Coss Ear2
lakbima.lk
COSS Ear 1

මම කවදාවත් කාගෙවත් පස්සෙන් ගිහින් තනතුරු ගත්තේ නැහැ

  • අනුනායක හාමුදුරුවන්ගේ උපන් වර්ෂය?

මම උපන්නේ 1942 අප්‍රේල් 14 වෙනිදා

  • ගිහි නම?

ඕමත්තගේ ගිල්බට් පෙරේරා.

  • පවු‍ලේ විස්තර?

මගේ අම්මගේ නම බුත්සිලිනා ද සිල්වා. තාත්තාගේ නම ඕමත්තගේ ‍පෝල් පෙරේරා. අපේ පවු‍ලේ සහෝදර පිරිස මා එක්ක හය දෙනයි. මට වැඩිමහල් සහෝදරයන්  තිදෙනකුයි මට බාල සහෝදරයන් දෙදෙනකුයි ඉන්නවා. අපේ පවු‍ලේ ඔක්කෝම පිරිමි. මම පවු‍ලේ 4 වෙනියා.

  • ඔබ වහන්සේ අධ්‍යාපනය ලැබුවේ?

මම 5 පන්තිය දක්වා ගියේ නිකපේ ශ්‍රී විජයරාජ විද්‍යාලයට. පහේ පන්තියෙන් පසු 8 පන්තිය දක්වා ගියේ පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයට.

  • පුංචි කාලයේ අනුනායක හාමුදුරුවන්ට අමතක නොවන සිදුවීමක් තිබෙනවාද?

ඔව්. අවුරුදු 10 දී විතර මම අහල පහළ යාළුවෝ එක්ක වත්තේ කොස් ගහක් යටට වෙලා සෙල්ලම් කරමින් හිටියා. ඔහොම ඉන්නකොට එක පාරටම කොස් ගෙඩියක් මගේ ඔළුවට කඩාගෙන වැටුණා. එතනදී මට සිහි නැති වුණා. කිසිම දෙයක් මට මතක නැහැ. පස්සේ යහළුවන්ගේ කෑගැහිල්ලට අම්මයි මාමයි දුවගෙන ඇවිත් ඇරැව්වල හිටපු යහම්පත් රාළහාමි කියන වෙද මහත්තයා ළඟට මාව උස්සගෙන ගිහින් තිබුණා. ඒ වෙද මහත්තයා අපේ ඥාතියෙක්. කොහොම හරි එදා කොස් ගෙඩිය වැටිල මගේ ඔළුවේ ඇති වුණ කැළල තවමත් තියෙනවා.

  • ඔබ වහන්සේ පාස‍ලේදී වැඩි කැමැත්තක් දැක්වූ විෂය මොකක්ද?

නිකපේ විදුහ‍ලේ ඉගෙන ගන්න කා‍ලේ විල්බට් පෙරේරා කියලා ගුරුතුමෙක් හිටියා. එතුමා ඉගැන්නුවේ සාහිත්‍යය. විල්බට් ගුරුතුමා හරි ලස්සනට කවි එහෙම කියනවා. ඒ වගේම සාහිත්‍යයේ උපමා උපමේය හොඳ ලස්සනට තේරුම් කරලා දෙනවා. මේ නිසා මට සාහිත්‍ය විෂයට විශේෂ ඇල්මක් කැමැත්තක් ඉබේම ඇතිවුණා.
එහෙම වුණාට මම පිළියන්දල ස්කෝ‍ලේ ඉගෙන ගන්න කා‍ලේ  ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. ස්කෝ‍ලේ ක්‍රිකට් කණ්ඩායමේ මම සෙල්ලම් කළා. ඒ කා‍ලේ පාස‍ලේ මලල ක්‍රීඩා තරගවලදී තිබුණා තුන් කකුලෙන් දිවීම කියලා තරගයක්. මෙහිදී තරගකරුවන් දෙදෙනකුගේ කකුල් දෙකක් ගැට ගහනවා. එතකොට දෙන්නාට දුවන්න තියෙන්නේ කකුල් තුනෙන්. මේ තරගෙන් මම වසර 3ක්ම පිට පිට පළමු වැනියා වුණා. තුන් කකුලෙන් මා එක්ක දිව්ව අනෙක් තරගකරුවා අද සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ පාලිත කන්නන්ගර මහතායි.

  • ක්‍රීඩාවට  විතරද ඔබ වහන්සේ දක්ෂ ඒ කා‍ලේ?

නැහැ. අත්කම් නිර්මාණ, මැටිවලින් කරන නිර්මාණවලටත් මම දස්කමක් දැක්වූවා. ඒ වගේම තමයි දඟ වැඩවලටත් මම කැපී පෙනුණා. පන්තියේ ඉන්නකොට අපි යාළුවෝ එකපාරටම පන්තියෙන් පැනලා සෙල්ලම් කරන්න දුවනවා. සෙල්ලමට වැඩි නැඹුරුව නිසා ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා ගොඩක් තියෙනවා.

  • පුංචි කා‍ලේ ඉඳලා පන්සල සමග කිට්ටු සම්බන්ධයක් ඔබ වහන්සේට තිබුණාද?

ඔව්. බෙල්ලන්විල පන්ස‍ලේ නායක හාමුදුරුවෝ, බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි. උන්වහන්සේ මගේ පියාගේ වැඩිමහල් සහෝදරයා. ඒ ඥාතිත්වය නිසා අපේ පවු‍ලේ අය නිතරම පන්සලට ආවා ගියා. 1953 දී මගේ පියා හදිසියේ රෝගාතුර වී මිය ගියා. ඉන්පසුව මගේ වැඩිමහල් සහෝදරයා බෙල්ලන්විල සෝමරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු හැටියට පැවිදි වුණා. උන්වහන්සේ තමයි අද මෙහි විහාරාධිපති ධුරය දරන බෙල්ලන්විල ධම්මරතන නායක හාමුදුරුවෝ.

  • අනුනායක හාමුදුරුවෝ පැවිද්දට යොමු වුණේ කොහොමද?

මේ වෙනකොට පැවිදි වුණු මගේ අයියා ඒ කියන්නේ ධම්මරතන හාමුදුරුවෝ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේ නැවතිලා ඉගෙන ගනිමින් හිටියේ. දවසක් අපේ අම්මා පන්සලට ගියා. නායක හාමුදුරුවෝ අම්මගෙන් අහල තියෙනව මාව පන්සලට දෙන්න කැමතිද කියලා. පුතාගෙන් අහල කියන්නම් කියලා අම්මා ඇවිත් තිබුණා.
සෝමරතන නායක හාමුදුරුවෝ දුටුවාම ඕනෑම කෙනෙකුට උන් වහන්සේ ගැන ගෞරවයක්  ඇති වෙනවා. ඒ වගේම පෞරුෂයක් උන්වහන්සේට තිබුණා. දවසක් මම පන්සලට ගියා. “කොල්ලෝ පන්ස‍ලේ නවතින්න කැමතිද?”  කියලා  නායක හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා. මම කිසිම උත්තරයක් දෙන්නේ නැතිව බිම බලාගෙන හිටියා.
ඔහොම දවස් කිහිපයක් ගියා ස්කෝ‍ලේ ගිහින් ආවම හවසට පාඩම් වැඩ කරන්න පන්සලට එන්න කියලා නායක හාමුදුරුවෝ කිව්වා. එතකොට මට අවුරුදු 13යි. මම ඉතින් හැමදාම ස්කෝ‍ලේ ඇරිලා හවසට පන්සලට ගියා. පාඩම් වැඩ කරන්න.
නායක හාමුදුරුවන්ට බැහැ කියන්න බැරිකමට පැවිදි වෙන්න මම කැමැති වුණා. සති දෙක තුනක් පන්ස‍ලේ නැවතිලා හිටියා. ඊට පස්සේ 1956
පෙබරවාරි 28 දා මම පැවිදි වුණා. හැබැයි මම ගිහි කා‍ලේ කරපු දඟ වැඩ නිසා හැමෝම කිව්වේ මම කවදාවත් සිවුරේ ඉන්න එකක් නැහැ කියලයි. ගොඩාක් අය කියලා තිබුණා ටික දවසකින් සිවුරෙන් යයි කියලා. ඒ තරමට මම සෙල්ලමට බරවයි හිටියේ.

  • ඔබ වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ?

මූලිකව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබුවා. පස්සේ 1957 අගභාගයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වුණා. 1963 දී මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

  • නායක හාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේට ලැබුණ මග පෙන්වීම කොහොමද?

අපේ නායක හාමුදුරුවෝ සැරයි. ඒත් උන්වහන්සේ අපිට හරි කරුණාවන්තයි. ඒත් ඒ ලෙන්ගතුකම අපිට පෙන්නුවේ නැහැ. අපෙන් මොනවා හරි වැරැද්දක් වුණොත් බොහෝම සැරවැර වුණා. හැබැයි ඊට දවස් දෙකතුනකට පස්සේ අපිව කැඳවලා බොහෝම කරුණාවෙන් අපි කරපු වැරැද්ද කියලා දීලා එසේ නොකරන්න උපදෙස් දෙනවා.

  • එහෙම සිද්ධියක් අනුනායක හාමුදුරුවන්ට මතකයේ තිබෙනවාද?

මම ඉගෙනීමට දක්ෂ බව දැන ගත්තට පස්සේ දායක දායිකාවෝ මට ගොඩාක් ‍පොත් ගෙනත් දුන්නා. ඉතින් මේ ‍පොත් තියාගන්න තැනක් නැති නිසා මමයි පන්ස‍ලේ හිටපු තවත් පස් නමකුයි ආවාසේ උඩු මහලට  වෙලා ‍පොත් රාක්කයක් හදන්න ගත්තා. නායක හාමුදුරුවෝ  වැඩ හිටියේ පහළ  මාලයෙ. රාක්කේ හදන සද්දේ ඇහිලා නායක හාමුදුරුවෝ උඩු මහලට වැඩියා. නායක හාමුදුරුවෝ එනවා සද්දේ ඇහිලා මගේ මිත්‍ර හාමුදුරුවරු ටික එහෙට මෙහෙට පැන්නා.
මොකද කරන්නේ කියලා ඇහැව්වා. මම කාරණය කිව්වා. මේවා භික්ෂුන්ට ඔබින වැඩ නෙවේ කියලා සැරවැර කරලා පන්ස‍ලේ හිටපු කෙනකුට කියලා අපි හද හදා හිටපු රාක්කේ එළියට  දැම්මා, සතියක් විතර ගියාට පස්සේ වඩු බාස් කෙනෙක් ගෙන්වලා තේක්ක ලීයෙන් නායක හාමුදුරුවෝ ‍පොත් රාක්ක දෙකක්ම හදලා දුන්නා. අදත් මගේ ‍පොත් තැන්පත් කරන්නේ ඒ රාක්ක දෙකේ තමයි.

  • ඔබ වහන්සේ ඉගැන්වූ විශ්වවිද්‍යාලයේ අද ඔබ වහන්සේ කුලපති?

ඔව්. සහකාර කථිකාචාර්ය ධුරයේ සිට මහාචාර්ය ධුරය දක්වාත් අනතුරුව උප කුලපති ධුරයත් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැරුවා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේ තමයි මාව උපකුලපති ධුරයට පත් කළේ. පස්සේ ඒ යුගයේදීම කුලපති ධුරයට පත්වුණා. පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු මගේ සේවා කාලය දීර්ඝ කළා.
හැබැයි මේ කිසිම තනතුරක් මම කාගෙන්වත් පස්සෙන් ගිහින් ගත්ත ඒවා නොවෙයි. දේශපාලනඥයන් පන්සලට ආවා ගියාට කිසිම දේශපාලනඥයෙක් සමග මගේ කිට්ටු සම්බන්ධකමක් නැහැ.

  • පැවිදි දිවියේදී ඔබ වහන්සේ සංවේගයට පත්වුණ විශේෂ අවස්ථාවක් තිබෙනවාද?

පන්ස‍ලේ හිටියා චන්දු  කියලා ඇතෙක්. මේ ඇතාට පුදුම ගති තිබුණේ. හැමදාම උදේට ඇවිත් නායක හාමුදුරුවන්ගෙන්, අපෙන් පලතුරු කනවා. දළදා පෙරහර ඇතුළු රටේ ප්‍රධාන පෙරහරවල්වලට චන්දු ගියා. හරිම කීකරුකමක්, හික්මීමක් තිබුණු ඇතෙක්. දැක්ක තැන අපිට ගරු කළා. චන්දු මියගිය දවස මට වේදනාවක්, කනස්සල්ලක් ඇති වුණා. මම බොහෝ සතුටු වන වැඩක් තියෙනවා. වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකළ විශ්‍රාම ශාලාවෙන් හා රථ ගාලෙන් ලැබෙන මුදල් කිසිවක් අපි පන්ස‍ලේ වැඩට ගන්නේ නැහැ. වෙනම අරමුදලක් ඇති කරලා ඒ මුදලින් විවිධ සැත්කම් කරගත නොහැකිව දුක් විඳින අයට ආධාර කරනවා. එසේ ආධාර ලැබූ අය සුවපත් වීමෙන් පසු පන්සලට ඇවිත් පින් දීලා යනවා. එය අපට මහත් සතුටක්. එසේම තරුණ පරපුරට ස්වයං රැකියා පුහුණුවට, වෘත්තීය පුහුණු  පාඨමාලා නොමි‍ලේ පවත්වනවා. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්  පවත්වාගෙන යනවා. ධම්මරතන නාහිමියන්ගේත් මූලිකත්වයෙන් විවිධ විපත්වලදී රටට ජනතාවට අවශ්‍ය උපකාර විහාරයෙන් කරනවා.

ධර්ම ශ්‍රී තිලකවර්ධන

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1284

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 724

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2848

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3894

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6929

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6133

Please publish modules in offcanvas position.