lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

නාමල්ගේ විවාහය ප්‍රමාද ඇයි?

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටුම් පසුගිය සතියේදී දේශපාලන කරළිය උණුසුම් කළේය. සයිටම් ගැටලුව විසඳීම සඳහා ආ මෛත්‍රී බදාදා සවස සියලුම පාර්ශ්වයන් සාකච්ඡාවකට කැඳවා තිබුණේය. එහෙත් හදිසියේම එම සාකච්ඡාව කල් දැමුවේ හේතු දැක්වීමකින් තොරවමය. හදිසියේම මේ සාකච්ඡාව කල් දැමුවේ මන්දැයි සාකච්ඡාවට සහභාගිවීමට සිටි අයට පුදුමයක් විය.
එහෙත් බ්‍රහස්පතින්දා උදෑසන සයිටම් සම්බන්ධ පාර්ශ්වයන්ට දුරකථන ඇමතුම් ලැබි තිබුණේ රාත්‍රී හතට සාකච්ඡාවකට පැමිණෙන ලෙසය. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් දෙදෙනෙක්, වෛද්‍ය පීඨ අටෙහි පීඨාධිපතිවරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා පැමිණ සිටියහ. මාලඹේ වෛද්‍ය විද්‍යාලය නියෝජනය කරමින් එහි නිලධාරීහු දෙදෙනෙක්ද පැමිණ සිටියහ. මහාචාර්ය කොල්වින් ගුණරත්නටද ආරාධනා කර තිබූ අතර ඔහුට ආරාධනය ලැබි තිබුණේ මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන්ය.  උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරුද මෛත්‍රී සමග සාකච්ඡාවට පැමිණියේය.
කෝ මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අය? එතැනට වෛද්‍ය සභාවේ සාමාජිකයන් පැමිණ නැති බව දුටු මෛත්‍රී ඇසුවේය.
වෛද්‍ය සභාවේ සාමාජිකයන් සාකච්ඡාවට ආවේ නෑ. වෛද්‍ය සභාවෙන් මම ආවා. වෛද්‍ය සභාවෙන් මට මේ සාකච්ඡාවට එන්න ලිපියක් ලබාදී තිබෙනවා වෛද්‍ය සභාවේ ‍ලේඛකාධිකාරීවරයා වෛද්‍ය සභාව නියෝජනය කරමින් කතා කළේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සාකච්ඡාවට නොපැමිණියේ මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ලියාපදිංචි කරගන්නා ලෙසට අභියාචනාධිකරණය විසින් ලබාදී තිබූ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබිම නිසාය.
දැන් නඩුව ෆයිල් කරලාද තියෙන්නේ? මෛත්‍රී ඇසුවේ වෛද්‍ය සභාවේ ‍ලේඛකාධිකාරීවරයාගෙනි.
ඔව් සර් ‍ලේඛකාධිකාරීවරයාත් උත්තර දුන්නේය.
මේකට සොලූෂන් දාලාද නඩුව ෆයිල් කළේ? මෛත්‍රී නැවත ඇසුවේය.
අපේ නීතිඥයන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවේ වැරදි සහගත තැන් තිහක් හඳුනාගෙන තියෙනවා. ඒවා එක්ක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම දැම්මේ. අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අවලංගු කරන්න කියලා තමයි මේ පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ ‍ලේඛකාධිකාරිවරයා කරුණු දක්වන විට සියල්ලෝම නිහඬව අසා සිටියහ.
හැමෝම මේ ගැන කරුණු දක්වන්න. හැමෝගේම අදහස් මේ ගැන තීරණයක් ගැනීමේදී වැදගත් වෙනවා මෛත්‍රී කීවේය.
ඒ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලිපි ‍ලේඛන තොගයක් රැගෙන පැමිණ කරුණු ඉදිරිපත් කරන්න විය. ඒ අතර වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉදිරිපත් කළ ලිපියක්ද ඒ අතර විය.
මේ ආයතනය පිහිටුවීමේ නීතිමය ක්‍රියාවලියේ ගැටලු තිබෙනවා නම් ඒවා බැලීමට නීතියෙන් වලංගු ආයතන තිබෙනවා. කෝප් එකේ මේවා මේ දිනවල අධීක්ෂණය වෙනවා. මමත් කෝප් එකට යන නිසා මේවා ගැන අධ්‍යයනය කරන්න ඕන හැටි ගැන මම දන්නවා. මේ ගැන පැයකින් කතා කරලා තීරණයක් ගන්න බෑ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය.
සයිටම් සම්බන්ධයෙන් තිබෙන පරිපාලනමය ගැටලු වෙනම අපි සාකච්ඡා කරමු. දැන් කඩිනම් ප්‍රශ්නය වෙලා තිබෙන්නේ උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකිරීමයි. මේ නිසා ලියාපදිංචි නොකළ අය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අපි මුලින්ම කටයුතු කරමු සයිටම් වෙනුවෙන් පැමිණ සිටි නියෝජිතයෝ කරුණු දැක්වූහ.
මේක වෙනම සාකච්ඡා කරන්න බැහැ. දෙකම එකම ප්‍රශ්නයට අදාළයි. ඒ නිසා මේවා එකට සාකච්ඡා කරන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරෝධය දැක්වීය.
දැන් වෛද්‍ය පීඨවල ළමුන් පන්ති වර්ජනය කරනවා. මේ ළමයි ගැන හිතන්න. ඒ අයට නැවත පන්ති ආරම්භ කරන්න ලක්ෂ්මන් කිරිඇල්ල කතා කළේ සාකච්ඡාව අවසානයේදීය.
ඒක වැරදි කතාවක්. ඒ ළමයි එළියට බැහැලා තියෙන්නේ ඒ ළමයින්ගේ ප්‍රශ්නයක් නිසා. අපි ළමුන්ට උසිගැන්වීම් හෝ බාධා කිරීම් කරන්නේ නෑ. ඒක තේරුම්ගෙන කටයුතු කරන්න. අපි දැන් ගිනි කන්දක් උඩ ඉන්නේ. ඒක මොන වෙලාවේ පුපුරලා යයිද කියන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමනි මේ ගැන මැදිහත්වී කටයුතු කරන්න පීඨාධිපතිවරු ඉල්ලා සිටියහ.
මට දැන් මළගෙදරකට යන්න තියෙනවා. මම අනික් දවසට මේ හැමෝම එක තැනකට ගෙනත් කතා කරන්නේ නෑ. වෙන වෙනම ගෙනැත් කතා කරනවා. එහෙම කතා කරලා අවසන් විසඳුමක් දෙනවා මෛත්‍රී සාකච්ඡාව අවසන් කරමින් කීවේය.

රංජන් මෛත්‍රීට කී කතාව

නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක පසුගිය සතියේදී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මළගෙවල්වල යා යුතු නැතැයි මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේය. ඒ ගැන මාධ්‍යයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු මෛත්‍රීට දුරකථන ඇමතුමක් දී තිබුණේය.
සර් මම ලක්බිම පත්තරේට ඉන්ටර්විව් එකක් දුන්නා. සර්ටයි අගමැතිතුමාටයි මළගෙවල්වල යන්න එපා කියලා මම ඒකේදී කිව්වා. පැල්මඩුල්ල පැත්තේ මළගෙදරක යන්න ගිහින් හෙළිකොප්ටරයත් අනතුරකට ලක්වෙන්න ගියා කියලා තියෙනවා මම දැක්කා රංජන් කීවේය.
ඒක ඇත්ත කතාවක්මෛත්‍රී ඇත්ත කතාව රංජන්ට කීය.
සර් බලන්න, බරක් ඔබාමාගේ ධුර කාලයේදී එයා මළගෙවල් තුනකට විතරයි ගිහින් තියෙන්නේ. නෙල්සන් මැන්ඩෙලාගේ, ලී ක්වාන් යූගේ හා තායිලන්තයේ රජ්ජුරුවන්ගේ මළගෙදරට විතරයි ඔබාමා ගියේ. මෝදි අගමැතිතුමා මළගෙවල්වල යන්න ගියොත් මොනවා වෙයිද බලන්න. ඉන්දියාවේ ඉන්න කෝටි 135ක් ජනතාවගෙන් කෝටි ගාණක ජනතාව එයාට ඡන්දෙ දුන්නා. තමන්ට ඡන්දෙ දීපු අයගේ ගෙවල්වල ගියා නම් වෙන කරන්න වැඩක් නැති වෙනවා. දැන් සර්ටයි අගමැතිතුමාටයි, මළගෙවල්, මඟුල් ගෙවල්, කොටහලු මඟුුල්, පන්සල් පල්ලිවල උත්සවවලට යන්න වෙනවා. ඒවාට ගියාම වෙන වැඩක් කරන්න වෙලාවක් නැති වෙනවාරංජන් කීවේය.
රංජන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මෛත්‍රී ඒ කතාව පිළිගත්තේය.
දැන් බලන්න සර්, ඒ කා‍ලේ ජනාධිපතිවරයෙක් හිටියා. ඒ ජනාධිපති උදේ හයේ ඉඳන් දොළහ වෙනකම් කලාකරුවන්ගේ උපන්දිනවලට කතා කරනවා. ඊට පස්සේ වෙඩිං එකකට යනවා. ‍පොඩි රෙස්ට් එකක් අරගෙන හවසට ගිහින් කාට හරි බණිනවා රංජන් කියන විට මෛත්‍රී කිසිවක් කීවේ නැත.
ජනාධිපති මන්දිරයට ඇවිත් සමහර අය සර්ට මඟුල් ගෙවල්වලට එන්න කියලා කියන හැටි මම දැකලා තියෙනවා. ඡන්දය දුන්න නිසා අපේ මඟුල් ගෙදරට එන්න ඕන කියලානේ එයාලා කියන්නේ රංජන් තවත් කීවේය.
මේ නිසා වැඩ කරන්න තියෙන වෙලාව තමයි අඩුවෙලා තියෙන්නේ මෛත්‍රී රංජන්ගේ කතාව අනුමත කළේය.
අගමැතිතුමාටත් වෙලා තියෙන්නේ මේ ටික තමයි සර්. සර්ලා මළගෙවල් මඟුුල් ගෙවල්වල නොගිහින් ජී 7 සමුළුවට යනවාට අපි කැමැතියි. යුරෝපා සංගමයට යනවාට අපි කැමැතියි රංජන් කියන විට මෛත්‍රී ඒ ගැන සිතා බලමු යැයි කියමින් දුරකථන සංවාදය නිමා කළේය.

නාමල් සිරීපාදේ නගී

නාමල් රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ හා ඩී.වී. චානක ඇතුළු තරුණ මන්ත්‍රීවරු පිරිස සිරීපාදේ යාමට කතිකා කරගෙන තිබුණේ දැනට මාසයකට පමණ පෙරදීය. එහෙත් යෝෂිත රාජපක්ෂ හදිසි අනතුරකට ලක්වීම නිසා ඔවුන්ගේ සිරිපා ගමන තරමක් ප්‍රමාද විය. බ්‍රහස්පතින්දා සවස නාමල්, යෝෂිත හා රෝහිත අනෙක් මන්ත්‍රීවරුන් කණ්ඩායම සමග සිරිපා කරුණා කිරීමට ගියෝය. සැහැල්ලු ඇඳුම්වලින් සැරසුණ නාමල් හිස ආවරණය කරගන්නා ජැකට්ටුවක්ද පැළඳ සිටියේය.
තරුණ නඩය සිරිපා කරුණා කිරීමට ගියේ වැඳල බහින මේ නඩයට සුමන සමන් දෙවි පිහිටයි යැයි කියමිනි. ඔවුන්ගේ මුහුණට හමුවන වන්දනා නඩ වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියා ආශිර්වාද කළෝය. එහෙත් ඇතැම් වන්දනා නඩවලට ඔවුන්ගේ ආශිර්වාදය අවසන් කිරීමට නොහැකි විය. වඳින්න යන මේ නඩේට.....යැයි කියන විට ඇතැම් වන්දනා නඩ නාමල් හඳුනා ගත්හ. එතැනින් ආශිර්වාද කවි කීම නතර කළ ඔවුහු අනේ...මේ අපේ නාමල් මහත්තයානේ යැයි කියමින් නාමල් වටකරගන්නට වූහ.
මහින්ද මහත්තයයි මැඩමුයි ආවේ නැද්ද එම වන්දනා නඩ නාමල් වටකර ගනිමින් අසන විට ඔවුන්ට පිළිතුරු දෙමින්ම සිරිපාද වන්දනා කිරීමට නාමල්ට සිදුවිය.
දැන් ඔබතුමා විවාහයක් එහෙම කරගන්නේ නැද්ද නාමල් හමුවූ සමහරුන්ට තිබුණේ එවැනි ප්‍රශ්නය.
මේ අතර ඩී.වී. චානකගේ උසට සරිලන තරුණියක් සොයා ගැනීම ගැනත් පිරිස කතා කරන්න වූයේ ඒ අතරවාරයේය.
චානක මන්ත්‍රීතුමාගේ පස්සෙන් කෑගල්ල පැත්තේ  
සුදු කෙට්ටු කෙල්ලෙක් ආවානේ. උසත් හරියට ගැළපෙනවා. ඒකෙත් ප්‍රශ්නයක් නෑපිරිස චානකට විහිළු කරන්න විය. ඒ අතර ශෙහාන් සේමසිංහට විහිළු කරන්න ගත්තේ තරුණියක් විවාහවී ඇත්දැයි ඇසූ බව කියමිනි
නෑ. මම කසාද බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා ඒ අයට මම කිව්වා ශෙහාන් සේමසිංහ ඇඟ බේරාගත්තේය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂත්
කැබිලිත්තේ වන්දනාවට ගොස් තිබුණේය. ඔවුන් එහි ගියේ මාස තුනක්් පේවීමෙන් පසුවය.
ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්නගේ නැන්දණියගේ අවමංගල්‍ය උත්සවය ඇහැලියගොඩදී පැවැත්වුණේය. අභාවය ආරංචිවූ වහාම බැසිල් ඇහැලියගොඩ බලා ගියේය. බැසිල් එන විට පවිත්‍රා වන්නිආරච්චිත්, රංජිත් සොයිසාත් එහි ගොස් සිටියේය. දේහයට අවසන් ගෞරව දැක්වූ බැසිල් නිවසේ ඇතුළු කාමරයකට ගියේය. ඒ කතාබහ සිදුවන අතරවාරයේදී නිමල් සිරිපාල ද සිල්වා මළගෙදරට ආවේය.
බැසිල් මහත්තයත් ඇවිත් ඉන්නේ මළගෙදර සිටි අයෙක් නිමල්ට කීවේය.
කොතනද ඉන්නේ. මම ගිහින් කතා කරන්නම් කියා නිමල් සිරිපාල ද සිල්වා බැසිල් සිටි කාමරයට ගියේය. නිමල් එන විට බැසිල් අනෙක් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් සිටියේ ඔහුට විරුද්ධව පනවා තිබෙන නඩු ගැනය. පසුදා උදෑසන නඩුවක් විභාගවීමට නියමිතව තිබූ නිසා ඒ ගැන ඔවුන් වැඩි අවධානයකින් යුතුව කතා කර තිබුණේය.
බලන්නකෝ නිමල් මහත්තයා, අපේ බැසිල් මහත්තයාට හෙට උදේ උසාවි යන්න තියෙනවානේරංජිත් සොයිසා කීවේය.
ඔය වෙන දේවල් ගනං ගන්න එපානිමල් කීවේ බැසිල් දෙස බලමිනි.
අපි නම් ගනං ගන්නේ නෑ. දැන් ඉතිං නඩුවලට මුහුණ දෙන්න මහන්සිවෙන්න වෙලානේ තියෙන්නේ බැසිල් කීවේ සැහැල්ලුවෙනි.
මේ කතාබහ අතරවාරයේදී පවිත්‍රා එතැන සිටි මන්ත්‍රීවරුන් කණ්ඩායම රැගෙන එළියට ආවේ බැසිල්ටත් නිමල්ටත් නිදහසේ කතා කිරීමට අවස්ථාවක් ලබාදෙමිනි. මේ සාකච්ඡාව අවසන් වන විට විනාඩි
හතළිස්පහක් පමණ ගතවී තිබූ අතර ඒ ගැන දෙදෙනාම එක වචනයක්වත් කීවේ නැත.

මහින්ද අනුර ගුණසමරුවේ

අනුර බණ්ඩාරනායක ගුණ සමරුව සෑම වසරකම සංවිධානය කරන්නේ ඔහුගේ හිතවතුන් පිරිසකි. සාමාන්‍ය උත්සවයක් ලෙස මෙය සංවිධානය කරන අතර එයට රාජ්‍ය නායකයන් සම්බන්ධ කරගෙන තිබුණේම නැත. එහෙත් පසුගිය සතියේදී එහි සංවිධායකයන්ට කතා කළ මහින්ද කියා තිබුණේ තමන් අනුරගේ ගුණ සැමරුමට එන බවය.
මම දැන් ගුණ සමරු උත්සවයට එනවා. සේරම හරි නේද මහින්ද ඇසුවේය.
අපි මේක ‍පොඩියට කරන වැඩක් සංවිධායකයන් පැවැසුවේය.
කමක් නෑ. මම ඇවිත් යන්නම්. අනුර ඒ කා‍ලේ ඉඳලා මගේ යාළුවානේ මහින්ද කීවේ උත්සවයට තමන්ගේ පැමිණීම අනිවාර්ය බව කියමිනි.
ඒ අනුව ගුණ සමරු උත්සවයට පැමිණි මහින්ද අනුරගේ පිළිරුවට මල් මාලයක් දමා පුෂ්‍පෝපහාරයක්ද කළේය.
අනුර මහත්තයාගේ ගුණ සමරුවට සර් එන එක ගැන මැඩම්ට හිත රිදිලා සංවිධායකයෙක් කීවේය.
ඕවා ගනං ගන්න එපා. මගේ කසාදේ දෙවන මනමාලයට හිටියෙත් අනුරනේ මහින්ද කීවේ අනුර ගැන රසබර අතීතයක්ද සිහිපත් කරමිනි.

විජේපාලගේ නැතිවූ මාලය

විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ ආංශික කාරක සභාවලට සහභාගිවීමටය. සිකුරාදා උදෑසන පැවැති ආංශික කාරක සභාවේ කටයුතු අවසන් කළ ඔහු ගාල්ල බලා පිටත්ව යාමට සූදානම්ව සිටියේ ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා
උළෙ‍ලේ ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමටය. කල් වේලා ඇතිව ගාල්ලට යාමට ඔහු බලා‍පොරොත්තුව සිටියත් ඔහුගේ වාහනය පාර්ලිමේන්තුවෙන් පිටතට ගොස් නියමිත වේලාවට නොපැමිණීම නිසා ඔහු සිටියේ තරමක නොසන්සුන්තාවයකිනි.
තමන්ගේ වාහනය එන තෙක් බලා සිටි විජේපාල ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරයට ගියේ මුහුණකට සෝදාගෙන ගාල්ල බලා පිටත්ව යාමටය. ඔහු මුහුණ සෝදාගැනීමට පෙර තමන්ගේ කරේ තිබූ මාලය ගලවා තැබුවේ එහි සුර කිහිපයක් තිබූ නිසාය. කලබලයෙන් මුහුණ සෝදාගත් ඔහු එතැනින් ගියේ ඒ වන විට වාහනය පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබූ නිසාය.  අධිවේගී මාර්ගයේ ටික දුරක් යන විට ඔහුට තමන්ගේ කරේ තිබූ මාලය නැති බව දැනගන්නට ලැබුණේය. මාලය නොමැතිවීමෙන් කලබලයට පත්වූ ඔහු පාර්ලිමේන්තු ‍පොලීසියට ඇමතුමක් දුන්නේය.
මගේ මා‍ලේ නැති වෙලා. පාර්ලිමේන්තුවට එන විට මා‍ලේ තිබුණා. ඒත් දැන් නෑ. පාර්ලිමේන්තුවේ කොතැනක හරි තමයි මාලය තියෙන්න ඕන විජේපාල හෙට්ටිආරච්චි ‍පොලීසියට කීවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කොතැනක හෝ මාලය වැටී ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලීමක්ද කරමිනි.
අපි බලන්නම් සර්යැයි ‍පොලීසිය කීවත් එදින කල් ඇතිවම පාර්ලිමේන්තුව අවසන්වීම නිසා පාර්ලිමේන්තුවේ දොරටු කල් ඇතිවම වසා දැමීමට සිදුවිය. ඒ  නිසා ඔහු නියෝජ්‍ය වේත්‍රධාරියාට දුරකථන ඇමතුමක් ගත්තේය.
මගේ මා‍ලේ පාර්ලිමේන්තුවේ කොතැනක හරි වැටිලා තියෙන්න ඕන. මට මාලය හොයලා දෙන්නවිජේපාල නියෝජ්‍ය වේත්‍රධාරියාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් එදින පාර්ලිමේන්තුව වසා තැබිම නිසාත් පසුදින සෙනසුරාදා නිසා පාර්ලිමේන්තු සේවකයන් නොපැමිණෙන බවත් නියෝජ්‍ය වේත්‍රධාරියා විජේපාලට දැනුම් දුන්නේය.
කට්ටිය නැති වුණාට කමක් නෑ. හෙට පුළුවන් නම් පාර්ලිමේන්තුව ඇරලා දෙන්න. අපි ඇවිත් මාලය හොයන්නම්විජේපාල කීවේ සෙනසුරාදා දිනයේදී නැවත කොළඹ පැමිණ මාලය සොයාගැනීමට හැකි බව කියමිනි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරයට ගිය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර කාගේ හෝ මාලයක් තිබෙනු දුටුවේය. එය අතට ගත් ඔහු එම මාලයේ හිමිකරු සොයා ගියේය. එහෙත් මාලයේ හිමිකරුවෙකු සොයාගැනීමට නොහැකිවූ තැන ඔහු එය පාර්ලිමේන්තු ‍පොලීසියට භාරදුන්නේය.
සර් මේක විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාගේ මාලය වෙන්න ඇති. එතුමාගේ මාලය නැතිවෙලා කියලා අපිට දැන් කිව්වා‍පොලීසියේ නිලධාරීන් දයාසිරිට කීවේය. ‍පොලීසියේ නිලධාරීන් විජේපාලට දුරකථන ඇමතුමක් දී ඔහුගේ නැතිවූ මාලය හමුවී ඇති බව කීවේ මේ අතරවාරයේදීය. පසුදින උදෑසනම විජේපාල නැවත කොළඹ පැමිණ තමන්ගේ මාලය ලබාගත්තේය.
මේ අතර පසුදා උදෑසන පුවත්පත් වල දයාසිරි මාලයක් අහුලාගෙන භාරදී ඇතැයි වාර්තා පළවී තිබුණි.
ඔබතුමා අහුලලා තියෙන්නේ මගේ මාලය. මම දැන් ගිහින් ඒ මා‍ලේ අරගත්තා. ඔබතුමා මාලයක් අහුලලා කියලා පත්තරවලත් තියෙනවාවිජේපාල කීවේය.
ඒක තමයි. මමත් උදේ පත්තරේ බලනකොට ඒක දැක්කා. මම දන්නේත් නෑ ඔය විස්තරයක් පත්තරේ යනවාය කියලා. කවුරුහරි පත්තරේට ඔය බව කියලාදයාසිරි පැවැසුවේය.
ඔබතුමා වගේ ඇමැතිවරු ඉන්නවා කියලා රටම දැනගන්න ඕන. ඒක නිසා පත්තරවල ගියපු එක හොඳයි විජේපාල කීවේ දයාසිරිට ස්තුති කරමිනි.

අර්ජුන ඇමැතිකම රැකගන්න හදයි

මෛත්‍රීගේ රුසියානු සංචාරයෙන් පසුව ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් කිරීමට නියමිතව ඇත. එහිදී මහින්ද අමරවීරගේ ධීවර ඇමැති ධුරය වෙනුවට වරාය ඇමැති ධුරය ඔහුට ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙයි.
ධීවර ඇමැතිකම් සියල්ලම තියෙන්නේ තංගල්ලට. ඒ නිසා අමරවීර ඇමැතිතුමාට වෙනත් ඇමැති ධුරයක් ලබාදෙනවා මෛත්‍රී හම්බන්තොටදීම කියා තිබුණේය.
මේ අනුව වරාය ඇමැති ධුරය අර්ජුන රණතුංගගෙන් ගැලවෙනු ඇතැයිද දේශපාලන ලෝකයේ කතාබහට ලක්විය. එම ආරංචිය පළවූ විට අර්ජුන මෛත්‍රී හමුවටත් චන්ද්‍රිකා හමුවටත් ගියේය. ඒ තමන්ගේ ඇමැති ධුරය වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටීමටය. එහෙත් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබි නැත.
මේ අතර රනිල්ද ඇමැති ධුර සංශෝධනය ගැන අවධානය යොමු කර තිබුණේය. ඒ රේණුකා හේරත්ගේ අවමඟුල් උත්සවයට යන අතරවාරයේදීය.
මම රේණුකාගේ අවමංගල උත්සවයේ කතාවක් කරන්න හිටියේ. ඒත් කාලගුණය හොඳ නැති නිසා උදේ ගිහින් එන්න කියලා ගුවන් හමුදාව කියන නිසා මම උදේ ඇවිත් යනවා ඇමැතිවරු කිහිපදෙනෙක් හෙළිිකොප්ටරයෙන් යන විට රනිල් කීවේය.
රේණුකාට කාලෙක ඉඳලා හාර්ට් ඇටෑක් එකක් තිබුණා. පරිස්සම් වෙන්න කියලා අපි අනන්තවත් කිව්වා. පිටරට යමු කියලා කිව්වත් ඇහුවේ නෑනේ රනිල් තමන්ගේ ශෝකය ඇමැතිවරු සමග බෙදා ගත්තේය.
සර් දැන් ඇමැති මාරුව වෙනවාද රනිල් සමග හෙළිකොප්ටරයේ ගිය දයා ගමගේ ඇමැතිවරයා ඇසුවේය.
ඒක කියන්න අමාරුයි. බලමු බලමු යැයි කී රනිල් සිනාසුණේය.
අපේ පක්ෂයේ ඇමැති ධුර ටිකක් එක්සත් ජාතික පක්ෂයට ගන්න කියලා කියනවා. ඒක නම් ගැටලුවක් එතැන සිටි තවත් ඇමැතිවරයෙක් කීවත් රනිල් කිසිවක් කීවේ නැත.
රනිල් මේ දිනවල සිටින්නේ ණය ගෙවීමේ ප්‍රශ්ණය ගැන සිතමින්ය. ණය ප්‍රශ්ණයට විසදුම් සොයන ඔහු ඩොලර් ලංකාවට ගෙන්වාගැනීමට හැකි මාර්ග සොයමින් සිටින්නේය.

තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 791

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.