Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෛත්‍රී-රනිල් මහින්ද එකට හමුවෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී දේශපාලන රැස්වීම් රැසකට සහභාගී වූ අතර කැබිනට් රැස්වීමත් නොපැවැත්වූයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැති ඇමැතිවරු කාර්යබහුල වී සිටීම නිසාය. අඟහරුවාදා රාත්‍රියේදී මෛත්‍රී තම නිල නිවසට මහින්ද අමරවීර, ලක්ෂමන් යාපා, සුසිල් ප්‍රේමජයන්ත සහ තිලංග සුමතිපාල කැඳවූයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමටය.
“සර්, සර්ගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. ඡන්දය අතරවාරයේ විතරක් නමෛයි ඡන්දෙන් පස්සෙත් සර් පරිස්සම් වෙන්න ඕන. මට විශ්වාසවන්ත විදියට තොරතුරු ලැබිලා තියෙන්නේ”අමරවීර කීවේය.
“ඔය දූෂිතයන්ට වැදගත් සල්ලි විතරයි. රටට, මිනිස්සුන්ට මොනවා වුණත් ඒ අයට කිසිම ගානක් නෑ”තිලංග කීවේ ජනපති දෙස බලමිනි.
“සර් දූෂණ වංචා ගැන කතා කරන එකයි, හොරුන්ට දඬුවම දෙන බව කියන එකයි මේ අයට දරාගන්න බැරිව ඉන්නේ. ඒ නිසා තමයි හැම පැත්තකම ඉන්න හොරු කුමන්ත්‍රණ කරන්න හදන්නේ”සුසිල් පැවැසුවේය.
“බණ්ඩාරනායක මහත්තයට කළෙත් ඔය ටිකමනේ. රට හදන්න හදපුවම ඒ මනුස්සයා මරලා දැම්මා. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මම දන්නවා. බොරැල්‍ලේ ගෙදරකදී හමුවන කට්ටිය ගැනත් මට ආරංචි තියෙනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම සී.අයි.ඩී. එකට කියලා තියෙන්නේ”මෛත්‍රී කීය.
“හොරුන්ට විරුද්ධව වැඩ  කරන්න ඕන. එහෙම වැඩ කරනකොට මිනිස්සු සර් එක්ක ඉන්නවා”ලක්ෂ්මන් යාපා පැවැසුවේය.
 
 ලන්ඩනයෙන් මෛත්‍රීට ඇමතුම් 
 
බදාදා උදෑසන මෛත්‍රී්‍රට දුරකථන ඇමතුමක් ලැබුණේ ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන හිතවතකුගෙනි. 
“මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ වැඩ තහනම් කරලා. විදේශ කටයුතු අමාත්‍යාංශය තමයි වැඩ තහනම් කිරීමේ ලියුම එවලා තියෙන්නේ”දුරකථනයේ එහා 
කෙළවරේ සිටි නිලධාරියා කීවේය.
“මම දැන්ම මේ ගැන සොයා බලන්නම්”කී මෛත්‍රී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ‍ලේකම් ප්‍රසාද් කාරියවසම්ටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් කපිල වෛද්‍යරත්නටත් දුරකථනයෙන් ඇමතුවේය. 
“මේ වගේ සිද්ධියක් වුණාම පරීක්ෂණයක් කරන්නේ නැතිව, හොයන්නේ බලන්නේ නැතිව වැඩ කරන්න එපා. මේ වගේ තීරණයක් ගන්නවා නම් මාව දැනුවත් කරන්න තිබුණා. මට කියන්නේ නැතිව ඕන ඕන විදියට තීරණ ගන්න සූදානම් වෙන්න එපා. වහාම මේ නිලධාරියා සේවයේ පිහිටුවන්න”මෛත්‍රී කීවේ තදින්ය.
“ඔය හමුදා නිලධාරියා ඉක්මනට මගේ දුරකථනයට ගන්න”මෛත්‍රී අසල සිටි නිලධාරියකුට කීවේය. ඔහු දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය. ඒ වන විට ලන්ඩන් වේලාව මධ්‍යම රාත්‍රිය වී තිබූ නිසාය. 
හමුදා නිලධාරියා සම්බන්ධ කරගැනීමට නොහැකි ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයට පණිවුඩයක් තැබූ මෛත්‍රී දඹදෙණියේ රැස්වීමට සහභාගීවීමට පිටත්ව ගියේය. එම රැස්වීම අවසන් කර තේ පානය කරන අතරවාරයේදී හමුදා නිලධාරියා මෛත්‍රීගේ දුරකථනයට සම්බන්ධ විය.
“ආ.. බ්‍රිගේඩියර් කොහොමද? අයිමත් සේවයේ පිහිටවූවා කියලා එවපු ලියුම ලැබුණාද”මෛත්‍රී ඇසුවේය.
“ඔව් සර්. මේ ප්‍රශ්නයට මැදිහත් වුණාට ඔබතුමාට බොහොම ස්තුතියි” හමුදා නිලධාරීයා මෛත්‍රීට සිය කෘතඥතාවය පුද කළේය.
“ඇත්තටම බ්‍රිගේඩියර් ඔතැනදී මොකද වුණේ”මෛත්‍රී සැබෑ සිද්ධිය ගැන විමසන්න විය. හමුදා නිලධාරියාත් තමන්ට මුහුණපෑමට සිදුවූ දේ අකුරක් නෑර විස්තර කරන්න විය. 
“ඔයාගේ වරදක් තියෙනවා නම් ඒ ගැන සොයලා බලන්න ක්‍රමයක් තියෙන්න ඕන. වීඩියෝ එකක් බලලා සේවයෙන් අයින් කරන්න බෑ. ඔයත් වැඩ කරගෙන ඉන්න. අවශ්‍යතාවයක් තිබුණොත් මට කතා කරන්න”මෛත්‍රී දුරකථනය තබමින් කීවේය.
 
 සමීක්ෂණ වාර්තා 
 
මෛත්‍රී පසුගිය සතියේ දේශපාලන රැස්වීම් රැසකට සහභාගී විය. අඟහරුවාදා රැස්වීම් තුනක කතා කිරීමට ඔහුට සිදුව තිබුණි. මෛත්‍රී කොළඹ සිට මාතර එන විටත් හක්මණට ආවේය. 
මෛත්‍රී සවස හතරට පමණ රැස්වීමට පැමිණි අතර රැස්වීම අවසන් කළ ඔහු ලක්ෂ්මන් යාපාට කතා කළේය.
“ලක්ෂ්මන්, මෙහෙමම මාත් එක්ක ගාල්ලේ රැස්වීමට යමු”මෛත්‍රී යෝජනා කළේය.
“සර් මේක මගේ රැස්වීම. මම ගියහම කොහොමද”ලක්ෂ්මන් යාපා මෛත්‍රී සමග ගාලු යාම අදිමදි කළේය.
“ඇයි පසඳ ඉන්නේ බලාගන්න”යැයි කී මෛත්‍රී හෙලිකොප්ටරයේ ලක්ෂ්මන් යාපා නංවාගෙන ගාල්ලට ආවේය. ගාල්ල සංඝමිත්තා විද්‍යාලයීය ක්‍රීඩාංගණයට මෛත්‍රී පැමිණි හෙලිකොප්ටරය නවතා තිබූ අතර මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයා ඔහු පිළිගැනීමට පැමිණියේය. ගාල්ලේ අනෙක් මැති ඇමැතිවරු වේදිකාවේ සිටිමින් මෛත්‍රී පිළිගැනීමේ සූදානමින් සිටියේය. 
ගාල්ලේ රැස්වීම අවසන් කර මහරගම රැස්වීමට යාමට නියමිතව තිබුණි. 
“ලක්ෂ්මන් මමත් එක්ක මහරගම රැස්වීමටත් යන්න එන්න ඕන”මෛත්‍රී කීවේය. අවසානයේදී මාතර රැදී සිටීමේ අපේක්ෂාවෙන් සිටි ලක්ෂ්මන් යාපාට සිදුවූයේ මෛත්‍රීගේ මෝටර් රථයෙන්ම කොළඹ ඒමටය.
රැස්වීම් සියල්ල අවසන් කර කොළඹ පැමිණි මෛත්‍රී හමුවීමට තිලංග සුමතිපාල සහ සුසිල් ප්‍රේමජයන්ත කණ්ඩායමක් රැගෙන විත් තිබුණේය. ඒ කළමනාකරණ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ කණ්ඩායමකි. ඔවුන් පැමිණ තිබුණේ මැතිවරණය ගැන සමීක්ෂණ වාර්තාවක් රැගෙනය
“මොකද ඔයගොල්ලන්ගේ සමීක්ෂණය අනුව කියවෙන්නේ”මෛත්‍රී ඇසුවේය.
“රටේ ඡන්දදායකයන්ගෙන් සියයට හැත්තෑ පහක්ම දූෂණයට වංචාවට විරුද්ධව ඉන්නවා. ඒත් ඒ අයගෙන් ඡන්ද‍පොළට යන්නේ සියයට තිස් අටක් වගේ පිරිසක් විතරයි. බඩු මිල හා උද්ධමනය ගැන සියයට විසි හතරක් විතර අවධානයෙන් ඉන්නවා. ගමට සේවය කරන්න පුළුවන් කෙනෙක්ට ඡන්දය දෙන්න ඕන කියලා සියයට දහ අටක් කියනවා. විවිධ දේශපාලන මතවාදවලට සියයට එකොළහක් විතර ඡන්දය දෙනවා”සමීක්ෂණය කළ විශ්ව විද්‍යාල ආචාර්යවරු කණ්ඩායම කරුණු පැහැදිලි කළහ.
“මේ වාර්තාව අනුව එක කණ්ඩායමකටවත් සියයට 
හතළිහකට වඩා වැඩියෙන් ඡන්ද ගන්න බෑ”තිලංග සමීක්ෂණය තවදුරටත් පැහැදිලිි කළේය.
“එහෙම නම් ගමේ වැඩපිළිවෙළ අරගෙන යන්න අපිට වගකීමක් තියෙනවා”මෛත්‍රී කීවේ ගැඹුරු කල්පනාවක් ඇතිවය.
 
 හිටපු මහ බැංකු අධිපතිගෙන් මෙහෙයුමක්  
 
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වෙමින් කාර්යබහුල වී සිටි අතර බ්‍රහස්පතින්දා දිනයේදී අරලියගහ මන්දිරයට පැමිණ සිටියේ ඒ වන විට මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු අවසන්වී තිබූ නිසාය. රනිල්ට හිතවත් ඇමැතිවරු පිරිසක් අරලියගහ මන්දිරයට සුපුරුදු පරිදි පැමිණ සිටි අතර මැතිවරණ ව්‍යාපාරය ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබුණි.
මේ අතර නිදහස්  දිනයේදී අත්අඩංගුවට පත්වූ අය ගැනත් අවධානය යොමුවිය
“නිදහස් උත්සවය සමරන අතරතුරේ හොරු අල්ලන මෙහෙයුමකුත් ගියා. අපි නිදහස සැමරුවාට හොරුන්ට නම් නිදහස නැතිවුණා” වජිර අබේවර්ධන කීවේ සිනා හඬ මැදය.
“ඇලෝසියස් අත්අඩංගුවට ගන්නවා කියන එකයි උදයංග ඩුබායිවලදි අත්අඩංගුවට ගත්තා කියන පණිවුඩයයි එකට ලැබුණේ”රනිල් කීවේය.
“ඇලෝසියස් ඇල්ලුවේ ඇත්තටම බැඳුම්කර වාර්තාව අනුව නමෛයි. අගමැතිතුමා නීතිපතිට ලියලා මේ ගැන ක්‍රියා කරන්න කියලා ඉල්ලපු නිසායි, මේ ගැන මහ බැංකු අධිපතිවරයා දාපු පැමිණිල්ලක් අනුවයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ”කිරිඇල්ල කළේ නීතිමය විග්‍රහයකි. 
“අර්ජුන් මහේන්ද්‍රන්ටත් 15 වැනිදාට කලින් වාර්තා කරන්න කියලා දැනුම්දීලා තියෙනවා නේද? සිංගප්පූරුවේ ඉන්න ඔහුයි, දැන් ඇමරිකාවේ ඉන්න ගෝඨාභයයි ඒ රටවල පුරවැසියෝ නිසා ඒ රටවල අධිකරණවලින් තහනම් නියෝග ගන්න හදනවා කියලාත් ප්‍රවෘත්ති ගියා නේද”ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා ඇසුවේය.
“උදයංග අල්ලපු එක වටිනවා. එයා ගෙනාවොත් මිග් ගනුදෙනුවේ මහා දූෂණයත් ගැන තොරතුරු එළි කරගන්න පුළුවන් වේවි” පී. හැරිසන් මන්ත්‍රීවරයා කීවේය.
“උදයංග ලංකාව ගේන එක ටිකක් ලොකු ක්‍රමවේදයක් අනුව කරන්න වෙයි කියලා ආරංචියි. ඒත් ලංකාවෙන් යන අයට ඔහුගෙන් ප්‍රශ්න කරන්න ලැබේවි. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කරන්න වෙනවා. වෙන නමකින් තියෙන පාස්‍පෝට් එකකින් ඉන්නකොටයි ඔහු අල්ලලා තියෙනනේ. හොරු මොන පැත්තේ වුනත් උපරිම වෙහෙසක් දාලා අල්ලන්න ඕන. ඒ හැම කෙනාටම දඩුවම් දෙන්න ඕන”රංජන් රාමනායක කීවේය.
“ආරංචි විදියට අර්ජුන් සිංගප්පූරු උසාවියකින් රැකවරණ ඉල්ලලා නෑ. එයා නීතීඥයන් මාර්ගයෙන් ලංකාවෙන් කල් ඉල්ලන්න යනවා කියලා ආරංචියි. පහුවෙලා ඇවිත් හරි ඔහුට ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. මේ චෝදනා නිසා රිමන්ඩ් වෙන්නත් වේවි”නවීන් දිසානායක ඇමැතිවරයා කීවේ නීති අංශවලින් ලැබුණ තොරතුරුත් හෙළි කරමිනි.
 
 නවීන් තනතුරු දුන් හැටි 
 
නවීන් දිසානායක ඇමැතිවරයා පසුගිය සතියේ වැඩි කාලයක් සිටියේ නුවරඑළියේ මැතිවරණ කටයුතුවල නිරතවෙමිනි. තැනින් තැනට යමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අතරවාරයේදී ඔහු පිළිගැනීමේ උත්සව ද සංවිධානය කර තිබුණි. ඒ තැනවලදී වාහනයෙන් බසින නවීන් ඔවුන් සමග විනාඩි කිහිපයක සුහද කතාබහක යෙදීමටද අමතක කරන්නේ නැත. ඒ සෑම තැනකදීම වතුකරයේ තරුණ තරුණියන් සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමට ඔහුට සිදුවේ. 
මේ අතර එක තැනක වාහනය නැවතූ විට ඔහු අසලට ආවේ පාසල් ගොස් පැමිණෙමින් සිටි ළමුන් හා ඔවුන්ගේ දෙමාපියන්ය.
“මේ ළමයි ටියුෂන් යනවාද”නවීන් ඇසුවේය.
“ඔව් සර්”දෙමාපියෙක් උත්තර දුන්නේය.
“මේ ළමයි උදේට ඉස්කෝ‍ලේ යනවා. හවසට ටියුෂන් යනවා. ටියුෂන් ගිහින් තමයි විභාග පාස් වෙන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. අඛණ්ඩ ඇගයිම් ක්‍රමයක් අනුව ළමුන් ඇගයීමේ ක්‍රමයක් මම අධ්‍යාපන ඇමැති වුණොත් හදනවා”නවීන් කීවේය.
මේ අතර තවත් තැනකදී ඔහුගේ ආයතනවල නිලධාරීන් පත් කළ  හැටි ගැන කතාවක් ඇදී ආවේය.
“මම ඇමැති වුණ ගමන් ආයතනවල සභාපතිවරු පත් කළා. මට තියෙන බලතල අනුව තමයි පත් කළේ. මට වැඩ කළ අය, මාත් එක්ක ඉන්න අය වෙනුවෙන් මම දේවල් කරනවා”නවීන් කීවේය.
 
 අසුන් පැනවූ හැටි 
 
 අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණේ බ්‍රහස්පතින්දා සවසය. මෛත්‍රී මෙන්ම මහින්දත් ආදාහන පූජෝත්සවයට පැමිණීමට නියමිතව තිබූ නිසා ඔවුන්ට අසුන් පැනවීම ගැන සංවිධාකයන්ට නැවත නැවත සිතා බැලීමට සිදුවිය. ඔවුන් දෙදෙනා එකම ළග අසුන් පැනවීමට නොහැකි නිසා සංවිධායකයන් අපූරු පියවරක් ගත්හ. ඒ ඔවුන් දෙදෙනා මැදට කථානායක කරු ජයසූරියගේ අසුන එක් කිරීමටය.
ඒ අනුව රනිල් එක් පසෙක වූ අතර ඉන් පසුව මෛත්‍රීගේ අසුන විය. ඉන් පසුව කරුගේ අසුන වූ අතර මහින්දගේ අසුන වෙන් කළේ ඉන් පසුවය. ඔවුන්ගේ නම් ගසමින් අසුන් වෙන් කිරීමට සංවිධායකයන් වග බලාගෙන තිබුණේය.
මෛත්‍රී පැමිණ ටික වේලාවකින් මහින්ද, ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා සමග එහි පැමිණි අතර මහින්ද මෛත්‍රීගේ මුහුණ දෙස නොබලාම තමන්ගේ ආසනයට ගොස් වාඩි වුණේය. මෛත්‍රී අසුනින් නැගිට්ටේ නැති නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමැතිවරු අසුන්වලින් නැගිට ආචාර කළෝය.
එක පේළියක ඔවුන් දෙදෙනා වාඩි වී සිටියද මුහුණට මුහුණ නොබැලීමට දෙදෙනාම වගබලාගෙන තිබුණි. එනමුත් මහින්ද රනිල් දෙස බලා සිනාසෙමින් වචන කීපයක් කතා කිරීමට අමතක කළේ නැත.
මහින්ද පැමිණ සිටි සභාවක පළමු වතාවට මෛත්‍රීට කතා කිරීමට සිදුවූයේ මෙහිදීය. “හිටපු ජනාධිපතිතුමනි” යැයි ඔහු කීවා මිස ඊට වඩා වැඩි කිසිවක් කියන්නට ගියේ නැත.
 
 රාජිතට ජපන් බිස්කට් 
 
රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගිය දිනවල පැවැති රැස්වීම් ඇමැතීමට ගියේ හෙලිකොප්ටරයකිනි. ඔහුට ගමන් කිරීමට වෙනම හෙලිකොප්ටරයක් එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගෙන තිබුණේය. රනිල්ට පෙර රැස්වීම් භූමියට යන රාජිත කතාව කරගෙන යන අතරවාරයේ රනිල් එතැනට පැමිණෙයි. රනිල්ගේ කතාවට පෙර සිය කතාව අවසන් කරන රාජිත හෙලිකොප්ටරයෙන් මීළග රැස්වීමට යන්නේ රනිල්ට පෙර එහි කතාව කිරීමටය. 
රාජිත කුලියාපිටියේ රැස්වීමට ගිය විට පිළිගත්තේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාය.
“අකිල, මම ඔයා නිසාම තමයි මෙහේ ආවේ”රාජිත කීවේය.
රාජිත වේදිකාවටග ගොස් අසුන් ගත් විට අනෙක් මැති ඇමැතිවරු ඇසුවේ දිවා ආහාරය රැගෙන පැමිණියේද යන්නයි.
“මට දවල්ට කන්න වෙලාවක් තිබුණේ නෑ. කන්න හිටියා නම් මට මේ රැස්වීමට වෙලාවට එන්න වෙන්නේ නෑ” රාජිත කීවේය.
එය ඇසුණ ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා ආවේ බිස්කට් පැකට් එකක් රැගෙනය.
“ඇමැතිතුමා, මේ මට ජපානයෙන් ලැබුණ ජපන් බිස්කට් එකක්. මේක කන්න” රාජිත එදින දහවල් වේල පිරිමසා ගත්තේ ජයවික්‍රම පෙරේරාගේ ජපන් බිස්කට් එකෙනි.
ඊට පසුදින රාජිත තලතා අතුකෝරළ ඇමැතිවරිය සමග රත්නපුරයේ රැස්වීම්වලට සහභාගී විය.  ඒ වන විට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන තිබූ අතර රාජිත තලතාගෙන් ඇසුවේ එහි නීතිමය තත්ත්වයන් ගැනය.
“උදයංග ලංකාවට ගේන්න අවශ්‍ය නීතිමය කටයුතු අපි කරනවා”තලතා කීවේ අධිකරණ ඇමැතිවරිය ලෙස ඇය ගෙන තිබෙන පියවර ගැනය.
 
 සජිත්ගෙන් ඩ්‍රම්ස් වාදනයක් 
 
මේ දිනවල දේශපාලන වේදිකාවේ කතා පවත්වන දේශපාලනඥයන් මෙන්ම ගීත ගායනා කරන දේශපාලනඥයන්ද වේ. දේශපාලන වේදිකාවේ කතා පැවැත්වීමෙන් පසුව සංගීත සංදර්ශනයක්ද සූදානම් කරන්නේ රැස්වීමට වැඩි සෙනගක් ගෙන්වා ගැනීමටය. 
සෑම පක්ෂයකම ගීත ගායනා කිරීමට හැකි මැති ඇමැතිවරුන්ට ඒ නිසා ඇත්තේ  වැඩි ඉල්ලුමකි. එයින් වැඩියෙන්ම අපහසුතාවයට පත්ව සිටින්නේ රංජන් රාමනායකය. 
“මට දැන් හරි වැඩේ වෙලා තියෙන්නේ. කිසිම තැනක ගිහින් කතාව විතරක් කරලා එන්න බෑ. සිංදුවකුත් කියලා තමයි එන්න වෙන්නේ” රංජන් තමන්ගේ හිතවතුන්ට පැවැසූහ
මේ අතර පියල් නිශාන්ත, දයාසිරි ජයසේකර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන දේශපාලන වේදිකාවේ ගීත  ගායනා කරමින් සිටිනු දකින්නට ලැබුණේය.
සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා හම්බන්තොට පැවති රැස්වීමකට සහභාගී වූ විට වේදිකාවේ පිටපුස සංගීත කණ්ඩායමක් සිටියේය.
“සර් සිංදුවක් කියන්න”රැස්වීමේ සංවිධායකයෙක් පැමිණ කීවේය.
“මම සිංදු කියන්නේ නැතිව වෙන දෙයක් කරන්නම්”යැයි කී සජිත් ගියේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා වෙතය.
“ඔයා ඔතැනින් නැගිටින්න”යැයි කී සජිත් ඩ්‍රම්ස් වාදකයාගේ අසුනේ අසුන්ගෙන ඩ්‍රම්ස් වාදනය කරන්න විය. 
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් 
ගුණවර්ධනගේ පුත් යදාමිණී ගුණවර්ධන පසුගිය සතියේ දේශපාලන රැස්වීම්වලට සහභාගී වෙමින් සිටින අතරවාරයේදී හේන්පිටගෙදර ප්‍රදේශයේ පැවැති ජන හමුවකටද සහභාගී විය. ඔහු රැස්වීමට ගොස් තිබුණේ සිය බිරිය වන සමන්මලී සකලසූරිය සමගය. යදාමිණී රැස්වීම අමතා වේදිකාවේ අසුන්ගෙන සිටියදී සර්පයෙක් ඔහුගේ පාදයට දෂ්ට කර තිබුණි.
“‍පොළගෙක් තමයි කන්න ඇත්තේ”එතැන සිටි අයෙක් කී විට සමන්මලී ද කලබලයට පත්විය. වහාම ඔහු රෝහලකට රැගෙන ගියේ කඩිනමින් ප්‍රතිකාර දීමටය.
“‍පොළගෙක් නමෛයි කාල තියෙන්නේ. දියබරියෙක්”ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු පැවැසූහ. ඉන් පසුව තුවාලයට ප්‍රතිකාර ගත් ඔහු නැවත පැමිණියේ කලින් සිටි රැස්වීමටමය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේදී දේශපාලන රැස්වීම් රැසකට එක්විය. කටුනායක පැවැති රැස්වීමට මහින්ද පැමිණි විට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා තමන්ගේ වාහනයට ආරක්ෂක නිලධාරියෙක් යැව්වේය. ඔහු නැවත පැමිණියේ ප්‍රසන්නගේ වාහනයේ තිබූ කේක් ගෙඩියක් රැගෙනය. කේක් ගෙඩියක් වේදිකාවට ගෙන ආවේ ඩුලිප් විජේසේකර මන්ත්‍රීවරයාගේ උපන්දිනය සැමරීමටය.
ප්‍රසන්නගේ රහස් උපන්දින සැමරුම් උත්සවය ගැන ඩුලිප් දැන  සිටියේ නැත. මහින්ද කතාව අවසන් කරන විට ප්‍රසන්න මහින්ද අසලට ගියේය.
“අද ඩුලිප් මන්ත්‍රීතුමාගේ උපන් දිනය. අපි කේක් කපමුද” ප්‍රසන්න අසන විට මහින්දත් සිනා සෙමින් කේක් ගෙඩිය තිබූ තැනට ආවේය. කේක් කැපූ මහින්ද පළමු කේක් කෑල්ල කැව්වේ ඩුලිප්ටය.
 
 ප්‍රසන්න - ප්‍රසන්න අවුලක් 
 
බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීම් මාලාවකට සහභාගී වූයේ ප්‍රසන්න සමගය. මිනුවන්ගොඩ රැස්වීම් හතකට සහභාගී වූ බැසිල් පෑලියගොඩ පැවැති රැස්වීමකට සහභාගීවීමට ඒමට නියමිතව තිබුණි. ඒ ජන හමුව සංවිධානය කර තිබුණේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාය. රාත්‍රී නමයයි තිහ වන විටත් බැසිල් ප්‍රසන්න රණවීරගේ රැස්වීමට පැමිණියේ නැත. ඒ වන විට ‍පොලීසිය පෑලියගොඩ රැස්වීම අවසන් කරන ලෙස රණවීරට දැනුම්දී තිබුණේය.
“දැන් ඔබතුමාලා නොආවත් කමක් නැහැ”ප්‍රසන්න රණවීර ඇමතුමක් ගෙන ප්‍රසන්න රණතුංගට කීවේ අමනාපයෙනි.
“බය වෙන්න එපා මචං. මම දහයට පහක් තියලා හරි බැසිල් ඇමැතිතුමා ඔතැනට ගේනවා”ප්‍රසන්න ‍පොරොන්දු විය. ඔහු කී ලෙසම බැසිල් එතැනට ආවේ දහයට පහක් තිබියදීය.
“ඔන්න මම කිව්ව වෙලාවටම එක්කගෙන ආවා”එතෙක් වේලා අමනාපයෙන් සිටි ප්‍රසන්න රණවීර අසලට ගිය ප්‍රසන්න රණතුංග කීවේ ඔහුගේ පිටට තට්ටුවක්ද දමමිනි.
 
 මහින්දගේ මන්ත්‍රීගේ  වාහනය උස්සලා 
 
මහින්ද සහභාගී වූ කුරුණෑගල අවසන් රැස්වීමට එක් අපේක්ෂකයෙක් ආවේ සුඛෝපභෝගී ජීප් රථයෙනි. එහෙත් ඔහුට නැවත එම ජීප් රථයෙන් තමන්ගේ නිවසට යාමට නොහැකි විය. මේ අපේක්ෂකයා රැස්වීමට එන බව දැනගත් පිරිසක් ඔහු එන තෙක් රැස්වීම් භූමියට වී බලා සිටියහ. එසේ බලා සිට තිබුණේ ජීප් රථයේ ලීසිං පහසුකම ගත් සමාගමේ සීසර්වරුය. ඔහු රැස්වීමට ජීප් රථයෙන් එන විටත් වාහනයට ලක්ෂ දහ අටක වාරික ගෙවීම් ප්‍රමාද වී තිබුණි.
“අපි ලීසිං සමාගමෙන්. වාහනය අරගෙන යන්න ආවේ” යැයි කී ලීසිං සමාගමේ නියෝජිතයෝ වාහනය රැගෙන ගියහ.
අවසානයේදී අපේක්ෂකයාට සිදුවූයේ වෙනත් අයෙකුගේ වාහනයකින් ‍පොලීසියට යාමටය.
“ලීසිං සමාගමෙන් කියලා ආපු කට්ටියක් මගේ වාහනය අරගෙන ගියා” අපේක්ෂකයා ‍පොලීසියට පැමිණිලි කළේය. ‍පොලීසියට පැමිණිල්ල කළ ඔහු එතැනින් ගියේ තමන්ගේ හිතවතකුගේ වාහනයකිනි. 
 
 තිලකජය
IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1296

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 732

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2851

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3900

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6935

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6137

Please publish modules in offcanvas position.