lakbima.lk

සමන් වික්‍රමාරච්චි රටේ වැඩියෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ සම්මානීය ගත්කතුවරයෙකු හා සාහිත්‍ය විචාරකයෙකු වශයෙනි. එහෙත් ඔහු වෘත්තියෙන් විනිසුරුවරයකු ලෙස රාජකාරි කළ අයෙකි. මහේස්ත්‍රාත්, දිසා විනිසුරු, මහාධිකරණ විනිසුරු, පළාත්බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ද බොහෝ ප්‍රදේශවල විවිධ දේශපාලන හා සමාජ තත්ත්වයන් යටතේ රාජකාරි කර ඇති ඔහුගේ වෘත්තීය අත්දැකීම් බොහෝය. ඔහුගේ වෘත්තිය දිවියේ විශේෂ සිද්ධියක් වූයේ ගංගොඩවිල සෝම හිමියන්ගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමය. මුළු රටේම ආන්දෝලනයට ලක් වූ එම සිද්ධිය හා විනිසුරු දිවියේ මතක සටහන් දිග හැරෙන ලිපි මාලාවේ හයවෙනි කොටසයි මේ.

තම වොක්ස්වැගන් මෝටරථයේ ඇඳුම් බෑගයද දමාගෙන ගොස් මොරවක උසාවියේ මහේස්ත්‍රාත්වරයා වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කළත් සමන් වික්‍රමාරච්චිට මොරවක මහේස්ත්‍රාත් වසමේ නතර වීමට ස්ථානයක් පිළිබඳව නිශ්චිත අදහසක් නොවීය.

“ඒ කාලෙ කීර්ති අබේවික්‍රම කියන මන්ත්‍රීවරයාගේ විශාල නිවසක් මහපාර අයිනෙම තියෙනවා. ඒකෙ නතර වෙන්න පුළුවන්ය කියල මට පණිවුඩයක් ලැබුණා” ඒ අලුතෙන් පත්ව ආ මොරවක මහේස්ත්‍රාත්වරයාගේ නවාතැන් පිළිබඳ පළමු ඔත්තුව විය.

අලුත් මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් උපදෙස් ඉල්ලා සිටියේය.

“අග්‍ර විනිශ්චයකාර පාරින්ද රණසිංහ මහත්තයා මට කිව්වා දේශපාලනයට සම්බන්ධ කිසිවෙකුගේ නිවසක නතර වෙන්න එපාය කියලා. මට මේක තදින් හිතට වැදුණා. මේ හේතුව නිසා මම මතුගමට මාරුවෙලා ගියාම ලොකු ගැටුමකටත් මුහුණ දුන්නා” විශ්‍රාමික විනිසුරුවරයා අතීත තොරතුරු සිහිපත් කරමින් පැවැසුවේය.

උසාවියේ රෙජිස්ටාර්වරයා පැවැසුවේ මොරවක හන්දියේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ වූ කාමරයක් හිස්ව තිබෙන බවය. එය අයිති වූයේ සිංහ මුදලාලි නමැති ව්‍යාපාරිකයකුටය. නගරයේ ඉන්ධන පිරවුම්හල ඇතුළු ව්‍යාපාර කීපයක්ම ඔහුට හිමිව තිබුණි.  හන්දියේ වූ දෙමහල් ගොඩනැගිල්‍ලේ පහත මාලයේ ලී බඩු වෙළෙඳ සැලක් පවත්වාගෙන යමින් තිබුණි. එහි ඉහළ මාලයේ කලින් මහජන බැංකු ශාඛාවක් පවත්වාගෙන ගිය අතර, ඒ සඳහා අලුත්ම ගොඩනැගිල්ලක් ඉදිවූයෙන් ඔවුන් එම නව ගොඩනැගිල්ල වෙත ගිය නිසා ඉහළ මාලය හිස් විය.

රෙජිස්ටාර්වරයා සමග එහි ගිය නව මහේස්ත්‍රාත්වරයා ලීබඩු වෙළෙඳ සැ‍ලේ කළමනාකරු සමග කතා කරගෙන ඉහළ මාලයේ කාමරය නවාතැන සඳහා වෙන්කර ගත්තේය. ඇඳක්, මේසයක් සහ පුටු කීපයක් එහි විය. ලී බඩු සාප්පුවේ කළමනාකරුගේ නිවසින් දහවල් සහ රාත්‍රී ආහාර ලබාගැනීමට කටයුතු පිළියෙළ විය.

“ඉස්කෝලෙ නිවාඩු කාලයට අපේ පුංචි පුතාවත් අරගෙන නෝනත් ආවා ඒ කාමරේට. අපි භූමිතෙල් උදුනක් සහ වළං, මුට්ටි කීපයක් අරගෙන එහිම උයා පියා ගත්ත” සමන් වික්‍රමාරච්චි අතීත තොරතුරු හෙළි කරන්නට විය.

මොරවක මහේස්ත්‍රාත් උසාවියේ ඒ වන විට නොවිසඳන ලද නඩු ගොඩ ගැසී තිබුණි. උසාවියට එන මිනිසුන් නිරන්තරයෙන් සිදුවන නඩු කල් දැමීම නිසා ආපසු හැරී ගියේ බලා‍පොරොත්තු කඩවුණ කලකිරීමේ සිතුවිලිවලිනි.

“ඒ උසාවිය අධිකරණ කොමිෂන්  සභාවෙන් අත්හැර දැමුණු උසාවියක් වගෙයි තිබුණෙ. කොළඹින් චක්‍ර ‍ලේඛන එවනවා. එයට හැර වෙන අධීක්ෂණයක් සිදුවුණ වගක් තිබුණෙ නැහැ” තමන් පැමිණෙන විට මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ තත්ත්වය ඔහු හෙළි කරන්නේ එසේය. තරුණ වියේ සිටි නවක මහේස්ත්‍රාත්වරයා සිතුවේ එම තත්ත්වය වෙනස් කළ යුතු බවය. එයට  ඔහුට එක්තරා පූර්වාදර්ශයක්ද තිබුණි. ඔහුට කලින් එහි සේවය කළ සමරකෝන් නැමැති මහේස්ත්‍රාත්වරයා මාස හයක පමණ කෙටි කාලයක් එහි සේවය කළත් බොහෝ නඩු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කර තිබුණි.

මෙයට පෙර එහි සිදුව තිබුණේ කෙනෙකු සාක්කි දුන් පසු හරස් ප්‍රශ්න ඇසීමට වෙනත් දිනයක් නීතිඥවරුන් විසින් ඉල්ලා සිටීමය. බොහෝ විනිශ්චකාරවරුන් විසින් එයට ඉඩ දී තිබුණි.

“මම කිව්වා සාක්කි අහපු දිනයේම හරස් ප්‍රශ්නත් අහන්නය කියලා. ඒ සඳහා හවස් වෙනතුරු උසාවියෙ ඉන්න සූදානම්ය කියලා. නඩු කල් දාන්න මම ඉඩ නුදුන්න නිසා බොහෝ නීතිඥවරුන් මාත් එක්ක අමනාප වුණා.”

නමුත් නවක මහේස්ත්‍රාත්වරයාට අවශ්‍ය වූයේ නඩුවල පාර්ශ්වකරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමය.

“ඒ කාලෙ මොරවක රෝහ‍ලේ එම්.ඕ.එච්. වෙලා හිටියෙ මහීපාල කියල වෛද්‍යවරයෙක්. පසු කාලයක ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වුණා. එයාගෙ නෝන තමයි ඩී.එම්.ඕ.  මට මොරවක ආශ්‍රය කරන්න හිටියෙ ඔය කට්ටිය විතරයි” ඒ මොරවක මහේස්ත්‍රාත් වශයෙන් රාජකාරී කරන සමයේ ඔහුගේ හිතවතුන් පිළිබඳ තොරතුරුය.

එම දිනවල  පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පැමිණියේ ඩී.එම්.ඕ. බිරිඳ නොව, ඇයගේ සැමියා වූ එම්.ඕ.එච්. පාලිතය. දෙනියාය රෝහ‍ලේ වෛද්‍යවරයා වූ සමරකෝන් සහ පාලිත නිවුන්නුය.

“සමහර දවස්වල මොරවක වෛද්‍යවරයා නොමැති විට දෙනියාය වෛද්‍යවරයා එනවා එතකොට අපිට කවුද මේ කියල අඳුන ගන්න බැරිව යනවා” විශ්‍රාමික විනිසුරුවරයා පවසයි.

මේ දකුණේ කලබල උග්‍රව පැවැති වකවානුවය.

කැරැලිකාර තරුණයන් විසින් ලියුම් එවා ව්‍යාපාර ස්ථාන වසා දමන කාල එය විය. මොරවක හන්දියේ ව්‍යාපාර ස්ථානද මෙසේ වසා දැමුණි. සමන් වික්‍රමාරච්චි පදිංචිව සිටි ගොඩනැගිල්ලෙ පහත මාලයේ වූ ලී බඩු සාප්පුවද ඒ අනුව වසා තිබුණි. හමුදාව කඩිමංඩියේ වූ ව්‍යාපාර ස්ථානවල දොරවල් බිඳිමින් ඒවා විවෘත කරන්නට විය. මහේස්ත්‍රාත්වරයා පදිංචිව සිටි ගොඩනැගිල්‍ලේ පහත මාලයේ වූ ලී බඩු සාප්පුවද හමුදා භට පිරිස් විශාල හඬ නංවමින් බිඳලන්නට වීය.

මහේස්ත්‍රාත්වරයාට එම ශබ්දය තව දුරටත් ඉවසා සිටින්නට නොහැකි විය. ඔහු කාමරයෙන් බැහැරව උඩු මහ‍ලේ වූ බැල්කනියට පැමිණියේය.

“මොකද කරන්නෙ” ඔහු පහතට එඹෙමින් ඇසීය.

“ඇයි පේන්නෙ නැතිද ...?” හමුදා සෙබළ පරුෂ වචනයෙන් පවසන්නට විය.

“මම මොරවක මහේස්ත්‍රාත්. මම පදිංචි තැන. යට තට්ටුවෙ මෙහෙම කඩද්දි මගේ ආරක්ෂාවට මොකද වෙන්නෙ” ඔහු ඇසීය. එයින් පසුව මහේස්ත්‍රාත්වරයා සහ හමුදා සෙබළුන් අතර තරමක උණුසුම් විවාදයක් ඇති විය. එය අසා බලා සිටි සාමාන්‍යය ජනතාවට නම් එය මහත් විනෝද ජනක අවස්ථාවක් විය.

“කොහොම හරි ඒ කාලෙ පැවැතුන තත්ත්වය අනුව මගෙ ජීවිතයේ ආරක්ෂාව පිළිබඳවත් මට තරමක බයක් ඇතිවුණා” අතීතය සිහිපත් කරමින් ඔහු පැවැසීය.

පීටර් කැනියුට් පෙරේරා

Page 1 of 6

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.