Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහින්දගේ අනාගතය ගැන ඉන්දියාවෙන් අනාවැකියක්

සයිටම් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළේ පසුගිය සතියේදීය. එම නිවේදනය නිකුත් වීමෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හා වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට ගියේ මේ ප්‍රශ්නය ගැන කතා කිරීමටය. සයිටම් ගැටලුව ගැන එහිදී විවෘතව අදහස් හුවමාරු විය.
“සයිටම් එක මෙතැනින් නවතින්නේ නෑ. වෙනත් ආයතනයක් හරහා ඒක පවත්වාගෙන යනවා” මෛත්‍රී දැක්වූ අදහසට වඩා වෙනස් අදහසක් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඉදිරිපත් කළේය.
“එතකොට ජනාධිපතිතුමා අපි කාගේ කතාවද පිළිගන්න ඕන. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය වැරදියිද” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ ඇසූහ.
“රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය හරි. ඒක තමයි රජයේ ස්ථාවරය” මෛත්‍රී කීවේ කිරිඇල්ලට නිහඬ වන ලෙස අතින් සංඥා කරමිනි.
මේ සතියේ සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී අඟහරුවාදා උදෑසන පැවැත්විණි. කැබිනට් මණ්ඩලයේදී කාගේත් අවධානය යොමුවී තිබුණේ තෙල් ප්‍රශ්නය කෙරෙහිය. කැබිනට් රැස්වීම ආරම්භයේදීම අර්ජුන රණතුංග ඇමැතිවරයා තෙල් ප්‍රශ්නය ගැන අදහස් දක්වන්න විය.
“තෙල් ප්‍රශ්නය ආණ්ඩුවට හොඳ නෑ. මේ ප්‍රශ්නය නිසා මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට. ඒක හොඳ නෑ. අන්තිමේදී මේ ප්‍රශ්න නිසා ජනාධිපතිතුමා අපහසුතාවට පත්වීමයි වෙන්නේ” දයාසිරි ජයසේකර ඇමැතිවරයා අර්ජුනගේ ක්‍රියාකලාපය විවේචනය කළේය.
“මේ ප්‍රශ්නය සුළුවෙන් තකන්න බෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. මේ වගේ වෙලාවලට තෙල් ස්ටොක් එකක් තියාගන්නේ නැති එකනේ ප්‍රශ්නය වෙන්නේ. මෙතැන මාෆියාවක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. මගේ කාලයේදීත් මේ මාෆියාව ක්‍රියාත්මක වුණා. අපි මේ ප්‍රශ්නය විසඳාගන්නේ කොහොමද කියලා දැන් බලන්න ඕන. මේවා එකිනෙකට බැඳිලා එන ප්‍රශ්න” පාඨලී කීවේ තමන් බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී සිදුවූ දේ ගැනද සිහිපත් කරමින්ය.
“මම මේ අමාත්‍යාංශයේ වැඩ භාරගෙන තවම මාස තුනයි. කලින් අය කරගෙන ආපු විදියටම මම තෙල් අරගත්තා” අර්ජුන කීවේ තෙල් ප්‍රශ්නයේ වගකීම චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා වෙත පටවමිනි.
“කොහොමද මාස තුනක් විතරක් වෙන්නේ. ඔබතුමා අමාත්‍යාංශය අරගෙන දැන් මාස හයක් වෙනවා. අපේ කාලයේදී මේ වගේ ප්‍රශ්න ආවේ නෑ” චන්දිම තමන්ගේ නිදොස් බව පෙන්වීමට උත්සාහ ගත්තේය.
“තත්ත්වයෙන් බාල තෙල් ගෙනාවම පළමුවෙනි ටෙස්ට් එකෙන් ෆේල් වුණාම දෙවැනි ටෙස්ට් එක කරනවා. දෙවැනි එක ෆේල් වුණාම තුන්වැනි ටෙස්ට් එක කරනවා. එහෙම කරලා මේ තෙල් අරගන්න තිබුණා. ඒත් තුන්වැනි ටෙස්ට් එක කරලා හරි බාල තෙල් ගනිපු නැති එක නම් හොඳයි” දයා ගමගේ ඇමැතිවරයා කතා කළේ අර්ජුනට පක්ෂවය.
එහෙත් කැබිනට් මණ්ඩලයේ බහුතරයක් සිටියේ අර්ජුනට පක්ෂව නොවේ. “ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට මැදිහත්වෙන්න. ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා සොයා බලන්න” දයාසිරි මෛත්‍රීගෙන් ඉල්ලුවේය.
“මේ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්න ඕන. ඒ විතරක් නමෛයි වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන්න ඕන” මෛත්‍රී තදින් කීවේය. ඒ අනුව ඇමැති අනු කමිටුවක් පත් කර තෙල් ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන්නැයි මෛත්‍රී දැනුම් දුන්නේය. එම කමිටුවේ විශේෂත්වය වූයේ විෂය භාර ඇමැති අර්ජුන එහි නොමැති වීමය. සරත් අමුණුගම, අනුර ප්‍රියදර්ශන හා චම්පික රණවක එම කමිටුවට පත් කෙරුණි.
 
ලිෆ්ට් එකේ හිරවූ ඇමැති
 
අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් මණ්ඩලය රැස්වන්නේ අයවැය යෝජනා කැබිනට් මණ්ඩලයේදී සම්මත කිරීමටය. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වනවා වෙනුවට බ්‍රහස්පතින්දා දහවල් පාර්ලිමේන්තුවේදී කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවා තිබුණේය. ඒ අනුව මෛත්‍රී පාර්ලිමේන්තුවට පැමිණියේ කැබිනට් රැස්වීමට සහභාගීවීමටය. 
විශේෂ අයවැය කැබිනට් හමුවේදී මුදල් ඇමැති මංගල සමරවීර අය වැය යෝජනාවල සාරාංශයක් කැබිනට් මණ්ඩලය හමුවේ තැබුවේය. 
“මේ පාර අයවැය මගින් බඩු මිල අඩු කරනවා. බඩු මිල වැඩි වෙන වෙලාව වෙළෙන්දෝ බෝඩ් එක වෙනස් කළාට බඩු මිල අඩුවෙන වෙලාවට ඒ විදියට බෝඩ් එක වෙනස් වෙන්නේ නෑ. මත්පැන්වලට බදු අය කරනවා. ඒත් බිරවල මිල අඩු වෙනවා. සැර වැඩි ඒවා වැඩි කරලා සැර අඩු ඒවා අඩු කරනවා” මංගල කීවේය.
“මත්පැන්වල මිල අඩු කරන්න එපා” මෛත්‍රී ඒ යෝජනාවට හරස් කැපුවේය.
“අඩු කරනවා කියලා කිව්වට සර් මේවා අඩු කරන්නේ සමාජයට අහිතකර නොවෙන විදියටයි” මංගල මිල සූත්‍රයක් සකස් කිරීම ගැන පැහැදිලි කළේය.
“පැයක් හෝ දෙකක් ඇතුළත අයවැය කතාව කරලා ඉවර කරන්න පුළුවන්” මංගල අයවැය කතාව ගැනත් කීවේය. කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරු පිරිස ගියේ දිවා ආහාරය ගැනීමටය. දිවා ආහාරය ගැනීමෙන් පසුව මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඉහළ මාලයට යාමට විදුලි සෝපානයට නැග්ගේය. ඔහු ඉහළ මාලයට යාමට බොත්තම එබුවද එය ක්‍රියාත්මක වූයේ නැත. දෙතුන් වතාවක් ඔහු බොත්තම එබූ නමුත් විදුලි සෝපානය ක්‍රියාත්මක වූයේ නැත. පසුව ඔහුට ඉහළ මාලයට යාමට සිදුවූයේ තරප්පුපෙලිනි.
මෛත්‍රී පසුගිය සතියේදී මාතරට පැමිණියේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයාගේ ආරාධනයකට අනුව සංවර්ධන වැඩසටහන් විවෘත කිරීමටය. මෛත්‍රී මාතරට එන විට තවත් අමුත්තෙක් එහි පැමිණ සිටියේය. එසේ පැමිණියේ දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේනය. ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කළ මනෝජ් මෛත්‍රී හමුවී ආණ්ඩුවට සහාය දෙන බව කියා තිබුණේ එහිදීය.
ලක්ෂ්මන් යාපා දිවා ආහාරය සූදානම් කර තිබුණේ ඔහුගේ නිවසේය. මෛත්‍රී දිවා ආහාරයට ඔහුගේ නිවසට ගියේය.
“ලක්ෂ්මන් දැන් ඔයාට තව අවුරුදු ගානකට මේ පැත්තට කරන්න දෙයක් නෑනේ. ඔයා ඉතිං කරන්න ඕන දේවල් ටික කරගෙන තියෙනවානේ” මෛත්‍රී කීවේ සංවර්ධන වැඩකටයුතු සඳහා මුදල් සොයා ගැනීමට ලක්ෂ්මන් යාපා දක්වන සමත්කම ගැන සිහිපත් කරමින්ය.
“තවම ඉවර නෑ සර්. තව වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටිකට මට උදව් කරන්න” ලක්ෂ්මන් යාපා ඉල්ලා සිටියේය.
 
බැසිල් අයිමත් බැන්දාද? 
 
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක පසුගිය සතියේදී කියා තිබුණේ ඒකාබද්ධ විපක්ෂයට ඉන්දියාව සහාය ලබාදෙන බවය. බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග ඉන්දියානු කාන්තාවන් සමග විවාහව සිටින නිසා ඉන්දියාව ඔවුන්ට සහාය ලබාදෙන බව ඔහු කියා තිබුණේය. මේ කතාව ආරංචිවූ පසුව ප්‍රසන්න, බැසිල්ට දුරකතන ඇමතුමක් දුන්නේය.
“සර් අයිමත් කසාදයක් බැන්දාද” ප්‍රසන්න ඇසුවේය.
“නෑ. ප්‍රසන්න. මොකද එහෙම ඇහුවේ”බැසිල් ඇසුවේ පුදුමයෙන්ය.
“ඌවේ මහ ඇමැති කියනවා බැසිලුයි ප්‍රසන්නයි බැදලා ඉන්නේ ඉන්දියන් කාන්තාවෝ හින්දා ඉන්දියාව ඒකාබද්ධ විපක්ෂයට බලයට එන්න උදව් කරනවාය කියලා. ඒක නිසයි සර් අපි කාටත් හොරා අයිමත් බැන්දද කියලා ඇහුවේ ඒකයි”ප්‍රසන්න කීවේ සිනාසෙමින්ය.
“ඔවා ගණන් ගන්න එපා ප්‍රසන්න. මිනිස්සුන්ට කියන්න දෙයක් නැතිවුනාම තමයි ඕවා කියන්නේ. මේ අයගේ කතාවලට උත්තර දෙන්න ගියාම අපිත් ඒ අයගේ ගොඩට වැටෙනවා”බැසිල් කීවේ ප්‍රසන්න සනසමිනි. 
පසුගිය සතියේදී ප්‍රසන්න හේවාහැට බලා ගියේ මහින්දානන්ද අලුත්ගමගේ කළ ආරාධනාවක් අනුවය. ප්‍රසන්න පේරාදෙණිය තානායමට  එන තෙක් මහින්දානන්ද එහි බලා සිටියේය.
“මොකද පරක්කු වුනේ” මහින්දානන්ද ඇසුවේය.
“නෝනගේ උප්පැන්නේ හොයන්න ගිහින් පරක්කුවුණා”ප්‍රසන්න කීවේය.
“නෝනගේ උප්පැන්නේ. ඒ මොකටද”මහින්දානන්ද උඩ බිම බලමින් ඇසුවේය.
“නෑ.. සමහර අය මේ කියනවානේ මගේ නෝනා ඉන්දියාවේ අයෙක් කියලානේ. එයා ඉන්දියාවේ කෙනෙක් වුණත් ඉපදුනේ ලංකාවේ. ඉතිං මිනිස්සු මේවා ගැන අහනකොට නිකම් කියලා වැඩක් නෑනේ. සාක්කි ඇතිවම කියන්න ඕනනේ. ඒ හින්දා දැන් යන යන තැන උප්පැන්නෙත් අරගෙන යන්න වෙලා තියෙනවා”ප්‍රසන්න කියන විට මහින්දානන්දට සිනාව නවතා ගැනීමට නොහැකි විය.
 
මහින්ද සෝභිත හිමි සමරුම්
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සති අන්තය ගත කළේ තංගල්‍ලේය. ඒ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුව සඳුදා යෙදී තිබුණේය. සඳුදා රාත්‍රියේදී මැදමුලන නිවසේ පිරිත් සජ්ඣායනක්ද පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මහින්ද සමග පිරිත් සජ්ඣායනය අතරවාරයේදී කතා කරමින් සිටියේ ඉන්දීය සංචාරය ගැනය.
“ඉන්දියාවේ එක මහ ඇමැතිවරයෙකුයි, තවත් පක්ෂ නායකයින් කීප දෙනෙකුයි මට ආයිමත් ජනාධිපති වෙන්න පුලුවන් කියලා කිව්වා. එහෙම කිව්වට මේ අය බලයට ආපු ගමන් ව්‍යවස්ථාව වෙනස් කළා කියලා ඒ අය දැනගෙන හිටියේ නෑ”මහින්ද සිනාසෙමින් කීවේය.
පසුදින උදෑසන තංගල්ල නගර මධ්‍යයේ ඉදිකර ඇති ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්‍පෝපහාර දැක්වූයේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මහින්ද පුෂ්‍පෝපහාර දක්වමින් සිටින විට පාරෙන් එහා පැත්තේ සිටි අයෙක් ඔහුගේ ඇස ගැටුණි.  ඒ මහින්දගේ දේශපාලන වැඩවලට උදව් කරන යාපනයේ තරුණයෙකි. ඔහු යාපනයේ සිට තංගල්ලට පැමිණ සිටියේ ගුණ සමරුවට සහභාගීවීමටය.
“අර පාරෙන් එහා පැත්තේ ඉන්න කෙනාට එන්න කියන්න”මහින්ද තමන්ගේ ආරක්ෂකයෙක්ට කීවේ ඔහුට 
පුෂ්‍පෝපහාර දැක්වීමට අවස්ථාවක් ලබාදීමටය. ඉන් පසුව මහින්ද ඔහුත් කැඳවාගෙනම තංගල්ල නගර ශාලාවට ගියේ එහි තිබූ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දේශනයට එක්වීමටය.
මහින්ද පසුදා පාර්ලිමේන්තුවට ගියේය. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයට පැමිණෙන විට අනුර ප්‍රියදර්ශ යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත එක මේසයකට වී කතා කරමින් සිටියහ. ඔවුන් සියලුදෙනාම දිවා ආහාරය ගත්තේ එම මේසයේය. තෙල් අර්බුදය ගැන ඔවුන් කතා කරමින් සිටින විටදී චන්දිම වීරක්කොඩි ඇමැතිවරයාත් එතැනට ආවේය.
“මම ඇමැති වෙලා ඉන්න කා‍ලේ ගෑස් සමාගමක් බදු දෙන්න යෝජනා කළා. මම යෝජනා කළේ වැඩි කොටස ආණ්ඩුවට එන විදියට දෙන්නයි. ඒත් යෝජනාව යට ගියා”චන්දිම කීවේය.
“කොහොමත් මේ ආණ්ඩුව හදන්නේ ජාතික සම්පත් විකුණන්නේ”මහින්ද කීවේ චන්දිමගේ කතාව ගණනකට නොගනිමිනි. මහින්දගෙන් වැඩි ප්‍රතිචාරයක් නොලැබුණ තැන චන්දිම එතැනින් ලිස්සා ගියේය. චන්දිම එතැනින් ගිය පසුව මහින්ද, අනුර සහ සුසිල් කතාව දිගටම කරගෙන ගියේය. තෙල් කතාව දිගටම ඇදී යද්දී රවුෆ් හකීම් ඇමැතිවරයා එතැනට පැමිණියේය. 
“කොහොමද කාන්තා නියෝජනය ගැන දැන් ගැටලුවක් නැද්ද”මහින්ද හකීම්ගෙන් ඇසුවේය.
“‍පොඩි ‍පොඩි ගැටලු තිබෙනවා. හැබැයි ඉතිං අපිට තියෙන ක්‍රමේට යන්න වෙනවානේ”හකීම් පිළිතුරු දුන්නේය.
“අපිටනම් ප්‍රශ්නයක් නෑ. ඕනෑ තරම් කාන්තාවෝ ඉන්නවානේ”මහින්ද කීවේය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් කෝට්ටේ නාග විහාරයේදී පැවැති පිංකමට සහභාගී වන්නැයි ලැබුණ ආරාධනාවක් මත මහින්ද පසුගිය සතියේදී එහි ගියේය. ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මහින්ද පැරදවීමට කටයුතු කළ සෝභිත හිමියන්ගේ ගුණ සමරුවට මහින්ද පැමිණෙනු දුටු කවුරුත් පුදුමයට පත්වූහ. මහින්ද එහි එන විට විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද එහි විය.
 
මහින්දට බසියිකල් ලැබුණ හැටි
 
අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේදී ඒකාබද්ධ වික්ෂයේ මන්ත්‍රීවරු පාර්ලමේන්තුවට ආවේ පා පැදිවලිනි. මන්ත්‍රීවරුන්ට පාපැදි සොයාදීමේ වගකීම පැවරී තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාටය. ඒ අනුව ඔහු තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයෙක්ට පැවසුවේ පාපැදි සොයා දෙන ලෙසය. ඒ අනුව එම ව්‍යාපාරිකයාගේ සහායෙන් මහින්දානන්ද පාපැදි දියත උයනට ගෙනවිත් තිබුණේය.
මහින්ද ඇතුළු මන්ත්‍රීවරු දියත උයනේ සිට පා පැදිවලින් පාර්ලිමේන්තුව දෙසට පැමිණියහ. පාර්ලිමේන්තු පිවිසීිම අසලට මහින්ද ඇතුළු පිරිස පාපැදිවලින් එද්දී මහින්ද යාපා, පියල් නිශාන්ත සහ දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට පැමිණියේ ගොන් කරත්තයකය. එහෙත් පාර්ලිමේන්තු පිවිසීිම අසලදී ‍පොලීසියෙන් ඔවුන්ට පාපැදිවලින් යාමට අවසරයක් ලැබුණේ නැත. මහින්දගේ ඉදිරියෙන් ගිය ජොන්ස්ටන් ප්‍රනාන්දු සියල්ල වීඩියෝගත කළේය. 
“පාර්ලිමේන්තුවට එන්න ඕන කොහොමද කියලා නෑනේ. ඒ නිසා අපිට බයිසිකල්වලින් යන්න පුලුවන්”මහින්දානන්ද  තර්ක කළේය.
පාපැදිවලින් පැමිණි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඇතුළට ගියේ මහජන පිවිසුම් දොරටුවෙනි. ඒ මහජන පිවිසුම් දොරටුව අසල පාපැදි නතර කරමිනි. පාර්ලිමේන්තුවට ගිය ඔවුන් මුලින්ම ගියේ කතානායක කාර්යාලයටය. ඒ කතානායකවරයාට පැමිණිල්ලක් කිරීමටය.
“පියල් නිශාන්ත මන්ත්‍රීතුමා බේරුවල ඉඳලාම කරත්තේ ආවේ. ඊයේ රෑ හතයි හතහළිස් පහේ ඉදලා කරත්තෙන් එනවා”එතැන සිටි මන්ත්‍රීවරයෙක් කතානායකවරයාට පැමිණිලි කළේය.
“මම කට්ටිය ගැන දන්නේ නැද්ද ඉතිං”කතානායක කරු ජයසූරිය කීවේ උපහාසාත්මක සිනාවක් මුවට නංවාගනිමිනි.
 
රනිල් මාධ්‍ය සමග කිපෙයි
 
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අරලියගහ මන්දිරයට පැමිණියේ පාර්ලිමේන්තුවේ අයවැය ‍ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට යාමට සූදානම්වය. උදෑසන පුවතපත් කියවූ රනිල් තරමක කනගාටුවට පත්විය. ඒ ආණ්ඩුව විසින් දී තිබූ රුපියල් මිලියන එක්දහස් පන්සියයක සහන මල්ල ගැන ප්‍රමාණවත් මාධ්‍ය ප්‍රචාරයක් ලබා නොදුන් නිසාය. 
“ජනාධිපතිතුමාගේ කතාවට මුල් තැනක් දීම ප්‍රශ්නයක් නෑ. ඒත් අධික ණය බර හා ආර්ථික අමාරුකම් මැද ආණ්ඩුව ජනතාවට දුන් සහන මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලය ලෙස ඉස්මතුකරලා නොපෙන්වීම ජනතාවට මෙන්ම ආණ්ඩුවටත් කරපු අසාධාරණයක්” රනිල් තමන්ගේ හිතවතුන්ට කීවේ මාධ්‍ය ගැන කතා කරමිනි. 
පසුව ඔහු මංගල සමරවීර ඇමැතිවරයාටත්, කබිර් හෂීම් ඇමැතිවරයාටත් දුරකථන ඇමතුම් දෙකක් ගත්තේය. ඒ ඔවුන් නිසි පරිදි ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ නොවන බවට චෝදනා කිරීමටය.
“දවස් තුන්සිය හැටපස් දවසේම කිසිම ආණ්ඩුවකට ජනතාවට සහන දෙන්න බෑ. ඒත් එවැනි සහනයක් දීපු වෙලාවේ එකට සාධාරණ ප්‍රචාරයක් නොගැනීම අපේම වරදක්. පසුගිය ආණ්ඩුව රුපියල් සියයක වැඩකට ලක්ෂයක ප්‍රචාරයක් ගත්තා. අපි ලක්ෂ සියයක වැඩකට රුපියල් සියයකවත් ප්‍රචාරයක් අරගන්නේ නෑ. ජනමාධ්‍යවලටම බැනල වැඩක් නෑ” රනිල් දුරකථනයේ එහා සිටි ඇමැතිවරුන්ට කීවේ තරමක් තදිනි. 
“මේ ගැන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් හා කර්තෘවරුන්ගෙන් හරි නම් අහන්න ඕන” එතැන සිටි ඇමැතිවරයෙක් කීවේය.
“ආණ්ඩුවට ගහන ප්‍රවෘත්ති ලොකුවට දාන්නයි, පත්තරයි අනිත් මාධ්‍යයි හරි ආසයි. ජනාධිපතිතුමාගේ කතාවයි බඩු මිල අඩු කිරීමයි ලීඩ් දෙකක් විදියට ඕන නම් ඒ අයට ගන්න තිබුණා. මාධ්‍ය ඇමැතිට බඩු මිල අඩු කරපු වැඩෙත් හරියට කරලා ප්‍රචාරයක් ගන්න බැරිවෙලා. ඉතිං මුළු ආණ්ඩුවේම වැඩ ප්‍රචාරය කරන්නේ කොහොමද” රනිල් කීවේ නළල රැළි ගන්වමිනි. 
මේ නිසා ජනමාධ්‍ය මෙහෙයවීමටත් ඔවුන් සමග කතා බස් කිරීමටත් අගමැතිවරයා යටතේ ප්‍රබල තනතුරක් ඇති කිරීමේ වැදගත්කම ගැන එහිදී සාකච්ඡා විය. රනිල්ගේ හිතවතුන්ගේ දැන් උත්සාහය වන්නේ රජයේ මාධ්‍ය ආයතනයක සභාපතිවරයෙක් එම තනතුරින් ඉවත් කිරීමටය. ඒ වෙනුවට වෙනත් අයෙකු සභාපති ධුරයට පත් කිරීමටත් අලුතින් ඇති කරනු ලබන තනතුරට රනිල්ගේ හිතවතෙක් පත් කිරිමටත් යෝජනාවී තිබේ. ඒ අනුව දැනට රජයේ මාධ්‍ය ආයතනයක සභාපති ධුරයක් සහ තවත් ආයතයක වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ධුරයක් දරන අයෙකු මේ තනතුරට පත් කිරීමට රනිල් හිතවාදීන්ගේ උත්සාහය වී තිබේ.
 
මාරාන්තික උපවාසයට ගිය මන්ත්‍රී
 
සයිටම් ආයතනය වසා දමන ලෙස බල කරමින් මාරාන්තික උපවාසයක් කැඳවා තිබුණේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ගේ දෙමාපිය සංගමය විසින්ය. දෙමාපියන්ගේ උපවාසයට ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල එක්විය. ඒ ඔහුගේ දරුවන් දෙදෙනෙක් වෛද්‍ය සිසුන් වන නිසාය. සිය සහෝදර මන්ත්‍රීවරයා උපවාස කරන අට්ටාලයට විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගිය අතර ඔහු මාරාන්තික උපවාසයට එක්ව සිටින අයගේ දුක සැප සොයා බැලුවේය.
හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයා උපවාසයේ යෙදී සිටින අය හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව උපවාසය නතර කිරීමට එකඟවිය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්වරම උපවාසය අතහැරීමට කැමැත්තක් දැක්වූයේ නැත.
“ආණ්ඩුව සයිටම් අහෝසි කිරීමට ‍පොරොන්දු වෙලා තිබෙන නමුත් ඊට එහා ගිය ඉල්ලීම් දිනාගැනීමට දෙමාපියන් සූදානම් නම් තමන් දිගටම මාරාන්තික උපවාසයේ යෙදී සිටිනවා” ඔහු කීවේය. පසුව හර්ෂ සමග පැයක් පමණ සාකච්ඡාවකින් පසුව ඔහුගේ උපවාසය අතහැරියේය. 
මේ අතර තෙල් ප්‍රශ්නය ගැනත් ජනතා විමුක්ති පෙරමුණ සිය අවධානය යොමු කළේය.
“එක තෙල් නැවක් නැවතුනාම රටේ තෙල් නැති වෙනවා. තෙල් ‍පෝලිම්වල ඉන්න මිනිස්සු ආණ්ඩුවට බැන්නට ඇත්ත තත්ත්වය ජනතාව දන්නේ නෑ” විජිත හේරත් කීවේය. 
“මේ ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළාම ඇත්ත තත්ත්වය දැනගන්න පුළුවන්කම ලැබෙනවා” අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කීවේය. ඒ අනුව වෘත්තීය සමිතිවල අදහස්ද ලබාගෙන විශේෂ ප්‍රකාශයක් සකස් කළේය. 
“කෝ ඛනිජ තෙල් ඇමැති හරි උත්තරයක් මට දුන්නේ නෑ. එයා ප්‍රශ්නයෙන් පැනලා ගියා” විශේෂ ප්‍රකාශය කිරීමෙන් පසුව අනුර කුමාර සභාවෙන් එළියට පැමිණියේ එසේ කියමිනි.
 
 තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 167

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1489

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2277

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2212

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 5079

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4672

Please publish modules in offcanvas position.