lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

මහින්ද ඡන්දේ ඉල්ලූ කුරුණෑගලට මෛත්‍රීගෙන් සුද්දයක්

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය උණුසුම් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව නිසාය. අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබූ මෙම කැබිනට් පත්‍රිකාවට ආර්ථික කමිටුවේද අනුමැතිය හිමිව තිබුණේය. එහෙත් දයාසිරි ජයසේකර හා චන්දිම වීරක්කොඩි ඇමැතිවරයාත් එයට විරුද්ධවීම හමුවේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන විවාදය උණුසුම් විය. එහෙත් සතිය අවසාන වනවිට තත්ත්වය ඊට වඩා වෙනස් විය. තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ උත්සාහය සාර්ථක වූයේ හිටපු ඉන්දීය විදේශ ‍ලේකම් ශිව ෂංකර් මෙනන් රහසේම ලංකාවට පැමිණ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රකයින් සමග කළ සාකච්ඡාත් සමගය. ශිව ෂංකර් මෙනන් ලංකාවට පැමිණියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් දින දෙකකට පසුවය. ඔහු ලංකාවට පැමිණියේ නිල සංචාරයක් ලෙස නොවේ. ජර්මානු සංගමයක ජාත්‍යන්තර සාකච්ඡාවක් කොළඹදී සංවිධානය කර තිබුණි. එම සාකච්ඡාවට ශිව ෂංකර් මෙනන් සහභාගීවීමට නියමිතව තිබුණේ එම සංවිධානයේ සාමාජිකයෙක් ලෙසය. ඒ නිසා ඔහු ලංකාවට පැමිණ රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්ඡා කළ බව කිසිදු මාධ්‍යයක පළවූයේ නැත.
ශිව ෂංකර් මෙනන් ලංකාවට පැමිණ සිය සාකච්ඡා අතරවාරයේදී මුලින්ම හමුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. මෛත්‍රී සමග කළ සාකච්ඡාවෙන් පසු ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ හමුවිය. ඔහු රනිල් හමුවූයේ අරලියගහ මන්දිරයේදීය. ශිව ෂංකර් මෙනන් අරලියගහ මන්දිරයට පැමිණීමට පෙර රනිල් වික්‍රමසිංහ චන්දිම වීරක්කොඩි ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් දුන්නේය.
“ඉන්දීය හිටපු විදේශ ‍ලේකම්තුමා මාව හමුවීමට එනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන කතාකරන්න. ඔයත් දැන් මෙතැනට එන්න” රනිල් චන්දිමට දැනුම් දුන්නේය.
ඒ අනුව චන්දිම අරලියගහ මන්දිරයට ගියේය. ඒ වනවිට ශිවෂංකර් මෙනන් තෙල් ටැංකි දීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා අවසන් කර තිබූ අතර රනිල් සමග සාකච්ඡා කළේ තෙල් ටැංකි පැවරීමට අදාළ ගිවිසුම් සකස් කිරීම් පිළිබඳවය.
“තෙල් ටැංකි පහළොව බැගින් ලංකාව හා ඉන්දියාව අතර තියාගනිමු. ඉතිරි තෙල් ටැංකි කල්බදු ක්‍රමයක් යටතේ රටවල් දෙකම එකතුවෙලා පාලනය කරමු” චන්දිමගේ යෝජනාව විය. එහෙත් රනිල් හා ශිවෂංකර් මෙනන් සිටියේ වෙනම ස්ථාවරකය. ඔවුන් දෙදෙනා පැවැසුවේ දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාවිත කරන තෙල් ටැංකි එකොළහ එසේ තිබියදී තෙල් ටැංකි දා හතරක් ඉන්දියාවට දීමටය. ඉතිරි තෙල් ටැංකි රටවල් දෙක එකතුවෙන් පාලනය කිරීමටත් තීරණය විය.
මැයි මාසයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ආරාධිතයෙක් ලෙසය. මෝදි ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තෙල් ටැංකි පැවරීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමට නියමිතය. රනිල් තෙල් ටැංකි පැවැරීමට අදාළ ගිවිසුම පිළිබඳ අවසන් තීරණය ගැනීම කඩිනම් කර තිබුණේ මෝදිගේ පැමිණීමටත් ඊට පෙර ඉන්දීය විදේශ ‍ලේකම්වරයා ලංකාවට පැමිණෙන විට ගිවිසුමට අදාළ කරුණු අවසන් කරගැනීමට අවශ්‍ය වූ නිසාය.

සංවිධායක ධුර පත් කළ හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකධුර මේ දිනවල වෙනස් කරමින් තිබේ. මැයි දිනයෙන් පසුව ඉදිරි මැතිවරණයකට සූදානම් වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාවයි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධව සිටින මන්ත්‍රීවරුන්ට සිය ආසන සංවිධායකධුර අහෝසි විය. දැනට සති දෙකකට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධව සිටින මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකධුර අහෝසි කෙරුණි. රමේෂ් පතිරණ හා මොහාන් පී. සිල්වාගේ ආසන සංවිධායකධුර අහෝසි කර මෛත්‍රීට හිතවත් ආසන සංවිධායකයින් ඒ සඳහා පත්කරනු ලැබුවේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය සිකුරාදා නව ආසන සංවිධායකවරු පත්කෙරුණි. සිකුරාදා ආසන සංවිධායකවරු සියලු දෙනාටම පත්වීම් ලබාදීමට නියමිතව තිබුණි. ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ආසන සංවිධායකධුරය අහෝසි කරමිනි. ජොන්ස්ටන්ට දී තිබූ නිකවැරටිය ආසනය දුන්නේ ඔහු සමග එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණි ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිවරයාටය. ‍පොල්ගහවෙල ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ ටිකිරි බණ්ඩා අධිකාරී ආසනයෙන් ඉවත් කර ජයරත්න හේරත්ට එම ආසනය දී තිබුණි. දයාසිරි ජයසේකර ඇමැතිවරයාට දීමට නියමිතව තිබුණේ බිංගිරිය ආසනයයි. එහෙත් දයාසිරි තමන්ගේ දේශපාලනය ආරම්භ කර තිබුණේ පඬුවස්නුවර ආසනයෙන්ය. පඬුවස්නුවර ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත්වී වැඩිම මනාප ගත් දයාසිරි එවර පුංචි ඡන්දයෙන් ලංකාවෙන්ම වැඩිම මනාප ගණනක් දිනාගනිමින් වාර්තාවක්ද තබන ලදි. එතැන් සිට වාර්තාගත මනාප සංඛ්‍යාවක් ගනිමින් දයාසිරි පළාත් සභාවටත් පාර්ලිමේන්තුවටත් තේරී පත් විය. පඬුවස්නුවර ආසනය වෙනුවට බිංගිරිය ආසනය දෙනවාට දයාසිරිගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.
“මට දේශපාලනය කිරීමට මොන ආසනය ලැබුණත් ගැටලුවක් නැහැ. මට ලැබෙන ඕනෑම ආසනයක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමට මම කටයුතු කරනවා. මට පඬුවස්නුවර ආසනයම දෙන්න කියලා මම ඉල්ලලා නැහැ” දයාසිරි තමන්ගේ ආසන සංවිධායකධුරය ගැන හිතවතුන්ට පැවැසුවේය.
මේ ගැන මෛත්‍රී මෙන්ම පක්ෂයේ මහ ‍ලේකම් දුමින්ද දිසානායක දැන සිටියහ. ඒ නිසා සිකුරාදා ආසන සංවිධායක පත්වීම් ලබාදීම අතරමග නතර කෙරුණි. බිංගිරිය, පඬුවස්නුවර, ‍පොල්ගහවෙල සහ කුරුණෑගල ආසන සඳහා සඳුදා දිනයේදී යළිත් පත්වීම් ලබාදෙන ලද්දේ පඬුවස්නුවර ආසනය නැවත දයාසිරිටම දෙමිණි. ඔහු සමග තවත් ආසන සංවිධායකවරු තිදෙනෙක් හා දිස්ත්‍රික් සංවිධායකවරු තිදෙනෙක් පත් කරනු ලැබිය.

මෛත්‍රී මහ ගෙදරට

මෛත්‍රී පසුගිය සඳුදා උදෑසනම ‍පොළොන්නරුව බලා පිටත්ව ගියේය. තමන්ගේ ගම් ප්‍රදේශය බලා මෛත්‍රී පිටත්ව ගියේ අලුත් සහල් මංගල්‍යයට සහභාගිවීමටය. ‍පොළොන්නරුව ගල් විහාර පුදබිමේ අලුත් සහල් මංගල්‍ය පැවැති අතර මෛත්‍රී අලුත් සහල් මංගල්‍යයට ගියේ ලක්ෂ උයනේ ගමේ තමන්ගේ කුඹුරෙන් නෙලාගත් අස්වැන්නේ පළමු කොටසද රැගෙනය. අස්වැන්නේ පළමු කොටස රැගත් මෛත්‍රී ගල් විහාරයට ගොස් පළමුවෙන්ම ගියේ සැතපෙන බුදු පිළිම වහන්සේ අසලටය. සැතපෙන පිළිමයේ පා දෝවනය කරමින් ආගමික වතාවත්වලට එක්වූ මෛත්‍රී අලුත් සහල් මංගල්‍යයේදී තමන්ගේ කුඹුරේ අස්වැන්න ගෙන අලුත් සහල් පුරවන බඳුනට පිරවූයේ එය බුද්ධ පූජාවට යොදාගත හැකි ලෙසය.
අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙන ස්ථානයට පැමිණි ජනතාව අතර ශ්‍රවණාබාධිත දැරියක් පැමිණ සිටියාය. ඇය මෛත්‍රී අසලට ගොස් තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්න යැයි ඉල්ලා සිටියේ සංඥා භාෂාව භාවිත කරමිනි.
“සර් මේ ළමයාගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ” එතැන සිටි අයෙක් සංඥා භාෂාව පරිවර්තය කළේය.
“එයාට කියන්න මම ඒ දරුවාගේ අධ්‍යාපනය ගැන සේරම බලාගන්නම් කියලා. මේ දරුවාට අවශ්‍ය සියලුම දේ දෙන්න” මෛත්‍රී එතැන සිටම උපදෙස් දුන්නේය.
පසුව මෛත්‍රී ගියේ සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් බැහැදැකීමටය. උන්වහන්සේ බැහැදැක පිරිකර පූජා කළ මෛත්‍රී පරාක්‍රම සමුද්‍රය අසලට ගියේය. ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙක් පමණක් රැගෙන පරාක්‍රම සමුද්‍රය අසලට ගිය ඔහු ටිකවේලාවක් විවේකයෙන් එහි ගත කළේය. කිසිදු දේශපාලනඥයෙක් එම ගමනට සම්බන්ධ කර නොගත් ඔහු පරාක්‍රම සමුද්‍රය අසලට පැමිණ ඇති බව ගමේ ගම්මුන්ට ආරංචි විය. ඒ ආරංචිය ලැබූ ගම්වැසියන් පරාක්‍රම සමුද්‍රය අසලට ගොස් ඔහු මුණගැසී සුහදව කතා බස් කළේය.
එතැන් සිට මෛත්‍රී ගියේ ලක්ෂ උයන තමන්ගේ මහ ගෙදරටය. ටකරං සෙවිලි කළ වහලක් ඇති නිවස අවට වැවී තිබූ කැලෑව සුද්ධ පවිත්‍ර කර පලතුරු වගා කරන්නැයි මෛත්‍රී තමන්ගේ බාල සහෝදරයාට කියා තිබුණේ මීට පෙර ‍පොළොන්නරුවේ තමන් උපන් නිවසට ගිය අවස්ථාවේදීය. ගේ අවට වල්බිහිවී තිබෙනු දුටු මෛත්‍රී ඔහුට දොස් පවරා තිබුණේ නිවස වටා විශාල තාප්පයක් බැඳ කොටුවී සිටි නිසාය. කෙසේවෙතත් මෙවර මෛත්‍රී මහගෙදරට යනවිට පලතුරු වගාව ආරම්භවී තිබුණි.
‍පොළාන්නරුවේ සිට මෛත්‍රී නැවත කොළඹ පැමිණි පසුව ඔහු හමුවීමට ආවේ ජාතික නැකත් කමිටුවේ සාමාජිකයින්ය. චාරිත්‍රානුකූලව නැකැත් කමිටුවේ පිරිස නැකත් සීට්ටුව භාරදීමට මෛත්‍රී හමුවීමට ජනාධිපති නිල නිවසට පැමිණියේ සංස්කෘතික කටයුතු ඇමැති එස්.බි. නාවින්න සහ එම අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා සමගය. දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක ඇතුළු ඇමැතිවරු පිරිසක් ඒ වනවිටත් ජනාධිපති නිල නිවසට පැමිණ සිටියහ. ඔවුන් සමග එක්ව මෛත්‍රී නැකැත් සීට්ටුව භාරගත්තේය.

රනිල් ජපානයට

අගමැති රනිල් වික්‍රමසිංහ අලුත් අවුරුද්ද ගතකරන්නේ දේශපාලන කටයුතුවලින් මිදීය. දින කිහිපයකට තමන්ගේ දේශපාලන කටයුතු නතර කරන ඔහු සිය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ සමග විවේකය ගතකිරීමට බොහෝවිට තෝරාගන්නේ මලික් සමරවික්‍රමගේ වැලිගම නිවාඩු නිකේතනයයි. නැතිනම් දියතලාවේ සිය පරම්පරාවට අයත් ආකේඩියා බංගලාවට යන ඔහු දේශපාලන බර පසෙක තබා සැහැල්ලුවෙන්  දින කිහිපයක් ගතකරයි.
එහෙත් මෙවර රනිල්ට එසේ විවේකයෙන් අලුත් අවුරුද්ද ගතකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ජපානයේ නිල සංචාරයක් සඳහා මෛත්‍රී එක්වන නිසාය. මෛත්‍රී සමග මලික් සමරවික්‍රම, ආචාර්ය සරත් අමුණුගම යන ඇමැතිවරුද එක්ව සිටියහ. ජපානයේ විදේශ වෙළෙඳ සංවිධානයේ මූලිකත්වයෙන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් හමුවට එක්වූ රනිල් ආර්ථිකය ගැන දීර්ඝ කතාවක් කළේය. දකුණු ආසියානු හා බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ ඉදිරියේදී ජනගහනය මිලියන 250 දක්වා ඉහළ යන බැවින් ඒ සඳහා මුහුණදීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම රනිල් එහිදී අවධාරණය කළේය.
“අපේ රටේ වරායන් විදේශ හමුදාවන්ට දෙන්නේ නැහැ. සියලුම වරායන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ලංකාවේ නාවික හමුදාව පමණයි” රනිල් ජපානයේ ව්‍යාපාරිකයින්ට පැවැසුවේය.
ජපානයේ සංචාරය නිමකරන රනිල් නැවත ලංකාවට එන්නේ අවුරුද්දෙන් පසුවය.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණියේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමටත් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දීමටත්ය. සම්මුඛ සාකච්ඡාව ආරම්භ කරන අවස්ථාවේදීම ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ ඔහුගේ සොයුරාගෙනි. එම ඇමැතුමෙන් කියවුණේ ඔහුගේ මෑණියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට පත්වී ඇති බවය.
“අම්මට ටිකක් සනීප මදි. ඒ නිසා මට යන්න වෙනවා. සමාවෙන්න” යැයි මාධ්‍යවේදියාට කියූ ඩලස් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට කතා කර ඔහු මාධ්‍යවේදියා අසලට කැඳවාගෙන ආවේය.
“ඔයා බන්දුල එක්ක ඉන්ටර්විව් එක කරන්න. මම යන්නම්” කී ඩලස් මාතර බලා පිටත්ව ගියේය. ඩලස් කොළඹ සිට මාතර පැමිණි දිනට පසුදා ඔහුගේ මෑණියන් අභාවප්‍රාප්ත විය. ඩලස්ගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මන්ත්‍රීවරු රැසක් කොළඹ සිට මාතර බලා පැමිණ සිටියහ. දේහයට අවසන් ගෞරව දැක්වීමට ගිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නිවසේ තැනකට වී කතා කළේ මාධ්‍යයෙන් තමන්ට ලැබෙන ඉඩ ගැනය.
“අපි කොච්චර වැඩ කළත් මාධ්‍යයෙන් ඒවාට ඉඩක් ලැබෙන්නේ නෑ. මට ඔබතුමාගෙන් අහන්න දෙයක් තියෙනවා. ඔබතුමා ලංකාවේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හරි වෙන කොහේ හරි හිටියත් මෙහේ පත්තරවල කතා යනවා. අපි ලංකාවේ හිටියත් නැතත් අපේ ඒවා පත්තරවල යන්නේ නැහැ. මොකක්ද මේ රහස” විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ඇසුවේය.
“ඒකේ කිසිම රහසක් නැහැ. අපි හැමදාමත් එකම ප්‍රතිපත්තියක ඉන්නේ. ඒ නිසා අපේ කතා වැඩියෙන් යනවා ඇති” ප්‍රසන්න උත්තර දුන්නේය.
“ඒක හරි කතාවක්නේ. අපි එකම ස්ථාවරයකනේ හිටියේ. එහෙම නම් ඔයාගේ කතා යනවා වගේ අපේ කතාත් යන්න ඕනනේ” විමලවීර කීවේය.
“හරි හරි මන්ත්‍රීතුමා. මෙතුමා උසයි. ඔබතුමා මිටියි. ඒවත් ඉතිං බලපානවා ඇතිනේ” ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කීවේය.
“අන්න හරි මම උස නිසා සිකියුරිටි. ඔබතුමා මිටි නිසා කම්කරු” ප්‍රසන්න කීවේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රස්සා බෙදූ හැටි සිහිපත් කර මන්ත්‍රීවරු සිනාගන්වමිනි.

අනුර - සුසිල් - ප්‍රසන්න රහස් කතාවක

ආණ්ඩුවේ මැති ඇමැතිවරුද ඩලස්ගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාත් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාත් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියේ එකටය. ඔවුන් දෙදෙනාට ඩලස්ගේ නිවසේ සිටි ප්‍රසන්න මුණගැසුණි. ඔවුහු තිදෙනා නිවසේ කොනකටවී කතාකරන්න වූහ.
“කොහොමද ප්‍රසන්න” සුසිල් විමසුවේය.
“අපි ඉතිං අපේ වැඩ ටික කරගෙන ඉන්නවා ඇමැතිතුමා” ප්‍රසන්න උත්තර දුන්නේය.
මේ අතරවාරයේදී ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ආවේය. දුරකථන ඇමතුම අතරවාරයේදී ප්‍රසන්නගේ මුහුණ බැරෑරුම් ස්වභාවයක් ගත්තේය. “මොනවා එච්චර ප්‍රමාණයක්” ප්‍රසන්න දුරකථනයේ එහා කෙළවරේ සිටි අයගෙන් ඇසුවේය.
ප්‍රසන්නගේ දුරකථනයේ එහා කෙළවරේ සිටියේ මීරිගම ප්‍රදේශයේ බැංකුවක සේවය කරන අයෙකි. ඔහු කියා තිබුණේ අලුත් අවුරුද්ද සමග බැංකුවට පංචායුද රැසක් උකස් කර තිබෙන බවය.
“‍පොඩ්ඩක් ඉන්න. මෙතැන සුසිල් ඇමැතිතුමා ඉන්නවා. එතුමාට මේ කතාව කියන්න” ප්‍රසන්න සුසිල්ට දුරකථනය දුන්නේය. ප්‍රසන්නගේ හිතවතා කීවේ පංචායුද උකස් කිරීමේ කතාවය.
“මේ අවුරුද්දේ පංචායුද උකස් කරලා අවුරුදු කනවා. ලබන අවුරුද්දේ අවුරුදු කන්නේ කොහොමද එතකොට” සුසිල්ද කතාවෙන් කම්පා වුණේය.
ඉන්පසුව ඔවුහු තිදෙනා ටික වේලාවක් රහස් කතාබහේ යෙදුනහ. ඔවුන්ගේ කතාබහ කුමක්දැයි සියලුදෙනාටම කුතුහලයක් විය. ඒ කතාබහ අවසානයේදී සුසිල් හා අනුර නැවත කොළඹ බලා පැමිණියහ. ප්‍රසන්න යළිත් අනෙක් මන්ත්‍රීවරු අසලට පැමිණියේය.
“මොකද සර් අර අය එක්ක කතාවට ගියේ” ඩලස්ගේ හිතවතෙක් ප්‍රසන්නට දෝස්මුරයක් එල්ල කළේය.
“එයාලා අපිත් එක්ක හිටපු අයනේ. ඒ අය එක්ක කතා නොකර බැහැනේ” ප්‍රසන්නට ඩලස්ගේ හිතවතා සැනසවීමට බොහෝ දේ කීමට සිදුවිය. මේ අතර දුමින්ද දිසානායක ඇමැතිවරයාද මළගෙදරට පැමිණියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මළගෙදරට එනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජයන්ත සමරවීර, කාංචන විජේසේකර සහ නිරෝෂන් ප්‍රේමරත්න පැමිණ සිටියහ.
“සර් දැන් මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. අවුරුද්දත් එක්ක හොඳටම එපා වෙලා” ජොන්ස්ටන් කීවේය.
“ඒක ඇත්ත. ආණ්ඩුව ඇතුළේ දැන් ප්‍රශ්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි අතර දැන් ගැටුම එළියට ඇවිත්. මේ වනවිට ආණ්ඩුව පෙරළන්න පුළුවන් තැනටම ඇවිත්. මේ ආණ්ඩුව පෙරළන්න අපි සූදානම් බව මැයි පළමුවැනිදාට පෙන්වන්න ඕන” තවත් වෙසක් ‍පොහොය දෙකකින් ආණ්ඩුව පෙරළිය යුතු බව මහින්ද පැවැසුවේය.
“අපිට ගෝල්ෆේස් එක පුරවන එක මහ ලොකු දෙයක් නමෛයි” නිරෝෂන් ප්‍රේමරත්න පැවැසුවේය.
“අවුරුද්දට කලින් මම ඒකාබද්ධ විපක්ෂයේ හැමෝම කැඳවූයේ මැයි දිනය සාර්ථක කරගන්න හැටි ගැන කතා කරන්නයි. අවුරුද්දෙන් පස්සෙත් මම ඒ ගැන තවදුරටත් කතාකරන්න බලා‍පොරොත්තු වනවා” මහින්ද කීවේය.

නාමල්ගේ කල වයස හරි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ උපන්දිනය යෙදී තිබෙන්නේ අප්‍රේල් දහ වැනිදාටය. පසුගිය අවුරුදු කීපයේම නාමල්ගේ උපන්දිනය වෙනුවෙන් ඔහු පුදුම කරනව උපන්දින සාදයක් සූදානම් කරන නමුත් මෙවර එවැනි සාදයක් සංවිධානය කිරීමට නොහැකිවූයේ උපන්දිනයදා ‍පොහොය යෙදී තිබිම නිසාය.
උපන්දිනය වෙනුවෙන් නාමල් ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගි විය. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු නාමල්ට සුබපැතීමට ආවේ විශාල බෑග් දෙකක් රැගෙනය.
“දැන් කලවයස කොහොමද මල්ලි” ජොන්ස්ටන් ඇසුවේය.
“දැන් 31ක් වෙනවානේ අයියේ” නාමල් උත්තර දුන්ණේය.
“එහෙනම් දැන් වයසත් හරිනේ” ජොන්ස්ටන් සිනාසෙමින් ඇසුවේය.
“ඒක තමයි මාත් මෙයාට කියන්නේ. දැන් වයස හරි. මොනවා හරි දෙයක් කරගන්න කියලා මම කියලයි තියෙන්නේ” මහින්ද කීවේය
මේ අතර නාමල්ගේ උපන්දිනයට සමගාමීව නිල් බළකායේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙයි. නිල් බළකායට ආධාර කළ දේශීය හා විදේශීය සංවිධාන හා පුද්ගලයින්ගෙන් ආධාර ලබාගනිමින් මෙම වැඩකටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවද සඳහන්ය.

තිලකජය

Comments  

+1 #1 Manju 2017-04-17 09:43
What the reason giving Trincomale oil tanks to Indians ???
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 537

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 1236

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 451

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 2000

අපේ හොර වැඩවලට උදව් කරන්නේ මාලනී නැන්දා

IMAGE 2017 Jun 25 19:26
මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි...
Views - 2034

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 908

Please publish modules in offcanvas position.