lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

ඔය රෙද්ද පල්ලෙන් බේරෙන්නේ මොනවද?

අද වගේ මාර්ග සහ ප්‍රවාහන පහසුකම් නොතිබුණ අතීතයේ අපේ රටේ බොහෝ දෙනෙක් ගමන් බිමන් ගියේ පයින්. තිරික්කල, බරබාග වගේ කරත්ත වර්ග තිබුණත් ඒවා ගමන් කරන්න හරිහැටි පාරවල් නොතිබුණ හින්දා කන්දෙන්, ලන්දෙන්, ඕවිටෙන්, වෙල් නියරෙන් පැනගෙන ගමනාන්තය දක්වා වැටුණු කෙටිම මංපෙත් දිගේ ගමන් බිමන් යන්න ඒ කළේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා හිටියා. මේ විදියට සමහරු දවස් ගණන් සතිය හමාර පාගමනින් ගිහින් තමයි තමන්ට උවමනා ගමනාන්තයට ළගා වුණේ.

ඒ කාලේ දවස් කිහිපයක් ගතවෙන ගමන් බිමන් යන මිනිස්සුන්ට රාත්‍රි කාල ගත කරන්න ප්‍රධාන මංපෙත් අසල අම්බලම් හදලා තිබුණා. ඒ වගේම ඒ මංපෙත් කිටිටුව තැනින් තැන ජලය පුරවපු ලොකු භාජන ; ඒ කියන්නේ පින්තාලිත් දකින්න ලැබුණා. නමුත් හුඟක් පිටිසරබද, වනගත මංපෙත් අද්දර නම් මේවා දකින්න ලැබුණේ නැහැ. ඒ වගේ මංපෙත් ඔස්සේ ගමන් යන මිනිස්සු අතරමඟදී රෑ බෝ වුණොත් ඒ කිට්ටුවම තියෙන ගැමි ගෙදරකට සේන්දු වුණා. ඒ කාලේ අද වගේ නොවෙයි එදා අපේ ජන සමාජයේ ආගන්තුක සත්කාරයට ඉහළම තැනක් ලැබුණා. දුගී, මගී, යාචකාදීන් කියලා හැදින්වෙන අනුන් ගෙන් උදව් උපකාර පතන අයට පිහිට වීම පොදු සමාජමය යුතුකමක් විදිහටයි අතීත ගැමියන් සැලකුවේ. ඒ වගේම තමන් ගෙන් පිහිටක් පතාගෙන ගෙදරට සේන්දු වන දුගී, මගී, යාචකාදීන් ප්‍රතික්ෂේප කිරීම, ඒ අය නෙරපා හැරීම පොදු සමාජයේ ගර්හාවටත්, පිළිකුලටත් ලක් වන සමාජ ද්‍රෝහි කමක් හැටියටයි සැලකුණේ.

මම අපේ අතීත ගැමි සමාජය ගැන මෙච්චර ලොකු විස්තරයක් ඉදිරිපත් කළේ මේ කියන්න යන කතාවට පෙරවදනක් හැටියට.

ඔන්න ඔය කළේ අපේ ගමක හිටපු තරුණ පහේ ගැමියෝ දෙන්නෙක් දවස් දෙක තුනක් ගත වෙන දුර ගමනක්  යන්න පිටත් වුණා. අතරමග නතරවෙලා බතක් මාළුවක් උයා පිහාගෙන කන්න උවමනා අඩුම කුඩුම එහෙමත් අරගෙන තමයි මේ දෙන්නා ගමන පිටත් වුණේ. කොහොම හරි උදේ ඉඳන් හැන්දෑ ගොම්මන වෙන කම් පයින් ගාටපු මේ දෙන්නා හැන්දෑ කොරේ බොහොම පිටිසර ගම්මානෙකට සේන්දු වුණා කියමුකෝ. අනික අද වගේ නොවෙයි ඔය කියන කාලේ ගම්මුන් රෑ පානේ ගමන් යාමෙන් පුළුවන් තරම් වැලකිලා හිටියා. මුල්ම කාරණේ තමයි වනාන්තර බහුල වීම අද වගේ සිය ගුණයක විතර අලි, කොටි වග වලස් ගහනයක් ඒ කාලේ ගැවසීම. දෙවනි කාරණේ කළුවර වැටෙනවත් එක්කම සතා සර්පයා එළිපෙහෙලියට ඒම. තුන්වැනි කාරණේ තමයි ඒ කාලේ සමාජය පුරාම දෝරේ ගාලා ගිය අමනුස්ස බය.

ඉතින් මේ කියන ගැමියෝ දෙන්නත් යාන්තමින් කළුවර වැටීගෙන එද්දී ඒ පිටිසර ගමේ තියන ගෙදරකට සේන්දු වෙලා ඒ ගෙදරින් එදා රෑට නවාතැන් ඉල්ලුවා කියමුකෝ. සමාජ චාරිත්‍ර ධර්ම වල හැටියට දුගී මගී යාචකාදීන් ප්‍රතික්ෂේප කරන්න බැරිකමට ඒ දෙන්නාගේ ඉල්ලීම පිළිගත්තට මොකද? හැබැහින් නම් ඒ වගේ තරුණ පහේ දෙන්නෙකුට තමන් ගේ ගෙදරින් නවාතැන් දෙන්න ඒ ගෙදර ‘මහයා’; ඒ කියන්නේ ගෘහපතියා කැමති වුණේම නැහැ. මොකද ඒ වෙනකොට ඒ ගෙදර මෝරාගෙන එන සීනි කැකිරි ගෙඩි දෙකක් වගේ ලස්සන ළමිස්සියෝ දෙන්නෙක් හිටියා. ඒ එක ළමිස්සියකුට කිව්වේ ‘පුල්ලී’ කියලා. අනික් ළමිස්සී තමයි ‘වල්ලී’. ඒ වගේම අහල ගම් හතකවත් නැති තරම් ලස්සන මේ කෙලි පොඩිත්තියෝ දෙන්නට වටපිටාවේ ඉන්න ගැටවරයෝ හැම තිස්සෙම බැලුම් හෙලන බවත් ඒ දැරිවියන්ගේ අප්පුච්චා; ඒ කියන්නේ ගෙදර ‘මහයා’ දැන ගෙන සිටියා.

“අපිට කන්න නම් යමක් ඕනේ නැහැ ඔය හැලි වළදක් දුන්නොත් බතක් මාළුවක් උයාගන්න ඕන කරන අඩුම කුඩුම අපි ළඟ තියෙනවා. ඒ හින්දා අපි එහෙම මොනවා හරි රත් කරගෙන කාලා රෑට මේ කොට්ට පිළට වෙලා ඇස් දෙක පියාගෙන හෙට පාන්දර කොස් කොළ නැටි පේන නොපෙනෙන වෙලාවට පිටත් වෙන්නම්”. ඒ ගැමියෝ දෙන්නා එහෙම කියන කොට ඒ ගෙදර මහයාත් ‘එහෙනං කාරි නෑ නතර වෙයල්ලා’ කියලා අකමැත්තෙන් වුණත් කැමැත්ත දුන්නා. ඉතින් කොහොම හරි මේ ගැමියෝ දෙන්නත් තමන් ගෙනාපු හාල් හෝදලා ගරලා මිදුලේ පැත්තක ලිපක් බැඳලා බත ලිපේ තියලා උදේ ඉදන් පයින් ගාටල ඇති වෙච්ච මහන්සිය නිවා ගන්න පැදුරු දෙකක් දාගෙන අර කොට්ට පිළේ දිග ඇදුණා. උදේ පාන්දර ඉඳන් රටේ ලෝකේ හැම දෙයක්ම කතා කර කර ආපු හින්දා මේ දෙන්නට ආයිමත් අළුතින් කතා කරන්න දෙයක් ඉතුරුවෙලා තිබුණේ නැහැ. ඒත් කොහොම හරි බත ඉදෙන කම් කොට්ට පිල උඩ උඩුකුරුව නිදාගෙන ඉන්න මේ දෙන්නටම ගෙදර පොල් අතු වහල පේනවා. ඒ වහලෙට දාල තිබුණේ පොල් පරාල. “මෙහෙම වහලෙට පොල් ලී දාලා තිබුණට මම නම් හිතන්නේ වල් ලී (වල් පරාළ) මීට වඩා හොඳයි කියලයි.” කතා කරන්න වෙන කිසිම මාතෘකාවක් නැති හින්දා වෙහෙස මහන්සියට එන නිදිමත කැඩෙන්නත් එක්ක එක ගැමියෙක් වහල දිහා බලාගෙන රහසින් එහෙම කිව්වා.

“මොන පිස්සුද වල් ලී කොහෙද පොල් ලීවලට වඩා හොඳ මට නම් පොල් ලී වල් ලී වලට වඩා දහ ගුණයකටත් වඩා හොඳයි” අනිත් ගැමියත් කුටු කුටු ගාලා කිව්වා. දැන් ඉතින් මේ දෙන්නා වහලෙකට වැඩිය හොඳ පොල් ලී ද? වල් ලී ද? කියන මාතෘකාව ගැන දිගින් දිගටම කුටු කුටු ගගා වාද වෙනවා; ඇඟේ පතේ රුදාව අමතක වෙන්නත් එක්ක.

කොහොම හරි මේ වෙන කොට ඒ ගෙදර හිටපු වල්ලීගෙයි, පුල්ලීගෙයි අප්පුච්චා තමන්ගේ ගෙදර නවාතැන් ගත්තු මේ අමුත්තෝ දෙන්නාගේ කතා බහට රහසින් කන් දීගෙන හිටියා. මොකද තමන්ගේ දු වරුන්ගේ ආරක්ෂාවට. කොහොම හරි කොට්ට පිලෙන් ඇහෙන කතාවෙන් දිගින් දිගටම කුටු කුටු ගාලා ‘වල්ලී’ ‘පුල්ලී’ කියලා කියැවෙනවා ඇහුණා විතරයි මහයාට දෙලෝරත් වුණා. ගමනක් යන දෙන්නෙක් විදිහට හීන් සීරුවේම ගෙදර නවාතැන් ඉල්ලාගෙන ආවේ වල්ලීටයි පුල්ලීටයි කුරුමානම් අල්ලගෙන ආපු නොසන්ඩාලයෝ දෙන්නෙක් කියලා. මහයාගේ හිතේ තිබුණ සැකේ ඒ කතාවෙන් සීයට සීයක්ම තහවුරුවුණා. ඒ එක්කම තව දුරටත් මේ සන්තෑසියට ඉඩ දෙන්න බැරි හින්දා ගේ ඇතුලේ තිබුණ මන්න කොටයත් අතට ගත්තු ‘මහයා’ මාරාවේශ වෙලා අර ගැමියෝ දෙන්න මැද්දට පැන්නා.

"මං අහගෙන හිටියා තොපේ කසු කුසුව තොපි දෙන්න තව එක මෙහොතක්වත් මේ ගෙදර හිටියොත් දන්නවාද තොපිට සිද්ද වෙන දේ" එහෙම කියාගෙන සිහි විකලෙන් වගේ තමන්ගේ මැද්දට කඩා පැන්න මහයා හීනෙකින්වත් නොහිතපු විදිහේ කැති හරඹයකට ලෑස්තිවෙනවා දැක්කා විතරයි අර ගැමියෝ දෙන්නට එලොව පොල් පෙනුණා.

“මගෙන් මැරුම් නොකා දැන්මම මගේ දෑහට නොපෙනී මෙතනින් තොලොන්චි වෙයව්” ගෙදර මහයා ඊළඟ වතාවේ කැති කොටෙත් උළුක් කරගෙන යටි ගිරියෙන් බෙරිහන් දෙනකොට අර අමුත්තෝ දෙන්නා එක හුස්මට කොට්ට පිලෙන් මිදුලට පැන ගත්තා. ඒ  එක්කම එක ගැමියෙක් ඒ වෙන කොට මිදුලේ බාගෙට කැඳ හිඳෙමින් තිබුණ බත අනික් ගැමියාගේ සරමේ කැසපොටට හලාගෙන දෙන්නත් එක්කම පණ එපා කියල දුවන්න පටන් ගත්තා.

මේ දෙන්නා මෙහෙම පාරක් දිගේ සරමින් කැඳ බේරි බේරී දුවන කොට අතරමඟ දී මුණ ගැහුණ ගැමියෝ මෙහෙම ඇහුවා. “ අනේ ආයුබොවන්ඩ මොනවද හැබෑට ඔය රෙද්ද පල්ලෙන් බේරෙන්නේ?” එතකොටම අර දෙන්නා දුවන ගමන් ඒ හැමෝටම දුන්නේ මෙන්න  මේ උත්තරේ.

“කටේ නරිවාදං තමයි ආයුබොවන්ඩ”

ඔන්න ඔය ජනකතාව මුල් කරගෙන තමයි “කටේ නිරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා” කියන පිරුළු ජනගත වුණේ (අයුබොවන්ඩ).

සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 385

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 483

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 1122

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 2007

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 2114

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 7540

Please publish modules in offcanvas position.