Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කෘෂි නවෝදයකට විශේෂ වැඩසටහනක්

කෘෂිකාර්මික රටක් වූ අපේ රටේ වගා නොකර ඇති බිම් වගා කරන්නට  රජයට විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සිදුව තිබේ.එය අද ඊයේ සිදු වූවක්ද නොවන්නේය.  ඩී.ඇස්. සේනානායක අගමැතිවරයාද ගොවි ජනපද ඇති කරමින් මෙරටේ කෘෂිකර්ම නවෝදයක් ඇති කරන්නට කටයුතු කර ඇති බව ඉතිහාසයෙන් උගත හැකිය. ඊට පසුව බලයට පත් රජයන්ද අඩු වැඩි වශයෙන් මෙරටේ  සියලු ඉඩම් වගා කර අහරින් රට ස්වයං‍පෝෂිත කරන්නට  උත්සාහ කළේය.
මෙරට ප්‍රථම අගමැති කාන්තාව වූ  සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ ක්‍රියාත්මක වූ වගා සංග්‍රාමය අද ජීවත්වන ජනතාවට හොඳින් මතකය. එදා හාල් ‍පොල් මිරිස් ‍පොලු දමමින් මෙරට නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය තුලනාත්මකව බෙදා හැරීමේ ක්‍රමවේදයක් සියලු ඉඩම් හා ගෙවතු වගා කිරීමේ  සංග්‍රාමයත්් නිසා රටේ ජනතාවට යම් අපහසුතා ඇති වූ බව සැබෑය. එහෙත් එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල සුබ වන්නට තිබියදී බඩ ගැන හිතන අපේ ජනතාවගේ තීන්දුව නිසා රාජ පාලනය වෙනස් විය.
එතැන් සිට අපට හිමි වූයේ විවෘත ආර්ථික ක්‍රමයකි. ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පිටරටින් ගෙන්වා වෙළෙඳ‍පොළේ විකුණන්න  මෙමගින් ඉඩකඩ ලැබුණි. මේ නිසා දේශීයව නිෂ්පාදනය කරන ආහාර  ද්‍රව්‍යවලට වඩා අඩු මිලට පිටරට ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නට ජනතාවට අවස්ථාව ලැබුණි. මේ තත්ත්වය තුළ  කෘෂිකර්මාන්තය රැකියාවක් හෝ   ව්‍යාපාරයක් කර ගත් ජනතාව  ස්වකීය නිෂ්පාදන තරගකාරී මිල ගණන් යටතේ අලෙවි කර ගත නොහැකිව අසරණ වූහ. එහි ප්‍රතිඵලය වූයේ කෘෂිකර්මාන්තයෙන්් බොහෝ දෙනා ඈත් වීමත් රජයේ හෝ පෞද්ගලික රැකියා සඳහා යොමු වී  එයින් ලැබෙන වැටුපෙන් වෙළෙඳ‍පොළෙන් ආහාර  ද්‍රව්‍ය මිලදී ගෙන ජීවත් වීමත් පුරුදු වීමත්ය.
එදා  ඇති වූ එහි ප්‍රතිඵල අද අපි බුක්තිවිඳිමින් සිටිමු. බෝනොවන රෝග ව්‍යාප්තිය සමාජය තුළ  විවිධ උප සංස්කෘතින්  බිහි වි අපේ උරුමය වූ  බෞද්ධ  සංස්කෘතියට අභියෝග එල්ල වීමත්  සශ්‍රී්‍රික වගාබිම් ලෙස තිබූ අක්කර දහස් ගණන්් මුඩුබිම් ලෙස අතහැර දැමීමත්  තරුණ තරුණියන් ගොවිතැන අතහැර  කුමන හෝ රැකියාවක් සඳහා යොමු වීමත් ආදිය අද අපට දරාගත නොහැකි බරක් බවට පත්ව තිබේ. අදත් අපේ ගොවිබිම්වල වගා කරන ආහාර බෝග සඳහා තරගකාරී මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ විදේශ නිෂ්පාදන අප රටේ වෙළෙඳ‍පොළ ආක්‍රමණය කර තිබිම නිසාය.
මේ සඳහා හොඳම උදාහරණය  මෑතක ඇති වූ  ලොකු ලූනු මිල අර්බුදයයි. පිටරට ලොකු ලූනු වෙළෙඳ‍පොළේ අඩුමිලට ගොඩ ගසද්දී අපේ ගොවියා දහඩිය මහන්සියෙන් විශාල වියදමක් දරා නිපදවන ලොකු ලූනු කුණුකොල්ලයට විකුණා දැමීමට සිදු වීමෙන් ගොවියා කබලෙන් ළිපට වැටෙන තත්ත්වයට පත් විය. ජනාධිපති සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ආනයනික ලොකුලූනු බද්ද  100ක් වැඩි කිරීම ගොවියාට අස්වැසිල්ලක් වුවද  ස්වභාව ධර්මය විසින් ලොකු ලූනු ගොවියා උස්සා ‍පොළොවේ ගසා ඇති බව ඉකුත් සතියේ වාර්තා විය. මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඇතැම් ගොවීන්ගේ අක්කර ගණනක ලූනු ඵලදාව නෙළීම පවා අතහැර දමා ඇත.
ඉකුත් දෙවසරක කාලය තුළ වත්මන් රජය ස්වාභවික විපත්වලට මුහුණ දෙමින් අංක එකට පැමිණ තිබේ. මේ නිසා ගොඩ හා මඩ ගොවිතැන්  කන්න තුනහතරක්ම වගා කර ගන්නට බැරි වූ ගොවියෝ බිමට වතුර සොයමින් ගම්බිම් අතහැර දමා ගිය පුවත්ද අසන්නට ලැබිණ. දිවයිනේ එක් පැත්තක ගංවතුරෙන් වගාවට හානි සිද්ධ වද්දී තවත් පැත්තක දැඩි නියඟයෙන් වගාව බිලි ගත්තේය. මේ කොයි විදියටත් අපේක්ෂා භංගත්වයටත් ආර්ථික අඟහිඟ කම්වලටත් මුහුණ දුන්නේ ගොවියාය.  වත්මන්  රජය බලයට පත් වී වසරක් 2 1/2 තුළ අත්විඳි මේ කටුක අත්දැකීම්  හමුවේ මෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග මෙරට තුළ  කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීම සඳහා ප්‍රවේශයක් ඇති කරමින් සිරිසේන ජනපතිවරයා ඉදිරියට පියවරක් තබා ඇති බව පෙනෙන්ට ඇත.
ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඒ ඉදිරි  පියවරය. මෙරටේ සෑම බිම් අඟලක්ම වගා කොට  මෙරට ආහාරවලින්  ස්වං‍පෝෂිත කිරීම මෙම සංග්‍රාමයේ ඉලක්කය වී තිබේ. ග්‍රාම සේවා නිලධාරියකු ලෙස ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳ අත්දැකීම් ලබා ඇති වත්මන් ජනාධිපතිවරයාද ගොවි පවුලක ගොවි පුතෙකි. මේ නිසා මෙරටේ අතීත කෘෂිකාර්මික සශ්‍රී්‍රිකත්වය ගැන ඔහුට ඇති  පුළුල්  අවබෝධය අවතක්සේරු කළ නොහැකිය. ආහාර නිෂ්පාදන සංග්‍රාමය ජනපතිගේ ඒ ජීවන අත්දැකීම් සමග මතු වූ යථාර්ථවාදී වැඩපිළිවෙළක් විය හැකිය.
අතීතයේදී අප රට  සහලින් ස්වයං‍පෝෂිත වූයේ දියුණු වාරි කර්මාන්තයත් සමගය. ඇතැම්  විදෙස් රටවල් අපේ වාරි කර්මාන්තයෙන් ගුරු හරුකම් ලබාගෙන එරටේ කෘෂිකාර්මික විප්ලවයක් ඇති කළ බවටද වාර්තා පළ වී ඇත්තේය. මෑත කාලයේ අප රටේ ක්‍රියාත්මක වූ දැවැන්ත වාරියෝජනා ක්‍රම ‍පෝෂණය වන්නේ   මහවැලි දැවැන්ත ජල යෝජනා ක්‍රමයෙනි. මේ නිසා ඉදි වූ ජලාශ හා වගාබිම් බවට පත් වූ ඉඩම් ගැන අදත් ආඩම්බරයෙන් කතා කළ හැකිය.  ඕනෑම කාර්යයක් ක්‍රියාත්මක කිරීමේදී මුහුණදීමට සිදුවන ‍පොදු අභියෝග මහවැලි යෝජනා ක්‍රමයේදීද දක්නට ලැබුණි. එහෙත් මේ වනවිට එහි අවසන් අදියරද  පසු කරමින් සිටී.
මහවැලි ව්‍යාපාරය කෘෂිකාර්මික කලාප ඇති කිරීමේ පුරෝගාමියා වූයේය. ඩී.එස්. සේනානායක අගමැතිවරායා, මිනිපේ  යෝධ ඇළ ඉදිකර ගොවිජනපද  බිහි කළා සේම මහවැලි ව්‍යාපාරය නිසා බිහි වූ කෘෂිකාර්මික කලාප ගණනද  දහයකි. මෙම කෘෂිකාර්මික කලාප තුළ බිහි වූ කෘෂිකාර්මික ගම්මාන ගණන 223කි. ඒවායේ පදිංචි පවුල් ගණන 2,40000කි. ඔවුන්ගේ දෑත් සවියෙන් සශ්‍රිකවන ගොවිබිම් ප්‍රමාණය හෙක්ටයාර්  1,25000කි. එයින් ගොඩ ඉඩම් හෙක්ටයාර් 20000ක් හැර ඉතිරිය මඩ ඉඩම්ය.
 ජනාධිපති  සිරිසේන මහතා ප්‍රකාශයට පත් කර ඇති ආහාර නිෂ්පාදන  සංග්‍රාමයට සජීවී දායකත්වය දක්වන්නට මහවැලි අධිකාරිය පෙරමුණ ගෙන  ඇත්තේය. ඒ සඳහා මහවැලි සතිය නමින් වැඩ සටහනක්ද ප්‍රකාශයට පත් කර ඇත. මෙම වැඩසටහනට නායකත්වය සපයන්නේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙසය. මහවැලි සතිය වැඩ සටහන් ගැන  එහි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභාය ජයරත්න මහතා සඳහන් කරන්නේ මෙවන් අදහසකි.
‘අපේ ජනතාවට කෘෂිකර්මය අලුත් දෙයක් නොවේ. නමුත් විවෘත ආර්ථිකය තුළ අඩුමිලට වෙළෙඳ‍පොළේ ආහාර සුලභ වූ නිසා අපේ ගොවිදරුවන් බොහෝ දෙනෙක්  ගොවිතැන අතහැර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු වී තිබෙනවා.  මේ නිසා මේ රටේ කෘෂිකර්මාන්තය  යම් කඩා වැටීමක් සිදුව තිබෙනවා. අද ලෝකයේ  සෑම රටකම ආර්ථික  ගැටලු මතුව තිබිම නිසා සෑම රටකම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින්. ඒ නිසා අද අපේ වෙළෙඳ‍පොළෙත් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ජනතාවට  අනපේක්ෂිත අපහසුතාවලට මුහුණදීමට සිදුව තිබෙනවා.’
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආහාර නිෂ්පාදන  සංග්‍රාමය ප්‍රකාශයට පත් කරන්නේ එවැනි පසුබිමකය. මේ කාරණය කාලීන අත්‍යවශ්‍ය කාරණයක්. මේ කටයුත්ත  සාර්ථක කර ගන්න සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා සියලු පුද්ගලයන් තම තමන්ට හැකි අයුරින් ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. අපි මහවැලි  අධිකාරිය මෙහි පෙර ගමන්කරුවෙකු වී මහවැලි සතිය නමින් වැඩසටහනක් ප්‍රකාශයට  පත් කරලා තිබෙනවා. අපේ තේමාව තමයි‘ යළි අපි නැඟිටිමු  - අටුකොටු පුරවමු’ කියන එක. 2017 ඔක්තෝබර් 05 සිට ඔක්තෝබර් 12 දක්වා මේ වැඩ සටහන අපේ මහවැලි කලාප දහයම අවාරණය වන පරිද්දෙන් වැඩසටහන් සංවිධානය කරලා තිබෙනවා” යැයි ගෝඨාභය ජයරත්න මහතා කීවේය.
මහවැලි සතිය ආරම්භ වන්නේ ලබන 05 දාය.  එදින ආගමික දිනය ලෙස නම් කර ඇත. ඒ අනුව ප්‍රධාන ආගමික වැඩසටහන් පැවැත්වෙන්නෙ දඹුළු විහාරය, හා ශ්‍රී මහා බෝධිය අසලදීය. ඊට අමතරව  හුරුළුවැව මහවැලි සී කලාපය, රඹකැන්ඔය  මහවැලි සී කලාපය, වලව, මහවැලි  එල් හා එච් කලාප, මොරගහකන්ද, මැදිරිගිරිය හා වික්ටෝරියා  යන ප්‍රදේශවලදී බෝධි පූජා, වැසි පිරිත්, දේව පූජා, ආධ්‍යාත්මික වැඩ සටහන්, ධර්ම දේශනා හා  දානමය පින්කම් වැනි ආගමික වැඩ සටහන් පැවැත්වේ.
ගොවි දිනය ලෙස නම් කර ඇත්තේ ඔක්තෝබර් 6 වනදාටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙදින ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සඳහා හුරුළුවැව මඩාටුගම  කොට්ඨාශයේ තිබ්බටුවැව ඒකකයේදී වප්මඟුල් උත්සවය පැවැත්වේ. මෙදින  මහ කන්නයේ  වගා සැලැස්ම ප්‍රකාශයට පත් කෙරෙන අතර ගෙවතු සංවර්ධන විශේෂ වැඩ සටහනද ආරම්භ කරනු ඇත. මහවැලි ගොවීන්ගේ  ඉඩම් ඔප්පු ප්‍රදානය අවාරයේ වගා කළ ගොවීන්ට ත්‍යාග ප්‍රදානය, මහවැලි පදනම  ශිෂත්ව ප්‍රදානය, ගොවීන්ට බිජ, පැල හා කෘෂි උපකරණ බෙදා දීම, කොස් හා පලතුරු පැළ 5000ක් රෝපණය ආදී වැඩ සටහන් රැසක් එදින ක්‍රියාවට  නැංවීමට නියමිතය. ජාතික ආහාර නිෂ්පාදන  සංග්‍රාමය වෙනුවෙන් 2017/2018  මහ කන්නයේදී  මහවැලි කලාපවල වී නිෂ්පාදනය  මෙ.ටොන් 50,0000ක් ඉලක්ක කර ඇති අතර  බඩ ඉරිඟු මෙ.ටොන් 8690 ක්ද  , සෝයා මෙ.ටොන් 1554ක්ද ලොකු ලූනු බිජ මෙ.ටොන් 12 ක්ද මිරිස් , මෙටොන් 3856ක්ද මාෂ බෝග මෙ.ටොන් 1500ක්ද කුරක්කන්  මෙ.ටොන් 970ක්ද  කෘෂි ළිං යටතේ  එළවළු මෙ.ටොන් 46000ක්ද  නිෂ්පාදන ඉලක්ක ලෙස තබාගෙන ඇත.මේ අතර ඉදිරි වර්ෂ තුන ඇතුළත ආදර්ශ ගෙවතු 15000ක්ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
අධ්‍යාපන හා පරිසර දිනය ලෙස නම්කර ඇත්තේ ඔක්තෝබර් මස 7 වැනිදාය. මෙදින මහවැලි කලාපය තුළ පිහිටි පාසල් 223ක ආදර්ශ ගෙවතු ආරම්භ කිරීමත්, සිසුන් සඳහා මහවැලි ජලාශ නැරඹීමට අවස්ථාව ලබා දීමත් සිංහල සාහිත්‍ය  රසාස්වාදය සඳහා සිසුන් 250කට වැඩමුළු පැවැත්වීම හා මහවැලි කලාපයේ පුස්තකාල 10ක් සඳහා  රුපියල් 25000ක් බැගින්  වටිනා ‍පොත් කට්ටල ප්‍රදානයක්ද සිදු කිරීමට නියමිතය.
පශු සම්පත් දිනය වන්නේ ඔක්තෝබර් 08 වැනිදාය. මෙදින  රුපියල් මිලියන 2.5ක් වටිනා කිරි ගවයින්, කුකුළු පැටවුන්, කිරි දොවන යන්ත්‍ර , ගව නිවාස, කුකුළු නිවාස,   තෘණ  කැබලි කරන යන්ත්‍ර ආදිය ගොවීන්ට ප්‍රදානය කිරීමට නියමිතය. එමෙන්ම  සත්ව ආහාර නිෂ්පාදනය හා සත්ව  සායන පිළිබඳ වැඩමුළු පැවැත්වීමටද මෙදින සැලසුම් කර තිබේ.
ව්‍යවසායකත්ව දිනය වන්නේ  ඔක්තෝබර් 09 දාය. මෙදින මහවැලි සුළු පරිමාණ ව්‍යවසහයකයන්ට  සහන පදනම මත රුපියල් මිලියන 1.5ක් වටිනා භාණ්ඩ හා උපකරණ බෙදාදෙනු ලබන්නේය.  එමෙන්ම තරුණයන් සඳහා  ස්වං රැකියා මැඩමුළු 8ක්ද  ආහාර සකස් කිරීමේ තාක්ෂණය පිළිබඳ කාන්තා වැඩමුළු 10ක්ද  ස්වයං රැකියාලාභීන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශන වැඩමුළු 2ක්ද මෙදින  මහවැලි කලාපයන්හිදී පැවැත්වේ. භූ විද්‍යා හා  පතල් කැණීම් අංශයේ දායකත්වයෙන් මහවැලි සේවා වනිතා ඒකකය මහවැලි සී කලාපයේ ඉදිකර ඇති රුපියල් ලක්ෂ 19ක් වටිනා නිවාසය අදාළ පවු‍ලේ සාමාජිකයන් වෙත පිරිනැමීම සිදුවන්නේද මෙදිනටය. මෙදින   හුරුළුවැව කලාපයේ වැඩ සටහන් 3ක්ද, සී කලාපය  තුළ වැඩසටහන් 3ක්ද,   රඹකැන්ඔය කලාපයේ වැඩ සටහන් 3ක්ද, බි කලාපයේ වැඩ සටහන් 2ක්ද, මහවැලි වලව කලාපයේ   විවිධ වැඩ සටහන් 5ක්ද,  එල් කලාපයේ වැඩ සටහන් 4ක්ද  එච් කලාපයේ වැඩසටහන් 2ක්ද, මොරගහකන්ද කලාපයේ වැඩසටහන් 5ක්ද, මැදිරිගිරිය කලාපයේ වැඩ සටහන් එකක්ද, වික්ටෝරියා කලාපයේ වැඩසටහන් 3ක්ද, ආදී වශයෙන් ව්‍යවසහයකත්ව සංවර්ධනයට අදාළ වැඩසටහන් 31 ක් පැවැත්වේ. මහවැලි කලාප සියල්‍ලේ්ම ප්‍රධාන ව්‍යවසහයකයන්ගේ සහභාගිත්වයෙන් මහ ව්‍යාපාරික හමුව කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට මහවැලි අධිකාරියේ ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු කර තිබේ.
ඔක්තෝබර් 10 දා  ධීවර දිනය ලෙස මහවැලි සතිය තුළ වෙන් කර තිබේ. මෙදින මහවැලි ජලාශයන්ට මත්ස්‍ය ඇඟිල්ලන් ලක්ෂයක් නිදහස් කිරීමට නියමිතය. මීට  අමතරව මහවැලි ධීවර ජනතාවට රුපියල් ලක්ෂ 10ක ධීවර ආම්පන්න සහන පදනමින් ලබා දීමට සැලසුම් කර ඇත. මීට අමතරව මහවැලි කලාප 10 තුළ  ධීවර කර්මාන්තයට අදාළ විවිධ වැඩ සටහන් 17ක් පැවැත්වීමට සූදානම් කර ඇත.
රාජ්‍ය සේවක දිනය සඳහා වෙන්කර ඇත්තේ ඔක්තෝබර් 11 දිනයයි. මේ නිමිත්තෙන් මහවැලි කලාප  10 තුළ පිහිටි කාර්යාල 54ක් ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ වැඩ සටහන ආරම්භ කිරීමට නියමිතය.   ඒ අතර මහවැලි නිලධාරීන්ගේ ආකල්ප සඳහා ඵලදායිතාව වර්ධනය සඳහා වැඩ මුළු 10ක්ද, සංවිධානය කර තිබේ. එමෙන්ම මහවැලි කලාපයේ කලාප 10ක තුළ රාජ්‍ය සේවයට අදාළ වැඩසටහන් 90ක් මෙදින පැවැත්වීමටද සැලසුම් කර ඇත.
දියවර දිනය වෙන් කර ඇත්තේ ඔක්තෝබර් 12 දිනටය. මෙදින මහවැලි සතියේ අවසන් දිනයයි. මෙදින මහවැලි කලාප තුළ වාරි ඇළ පද්ධති අලුත්වැඩියා හා ශුද්ධ කිරීම කටයුතු ශ්‍රමදාන 223ක් සංවිධානය කර ඇති අතර සහභාගිත්ව ජල කළමනාකරණ වැඩමුළු 16ක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත. මීට අමතරව මහවැලි කලාප 10 තුළ දියවර දිනය නිමිත්තෙන් විවිධ වැඩ සටහන් 80ක් පැවැත්වීමට සූදානම් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය මහවැලි  කලාපයට සීමාවූවක් නොවේ. එය  මුළු රටම වැළඳගත යුතු ජාතික වැඩසටහනකි. දේශපාලන පිල් බෙදීම්වලින් තොරව අපේ රටේ අපට අවශ්‍ය ආහාර අපිම  නිපදවා ගන්නා මෙම වැඩසටහන කාලීන අවශ්‍යතාවයකි. අතීතයේදී  අඩු පහසුකම් සහිතව  සුළු ජනකොටසක් අපේ රට සහලින් ස්වං‍පෝෂිත කළේ නම් මෙවන් හපන්කම් කරන්නට අද අපිට එදාටත් වඩා පහසුකම් හා ජන බලය ඇත්තේය. අවශ්‍ය වන්නේ මනා සංවිධානයක් හා  සමගිව රටේ ආර්ථික ක්‍රියාවලිය  පණ ගන්වා ගැනීමේ අධිෂ්ඨානශීලී කැපවීමකි.

ජයසූරිය උඩුකුඹුර

IMAGE

තමන්ද නොදැනුවත්ම ‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ කතක්

IMAGE 2017 Oct 23 15:15
‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක...
Views - 119

වයිට්නිං ක‍්‍රීම්වලින් ඇත්තටම සුදු වෙනවද?

IMAGE 2017 Oct 23 11:55
අද කාලෙ තමන්ගේ සමේ පැහැය ගැන උනන්දු වෙන්නෙ කාන්තාවන් විතරක් නෙවෙයි. පිරිමි අයත් සුදු හෝ...
Views - 163

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

IMAGE 2017 Oct 23 11:30
වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ...
Views - 251

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1884

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 3069

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 2104

Please publish modules in offcanvas position.