම දිවගිය පඩිපෙළ පවා ඒ සිදුවීමට සම්බන්ධ සැබෑ ස්ථානයම තමයි.

විජේවීරගේ බිරිඳ මමයි - සුලෝචනා වීරසිංහ

රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ චරිතය නිරූපණය කරන සුලෝචනා වීරසිංහ තමන් රඟපෑ භූමිකාව ගැන පළ කළේ මෙබඳු අදහසක්.

මේ චරිතයට  ප්‍රවිෂ්ට වෙන්න කලින් මම උත්සාහ කළා චිත්‍රාංගනී විජේවීර මහත්මියව මුණ ගැහෙන්න. නමුත් විවිධ හේතුන් නිසා මට ඇයව හමුවෙන්න බැරි වුණා. මම මුලින්ම කළේ අධ්‍යක්ෂවරයා මට දීපු පිටපත හොඳින් අධ්‍යයනය කරපු එකයි. ඊට පස්සේ මට “චිත්‍රාංනීගේ  කට උත්තරය කියන ‍පොත කියවන්න ලැබුණා. ඒ වගේම ඇයව ආශ්‍රය කළ අය මුණ ගැහිලා කතා බහ කරන්න මට අවස්ථාව ලැබුණා. ඇය ඒ ඒ අවස්ථාවල කොයි විදිහට හැසිරෙන්න ඇතිද  ඇගේ චරිත ස්වභාවය මොන වගේද කියන කාරණය ගැන අවබෝධයක් ඒ තුළින් මම ලබා ගත්තා. චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ තරුණ කාලයේ හැඩරුව මගේ රුවට තරමක් දුරට සමාන වීමක් මේ චරිතය සඳහා මාව තෝරා ගන්න හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ඇය මවක්. මවක් විදිහට ඇය ජීවිතයට මුහුණ දීපූ ආකාරය නිරූපණය කරද්දී මමත් අම්මා කෙනෙක් වීම මට ලොකුම පිටිවහලක් වුණා. මගේ දියණියට මාස 6ක් තරම් පුංචි වයසකදී තමයි ඇයත් එක්ක ගිහින් මම මේ චිත්‍රපටයේ රඟපෑම්වලට දායක වුණේ. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.