Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විශ්වාසභංගයට අත්සන් ගත්තේ මංගල සාදයෙදී

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී රැස්විය. මේ සතියේ කැබිනට් රැස්වීමේදී කාගේත් අවධානය යොමු වූයේ පවතින නියං තත්ත්වය වෙතය. නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම පිළිබඳ මූලික වශයෙන් එහිදී සාකච්ඡාවට ලක්විය. 
“නියං සහනාධාර බෙදා දීම නියමිත පරිදි වෙන්න ඕන. මීට පෙර ලබාදුන් සහනාධාර නිසි පරිදි ලැබි නැහැ. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් සහ සමෘද්ධි නිලධාරීන් රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් ආධාර නිසි පරිදි බෙදා දෙන්නේ නෑ. ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ වුවමනාව මතයි. රජය ගැන විවේචන ඉදිරිපත් කරනවා. මේ ගැන අවධානය යොමු කළ යුතුයි” සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේය.
“සහනාධාර විනිවිදභාවයෙන් යුතුව බෙදා හරිනවා. පැමිණිලි තිබෙනවා නම් ඒවා ලබාදෙන්න. රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි සහනාධාර ලබාදෙන්නේ නැතිනම් ප්‍රාදේශීය ‍ලේකම්වරු මගින් පරීක්ෂණ  කරන්න පුළුවන්”එස්.බි. සජිත්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
“ඇතැම් අවස්ථාවලදී සහනාධාර බෙදාහැරීමේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට අසාධාරණකම් සිදුවෙනවා. ඒ ගැන පැමිණිලිත් තිබෙනවා. ඒ නිසා සහනාධාර බෙදාදීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ගමට ගිහින් සොයා බලන්න. සමෘද්ධි නිලධාරීන් මතම යැපෙන්නේ නැතිව සාධාරණව බෙදාදෙන්න” මෛත්‍රී කීවේය.
“සමහර සමෘද්ධි නිලධාරී කාර්යාල හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාල බවට පත්වෙලා” මංගල සමරවීර ඇමැතිවරයා චෝදනා කළේය.
“මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ආධාර බෙදාදීමේ ‍ලේඛන දිස්ත්‍රික් ‍ලේකම්වරුන් මගින් පරීක්ෂා කිරීම සුදුසුයි” මෛත්‍රී යෝජනා කළේ අසාධාරණයක් නොවන ආකාරයට නියං ආධාර බෙදා දෙන ලෙස එස්.බි. ට උපදෙස් දෙමිනි.
මේ අතර උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් ගැන තමන් ප්‍රකාශයක් නිකුත් කළ බවට පළවන වාර්තා ගැනත් මෛත්‍රී අවධානය යොමු කළේය.
“මේ වගේ සිද්ධියක් ගැන ප්‍රකාශයක් නිකුත් කරනවිට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතිය යටතේ ප්‍රකාශ නිකුත් කරන්න ඕන කියලා මම අමාත්‍යාංශ ‍ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා. ඒත් එවැනි අනුමැතියකින් තොරව තමයි ප්‍රකාශ නිකුත් කරලා තියෙන්නේ” රවි පැහැදිලි කළේය.
 
කුඩු ප්‍රශ්න
 
මේ අතර සතොසට පැමිණි කන්ටේනරයකින් හෙරොයින් තොගයක් හමුවීම ගැන රිෂාඩ් බදියුදීන් අවධානය යොමු කළේය.
“සතොස කන්ටේනරයකින් කුඩු හමුවුණා. මේවා වෙන්නේ කොහොමද? ජනාධිපතිතුමනි මේ ගැන සොයා බලන්න” රිෂාඩ් ඉල්ලා සිටියේය.
“පසුගිය කාලයේ දිගමට කුඩු ඇල්ලුවා. මේ අල්ලන ඒවා නඩු භාණ්ඩ විදියට ඉදිරිපත් කළත් එහෙම ඉදිරිපත් කරන්නේ ටිකයි. අනෙක් ඒවාට මොකද වෙන්නෙ කියලා කවුරුවත් දන්නේ නෑ” මෛත්‍රී කීවේය.
“නඩු භාණ්ඩ විදියට මේවා ඉදිරිපත් කරනවා. ඒවා නඩු භාණ්ඩ ගබඩාවලට යවනවා” සාගල පැහැදිලි කළේය.
“කුඩු ඇල්ලුවට සමාජයේ කුඩු අඩුවක් නෑ” දයාසිරි ජයසේකර ඇමැතිවරයාත් කතාවට එක්විය.
“මේවාට මොකද කරන්නේ කියලා සොයා බලන්න ඕන. සුසිල් ඇමැතිතුමයි, සාගල ඇමැතිතුමයි, විජේදාස ඇමැතිතුමයි එකතුවෙලා මේවාට මොකද කරන්න ඕන කියලා වාර්තාවක් හදලා ඉදිරිපත් කරන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය.
මේ අතර අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා විදුහල්පතිවරුන්ට දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේය. 
“දැන් වැඩ බලන විදුහල්පතිවරු ඉන්නවා. ඒ අයට මේ දීමනාව ලැබෙන්නේ නැද්ද?” ඇමැතිවරයෙක් ඇසුවේය.
“වැඩබලන අයට ලැබෙන්නේ නෑ. විදුහල්පතිවරුන්ට විතරයි මේක ලැබෙන්නේ” අකිල පැහැදිලි කළේය.
“අපේ පළාත්වල මහන්සිවෙලා වැඩ කරන්නේ වැඩබලන විදුහල්පතිවරු. ඒ අය ගුරුවරු විදියට වැඩ  කරනවා වගේම විදුහල්පතිවරු විදියටත් වැඩ කරනවා. ඒ අයටත් මේ දීමනාව ලැබෙන්න ඕන”දයාසිරි වැඩ බලන විදුහල්පතිවරු වෙනුවෙන් පෙනී සිටියේය.
“එහෙම වුණොත් ලොකු මුදලක් මේකට වැය කරන්න වෙනවා. විශාල ප්‍රතිපාදනයක් අවශ්‍යයි” සාගල එයට එකඟ නොවීය.
“මේක මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කා‍ලේ් වුණ වරදක්. මේ අයට විදුහල්පති ශේ්‍රණියක් හදන්න තිබුණා. එහෙම නැතිව දැන් මේ අය වැඩ බලන විදුහල්පතිවරු විදියට විතරක් වැඩ කරනවා” දයාසිරි කීයේය.
“විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයේදී මමත් ඉන්නේ විදුහල්පතිවරුන්ගේ පැත්තේ” මහින්ද අමරවීරත් දයාසිරි වෙනුවෙන් පෙනී සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු අකිල වෙනුවෙන් පෙනී සිටින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දයාසිරි වෙනුවෙන් පෙනී සිටියහ.
 
ආර්ථික කමිටුවට බාලගිරි දෝෂය
 
ජාතික ආර්ථික කමිටුවක් පිහිටුවීම සදහා මෛත්‍රී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය සතියේය. එමකැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබුණේ ඒ ගැන අධ්‍යයනය කිරීමට සතියක කාලයක් අවශ්‍ය බවට රනිල් ඉල්ලීම නිසාය. එමකැබිනට් පත්‍රිකාව මේ සතියෙත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබුණි.
“මට මේ ගැන අධ්‍යයනය කරන්න තවත් දවස් තුනක් අවශ්‍යයි” රනිල් තවත් කල් ඉල්ලුවේය.
“අගමැතිතුමාට තවත් දවස් තුනක් නමෛයි තවත් සතියක කාලයක් දෙන්නම්. ලබන සතියේදී ඔබතුමාගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න” මෛත්‍රී කීවේය.
 
රනිල්ගේ විවාදයට චම්පික නෑ
 
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ සිටියේ මඩකලපුවේය. කොළඹ පැමිණි රනිල් අවධානය යොමු කළේ සිය දේශපාලන ජීවිතයට වසර හතළිහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන විවාදය ගැනය. 
“මේ විවාදය ඒකාබද්ධයේ අයයි, ජනතා විමුක්ති පෙරමුණේ අයයි මග අරින්න හදනවා වගෙයි. චමල්ලා 
දිනේෂ්ලා විවාදයට එන්න කැමැතියි. ඒත් වීරවංශලා, ගම්මන්පිලලා වගේ අය තමයි මේක වළක්වන්නේ. ඒකාබද්ධයේ හුඟක් අය මට කතා කළා. මේ අවස්ථාවට එන්න බැරි වෙන එක ගැන ඔවුන් තමන්ගේ කනගාටුව ප්‍රකාශ කළා” කිරිඇල්ල කීවේය.
“ඒකාබද්ධයේ කීප දෙනෙක් මටත් කතා කළා. වෙනත් පක්ෂවල අයනේ ඒකාබද්ධයේ ඉන්න ශ්‍රී ලංකා අයත් මෙහෙයවන්නේ” රනිල් කීවේය.
“හතර වෙනිදාට එන්න බැරි නම් අට වෙනිදට අපි විවාදය දාගනිමු” දයා ගමගේ ඇමැතිවරයා තවත් යෝජනාවක් කළේය.
“දිනේ වෙනස් කරලත් ඒ අය ආවේ නැතිනම් ඒ අය දිනුවා වෙනවා. මේ විවාදය මග ඇරීම එයාලට තමයි හොඳ නැත්තේ. යටින් වැඩ කරන අය උඩින් වැඩ කරන්න බයයි. ඒක තමයි ඇත්ත” විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කීවේය.
“චම්පික රණවකගේ අම්මාගේ දානය එදා නිසා එන්න අමාරුයි කියලා මට කතා කළා. මට කතා කරලා සුබපැතුවා” රනිල් කීවේය.
“77දී මාත් එක්ක පාර්ලිමේන්තුවට ආපු අය අතරින් අදත් ඉන්නේ ජයවික්‍රම පෙරේරයි, සම්බන්ධනුයි විතරයි. ජයවික්‍රම අතරමගදී පළාත් සභාවට ගියා. සම්බන්ධන් පැරදුණා” රනිල් අතීතය සිහිපත් කළේය.
 
බ්ලැක්මේල් කළ තානාපති
 
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රනිල් ඇමැතිවරු කිහිපදෙනෙකුට අරලියගහ මන්දිරයට එන්නැයි කියා තිබුණේය. ඔවුන් පැමිණි විට රනිල්ගේ අවධානය යොමුවූයේ හම්බන්තොට වරාය වෙතය.
“හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ වැඩේ හරියට කරලා මහින්ද සමරසිංහ රටට තිබුණ ලොකු බරක් සැහැල්ලු කළා” එතැන සිටි ඇමැතිවරයෙක් කීවේය.
“හම්බන්තොට වරාය පාඩුයි. කොළඹ වරාය උපයපු රුපියල් මිලියන හතළිස් හත්දහසක් හම්බන්තොට ණය ගෙවන්න දානවා. අන්තිමේදී වෙන්නේ වරාය අධිකාරියම පාඩු වෙන එකයි. මේ ගිවිසුම නිසා වරාය අධිකාරිය බංකොලොත් නොවී බේරෙනවා” එතැනට පැමිණ සිටි දයා ගමගේ කීවේය.
“හම්බන්තොට වරාය බදුගත්ත චීන සමාගම තවත් රටවල් පහළොවක ප්‍රධාන වරායන් පනස් පහක් මෙහෙයවනවා කියලා මහින්ද සමරසිංහ වැදගත් කරුණක් රටට හෙළි කළා” වජිර අබේවර්ධන ඇමැතිවරයා කීවේය.
“බොරු විරෝධතා දැක්වූවාට මහින්ද රාජපක්ෂට මේ ගිවිසුමට විරුද්ධ වෙන්න බෑ. මීට වඩා අවාසි කොන්දේසි යටතේයි එයා මේ වරාය චීනෙට දෙන්න උත්සාහ කළේ. අපි දීපු විවාදයෙනුත් පැනලා ගියේ මේ වැඩේට විරුද්ධ නැති නිසයි” රනිල් කීවේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සිදුවූ දේ ගැනත් සිහිපත් කරමිනි.
“අපි හම්බන්තොට ගැන කතා කරන්න තවත් විවාදයක් දෙනවාද” විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා ඇසුවේය.
“දීපු විවාදය එපා කියපු අයට තවත් විවාද දෙන්නේ මොකටද. එයාලා වරාය ගිවිසුමට පක්ෂයි” රනිල් කීවේ මහින්ද මේ ගිවිසුමට කිසිදු විරෝධයක් නැති බව කියමිනි.
“මහින්ද මේ විවාදයෙන් පැනලා ගියේ මේ ව්‍යාපෘතියට සම්බන්ධ එක රටක තානාපතිවරයෙකුගෙන් ලැබුණ දුරකථන ඇමතුමකට පස්සෙයි” විජේදාස තවත් රහසක් හෙළි කළේය.
 
නවීන්ට විදේශ ඇමැතිකම?
 
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක පසුගිය සති අන්තයේ සිටියේ කොත්ම‍ලේය. කොත්ම‍ලේ මහා සෑයේ භාරකාරත්වය, භාරකාර මණ්ඩලයක් යටතට පැවැරීම ගැන ප්‍රදේශයේ නායක හිමිවරුන්ගේ අදහස් ලබාගැනීමට නවීන්ට අවශ්‍ය වී තිබුණි. කොත්ම‍ලේ මහා සෑය ගැන කතා කිරීමට ගියත් නවීන්ට සිදුවූයේ වෙනත් දේශපාලන කරුණු ගැන වැඩියෙන් කතා කිරීමටය. ඒ සති අන්තය වන විට දේශපාලන කරළියේ පැතිර ගොස් තිබූ කතාවක් නිසාය. 
“ඇත්තද ජනාධිපතිතුමා ඔබතුමාට විදේශ කටයුතු ඇමැති ධුරය ලබාදෙන්න හදනවාය කියන්නේ” භික්ෂූන්වහන්සේ නමක් විමසුවේය.
“විදේශ කටයුතු ඇමැති ධුරය වෙනස් කරනවාය කියලා මම නම් දන්නේ නෑ. මම එහෙම ඉල්ලීමක් කරලාත් නෑ” නවීන් උත්තර දුන්නේය.
“ඒත් දැන් තියෙන අමාත්‍යාංශය හොඳයි. මේ අමාත්‍යාංශයේ සිටියදී අපේ ප්‍රදේශයේ මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන්. රටට දෙයක් කරන්න පුළුවන්. විදේශ කටයුතු ඇමැති ධුරය ගත්තොත් රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්ක තමයි වැඩි ගනුදෙනුවක් කරන්න වෙන්නේ. විදේශ රටවල නායකයන් හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කරන එක හොඳයි. ඒත් මේ වෙලාවේ අපේ පැත්තේ මිනිස්සුන්ට වැඩි සේවයක් කරන එක තමයි වැදගත් වෙන්නේ” එම නායක ස්වාමීන්වහන්සේ කීවේය.
“ඔබතුමාට විදේශ කටයුතු අමාත්‍යාංශය දෙන්න හදනවාය කියන එක අපිටත් ආරංචියි. ඔබතුමාගේ තාත්තටත් විදේශ රටවල රාජ්‍ය නායකයන් එක්ක හොඳ සම්බන්ධතාවක් තිබුණානේ. ඒ අමාත්‍යාංශය අරගන්න එක තමයි හොඳ තවත් විහාරස්ථානයට ගිය විට නායක ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.
මේ අතර නවීන්ට ලැබුණ දුරකථන ඇමතුම් කිහිපයකින්ද මේ ගැන විමසා තිබුණේය. ඒ නිසා ඔහු ජනාධිපතිවරයාට සමීප අයෙක්ට දුරකථන ඇමතුමක් දුන්නේය.
“විදේශ කටයුතු ඇමැති ධුරය වෙනස් වෙනවා නම් ඒක නවීන්ට දෙන්න ඕන කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒක තමයි ඔය හැම තැනම යන ආරංචිය” ඔහු නවීන්ට කීවේය.
 
රවීට විරුද්ධ මන්ත්‍රීවරු
 
විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුද මේ ගැන සිය අවධානය යොමු කළේය. ඒ අනුව මෙයට ගන්නා පියවර ගැන තැන තැන ඔවුන් සාකච්ඡා කරන්නට විය.
“අපි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙමු” මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කළත් එම යෝජනාව ඉදිරියට ගියේ නැත.
මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම ගැනත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් යෝජනා කළේය. ඒ යෝජනාවට පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්ද සහය දැක්වූවේය. ඒ අනුව රවිට විරුද්ධව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්දයට ගන්නා විට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු කණ්ඩායමක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට නියමිතය.
 
හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලගේ විවාහ මංගල උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වුණේ කොළඹ තරු පහේ හෝටලයකය. රමිතගේ අත ගත්තේ නටාලිය. විවාහයේ ප්‍රධාන සාක්ෂිකරුවන් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂය. විවාහයට ආරාධනා කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන්ට පමණි.
රමිතගේ විවාහ මංගල උත්සවය අතරවාරයේදී තවත් කටයුත්තකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මුලපුරා තිබුණේය. ඒ රවි කරුණානායක ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබිමටය. විශ්වාසභංග යෝජනාව සකස් කිරීමේ වගකීම පැවැරී තිබුණේ බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේට සහ රෝහිත අබේගුණවර්ධනටය. දිනේෂ්, බන්දුල, මහින්දානන්ද සහ ප්‍රසන්න මුලින්ම අත්සන් තැබූහ. එහෙත් මහින්ද එයට අත්සන් කර තිබුණේ නැත. විවාහ උත්සවයේ සිටි කෙහෙළිය අත්සන් කළේ අවසානයටය. 
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසුන් පනවා තිබුණේ එක ළඟය. රෝහිත හා මහින්දානන්ද ගීත ගායනා කරමින් උත්සවය රසවත් කළෝය. 
රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පැමිණ සිටියේ රැවුලක් වවාගෙනය. 
“මොකද මේ රැවුල වවාගෙන. කලකිරීමෙන්ද ඉන්නේ” නාමල් ඇසුවේය.
“නෑ...මම මේ  බැලුවේ රැවුල වැව්වම ලස්සනද කියලා” රොෂාන් පිළිතුරු දුන්නේය.
“මම මේ බැලුවේ කලකිරීම නිසා රැවුල වැව්වද කියලයි”නාමල් කීවේ සිනාසෙමිනි.
“නෑ.. නෑ..දැන් ඒ ප්‍රශ්න සේරම ඉවරයි” රොෂාන් උත්තර දුන්නේ පසුගිය කාලයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ඇති කරගත් ගැටුම් ගැනත් සිහිපත් කරමින්ය.
මේ අතර රවි කරුණානායක ඇමැතිවරයා බැඳුම්කර කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය.
“දැන් එතකොට බිරිඳයි දුවයි ගත්ත ගේක තමයි තමන් පදිංචිවෙලා ඉන්නේ කියලා රවි කරුණානායක දන්නේ නෑ” ප්‍රසන්න ඇසුවේය.
“ඒකනේ වැඩේ. ගෙදර කෙරෙන කිසිම දෙයක් රවි දැනගෙන ඉඳලා නෑනේ” රෝහිත කීවේය.
“ඔහොම යද්දී තව මොනවා දන්නේ නෑ කියලා කියාවිද දන්නේ නෑ” පියල් කීවේ සිනාසෙමිනි.
“ඉස්සරහට කට උත්තර නැති බව දන්න නිසා තමයි සාක්ෂි හදාගන්න සතියක් කල් ගත්තේ’ බන්දුල කීවේය.
“මම පාර්ලිමේන්තුවේදී ගේ ගැන කිව්වම මට බැන්නා. දැන් ඒවා සේරම එළිවෙලා ඉවරයි” මහින්දානන්ද කීවේය.
“ජනතාව ඉස්සරහා හොරුන්ට අන්දපු අපිට එරෙහිව එකම චෝදනාවක් වත් ඔප්පු කරන්න බැරි වුණා. ඒත් ආණ්ඩුවේ අය හොරු කියලා දැන් එළිවෙලා ඉවරයි. ඒ අයගේ හොරකම් එළිවෙලා අසරණව ඉන්නවා දැක්කම දුකත් හිතෙනවා” ප්‍රසන්න කීවේය.
“ඕකට තමයි කළකම් පලදෙනවා කියලා කියන්නේ. බොරුවෙන් ඇවිත් බොරුවෙන්ම ඇනගත්තා” රෝහිත පැවැසුවේය.
“තව ඉස්සරහට සෙල්ලම් එළිවේවි. හොරු වගේම හොරකමට අනුබල දුන්න අයටත් කොමිසම ඉස්සරහට යන්න වේවි” ප්‍රසන්න කීවේය.
 
මුතුහෙට්ටිගමගේ කෝච්චිය
 
අභාවප්‍රාප්ත වූ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහින්ද එහි ගියේය. මහින්ද එහි යනවිට රමේෂ් පතිරණ හා මොහාන් පී. සිල්වා මෙන්ම නිශාන්ත මුතුහෙට්ටිගම  නියෝජ්‍ය ඇමැතිවරයාද විය. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව මහින්ද ආවේ මුතුහෙට්ටිගම සිටි තැනටය.
“මොකද වරාය ගිවිසුමට වුණේ” මහින්ද ඇසුවේය.
“මම සර් කලින් ඉඳලම ඒකට ෆයිට් කළානේ” මුතුහෙට්ටිගම උත්තර දුන්නේය. ඉන් පසුව ආණ්ඩුවේ කරුණු කිහිපයක් ගැනද ඔවුන් දෙදෙනා කතා කළෝය.
“මුතූ මේ පාරනම් අන්තිම කෝච්චිය මිස් කරගන්න එපා” මහින්ද කතාව අවසන් කරමින් කීවේ මුතුහෙට්ටිගමගේ පිටට තට්ටුවක්ද දමමිනි.
“මේ පාර නම් සර් මම කොහොම හරි අල්ලගන්නවා” මුතුහෙට්ටිගමත් උත්තර දුන්නේය.
 
ඒකාබද්ධය වර්ජනයක
 
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පසුගිය සතියේ පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙන්ය. එහිදී වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ රනිල්ගේ දේශපාලන ජීවිතයට වසර හතළිහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය ගැනය. 
“රනිල් වික්‍රමසිංහගේ දේශපාලන මතවාදයට එකඟ වෙන්න අපිට පුළුවන්කමක් නැහැ. කෙහෙළිය කතාව ආරම්භ කළේය.
“එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීගය ගැන අපිට ලොකු විරෝධයක් තිබෙන නිසා අපිට මේකට සහභාගි වෙන්න බෑ” ප්‍රසන්න පෙන්වා දුන්නේය.
“අපිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට වගේම රනිල්ගේ ප්‍රතිපත්තිවලට එකඟ වෙන්න විදියක් නැහැ. ඒ ප්‍රතිපත්ති නිසා රටට හොඳක් වෙන්නේ නෑ” මහින්ද පැවැසුවේය.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කළේ සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවිය යුතු බවය. 
“හම්බන්තොට වරාය විකුණලා  දැන් මහින්ද මහත්තයා ශ්‍රැංගිල්ලා හෝටලයට ඉඩම් සින්නක්කරව විකුණලා දැම්මා කියලා කියනවා” පක්ෂ නායක රැස්වීමේ අවධානය හම්බන්තොට වරාය දෙසට යොමු කළේ ප්‍රසන්නය.
“හම්බන්තොට වරාය විකුණපු එක සාධාරණීකරණය කරන්නයි මේ අය හදන්නේ. හෝටලයක් හදන්න යන අක්කර කීපයක් පර්යත්න හතරක්, ජැටි දොළහකට සමාන කරන්න පුළුවන්ද. මේවා විහිළු කතානේ” මහින්ද කීවේය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 109

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 157

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 243

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1879

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3062

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2100

Please publish modules in offcanvas position.