Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලබන 09 වන බ්‍රහස්පතින්දා ඉන්ධන රැගත් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු දැනට පවත්නා ඉන්ධන හිඟය එපරිද්දෙන්ම පවතිනු ඇතැයි වාර්තා වේ.

එමෙන්ම දැනට පවත්නා ඉන්ධන හිඟය හේතුවෙන් රථවාහන වලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛය මුල්කොට මහජන නොසන්සුන්තාවක් පැන නැගී ඇත.

ඒ අනුව එම චක්‍රලේඛයට විරෝධය පළ කරමින් සමස්තලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් ද යවා තිබේ.

ඉන්ධන නොමැතිව අතරමඟ නතරවන වාහන සහ යුතුරු පැදි සඳහා පෙට්‍රල් ලබා ගැනීමේ දීත් විදුලි ජනක යන්ත්‍ර ඇතුළු දෛනික කටයුතු සඳහා භාවිතා කෙරෙන කාර්මික යන්ත්‍ර සඳහා ඉන්ධන ලබා ගැනීමේ දීත් මෙම 'වාහනවලට පමණක්' යන සීමාව සුවිසල් අර්බුදයකට තුඩු දෙන බව එම ලිපිය මඟින් පවසන එම සංගමය එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් බවද අවධාරණය කොට ඇත.

මෙහිදී මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව හට ගත හැකි කලබලකාරී තත්ත්වයන් පාලනය කිරීම පිණිස මේ වන විට බොහෝ ඉන්ධන පිරවුම් හල් අවට පොලිස් ආරක්ෂාවද තර කොට තිබේ.

 

දීප ව්‍යාප්තව සංවිධානය කර පවත්වන ලද සුනාමි පෙරහුරු වැඩ සටහන හලාවත දී කිසියම් පසුබෑමකට ලක් වී ඇති බවක් දක්නට තිබුණි.සුනාමි පෙරහුරු වැඩ සටහනක්  දිවයින පුරා වෙරළ තීරයේදී පවත්වන ලදී. සුනාමියක් ඇති විය හැකි බවට වන
පළමු අනතුරු හැඟවීමේ සංඥාව නිකුත් කිරීමට නියමිතව තිබුණේ පස්වරු2.05ටය. නමුත් හලාවත ‍පොලිස් භූමියේ පිහිටි කුළුණෙන් පළමු වන සංඥාව නිකුත් කරන විට පස්වරු 2.26 වී තිබුණි. එම අනතුර ඇඟවීමේ සංඥාව නිකුත් කරන අවස්ථාව වන විට හලාවත වෙරළ උද්‍යානයේ දේශීය සංචාරකයන් විශාල පිරිසක් රැස්ව සිටියේය. ඇතමුත් මුහුදු රැළි පාගමින් විනෝද වෙමින් සිටි අතර සංචාරකයන් සඳහා විවිධ දෑ අලෙවි කරන ව්‍යාපාරිකයන් සැලකිය යුතු ප්‍රමාණයක්ද ඒ වන විට එහි රැඳී සිටියේය. සුනාමි අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් වූවත් ඒ කිසිවෙකුත් වෙරළ තීරයෙන්  ඉවත් වන බවක් දක්නට නොලැබුණි.
පසුව ‍පොලිස් සහ යුද හමුදා නිලධාරීහු පැමිණ සංචාරකයන් සහ ව්‍යාපාරිකයන් දැනුවත් කළහ.
හදිසි අවස්ථාවකදී අනතුරුදායක ස්ථානවලින් ඉවත් වී ගමන් කළ යුතු ආරක්ෂිත ස්ථාන ලෙස හලාවත ආසන දෙව් මැදුර නම් කර තිබුණි. හලාවත ප්‍රාදේශීය ‍ලේකම්වරයාද, ආපදා සහන නිලධාරීන් මෙන්ම ‍පොලිස් නිලධාරීන්ද එම ස්ථානයේ සූදානම් වී සිටි නමුත් ආරක්ෂිත ස්ථානය  කරා පැමිණියේ ඉතාමත්ම සුළු පිරිසක් පමණි. වෙරළ තීරයේ පදිංචිව සිටින ඇතැමුත් තම තමන්ගේ නිවෙස්වලට වී කාලය ගත කළ අතර, වෙරළ උද්‍යානය තුළ කරගෙන ගිය ව්‍යාපාරික කටයුතුද ඒ ආකාරයෙන්ම සිදු විය.
හලාවත ‍පොලිස් භූමියේ සවි කර ඇති සුනාමි සංඥා කුළුණෙන් නිකුත් වන අනතුරු ඇඟවීමේ නිවේදනයන් ධීවර ගම්මානවලට නිසි පරිදි ශ්‍රවණය නොවීම මෙම තත්ත්වයට එක් හේතුවක්  බව මෙහිදී ප්‍රදේශවාසීහු කියා සිටියේය. එමෙන්ම පෙරහුරුවක් පැවැත්වෙන බවට කර තිබූ පූර්ව දැනුම් දීම් හේතුවෙන්  වෙරළ තීරයේ පදිංචිකරුවන්  ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ බවද ඇතැමුත් කියා සිටියේය.

ජූඩ් සමන්ත

දිවයින පුරා පවතින ඉන්ධන අර්බුදය ලබන 10 වනදායින් අවසන් වනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
මෙම ඉන්ධන නැව ඩුබායි සිට පැමිණෙන අතර හෙට (8) මධ්‍යම රාත්‍රිය වන විට මෙරටට පැමිණීමට නියමිතය. පසුව නවවනදා වන විට සියලුම ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන පුරවා මෙම තත්ත්වය 10 වනදා වන විට යථා තත්ත්වයට පත්කර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවැසීය.
මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැවෙහි ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක ධාරිතාවක් පවතින බවත් ඒ මහතා පැවැසීය.
මෙම ඉන්ධන නැවෙහි ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධව මෙරට පරීක්ෂකයන් දෙදෙනකු විසින් මේ වනවිටත් පරීක්ෂා කර ඇති බවත් එම ඉන්ධනවල මේ වන විට ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවී නැති බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවැසීය.
ඉන්ධන සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය ඇතිවීමට මූලික හේතුව වූයේ ඔක්තෝබර් 15 පැමිණි ඉන්ධන නැවෙහි තෙල් ප්‍රමිතියෙන් තොර වූ නිසා බවත් එම නැව දෙවරක් පරීක්ෂා කර බලා ඉන්ධන නැව ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඉන්පසුව එම නැව ත්‍රිකුණාමලය වරායට ගෙන ගොස් මේ වන විට දින 16 ක් එම වරායෙහි නවතා ඇති අතර කෙසේ හෝ මෙරට එම තෙල් නැව ලබාදීමට ලංකා ඉන්දියන් තෙල් සමාගමේ අභිලාෂය බවත් අමාත්‍යවරයා පැවැසීය.
එමෙන්ම මෙම නැව කෙතරම් මෙම වරායෙහි නවතා තිබුණත් මෙරටට ලබා ගැනීමට තමන් කිසිසේත්ම අවසර නොදෙන බවත් පැවැසූ අමාත්‍යවරයා මෙම නැව මෙරටට ලබාගන්නා ලෙස දේශපාලකයන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
මෙම ඉන්ධන නැව මෙරටට පැමිණ තියෙන්නේ 15 දා. මෙම ප්‍රමිතියෙන් තොර ඉන්ධන නැව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මේ වන විටත් තීරණයක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

ප්‍රසාදිකා ජයවර්ධන

තෙල් විෂය භාර ඇමැතිවරයා සිටින්නේ තෙල් සංස්ථාවේ නොව ක්‍රිකට් බෝඩ් එකේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
“අද වන විට තෙල් සංස්ථාවේ පෙට්‍රල් සංචිත නැහැ. මේක නන්නත්තාර වෙච්ච ආණ්ඩුවක්. තෙල් බෙදා ගන්න බැරි ආණ්ඩුව බලය බෙදන්නේ කොහොමද? විෂය භාර ඇමැතිවරයා පෙට්‍රල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ වාහනේ ඇවිත් පස්සේ තල්ලු කරගෙන යන්න කියලා වෙන්න ඇති. මේ ඇමැති මණ්ඩලයට නම් දෙයියන්ගේ පිහිටයි. තෙල් විෂය භාර ඇමැතිවරයා  තෙල් සංස්ථාවේ නොවෙයි ඉන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ. රෑටත් පේන්නේ ක්‍රිකට් බෝඩ් එකද කොහෙද?  එයා බලනවා අර මැච් එක පරදින්නේ කවදාද, ඊට පස්සේ ඒක විවේචනය කරන්නේ කොහොමද කියලා. ජනතාව නොවෙයි ආණ්ඩුවට තමයි අරපිරිමැස්මෙන් වැඩකරන්න වෙන්නේ.

 

ලග්ගල, වැද්දාපැණි දිය ඇල්ල ආශ්‍රිතව මරණ 8ක් සිදුවීම මෙරට ඉතිහාසයේ ඇල්ලක් ආශ්‍රිතව එකවර සිදුවූ විශාලම ජීවිත හානිය බව රුවන්පුර යොවුන් මිතුරු දිය ඇළි සංගමයේ සභාපති දේශමාන්‍ය පරිසරවේදී හා දිය ඇළි පර්යේෂක අසිත ඉන්දික වීරවර්ධන මහතා පවසා සිටී.

දැනට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති මීටර් පහට වඩා උස දිය ඇළි 272න් දිය ඇළි 68ක් ආශ්‍රිතව පසුගිය වසර 20 තුළදී මරණ 800කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවද කුරුවිට බෝපත් ඇල්ලෙන් පමණක් 1993 වසරේ සිට මේ දක්වා මරණ 69ක් සිදුව ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියි.

මින් දිය ඇළි 12ක් දැඩි අනතුරුදායක වන අතර එම දියඇළි ආශ්‍රිතව සෑම වර්ෂයකම නොකඩවා මරණ වාර්තා වී තිබේ. අනතුරුදායක දිය ඇළිවලින් ප්‍රධාන දිය ඇළි කිහිපයක් වන්නේ දුන්හිඳ ඇල්ල, කුරුවිට බෝපත් ඇල්ල, ඇබර්ඩීන් ඇල්ල, ලක්ෂපාන ඇල්ල, කිරිදිඇල්ල, මානෙලි ඇල්ල, බේරුවාන ඇල්ල, දෝතලු ඇල්ල, ගයිරානගම දිය ඇළි සංකීර්ණය, වර්නගල ඇල්ල, දොඩම් ඇල්ල ආදියයි. ඉකුත් 4වනදා එක්වර මරණ 8ක් සිදුවූ දිය ඇල්ල ආශ්‍රිතව එතෙක් මරණ වාර්තා වී නොතිබුණත් අධික වර්ෂාව හේතුවෙන් නොසිතන ආකාරයට එකවර ජල කඳන් ඉහළ සිට පැමිණිය හැකි බැවින් මෙම දිනවල දියඇළි ආශ්‍රිතව දිය නෑම සහ විනෝදයට දිය ඇළිවලට බැසීම, දිය ඇළි ආශ්‍රිත ගල් මතට නැග සෙල්ෆි හා ඡායාරූප ගැනීම, බිමත්ව දියනෑමට යාම, දියසුළි ආශ්‍රිතව හෝ අධික ගැඹුරු සහිත දියවළවල්වල නෑමට යාම ආදියෙන් වැළකී සිටිය යුතු බව ඔහු පවසා සිටී.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් නක්ල්ස්, නමුණුකුල, ශ්‍රීපාදය, හෝර්ටන්තැන්න හා සිංහරාජය ආසන්නව ජල ‍පෝෂක ප්‍රදේශ සක්‍රිය වී අධික ජලධාරා පහළ ප්‍රදේශවලට ගමන් කළ හැකි නිසාත් දිය ඇළි හා දොළ පාරවල්වල ඉහළ ස්ථානවල ඇති විදුලි බලාගාරවල වාන්දොරටු විවෘත කිරීම සිදුකළ හැකි නිසාත් දිය ඇළි ඉහළ ස්ථානවල ඇති දැව කඳන්, ගල්, පස් කඳු පහළට වැටිය හැකි නිසාත් ඒ පිළිබඳව ජනතාව කල්පනාකාරී විය යුතු බවද ඒ මහතා පවසයි.

පළාත් පාලන ආයතන මෙම දිය ඇළි හා වේලි ආශ්‍රිතව එහි ඇති අවදානම ගැන සඳහන් පුවරු ඒවා නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ගේ දැනගැනීම පිණිසද සඳහන් කළ යුතු වුවත් එය සිදුනොවීම නිසා මෙම මරණ හා අනතුරු දිනෙන් දිනම වැඩිවෙමින් පවතින බවද ඒ පිළිබඳව පරිසර අමාත්‍යවරයා වන ජනපතිවරයාගේද සංචාරක අමාත්‍යවරයාගේද අවධානය යොමුකළ යුතු බවද අසිත ඉන්දික මහතා පැවැසීය. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඇති පරිසර අමාත්‍යාංශයේ ලියාපදිංචි එකම ආයතනය වන්නේ රුවන්පුර යොවුන් මිතුරු දිය ඇළි සංගමය බවද මාධ්‍ය මගින් හෝ මෙම අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ නම් එය මහත් ඵලදායී වනු ඇති බවද ඒ මහතා සඳහන් කර සිටී.

සුනිල් පියතිලක - රත්නපුර

පෙට්‍රල් ආනයනය තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් තවත් දින තුනක් ජනතාව අපහසුතාවට පත්කරමින් අර්බුදය පවතිනු ඇති බවට තෙල් සංස්ථා සේවකයෝ අනාවරණය කරති.
මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා බැරල් සහ කෑන්ද අතැතිව සිටින ජනතාව මෙන්ම වාහන දිගු ‍පෝලීම් ද ඊයේ (6) රාත්‍රිය වන විටත් දැකගන්න ලැබුණි.
මේ න විට ඉන්ධන බෙදාහැරීම අකර්මන්‍ය වී ඇති බැවින් ඉන්ධන හිඟයෙන් ජනතාවගේ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇත.
ප්‍රමිතියෙන් තොර බවට සඳහන් කරන ඉන්ධන නැව ඔක්තෝබර් 25 වනදා මෙරටට පැමිණ ඇති අතර 16,17 යන දිනයන්හිදි ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත. පසුව එම ඉන්ධන ප්‍රමිතියෙන් තොර නිසා හරවා යැවූ නමුත් එම නැව දවස් 16ක් පුරා ත්‍රිකුණාමල වරායේ නවතා ඇත.
මේ අතර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් 3 වනදා ඉන්ධන නැවක් ගෙන්වීමට නියමිතව තිබුණි. එනමුත් එම ඉන්ධන නැව තවමත් මෙරටට පැමිණ නැත. එම නැව පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 8දාය. කෙසේ නමුත් සේවක සංගම් මෙම ඉන්ධන අර්බුදය සම්බන්ධව අදහස් පළකරමින් සිටියේ ඔක්තෝබර් 15 වනදා පැමිණි නැව ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වූයේ නම් තවත් ඉන්ධන නැවක් මෙරටට ගෙන්වීමට පියවර ගත යුතුව තිබූ බවයි.
එනම්, පැය තුන හතරකින් සිංගප්පූරුව ආදී රටවලින් ඉන්ධන නැව් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව තිබූ නමුත් ඒ සඳහා රජය පියවර නොගත් බවට ඛනිජ තෙල් සේවක සංගම් චෝදනා කරති.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා කියා සිටියේ මෙම ඉන්ධන අර්බුදයට අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරිය වගකීම  භාරගත යුතු බවය. එනම් අයි.ඕ.සී. සමාගම හරහා තෙල් ගෙන්වීමට ලබාදීම මෙයට හේතුව බවද ඒ මහතා පැවැසීය. එමෙන්ම පාලන අධිකාරිය මෙවැනි ගැටලුවක් මතුනොවීම සඳහා මීට වඩා උනන්දුවෙන් වඩකළ යුතු බවත් තෙල් සංචිත පවත්වාගැනීමට රජය කටයුතු කරන බවත් සභාපතිවරයා පැවැසීය.
එමෙන්ම අයි.ඕ.සී. සමාගමේ ප්‍රමිතියෙන් තොර නැව ප්‍රතික්‍ෂේප කිරීමත් සමග ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ නැවක් ගෙන්වීමට අවස්ථාව තිබූ බවත් ඒ මහතා පැවැසීය. එමෙන්ම මෙරට ෙදෙනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් 2225ක් වන අතර එම ප්‍රමාණය බෙදාහැරීම සඳහා ඛනිජ තෙල් අමාත්‍යංශය මේ වන විට අ‍පොහොසත් වී ඇත.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා කියා සිටියේ මෙම ඉන්ධන අර්බුදය ඇතිවීම සඳහා නිලධාරීන්ගේ අකර්මන්‍ය ක්‍රියාකලාපය හේතු වී ඇති බවය. එමෙන්ම ඉන්ධන අර්බුදය සම්බන්ධව අදහස් දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා කියා සිටියේ ජනතාව බියවී අනවශ්‍ය ලෙස ඉන්ධන ගැලුම් ගෙනගොස් තබාගැනීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇති බවයි.
කෙසේ නමුත් ඉන්ධන පිරවුම්හල අසල ‍පෝලීම් අද (07) හෙට (08) දින පුරාම දැකගන්නට ලැබෙනු ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරති.

මාලඹේ සයිටම් ආයතනය විසින් වෛද්‍ය උපාධිය පිරිනැමීම පිළිබඳ පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව කමිටුවක් පත් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට පෙර මාලඹේ සයිටම් ආයතනය විසින් වෛද්‍ය උපාධිය පිරිනැමීම පිළිබඳ පවතින ගැටලු සම්බන්ධව විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබුණි. එම කමිටුව විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා එමයෝජනාවලට ඇතුළත් වී නොමැති ගැටලු සහගත කරුණු තිබේනම් එම කරුණු සලකා බලා අවශ්‍ය විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමටත් මෙම නව කමිටුව ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.
එම කමිටුවේ සභාපති ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ලේකම් ජනක සුගතදාස , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශ ‍ලේකම් ඩී.සී.දිසානායක මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලක්ෂමන් දිසානයක මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පත්කර ඇත.    ඊට අමතරව කමිටුව නිරීක්ෂණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය, වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමයේ එක් නියෝජිතයෙක් බැගින් පත්කරනු ඇත.

පානුක රාජපක්ෂ, ප්‍රසාදිකා ජයවර්ධන

තායිවන් ෆාඊස්ටන් බැංකුවේ ගිණුම්වලට අන්තර්ජාලය ඔස්සේ ඇතුළු වී රහස්‍ය දත්ත වෙනස් කර රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලිටේ‍රා් ගෑස් ලංකා සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ ඇතුළු සැකකරුවන් සිව්දෙනා දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
එක් සැකකරුවෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප 03ක් නියම කළ මහේස්ත්‍රාත්වරිය එම ශරීර ඇපකරුවන් තිදෙනා සැකකරුවන්ගේ සමීප ඥාතීන් විය යුතු බවටද කොන්දේසියක් පැනවූවාය.
ඇප ලබා ගැනීමෙන් පසුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීම වළක්වන නියෝගයක්ද පැන වූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමටද නියෝග කළාය. සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට පත් කරන ලෙසද නියෝග කළ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඇප ලබාගැනීමෙන් අනතුරුව සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට  උපරිම සහාය ලබා දෙන ලෙසටත් සැකකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය කුමන ආකාරයකින් හෝ පරීක්ෂණවලට බාධා කළ බවට තොරතුරු වාර්තා වුවහොත් ඇප නියෝගය අවලංගු කොට පසු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරන ලෙසද අවවාද කළාය.

නිශාන්ති රාමනායක
කොළඹ අධිකරණ

රජයේ මීළඟ වෛද්‍ය පීඨය සයිටම් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍ය කාරක සභාව  ඒකමතිකව තීරණය කළ බව එහි ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබූ නිවේදනය අවසන් තීරණය නොවන බවත් අවසන් තීරණය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අවශ්‍ය කටයුතු සිදුකළ බවත් මෙහිදී තීරණය විනැයි වෛද්‍ය අලුත්ගේ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් විසින් ආරම්භ කිරීමට නියමිතව ඇති මාරාන්තික උපවාසය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ සහයෝගය ලබාදීමටද මෙහිදී ඒකමතිකව තීරණය වූ බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් වෛද්‍ය අලුත්ගේ මහතා මෙසේද පැවැසීය.
රජය පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා එවන ලද නිවේදනයේ සඳහන් වෙනවා සයිටම් ආයතනය අහෝසි කළ යුතු බව. නමුත් රාජිත ඇමැති කියනවා එහෙම කරන්නේ නැහැ කියලා. රාජිත ඇමැතිවරයා නෙවිල් ප්‍රනාන්දු මහතාට ‍පොරොන්දුවක් දීලා ඉවරයි සයිටම් අහෝසි කරන්නේ නැහැ කියලා. ඒකයි ඔහු මේ විදිහට හැසිරෙන්නේ.
රජයේ ඇතැම් ඇමැතිවරුන් යම් යම් එකඟතාවන් ලබාගනිමින් සිටිනවා මේ ආයතනය නීතිගත කිරීමට. රජයෙ නිකුත් කළ න්‍යාය පත්‍රයට එහා ගිය න්‍යාය පත්‍රයක් ඔවුන්ට තිබෙනවා. ඔවුන් නිතර නිතර කරන ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වෙනවා.
අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් දොස්තර රාජිතගේ සැඟවුණු දේශපාලනය රටට හෙළිකරන්න කියලයි. රාජිත ඇමැතිවරයා සයිටම් ගැන එහෙම කතා කියද්දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියනවා සයිටම් ආයතනය අහෝසි නොකරන බව. ඔහු මේ ප්‍රකාශය කළේ ජනාධිපතිවරයා සමග අප පසුගියදා කළ සාකච්ඡාවේදීමයි. ඔහු කියනවා සයිටම් අහෝසි කළ නොහැකියි කියලා. අපි ඒ මොහොතේ ජනාධිපතිවරයාගෙන් ඇහුවා අපි පිළිගන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ නිවේදනයද එසේත් නොමැති නම් දොස්තර රාජිතගේ සහ ලක්ෂ්මන්ගේ ප්‍රකාශයන්ද කියලා. එවිට ජනාධිපතිවරයා කිව්වා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ නිවේදනයෙන් කියන්නේ රජයේ ස්ථාවරය බව.
අපි විශ්වාස කරනවා කිරිඇල්ල ඇමැතිවරයාගේ කතාව මෙතනින් නතර වෙන්නේ නැහැයි කියලා. රජයේ මතය ප්‍රකාශ කර තිබියදී ඉන් එහා ගිය මතයක් කියන්න කිරිඇල්ල ඇමැතිට බලයක් ලැබුණේ කෙසේද කියලා අපි ප්‍රශ්න කරනවා. වහාම පැහැදිලි විය යුතුයි රටට මොවුන්ට මේ වගේ බලයක් ලැබුණේ කොහෙන්ද කියලා.
වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයට පසුගියදා රාමඤ්ඤ මහානිකායේ මහානායක නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේගේ ප්‍රතිචාරය මොකක්ද කියලා මහානායක නාහිමිවරුන් පවා කිව්වා රාජිතට සෞඛ්‍ය ඇමැතිකම කරන්න බැරි නම් තනතුරෙන් ඉවත් වෙලා කරන්න පුළුවන් කෙනෙකු පත්කරන්න කියලා. මහානායක නාහිමිවරුන්ගේ හඬටවත් කන් දෙන්නේ නැති ඇමැතිවරයෙක්.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ලබාදී තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන තාක්ෂණික කමිටුව ඉක්මනින්ම සාදා නිමකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා. එම කමිටුව දේශපාලනයෙන් තොර විය යුතුයි. අපි ඒ ගැන අවධානයෙන් සිටිනවා. මෙම යෝජනාවලියේ නිවැරදි විය යුතු කරුණු නිවැරදි කරන්න. පැහැදිලි කළ යුතු කරුණු පැහැදිලි කරන්න. ජනතාවාදී විසඳුමක් අපි සෑම කෙනෙක්ම බලා‍පොරොත්තුවෙන් සිටිනවා.

ශ්‍රියානි විජේසිංහ

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කොළඹ දන්ත වෛද්‍යායතන පරිශ්‍රයේදී මාරාන්තික උපවාසය ආරම්භ කළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ සිට දහසකට ආසන්න දෙමාපියන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් පාගමනින් දන්තායතන පරිශ්‍රයට පැමිණ මාරාන්තික උපවාසය ඊයේ සවස ආරම්භ කළ බව හෙතෙම පැවැසීය.
දෙමාපිය සංගමයේ පියවරුන් 5 දෙනකු මෙම උපවාසය සඳහා සහභාගි වන බවත් ඔවුන් ඝණ ආහාර ගැනීම ඊයේ සවස සිට නතර කර ඇති අතර රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් දියරමය පානයන්ද නතර කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවැසීය.
කෙසේ නමුත් ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා තම සංගමයට ලිඛිත කිසිදු දැනුම්දීමක් කර නොමැති අතර එසේ ලිඛිත දැනුම්දීමක් කරන්නේ නම් සාකච්ඡාවට සහභාගි වන බවද වෛද්‍ය කරුණාසිරි මහතා සඳහන් කළේය.
සයිටම් අහෝසි කිරීමකින් තොරව විසඳුමක් තම සංගමය කිසිවිටෙකත් බලා‍පොරොත්තු නොවන බවද හෙතෙම පැවැසීය.
මෙම මාරාන්තික උපවාසය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පියවරුන් දෙදෙනකුද රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙදෙනකු හා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක් පියෙක්ද සහභාගි වනු ඇත.
මෙම උපවාසය සඳහා තවත් දෙමාපියන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද සහභාගි වීම සඳහා සූදානමින් සිටින බවද වෛද්‍ය කරුණාසිරි මහතා පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ

ලබන 08 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් දියත් කිරීමට දුම්රිය රියදුරන් නියාමකවරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන්ගෙන් සැදුම්ලත් වෘත්තීය සමිති එකමුතුව කටයුතු යොදා ඇත.
ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසනුයේ දුම්රිය සේවයේ ශ්‍රේණි කිහිපයක පවත්නා වැටුප් විෂමතා ගැටළුව විසඳීමට රජය අපොසත් වීම මත මෙම තීරණයට එළැඹි බවයි.
මෙම ගැටළුව සඳහා සතිදෙකක කාලයක් තුළ මෙම විසදුම් දීමට අග්‍රාමාත්‍යවරයා තම වෘත්තීය සමිති එකතුවට පොරොන්දු වූ මුත් එය ඉටුනොවීම මෙම වර්ජනයට මුල්වූ බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියයි.

එහෙත් ඒ සම්බන්ධයෙන්  දුම්රිය මඟීන් පවසනුයේ  පසුගිය දිනක දුම්රිය රියදුරන් හදිසියේ සේවය අතහැරයාමේන් දහස් ගණන් දුම්රිය මඟීන් මහමඟ අතරමං කිරීම මත දුම්රිය මඟීන් දැඩිකළකිරීමකින් පසුවන පසුබිමක නැවතත් එවැනි වෘත්තීය සමිති ක්‍රීයාමාර්ග වලට එළඹීමට පෙර මහජනතාවගේ ගමන් පහසුව පිළිබඳ නැවත සිතාබැලීම දුම්රිය වෘත්තීය සමිතිවල සමාජිකයන්ගේ යුතුකමක් හා වගකීමක් බවය.

එස්.ටි.පි.සිල්වා

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4013

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2654

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3731

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2246

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7449

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4598

Please publish modules in offcanvas position.