lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

කිඹුලාපිටියේ රතිඤ්ඤා පුපුරලා අවුරුදු 90ට 700ක් මැරිලා

පසුගිය සතියේ දිනයක නැවතත් මීගමුව කිඹුලාපිටිය ගම කඳුළෙන් නැහැවී ගියේය. ඒ කිඹුලාපිටිය ඉද්දගොඩැල්ල ප්‍රදේශයේ ගිනිකෙළි කම්හලක ඇති වූ ගින්නක් නිසාය. එම ගින්නට හසුවූ ගිනි කෙළි කම්හල අයිතිකරුගේ 33 හැවිරිදි පුතා සහ මස්කෙළියේ දහඅට හැවිරිදි තරුණයකු පිළිස්සුම් තුවාළ නිසා මිය ගියහ.
කෙනෙකුගේ මරණයකදී වෑහෙන දුක් කඳුළු හුඟක් බරය. නමුත් කිඹුලාපිටිය ගමේ මෙලෙස ඇද හැලෙන කඳුළු බර නැතිවාදෝයි, සිතෙන්නේද... මෙයට වසරකට පෙරද මෙම ගිනි කෙළි කම්හල් අයිතිකරුගේම ගිනිකෙළි කම්හල ගිනිගෙන එක් අයෙකු මිය ගිය නිසාය.සෑම වසරකම උත්සව සමයක් සමීප වන විට කිඹුලාපිටිය රතිඤ්ඤා ගම්මානයේ, ගිනිකෙළි කම්හලක් ගිනි ඇවිලී මරණ දෙක තුනක් සිදුවීම අනිවාර්ය දුක්ඛාන්තයක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ රතිඤ්ඤා නිෂ්පාදනය ආරම්භ වන්නේ එක්දහස් නවසිය විසි ගණන්වල අග භාගයේය. කිඹුලාපිටිය කේ. ඒමිස් පෙරේරා කිඹුලාපිටියේ ආරම්භ කළ “සූර්යා” සහ “මුවා” රතිඤ්ඤාවලින් මුළු කිඹුලාපිටිය ගම්මානයටම අලුත් කර්මාන්තයක්, අලුත් ආදායම් මාර්ගයක් හඳුන්වා දෙනු ලැබුණි. අද කිඹුලාපිටිය ගමේ ජීවත් වන පුද්ගලයන්ගෙන් සියයට අසූවක්ම කිසියම් ක්‍රමයකින් රතිඤ්ඤා සහ ගිනිකෙළි කර්මාන්තයට සම්බන්ධය.
රතිඤ්ඤා කර්මාන්තය කිඹුලාපිටියෙහි ආරම්භ කර ගෙවී ගිය වසර අනූවක කාලය තුළ මෙම රතිඤ්ඤා කර්මාන්තය නිසා කිඹුලාපිටියේ මියගිය සංඛ්‍යාව හත්සියයකට ආසන්නය.ගම්පහ දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය පාලක තුෂිත හපුආරච්චි පවසන ආකාරයට රතිඤ්ඤා සහ ගිනිකෙළි කර්මාන්තය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වන වෙඩි බෙහෙත් නිකුත් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය මගිනි. ඒ සඳහා ගිනිකෙළි නිෂ්පාදකයා බලපත්‍රයක් ගත යුතුයි. ඒ දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය පාලක වෙතිනි. බලපත්‍රය නිකුත් කරන්නේ එක් වසරක කාලයක් සඳහාය. ජූලි මාසයේ පළමුවෙනිදායින් ආරම්භ වන එම බලපත්‍රය ජුනි මස තිස් වෙනිදායින් අවසන් වෙයි. එම නීතිය මුළු ලංකාවටම එක සේ බලපායි.
ආරක්ෂාව වඩාත් තහවුරු කිරීම සඳහා බලපත්‍ර ඉල්ලුම්කරු විසින් සපිරිය යුතු තවත් කොන්දේසි කීපයක් පනතේම සඳහන් කර ඇත.මෙම රතිඤ්ඤා නිෂ්පාදන කර්මාන්තයේදී නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරෙන්, පියවරක්ම සිදුවිය වෙන වෙනම ස්ථානවලය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය ටතේ බලය ලත් වෙළෙදුන්ගෙන් මිලදී ගෙන එම වෙඩි බෙහෙත් අමු ද්‍රව්‍ය ගබඩා කළ යුත්තේ වෙන  වෙනම වෙනත් තැනකය.
එම අමුද්‍රව්‍ය මිශ්‍ර කළ යුත්තේවෙනම තැනකය. එය හොඳින් වාතාශ්‍රය එන තැනක් විය යුතුය.
“වෙඩි බෙහෙත් වර්ග වෙන වෙනම තියෙද්දී අනතුරු වෙනවා අඩුයි. එක් එක් රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරද්දී තමයි අනතුරු වීමට ඉඩකඩ වැඩි ගම්පහ දිස්ත්‍රික් පුපුරණ ද්‍රව්‍ය පාලක තුෂිත හපුආරච්චි පවසයි.
රතිඤ්ඤා නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙම රසායන මිශ්‍රකරන ස්ථානය හඳුන්වන්නේ කළවම් මඩුව“ කියාය. නීතියෙ හැටියට මෙම කළවම් මඩුව වර්ග අඩි එකසිය විස්සකට වඩා විශාල නොවිය යුතුය. වටේට කොට බිත්ති තිබිය යුතුය. දොරවල් තියෙන ස්ථානයක් නම් දොරවල් පිටතට විවෘත විය යුතුය. එම දොරවල්වල් ඇගුළු සවි නොකළ යුතුය. අවශ්‍යය නම් සිහින් ලණු ‍පොටකින් බැඳ තිබිය යුතුය. මෙම කළවම් මඩුවක එකවර වැඩ කළ යුත්තේ දෙදෙනෙකි. වැඩිම වුණොත් තිදෙනෙකි. ඒ විනාශයකදී සිදුවන ජීවිත හානි අවම කර ගැනීම සඳහාය. හතර වටින්ම විවෘත වූ කොට බිත්ති තිබිය යුත්තේ හදිසි අනතුරක් සිදුවුවහොත් ඉක්මනින්ම ස්ථානයෙන් පැන යෑම් සඳහාය. මෙම කළවම් මඩුවට විදුලිය ගැනීම තහනම්ය.
වසර ගණනාවක සිට ගිනි කෙළි කර්මාන්තයෙහි නිරතව සිටින “පබසර ගිනිකෙළි කර්මාන්තායතනය” හිමි
එස්.ඩබ්ලිව්.පී.එස්. ලියනගේ පවසන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍රලාභී නිකුත් කරන්නේ ‍පොටෑසියම් නයිට්රේට් සහ ‍පොටෑසියම් ක්ලෝරේට් බවය. ඇලුමේනියම් ගෙන්දගම් ආදී අනිකුත් අමුද්‍රව්‍ය මිලදී ගන්නේ විවෘත වෙළෙදුන්ගෙනි.
“රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් ගෙන්වන වෙඩි බෙහෙත් බලපත්‍ර තියෙන අයට විකුණන පුද්ගලික වෙළෙඳුන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ ගබඩා තුනම තියෙන්නෙ එක සමීපයෙන්. එතැනි කටාන ‍පොලීසියෙ මුර ‍පොළක් තියෙනවා. කොළඹ ඉඳල කටානට එන වෙඩි බෙහෙත් තොග ‍පොලිස් ‍පොතේ සටහන් වෙනවා. ඒ වගේම බලපත්‍රවලට හිමි වෙඩි බෙහෙත් නියම ප්‍රමාණයට නිකුත් වෙනවද කියලත් ‍පොලිස් මුර ‍පොළෙන් බලනවා.” ලියනගේ පවසන්නේ කිඹුලාපිටිය රතිඤ්ඤා ගමට, වෙඩි බෙහෙත් ළඟා වන පිළිවෙළ ගැනය.
කළවම් මඩුවක එකවර කිලෝ පහ කිලෝ දහය වශයෙන් වෙඩි බෙහෙත් මිශ්‍ර කරගනු ලැබේ. කිලෝ දහයක වෙඩි බෙහෙත් මිශ්‍රණයකින් දැවැන්ත විනාශයක් විය හැකිය. කළවම් මඩුවේ මිශ්‍රකරණ වෙඩි බෙහෙත්වලින්, රතිඤ්ඤා හෝ ගිනිකෙළි ආදිය නිපදවන ස්ථානය සඳහා වරකට ගෙනියන්නේ කිලෝ එක දෙක සුළු කොටස් වශයෙනි. ඒ රතිඤ්ඤා සහ අහස් කූරු වැනි නිලා වර්ගවල කඩදාසි බටවලට රතිඤ්ඤා මිශ්‍රණය දමා තද කිරීමේදී ගිනි ගැනීමේ සම්භාවිතාව ඇති නිසා සිදුවන අනතුරේ ප්‍රමාණය අඩුකර ගැනීම සඳහාය.
කලවම් මඩුවේ මිශ්‍ර කළ වෙඩි බෙහෙත් සමහර විටක දින දෙක තුනක නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරනු ලැබේ. එසේ ඉතිරි වන මිශ්‍ර කළ වෙඩි බෙහෙත් ගබඩා කිරීමට සුවිශේෂ වෙඩි බෙහෙත් ගබඩාවක් සෑම රතිඤ්ඤා නිෂ්පාදන ආයතනයකම තිබිය යුතුය. වෙඩි බෙහෙත් බලපත්‍රය ගැනීමට එය අත්‍යාවශ්‍යය. එසේ විශේෂ ගබඩාවක් අවශ්‍යවන්නේ මිශ්‍ර කළ වෙඩි බෙහෙත් කොයි වේලාවේ ගිනි ගෙන පුපුරාවිදැයි නොදන්නා නිසාය. අඩි හතරක් පමණ පළල අඩි තුනක් දිග අඩි හයක් පමණ උසගොඩනැගිල්ලක වහලයට කොන්ක්‍රීට් යෙදිය යුතුය. එසේම වෙඩි බෙහෙත් ගබඩාවට ඇතුළුවන දොරටුව ශක්තිමත් ලෙස ඉදිකළ යුතුය.
එස්.ඩබ්ලිව්.පී.එස්. ලියනගේ පවසන ලෙස රතිඤ්ඤා නිෂ්පාදනයේදී ‍පොටෑසියම් නයිට්රේට් ‍පොටෑසියම් ක්ලෝරේට් මිශ්‍රණය කිරීමේදී අත්වැරදීමකින් කිසියම් අමුද්‍රව්‍යයක් වැඩි වුවහොත්, මිශ්‍රණය ක්ෂණයකින් රත්වී ගිනිගැනීමක් සිදුවිය හැකි බවය.
එනිසා සෑම වෙඩි බෙහෙත් කළවම් මඩුවක ඉදිරිපිටම විවෘත ස්ථානයක ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට පහසුවන සේ ගිනි නිවීමේ උපකරණයක් රඳවා තැබිය යුතුය. එයද බලපත්‍ර කොන්දේසියකි.ගිනි කෙළි නිෂ්පාදකයින් පවසන ලෙස ගිනි කෙළි කර්මාන්තශාලාවල වැඩිපුරම ගිනි ගැනීම් අනතුරු සිදුවන්නේ විසිල් ආකාස නිෂ්පාදනය කිරීමේදීය. පසුගිය දිනක මීගමුව, කිඹුලාපිටිය, ඉද්දගොඩැල්ල ප්‍රදේශයේ දෙදෙනෙක් මිය ගියේද එලෙස විසිල් ආකාස නිෂ්පාදනය කරන අවස්ථාවකදී බව පැවසේ.
සමස්ත ලංකා ගිනි කෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් වසන්ත ප්‍රනාන්දු පවසන්නේ වෙඩි බෙහෙත් මිශ්‍රණවල උෂ්ණත්වය වැඩිවීම නිසා මෙන්ම සමහර මිශ්‍රණ තෙත බරිත වූ විටද ගිනිගන්නා බවය. ශ්‍රී ලංකාවේ සමස්ත ගිනි කෙළි කර්මාන්තකරුවන් වෙනුවෙන් ඔහු ඉල්ලා සිටින්නේ රජය මැදිහත්වීමෙන් ගිනිකෙළි නිෂ්පාදනයේදී අනතුරු අවම කරගෙන හැකි නව තාක්ෂණ ක්‍රම ඔවුනට හඳුන්වා දෙන ලෙසය.
මේ අතර තවත් ගිනි කෙළි නිෂ්පාදකයන් කීප දෙනෙකු පැවසුවේ අතීතයේ ගිනි කෙළි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා බලපත්‍රය දුන්නේ අක්කරයක දෙකක ඉඩමක මැද පවත්වාගෙන යාමට තරම් ඉඩකඩ තිබූ අයට පමණක් බවය. නමුත් පසුගිය කාලයේ දේශපාලන අතපෙවීම නිසා පර්චස් හතළිහක වැනි ඉඩමක පදිංචි නිවස තිබියේදීත් රතිඤ්ඤා සහ ගිනි කෙළි නිෂ්පාදනය සඳහා බලපත්‍ර දී ඇති බවය. මෙනිසා කිසියම් අනතුරක් වූ විට සිදුවන ජීවිත හා දේපළ විනාශය අති මහත් බවය.
මෙහිදී මතක් කළ යුතු වැදගත් දෙයක් වන්නේ කිඹුලාපිටිය රතිඤ්ඤා ගම්මානයේ රතිඤ්ඤා නිෂ්පාදනය කරන සියලු දෙනාම පුපුරන ද්‍රව්‍ය පාලකගේ බලපත්‍රය ලබාගත් අය නොවේ. ඔවුහු බලපත්‍ර ඇති අය මිලදී ගන්නා වෙඩි බෙහෙත් වැඩි මිලට ගෙන රතිඤ්ඤා නිෂ්පාදනය කරති. එනිසා පුපුරණ ද්‍රව්‍ය පාලක පනවන ආරක්ෂක කොන්දේසි ඔවුනගෙන් ඉටුවේය කියා බලා‍පොරොත්තු විය නොහැක.ගම්පහ දිස්ත්‍රික් පුපුරන ද්‍රව්‍ය පාලක තුෂිත හපුආරච්චි පවසන ලෙස තාක්ෂණික හේතු නිසා මෙන්ම මිනිසුන් නොසැලකිල්ල නිසාද අනතුරු සිදුවන බවය. සිගරැට් බිඩි පානය එපා කීවත් හොරෙන් එය කරන අය සිටිති. එවැනි විසි කළ සිගරැට් කොටයකින් ගිලිහුන ගිනි පුපුරකින් ගිනි කෙළි කම්හල් ගිනිගෙන මිනිසුන් මියගිය අවස්ථා තිබේ.
ගිනි කෙළි කර්මාන්ත ශාලාවක සිදුවුණ අනතුරකදී හානි වූ විට වන්දි ගෙවන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ නීති රීති ආඥා අනුවය.
සමස්ත ලංකා ගිනි කෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් වසන්ත ප්‍රනාන්දු පවසන ලෙස ගිනි කෙළි කර්මාන්ත ශාලාවක සිදුවන අනතුරකදී  ජීවිත හානි සිදුවූ විට ‍පොලීසිය විසින් නඩු පවරනු ලදුව, මියගිය පුද්ගලයාගේ වයස යැපෙන්නන් පිළිබඳව සලකා උසාවියෙන් වන්දි මුදල් නියම කරන බවය. ඔහු වැඩිදුරටත් පවසන්නේ එලෙස ලක්ෂ හය හත ගෙවූ අවස්ථා ඇති බවය.

පීටර් කැනියුට් පෙරේරා
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 806

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 2863

වාහන පර්මිට් වික්කෙ මොකද?

IMAGE 2017 May 22 11:13
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු...
Views - 2581

නෑ හිතමිතුරන් පළා ගිය පසුත් හාම්පුතාගේ දේහය රැකගත් ජිමී

IMAGE 2017 May 22 10:23
ශ්‍රී ලංකාවේ බඹර ප්‍රහාරවලට නිරතුරුවම ලක්වන්නේ මධ්‍ය කඳුකරයේ වතු කම්කරුවෝය. හැටන්,...
Views - 2010

කාටත් නොකී රහසක් නිරෝෂා හෙළිකරයි

IMAGE 2017 May 21 21:03
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම...
Views - 3921

විජේවීරගේ චරිතය රඟපා නිමවන තුරු කළ කැපවීම කමල් හෙළි...

IMAGE 2017 May 21 13:33
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදිහට කවුරුත් දැන හඳුනාගෙන සිටින කමල් අද්දර ආරච්චිට පසුගිය...
Views - 2934

Please publish modules in offcanvas position.