Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිදහස් දා ඩී.එස්. ‍පොල්වත්ත පන්ස‍ලේ හිටවපු අඹ පැළය

පසුගිය වසරේ නිදහස් සැමරු උළෙල පැවැත්වූයේ කොළඹ කොටුවේ ගාලුමුවදොරදීය. දෙතුන් වසරකට ඉහතදී මහනුවරදීද නිදහස් දින උළෙලක් පැවැත්තුවේය. බුත්තල මෙන්ම තිරිකුණාමලයේද නිදහස් සැමරුම පැවැති අවස්ථාද ඇත්තේය. මේ කොතැන නිදහස් උළෙල පැවැත්වූවත් මුළු රටම නිදහස් සැමරුම සජීවීව බලන්නේ රූපවාහිනියෙනි.
ඒ කෙසේවෙතත් රූපවාහිනියේ සජීව නොපෙන්වන වැදගත් අවස්ථා දෙකක් හැමදාමත් නිදහස් උළෙලට සමගාමීව පැවැත්වේ. ඉන් එකක් වන්නේ නිදහස් චතුරස්‍රයේ පිහිටි නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී.එස්. සේනානායකයන්ගේ පිළිරුවට පුෂ්‍පෝපහාර දැක්වීමයි.
දෙවැන්න කොල්ලුපිටිය ‍පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ජාතික නිදහස් දින අනුස්මරණ ආගමික උත්සවයයි. එම ආගමික උත්සවය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමය හෙවත් ‍පොල්වත්ත පන්සලෙහි පැවැත්වීමට විශේෂ හේතුවක් ඇත්තේය. ඒ 1948 පෙබරවාරි 04 වැනි දින නිදහස ලැබිම සිහිකිරීම වස් එහි පන්ස‍ලේ අඹ පැළයක් රෝපණය කිරීමයි. එම අඹ පැළය හැත්තෑවසරකට පෙර රෝපණය කළේ එකල ‍පොල්වත්ත පන්සලට අල්ලපු වැටේ අරලියගහ මන්දිරයේ විසූ ඩී.ඇස්. සේනානායක අගමැතිවරයාය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට අයත් ‍පොල්වත්තේ පන්ස‍ලේ ඉතිහාසය දහනව වැනි ශත වර්ෂයේ ආරම්භය දක්වා දිව යන්නේය. එහි ප්‍රථම විහාරාධිපති වන්නේ ඉඳුරුවේ ශ්‍රී විමලතිස්ස නායක ස්වාමින් වහන්සේය. අරලිය ගහ මන්දිරයේ මායිමේ පිහිටි ‍පොල්වත්තේ පන්ස‍ලේ, ලංකාවට නිදහස ලැබෙන සමයේ වැඩ සිටියේ හංචා‍පොළ විමලවංශ අනුනායක ස්වාමින් වහන්සේය. උන්වහන්සේ ඩී.ඇස්. සේනානායක අගමැතිවරයාත් උපන්නේ එක දිසාවකය. හැරත් රාමඤ්ඤ නිකාය සමග සේනානායක පරම්පරාවට සමීප සබඳතා තිබුණි. ඩී.ඇස්.ගේ පුත් ඩඩ්ලි සේනානායක උපන් වළව්ව පසුකලක ඔවුහු අඹේපුස්ස සේනානායක මුදලින්ද්‍රාරාමය ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට පූජා කළෝය. අරලියගහ මන්දිරයේ පදිංචියට ආ අඹේපුස්සේ බෝත‍ලේ වළව්වේ ඩී.ඇස්. සේනානායකට රාමඤ්ඤ මහා නිකායේ ‍පොල්වත්තේ පන්සල සමග තිබුණේ සමීප ඇසුරකි.
ධර්මකීර්ත්‍යාරාම විහාරවාසී අපරැක්කේ සුගතවංශ හිමියන් පවසන්නේ ඩී.ඇස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා දිනපතා උදෑසන ගෝල්ෆේස් ගොස් නැවත අරලියගහ මන්දිරයට යාමට පෙර ‍පොල්වත්ත පන්සලට ගොඩ වීමට අමතක නොකළ බවට පැරන්නෝ පවසන බවකි.
“මම අහලා තියන විදිහට ඩී.එස්. සේනානායක මැතිතුමා නිතර අපේ පන්සලට ඇවිල්ලා තිබෙනවා. එතුමා එකල අපේ නායක හාමුදුරුවෝ  හංචා‍පොළ විමලවංශ හාමුදුරුවෝ සමග නිරන්තර කතා බහක යෙදිලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ අඹ පැළේ අපේ පන්ස‍ලේ රෝපණය කරන්නට ඇති.
මීට වසර හැත්තෑවකට පමණ පෙර අරලියගහ මන්දිරය හා ‍පොල්වත්ත පන්සල වෙන්ව තිබුණේ මහා කාණුවකිනි. නමුත් දෙපසට යාම් ඊම් සඳහා ලී දමා ඒදණ්ඩක් මෙන් පුංචි පාලමක් සකසා තිබූ බව එම ප්‍රදේශයේ පැරැන්නෝ පවසති. 1948 වසරේ පෙබරවාරි 04 වැනි දින ඩී.එස්. සේනානායක අගමැතිවරයා අඹ පැළය රෝපණය කළ අවස්ථාව ගැන ජීවමාන සාක්ෂියකි. ඒ පද්මිණීද සිල්වාය. ඇය පදිංචි වී සිටින්නේ කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේය. ‍පොල්වත්තේ පන්සල පෙනෙන තෙක් මානයේ වෙසෙන ඇගේ දැන් වයස අවුරුදු අසූවකි. ඩී.ඇස්. සේනානායක අගමැතිවරයා අඹ පැළය රෝපණය කරන විට ඈ දසහැවිරිදි දහම් පාසල් දැරියකි.
ඒ දවස්වල මම ධර්මකීර්ත්‍යාරාම දහම් පාස‍ලේ ඉගෙන ගනිමින් සිටියේ. මට හොඳට මතකයි අපි සිංහ කොඩි අරගෙන ඩී.ඇස්. සේනානායක මහත්තයා එනකන් පන්සලට එන පාර දෙපැත්තට වෙලා සිටියා. නමුත් එතුමා කාර් එකෙන් ප්‍රධාන පාරේ එන්නේ නැතිව අරලියගහ මන්දිරේ ඉඳලා මහ කාණුව උඩින් පන්ස‍ලේ අනෙක් පැත්තෙන් පන්සලට ඇවිල්ලා. අපි දන්නෙත් නෑ. එතුමා එතැනින් ආපු බව දැනගත්ත අපි ඉක්මනටම පන්සලට දුවගෙන ගියා. අගමැති තුමා බුදුන් වැඳලා ජාතික කොඩිය එසෙව්වා. පස්සේ දහම් පාස‍ලේ තවත් ළමයි පිරිසක් ජයමංගල ගාථා කිව්වා. ඊට පස්සේ එතුමා ස්වාමින් වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අඹ පැළය සිටෙව්වා.”
මීට හැත්තෑ වසරක අතීතය පද්මිණී හෙමින් හෙමින් ආවර්ජනය කරන ගමන්ම ඩී.ඇස්. සේනානායක පිළිබඳවද මෙවැනි කතාවක්ද කියන්නීය.
“අඹ පැළය හිටෙව්වාට පස්සේ ඩී.එස්. සේනානායක මහත්තයා ධර්ම ශාලාවට ගිහිල්ලා කතාවක් කළා. නමුත් ඒ දවස්වල මම පුංචි දැරියක්ව සිටි නිසා මට කතාව පිළිබඳව නම් එතරම් වැටහීමක් තිබුණේ නැහැ. නමුත් මම හරි ආසයි එතුමා කතා පවත්වන විට හැසිරෙන ආකාරය බලන්න. මොකද එතුමා කතා කරන කොට විටින් විට ඇඟිලිවලින් ඉස්සෙනවා මෙන්ම මේ කතා විලාසය දකින්න මම හරි ආසයි. එතුමා ඊට පස්සෙ පන්ස‍ලේ උත්සවවලට ආවාම මම කරන්නේ එතුමාගේ කතා විලාසය නරඹන එකයි.”
ඩී.ඇස්. සේනානායක සිට වූ අඹ පැළය ලැබුණ ආකාරය පිළිබඳව ඇත්තේද විවිධ කතාය. ඇතැමුන් පවසන්නේ මෙම අඹ පැළය පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් ගෙන ආ බවයි. තවමත් සමහරක් පවසන්නේ පන්ස‍ලේ තිබුණ අඹ ගසක ඇටයකින් සෑදුණු පැළයක් බවයි. නමුත් මේ මත දෙකෙන් කොයික නිවැරදි දැයි දන්නෙක් දැන් නොමැත.
එදා ඩී.එස්. සිටවූ අඹ පැළය අද අතු විහිදී ගිය මහා රුකකි. අපරැක්කේ සුගතවංශ ස්වාමින් වහන්සේ පවසන ආකාරයට මෙම අඹ ගසෙහි ගෙඩි හට නොගන්නා කාලයක් නොමැත. වාරයටද අවාරයටද එකසේ ඵල දරයි. එසේම මෙම අඹ ගසෙහි ගෙඩියක් රස නොබැලූ ගම්වැසියකු නොමැති තරම්ය. අඹ අවාරයට ගැබිනි අම්මලාගේ දොළදුකටද පිහිටවන්නේ මෙම අඹ ගසයි. පද්මිණී ද සිල්වා පැවැසුවේ තමන් කුඩා කල දහම් පාසල් ගිය විට එකල සිටි ස්වාමින් වහන්සේලා දහම් පාසල් දරුවන්ට මෙම අඹ ගසෙහි ගෙඩි කඩා කෑමට දෙන බවයි.
“මේ අඹ ගසෙහි ගෙඩි ඉදෙන්නේ නැතිව කන්න බැහැ. ඇඹුල්. හැබැයි ඉඳුණම මී පැණි වගේ රසයි. මේ ගහ හිටවපු දවසේ ඉඳලා ලොකු වෙනකම් බලා සිටියේ අඹ ගෙඩි කන්න. ඉතින් අපි  වගේ පුංචි දරුවන්ට දහම් පාසල් ආවම හාමුදුරුවෝ අඹ ගෙඩි දෙනවා, ඉදවලා බෙදාගෙන කන්න කියලා.”
මෙම අඹගස අසල ඩී.ඇස්. සේනානායකයන්ගේ පිළිරුවක් ස්ථාපිත කර තිබේ. එසේම හංචා‍පොළ විමලවංශ ස්වාමින් වහන්සේගේද පිළිරුවක් මෙම ස්ථානයේ තිබි ඇත. නමුත් අද එය විනාශ වී ගොස්ය. අද ඇත්තේ ඩී.ඇස්. සේනානායකයන්ගේ පිළිරුව පමණි.
වසර හැත්තෑවක කාලයක සිට කොල්ලුපිටිය ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ නිදහස් දින අනුස්මරණ ආගමික උත්සවය පැවැත්වෙන්නේ මෙම අඹ ගස හේතුවෙනි. මෙවරද එම ආගමික උත්සවය ‍පොල්වත්ත පන්ස‍ලේදී පැවැත්වේ. එකල ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරේ සිට පාලම උඩින් පයින් පන්සලට පැමිණුණා සේම වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එලෙස පැමිණෙනු ඇතැයි ගම්වාසීහු කල්පනා කරති. ඒ මන්ද යත් ඔහු මෙම විහාරස්ථානයට බොහෝ විට පැමිණෙන්නේ ඩී.ඇස්. සේනානායක  පැමිණි මාර්ගයේ බැවිනි. නමුත් අද එතැන ඒදණ්ඩක් නොමැත, ඇත්තේ හොඳ කොන්ක්‍රීට් පාරකි.

ඡායාරූප :ප්‍රියන්ත ගමගේ

ශිරෝමි රත්නායක

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1277

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 720

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2842

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3889

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6924

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6127

Please publish modules in offcanvas position.