lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර නගරයේ සේවා ස්ථාන වල සිට සවස වැඩ ඇරී තලාව, තඹුත්තේගම, ගල්ගමුව, අඹන්පොල ආදී ප්‍රදේශ දක්වා ඇදෙන විශාල පිරිසක් ද සිටින බැවින් මෙම බස් රථය මගීන්ගෙන් පිරී තිබුණි. 

බසය දහයියාගම හන්දියට පැමිණෙන විට ඊට තවත් සෑහෙන පිරිසක් ද නැගුණහ. එබැවින් බස් රිය ඇතුලේ තිබූ ඉඩ කඩ බෙහෙවින් සීමිත විය. ඒ අතර නවීන ඇඳුම් කට්ටලයකින් සැරසී තරමක් ලොකු බෑගයක් කරේ එල්ලා ගෙන සිටින තරුණයකු කොන්දොස්තර ගේ නෙත ගැටුණි. 

“ඔය මහත්තයා ඔහොම බෑග් එක කරේ එල්ලන් ඉන්නකොට නිකරුණේ ඉඩ ඇහිරෙනවනේ; ඒ හින්දා ඕක වාඩිවෙලා ඉන්න කාට හරි දෙන්න;”

කොන්දොස්තර උස් හඩින් කෑ ගැසීය.

එහෙත් එම කෑ ගැසීම පිළිබඳව එම තරුණයා ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණි.

“මොකද ඕක කාටවත් දෙන්න බැරි; ඕකෙ තියෙන්නෙ රත්තරන්ද?” ‍

කොන්දොස්තර නැවත කෑ ගැසුවේ සැමගේ අවධානයට ලක්වෙමිනි.  

“රත්තරන් නෙමෙයි; මේක ඇතුලේ ඉන්නේ නයෙක්;”

තරුණයා මෙසේ කියද්දී බසයේ සිටි සියලෝම තෘෂ්නිම්භූත වූහ. අවසානයේ කොන්දොස්තර වහා ඉදිරිපත්ව ඔහුගේ එම බෑගය පරිස්සමෙන් ගෙන රියදුරු අසුන පිටුපසින් තැබීය.

පසුව කරුණු හෙළිවූ අන්දමට ඔහු තඹුත්තේගම ප්‍රදේශයේ ගමක ජීවත්වන තෙළිඟු (අහිකුණ්ඨික) තරුණයෙකි.  දිනපතා අනුරාධපුර‍යේ සහ වෙනත් ප්‍රදේශවල නයි නැටවීමේ යෙදෙන ඔහු සාම්ප්‍රදායික නයි නටවන්නකු මෙන් සරමක් කමිසයක් ඇද සුපුරුදු නයි පෙට්ටියද රැගෙන මහ මඟට නොබසී. ඒ තමන් සමාජයෙන් කොන් වීම වලකනු පිණිසය. ඔහුගේ ඒ නයා සහිත පෙට්ටියත් නයි නටවන නලාවත් එම බෑගය තුළ වූ අතර නවීන ලෙස හැඳපැළද සිටි ඔහුගේ අතේ වූයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් පමණි.

දමයන්ති ගමගේ

 

“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම අපට නොවරදවාම  අසන්නට ලැබෙන්නකි.

මෙම පළමු සුබ පැතුමේ කිරියෙන් හෝ පැණියෙන් යනුවෙන් හැඟවෙන දෙය පිළිබඳව  සෑම දෙනකුම පවසා සිටිනුයේ රසවත් අතුරුපසක් වන ‛කිරි-පැණි‛ සුසංයෝගය මෙන් ප්‍රණීත වූ ඉදිරි වසරක් ඉන් අපේක්ෂා කරන බවය. එහෙත් මෙම ‛කිරි-පැණි‛ කතාව තුළ ඊට වඩා ගැඹුරු මානව විද්‍යාත්මක අරුතක් පළවන බව මගේ නිගමනයයි. ඊට මූලික නිමිත්ත වනුයේ මෙම ආශිංසනයේදී ‛කිරි-පැණි‛ යන්න “කිරියෙන්-පැණියෙන්‍”යනුවෙන් වෙන්කොට දැක්වීමය.

භාරතීය සංස්කෘතිය අනුව කිරි යනු පාරිශුද්ධිය සංකේතනය කරන්නකි. අප ජන විඥානයට අනුව බත මගින් සෞභාග්‍යය සමෘද්ධිය සංකේතනය වන අතර කිරි බතේ දී ඉන් පාරිශුද්ධියද සංකේතනය වේ.

 විෂ්ණු පුරාණයේ දැක්වෙන පරිදි මන්දරගිරි පර්වතය දණ්ඩක් කොටගනිමින් කිරි මුහුද කැළඹ වූ විෂ්ණු හට ලක්ෂ්මිය ප්‍රමුඛ රත්නයන් දාහතරක් ලබාගත හැකි වේ. ඇතැම් හින්දු ඉගැන්වීම්වලට අනුව ලෞකික ජීවිතයේ සෞභාග්‍යය නියෝජනය කරන්නී ලක්ෂ්මියයි. විෂ්ණුට ඇය හිමිවනුයේ ද කිරි මුහුද කැළඹීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කිරි ඉතිරවීම සම්බන්ධ තවත් පුරානෝක්තියකින් පත්තිනි‍ දේවිය පිළිබඳව පැවසේ. කන්නගී නම් මිනිස් කාන්තාව පත්තිනිය ලෙසින් දේවත්වයට පත්වීමෙන් පසු දක්වන පළමු පෙළහර වන්නේ තමන් වෙත ලැබුණු එළදෙනකගේ සමකින් එළදෙනක මවා  ඇගේ කිරි එවකට තම ශාපයෙන් දැවෙමින් තිබූ පඬිරට පුරා  ඉසීමය. එවිට ඒ අනුහසින් යළි පඬිරට සමෘද්ධිමත් වේ. 

මෙම පුරාවෘත්ත පසෙක තැබූව ද ලෞකික ජීවිතයේ සෞභාග්‍යය පතා කිරි ඉතිරවීම ඉන්දියාවේ මෙන්ම අප රටේ අද සුලබව සිදු කෙරේ. මෙම කිරි ඉතිරවීම සිංහල බෞද්ධජන සමාජයේ කෘෂිකාර්මික, ව්‍යාපාරික, ගෘහස්ථ ආදී සෑම කටයුත්තක් ආරම්භයේදීම සිදුවන අභිචාරාත්මක ක්‍රියාවකි.

කුඹුරු ගොවිතැනේ කන්න අවසානයේ සිදු කෙරෙන විශේෂ කිරි ඉතිරවීම “කිරිඉතුරුම් මංගල්‍යය” වශයෙන් හැඳින්වේ. එමෙන්ම සිංහල බෞද්ධයෝ ගෘහස්ථ ජීවිතයේ බොහෝ සුබ කටයුතු ආරම්භයේදී කිරි ඉතිරවීම කරනු දක්නට ලැබේ.

මේ අතර අප රටේ ඇතැම් ප්‍රදේශවල අවමංගල චාරිත්‍ර අතර ද කිරි ඉතිරවීමක් දැකිය හැකිය. ඒ මෘත දේහයක් සුසානය සඳහා නිවසින් පිටතට ගත් පසු එය තැන්පත්කොට තැබූ ස්ථානයේ හෝ එම නිවසේ ආලින්දයේය. ඒ සම්බන්ධයෙන් විමසුම් කළ මා හට දැනගත හැකිවූයේ එසේ ඉතිරීම පිණිස යොදා ගැනෙනුයේ පොල් කිරි මිස එළකිරි නොවන බවය.

ඒ අනුව පොදුවේ ගත් විට ‛එළකිරි ඉතිරීම’ යන වදන ලෞකික සෞභාග්‍යයේ කූඨප්‍රාප්තිය වශයෙන් නිර්වචනය කිරීමේ වරදක් නැත.

මෙහි දී මෙම පැණි යන්න ද මා ඉහත සඳහන් කළ පරිදි මුදවාපු කිරි සමග ආහාරයට ගන්නා පොල් පැණි හෝ කිතුල් පැණි නොවේ. පහළොස්වන සියවසේදී ලියැවුණු“රුවන්මල් නිඝණ්ඩුවේ” පැණි යන්න අර්ථ ගන්වා ඇත්තේ “පැසුණු ගෙඩිවලින් කකාළඉස්ම”වශයෙනි.
“මධු”යනු ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් පැණි හැඟවෙන වදනකි. එමෙන්ම මෙම “මධු”යන්න සුරාව හැඟවීම සඳහා ද යම් තරමකින් ආදේශ කළ හැකිය. නමුත් මධු යන්න මිදියුෂවලින් පෙරාගන්නා ‛වයින්‛ ආදිය සඳහා මිස අරක්කු, කසිප්පු, විස්කි, බ්‍රුන්ඩි, ජින්, වොඩ්කා ආදී සුරා ගණයට වැටෙන සැර මත්පැන් සම්බන්ධයෙන් යෙදිය හැකි නොවේ. සිංහල භාෂාවෙහි ඒවා හැඳින්වෙනුයේ ‛මද්‍ය‛ නමින් බවට දොළොස්වන සියවසේ පමණ ලියැවුණු බව සැලකෙන ‛වෙසතුරුදා සන්නය’, දොළොස්වන සියවසේ ලියැවුණු ‛ධර්ම ප්‍රදීපිකාව’ ආදී කෘතිවලින් පැහැදිලිය.

කිරි මගින් ලෞකික සමෘද්ධිය සංකේතය වනුයේ යම් සේද පැණි හෙවත් “මධු” මගින් එම සමෘද්ධිමත් බව ඔස්සේ මතුකර ගත හැකි, ආශ්වාදනය කළ හැකි ලිංගිකත්වය මුල්කොට ගත් පස්කම් සැපය සංකේතනය කෙරෙන බව මගේ පිළිගැනීම ය.

මේ සඳහා ගත හැකි හොඳම නිදසුන වනුයේ අතීතයේ අප රටේ ද පැවැති බව පැවසෙන මධුපානෝත්සවයයි. භාරතයෙන් අප සමාජයට පැමිණි “කාම දෙවියන්”හෙවන් “අනංගයා”මුල් කොට ගත් අභිචාරාත්මක සැණකෙළියක් ලෙස විස්තර කළ හැකි රාජකීයයන්ගේ සිට සාමාන්‍ය නුවර වැසියන් දක්වා සහභාගී වූ මධුපානෝත්සවයක් පිළිබඳව දහතුන් වනසියවසේදී ලියැවුණු “කව් සිළුමිණ”කෘතියෙන් මනා ලෙස විස්තර කෙරේ. සංගීතය, මධුපානය සහ ස්ත්‍රී සම්භෝගය වැනි කාමභෝගිත්වයේ සංකේත අරමුණු කර ගත් මෙම මධුපානෝත්සවවල දී භාවිතයට ගැනුණේ මල් පැණි, මී පැණි ආදී ප්‍රණීත දෙයින් පෙරන ලද “මධු” මිස ව්‍යවහාර භාෂාවෙන් කිවහොත් “සූර්" වනසුරාව නොවේ.

පැණි හෙවත් මධු යන්න අනුරාගයේ සහ ලිංගිකත්වයේ සංකේත ලෙස දක්වා ඇත්තේ පෙරදිග සංස්කෘතිය තුළ පමණක් නොවේ. විවාහක නව යුවළකගේ පළමු සංචාරය ඉංග්‍රීසියෙන් හඳුන්වනුයේ “හනිමුන්” (Honeymoon) යනුවෙනි. වචනාර්ථ වශයෙන් මෙම වදන් දෙක විමසා බැලුවහොත් “පැණි සඳ” යන අරුත පළවේ. එමෙන්ම මෙම අවස්ථාව හඳුන්වන සිංහල වදන “මධුසමය”වීමෙන් මෙම පැණි, මධු සහ අනුරාගය අතර ඇති අපූරු මානව විද්‍යාත්මක සබැඳියාව කදිමට වටහා ගත හැක. එසේම සමාජයේ විවිධ පුද්ගලයන් ලිංගිකව නම්මවා ගැනීමෙන් පසු ඔවුන් අවමාන තර්ජනයට (Blackmail) ලක්කරනු පිණිස කාන්තාවන් යොදා ගැනීමේ ක්‍රියාවලිය ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Honey Trap හෙවත් “පැණි උගුල”ලෙසිනි. එය ද “පැණි”යන්නෙන් ලිංගිකත්වය සංකේතය වන බවට කදිම නිදසුනකි.

ඒ අනුව මෙම මධු සහ සුරාව පටලවා ගනිමින් මෙම මධුපානෝත්සව “සුරාපානෝත්සව”ලෙස හැඳින්වීම ලොකු වරදකි. එමගින්  ස්ත්‍රිය, සංගීතය, මධුවිත යන අරමුණු ඔස්සේ ජීවිතයේ දාහය නිවාගත හැකි බවට අපූරු චින්තනයක් ඉදිරිපත් කළ එකොළොස්වන සියවසේ පර්සියාවේ විසූ ඕමාර් ඛයියම් ද නිරපරාදේ “බේබද්දකු”බවට පත්කොට ඇත.  නමුදු මත්පැන් පානය පිරිමියකුගේ ජීවිතයේ සෙසු බොහෝ කටයුතු සේම ලිංගිකත්වය ද අඩාල වන බව දන්නෝ දනිති. ඒ කෙසේ හෝ මෙහි මධු නමින් හැඳින්වෙනුයේ කාමෝද්දීපක පානයකි.  එසේම ශරීරයේ ස්නායු අඩපණ කෙරෙන සුරාවෙන් සංගීතයේ සැබෑ රසය විඳගත නොහැකි බවද අමුතුවෙන් කිව යුතු නැත.

ඒ කෙසේ හෝ මෙහි මුලින් පැවසුණු  අවුරුද්ද කිරියෙන්, පැණියෙන් ඉතිරේවා’ යන්නෙහි මානව විද්‍යාත්මක අරුත හුදෙක් මී කිරි සහ පොල් හෝ කිතුල් පැණි ඉක්ම වන්නක් බවත් ඉන් අදහස් වනුයේ උතුරා යන ලෙස හිමිවන ලෞකික සමෘද්ධිය (කිරි) පදනම් කරගනිමින් සිතේ හැටියට ලිංගිකාශ්වාදය මුල්කොට ගත් පස්කම් සැප (පැණි) භුක්ති විඳීමට අවස්ථාවක් උදාවේවාය යන්න බව මගේ නිගමනයයි.

එමෙන්ම මෙහි දැක්වුණු ඊළඟ ආශිංසනයේ දැක්වෙන "බත - බුලත" යන්නෙහි බත යන්න සමෘද්ධිය සෞභාග්‍යය මුල්කොටගත් ලෞකික සංවර්ධනය සංකේතනය කෙරෙන අතර බුලත යන්නෙන් සංකේතනය වනුයේ සාමය සමගිය පදනම් කොටගත් සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික සංවර්ධනයයි.  

අප රටේ ඇති නොයෙකුත් ශාක පත්‍ර අතරින් සදාචාරාත්මක බව  සංකේතනය වන එකම ශාක පත්‍රය බුලත් බව ද කිව යුතුය. බුලතේ උපත නම් ජනකාව්‍යයේ සඳහන් වන පරිදි බුලත් මෙලොවට පැමිණ ඇත්තේ  නා ලොවනි. නා ලොවින් මෙලොවට ලැබුණු (භූ+ ලත්) පසුව බුලත් වූ බව පැවසේ. ඒ අනුව ඉදිරියේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ දී “කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යනුවෙන් අන්‍යයන්ට සුභ පැතීමට පෙර එම සුභ පැතුම් වල සැඟවුණු මෙම යටි අරුත දැන සිටීම ඉතා වැදගත්ය.

තිලක් සේනාසිංහ

 

 

සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන පුරුද්දක් වෙලා; මේ මගින් ජීවිතයේ නොයෙක් සිදුවීම් මුල්කොට තමන්ට තමන්වම ඡායාරූපයට නංවාගෙන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සමාජගත කිරීම බොහෝ දෙනෙකු තුළ පවතින පුරුද්දක්. නමුත් ඕනෑම දෙයක අන්තයට යාම තුළින් ඒ පුද්ගලයාගේ මානසික නිරූපණයක් ඉදිරිපත් වන බැවැන් මේ සෙල්ෆි ඡායාරූප ගැනීම සම්බන්ධ මානසිකත්වයන් ද අපගේ විමසුමට ලක් කළ යුතුයි. විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා එසේ පවසන අතර ඔහු වැඩිදුරටත් ලක්බිම ඔන්ලයින් වෙත මෙසේ කිය.

සෙල්ෆි ඡායාරූප ගැනීමේ පහසුකම් සහිත ජංගම දුරකථනයක් හෝ කැමරාවක් ඇති ඕනෑම අයකුට කිසියම් අවස්ථාවක් මුල්කොට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ සිතුවිල්ලක් පහළ වී එය ක්‍රියාවට නැංවිය හැකියි. නමුත් ඒ පහසුකම් සහිත කැමරාවක් ඇති නිසා සෑම අවස්ථාවකම ‘සෙල්ෆියක් ගැනීම’ට සිත බල කිරීම ඔස්සේ ඒ තැනැත්තා සෙල්ෆි ඇබ්බැහියාවට (selfie addiction) නතුවිය හැකියි. එවන් තත්වයකට පත්වූවන්  කරන්නේ තමන්ට හැකි සෑම අවස්ථාවකම ‘සෙල්ෆියක්’ ගැනීමට වෙර දැරීමයි.

මෙලෙස නිරතුරුවම සෙල්ෆි ගැනීමට යොමුවන්නේ තමන් පිළිබඳ සුවිශේෂී ආත්ම සංවේදීතාවයක් ඇති පුද්ගලයන් බව අනාවරණය වී තිබෙනවා. එසේ නැතත් ඒ සෙල්ෆි ඡායාරූප ගන්නා අවස්ථාවේ බාහිර පරිසරය වෙත ඇති අවධානය මුලුමනින්ම තමන් වෙත යොමුවීම නිසා ඒ තැනැත්තාගේ ආරක්ෂාව මඳ වී ඔහු හදිසි අනතුරකට ලක්වීමටත් ඇතැම්විට මරණයට පවා පත්වීමටත් පුලුවන්. වර්තමාන ලෝකයේ මෙම සෙල්ෆි මරණ (death by selfie) සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ඒවා පාලනය කිරීම කෙරෙහි ලෝක අවධානය පවා යොමුවී තිබෙනවා.

මෙසේ නිරන්තරයෙන් සෙල්ෆි ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධියට පත් කෙරෙන බොහෝ දෙනෙක් එමගින් තමන් පිළිබඳ සමාජමය ඇගැයුමක් බලාපොරොත්තු වෙනවා; ඒ වගේම තමන්ගේ කඩවසම්බව, රූමත් බව, පෞරුෂය ආදිය පිළිබඳ පමණට වැඩි ඇගැයුමක් සහිත ආත්මරාගී පෞරුෂයක් (Narcissistic Personality) සහිත පුද්ගලයන් ද මෙලෙස නිතර නිතර තමන්ගේ සෙල්ෆි ඡායාරූප සමාජ ජාල වලට යොමු කොට ඉන් සෙස්සන් ගේ ඇගැයුමක් අපේක්ෂා කරනවා. නමුත් තමන්ට ලැබෙන ඇගැයුමින් ඔවුන් සෑහීමකට පත්වන්නේ නැහැ. එසේ අගැයුමක් ලැබෙන විට ඒ අගැයුම වැඩි වැඩියෙන් ලැබීමට ඔවුන් යොමුවෙනවා. මේ තත්වය යහපත් මානසිකත්වයක් සේ සලකනන්නට බැහැ.

නමුත් සමාජ ජාල වෙබ් අඩවි මගින් යමකුගේ සෙල්ෆි ඡායාරූපවලට විශේෂ අගැයුමක් දීමට කිසිවකුටත් අමුතු අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඉහත සඳහන් ආත්මරාගී පෞරුෂයෙන් යුතු අය සිතන්නේ තම හිතමිතුරන් තමන් හට හිමි කළ යුතු සැබෑ අගැයුම හිමි නොකරන බවයි. එහි දී එම මානසික තත්වය මුල්  කොට ඒ තැනැත්තා ගේ සිත තුළ නොසන්සුන් බවක් කලකිරීමක් සේම එසේ තමන් අගැයුමට ලක් නොකරනවුන් පිළිබඳ නොරිස්සුමක් සහ කෝපයක් ද හටගත හැකියි.

එමෙන්ම එසේ තමන් සමාජ ජාල වෙබ් අඩවි මගින් ඉදිරිපත් කරන සෙල්ෆි ඡායාරූප මුල් කොට විවේචනාත්මක අදහස් පළ කරන්නවුන් ගමඟ ගැටුම් ඇති කර ගැනීමට ද පෙළඹිය හැකියි.

කෙසේ හෝ මා ඉහත සඳහන් කළ ආත්මරාගී පෞරුෂය සහිත පුද්ගලයන් මෙම සෙල්ෆි ඡායාරූප කලාව පදනම් කර ගනිමින් තමන්ගේ එම පෞරුෂය නිරූපණය කිරීමට වෙරදරන මුත් එය පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කෙසේවත් යහපත් තත්වයක් නොවන බව ද කිව යුතුයි.

සහන් සංකල්ප සිල්වා

ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල අද්භූත ආලෝක ධාරා සහ ආලෝක ලප සටහන් වීම මෑතක සිට අප සමාජයේ විවෘත කතා බහට ලක්වන්නකි. මෙබඳු ඡායාරූප තම ජංගම දුරකථන වල රඳවා ගනිමින් හා සමාජ වෙබ් අඩවි වලට එක් කරමින් ඒවා දේවතා එළි ලෙස හඳුන්වන්නට ඇතැමෙකු පෙළඹී සිටින බව ද නොරහසකි.

මේ සමඟ අප ඔබ වෙත ඉදිරිපත් කරනුයේ පසුගිය දා අප විසින් කරන ලද දැනුම් දීමකට අනුව අපගේ පාඨක හිතවතුන් විසින් අප වෙත යොමු කරන ලද එම මාදිලියේ ඡායාරූප අතරින් කිහිපයකි. එබැවින් මෙම ඡායාරූප මුල්කොට ඒ පිළිබඳ විද්‍යාත්මක හා ධර්මානුකූල පිළිතුරු ඔබ වෙත ලබා දීමට අපි අදහස් කළෙමු.


මෙහිදී මුලින්ම අප හා අදහස් පළ කොට සිටියේ ඡායාරූප ශිල්පය පිළිබඳ විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය වරයෙකු හා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතාය.  

“ඔය මාදිලියේ ඡායාරූප සිය දහස් ගණනක් මා වෙතත් ලැබී තිබෙනවා. ආගමික සිද්ධස්ථාන සහ ආගමික පුද පූජා පැවැත්වෙන ස්ථාන වල ගනු ලබන ඡායාරූප වල මෙවැනි ආලෝක ධාරා සහ ආලෝක ලප දක්නට ලැබුණොත් බොහෝ දෙනා ඒවා හඳුන්වන්නේ දේවතා එළි හැටියටයි. නමුත් අවමංගල උත්සව සුසාන භූමි ආදියේ ඡායාරූප වල මේවා සටහන් වී තිබුණොත් බොහෝ දෙනෙක් ඒවා හඳුන්වන්නේ මළවුන්ගේ ආත්ම ලෙසයි.

අද අප දකින එවැනි ඡායාරූප සියල්ලම සටහන් වන්නේ සරලසංයුක්ත  (Compact Digital ) කැමරාවලයි.  ඒ හැරුණුකොට අර්ධ වෘත්තික (Semi Professional) කැමරා වලින් සහ ඉහලාන්ත (High End) කැමරා වලින් ගන්නා ඡායාරූප වල මෙවැනි ලකුණු දක්නට  නැහැ.

වාතයේ ඇති ජල වාෂ්ප, කැමරාවේ ෆ්ලෑෂරයේ එළියෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම නිසා විවිධ රටා සහිත ආලෝක ලප ලෙසින් පින්තූරයේ සටහන් වෙනවා. නමුත් ඊට වඩා තත්ත්වයෙන් උසස් කැමරාවල ෆ්ලෑෂරය කාචයට වඩා ඉහළින් ඇති නිසා මේ තත්වය ඇති වන්නේ නැහැ. සරල සංයුක්ත කැමරා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය නිසා පවතින ආලෝකයට අනුව දීර්ඝ අනාවරණ (Long exposure)වුව ලබා ගන්නවා. ඒ අවස්ථාවේ කැමරාව යන්තමින් හෝ සෙලැවුණහොත් සටහන් වන ඡායාරූපය ද ඇදී ගිය ආකාරයක්  පෙන්නුම් කරනවා.  මේ මා දුටු සියළුම දේවතා එළි ඡායාරූප වල ඇත්තේ ඒ විද්‍යාත්මක යථාර්තය විතරමයි. ඒ හැරුණු කොට ඡායාරූපය ගන්නා පරිසරය තුළ ඇති වෙනත් ආලෝක තත්වයන් නිසා ඡායාරූපයේ දීප්තිමත් ආලෝක ධාරා (Glare)  සටහන් වන්නටත් පුළුවන්.”


ඉන් අනතුරුව අපි මේ සම්බන්ධයෙන් ධර්ම ශ්‍රාස්ත්‍රීය විග්‍රහයක් ලබා දෙන මෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගෙන් ඉල්ලා සිටියෙමු.

“ලෝකයේ බොහෝ ආගම් වල දේව විශ්වාස ප්‍රධාන ශාස්තෘ දේශනාවේ හරය ලෙස සැ‍ලකෙතත් බුදුදහමේ එවැනි තත්වයක් නැහැ.  මිනිසාගේ ස්වාමිත්වයට මුල් තැන දෙන බෞද්ධ දර්ශනයේ කිසිදු තැනක දෙවි‍යකුට හෝ බ්‍රහ්මයකුට තැනක් දී  නැහැ. බුදු දහමේ දාර්ශනික හරය එසේ වුවත් ත්‍රිපිටක සාහිත්‍යයේ බොහෝ තැන්වල දෙවියන් සම්බන්ධ විවිධාකාර කරුණු ඉදිරිපත් වෙනවා. නමුත් ඔය කියන ආකාරයට මිනිසුන්ගේ නවීන තාක්ෂණික උපක්‍රම වලට ඒ දෙවිවරුන් පිළිබඳ සංඥා ග්‍රහණය වෙතැයි සිතන්නට බැහැ.

 ඕනෑම ආගමක දාර්ශනික පක්ෂය වගේම ජන ආගමික පක්ෂයකුත් තිබෙනවා. ඒ ජන ආගම මිනිසුන්ගේ සිත් සතන් තුළින් ඉපිද තත්කාලීන සිතුම් පැතුම් මත දෝලනය වන්නක්. බුදු දහම සම්බන්ධයෙන් “ජනප්‍රිය බුද්ධාගම” යනුවෙන් හැඳින්වෙන්නේත් ඔය තත්වයයි.

ඒ අනුව ඡායාරූප වලට දේවතා එළි සටහන් වූ බවක් පැවසීම ජන ආගම මත පදනම් වූ ජනප්‍රිය බුද්ධාගමට අදාල වූවක් මිස දාර්ශනික බුදුදහම තුළ කිසිම ඇගැයුමකට ලක්කළ හැකි කරුණක් නොවේ.




දමයන්ති ගමගේ

 

ගම්පහ පොලීසිය විසින් අද(19) පෙරවරු 10 සිට ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක කරන ලද විමසුම් වලදී ගම්පහ නගරයට ටියුෂන් එන බව පවසා නගරයේ වෙනත් ස්ථාන වල නොමනා ලෙස හැසිරෙමින් සිටි බාල වයස්කාර ජෝඩු 24ක් පොලිස් භාරයට ගන්නා ලදී.

මෙයින් බාලවයස්කාර ජෝඩු 15ක් ගම්පහ සිනමා ශාලා තුළ අසභ්‍ය ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් භාරයට ගැනුණු අතර ඉතිරි බාලවයස්කාර ජෝඩු පොලිස් භාරයට ගෙන ඇත්තේ ගම්පහ නගරයේ ගොඩනැගිලි තුළ එලෙස හැසිරෙමින් සිටියදීය.

මේ අතර ගම්පහ නගරයේ ගොඩනැගිල්ලක් තුළ තිබූ බිලියට් ක්‍රීඩාව සිදු කරන ස්ථානයකදීද බාල වයස්කාර දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ පොලිස් භාරයට ගැනුණු ළාබාල පෙම්වතුන් පොලීසියට පවසා ඇත්තේ තම දෙමාපියන්ගේ අවසරය මත මතු විවාහ වීමේ අරමුණින් මෙම ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන යන බවය. එහෙත් පසුව එම දෙමාපියන් පොලීසියට කැඳවා කරන ලද විමසීම් වලදී ඔවුන් පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවය. ඉන් පසුව එම දරුවන්ට හා දෙමාපියන්ට අවවාද කිරීමෙන් පසුව එම දරුවන් දෙමාපියන් වෙත බාරදී තිබේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ සහ ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබ්දුල් ගෆාර් මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාශ මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉදුනිල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විමසුම සිදු කරන ලද අතර ගම්පහ පොලිස් කාන්තා කාර්යංශයේ සහය ද ඊට ලැබී තිබුණි.

හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා යොවුන් සිසු සිසුවියන් විශාල පිරිසක් ටියුෂන් අධ්‍යාපනය ලබන ගම්පහ නගරයේ තරුණ තරුණියන් අතර සදාචාර සෝදාපාළුවක් සිදුවීම වැලැක්වීම පිණිස ගනු ලබන මානුෂික පියවරක් ලෙස මෙම විමසුම සිදු කළ බව ගම්පහ පොලීසියේ ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය. එමෙන්ම මෙබඳු සදාචාර සෝදා පාළුවීම් මුල් කොට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, ළාබාල දැරියන් ගැබ් ගැනීම්, ගබ්සා කිරීම් ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු සිදුවීම් බහුල විය හැකි බවද ඔහු වැඩි දුරටත් කීය.

මීට පෙර පසුගිය පෙබරවාරි 5දාද ගම්පහ නගරයේ මෙලෙස නොමනා ලෙස හැසිරෙමින් සිටි තරුණ ජෝඩු 40ක් පොලිස් භාරයට ගෙන මේ අයුරින්ම මුදා හරින ලදී. එහිදී ප්‍රදේශවාසින් පවසා සිටියේ මතක ඇති කාලයකින් පොලීසිය එබඳු ක්‍රියාවකට යොමු වූ මුල් ම අවස්ථාව එය බවය.

පසුගිය කාලය තුළ ගම්පහ ටියුෂන් සිසු ප්‍රජාව මුල් කොට ශීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවති සදාචාර මට්ටම යළි මෙලෙසින් හෝ ස්ථාපිත වීම යහපත් ප්‍රවණතාවක් බව පෙන්වා දෙන ප්‍රදේශවාසිහු පසුගිය ජනවාරි 18දා සිට ලක්බිම ඔන්ලයින් හි පළකරන 'ගම්පහ ටියුෂන් සිසු සිසුවියන්ගේ උප සංස්කෘතිය' ලිපි පෙළ මෙම සාධනීය පියවර සඳහා බෙහෙවින් උපකාරී වී ඇති බව පැහැදිලිව පෙනෙතැයිද කියා සිටියහ.

සුසන්ත අබේරත්න

ලිපි පෙළ මෙතනින් - ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ room share රහස් මෙන්න

ජීවිතයේ විඳින අනේකවිධ අත්දැකීම් සියල්ල කෙළවර වන්නේ සතුටින්. එහෙමත් නැත්නම් දුකකින්. සතිපතා අපි රිද්ම තුළින් ඔබ වෙත රැගෙන එන සතුටයි, දුකයි විශේෂාංගය හරහා කතාබහ කරන්නේ කලා ලොවේ ජනප්‍රිය අය තමන්ගේ ජීවිතේ විඳපු අනේකවිධ සතුට, සැනසුම හා දුක් දොම්නස පිළිබඳවයි. මේ කතාබහට මේ සතියේ අපි එකතු කරගන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය දීපානි සිල්වා.

සතුට හා දුක නිර්වචනය කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
තමුන්ගේ මනසට නිසි පිළිතුරු ලැබුණු අවස්ථාවල දැනෙන හැඟීම තමයි සතුට කියන්නේ. දුක කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාවයි.

කලාකාරියක විදියට වඩාත්ම සතුටු වූ අවස්ථාවන් හා දුක්වූ අවස්ථාවන් ඔබටත් ඇති?
කලාකාරියක වීමට ලැබිමම සතුටක්. කලාකාරියක විදියට දුක්වූ අවස්ථා ගැන කතා කරද්දී නම් මගේ හිතට තදින් කා වැදුණු අවස්ථාවක් තියෙනවා.

ඒ මොකක්ද?
එක්තරා යෞවන සම්මාන උළෙලක මම හොඳම නිළිය වුණා. එදා එම උත්සවය ආවරණය කරන්න පැමිණි මාධ්‍යවේදීන් අතර මගේ අයියත් හිටියා. එදා සම්මාන දෙන්න ආවේ ජනප්‍රිය රූප රාජිනියක්. රූප රාජනියක අතින් සම්මාන ගන්න එක සාහිත්‍යවේදිනියන් ප්‍රතික්ෂේප කළා. ඇය වේදිකාවට නැගලා ජනතාවට ආචාර කරලා වේදිකාවෙන් බැස්සා. ඒ වෙලාවේ මාධ්‍යවේදීන් ඈ වටා එකතු වුණා. එම උළෙ‍ලේ ප්‍රධාන ආරාධිතයා වූ දේශපාලනඥයා එතැනට ඇවිත් මගේ අයියාගේ කමිස කොලරයෙන් අල්ලලා එයාගේ බොඩි ගාඩ්ලට බාර දුන්නා. ඒ අය මගේ අයියට පහර දිදී ඇදගෙන ගියා. එතැන මාධ්‍යවේදීන් අතර විකල්ප පුවත්පත් නියෝජනය කළේ මගේ අයියා වීම තමයි ඊට හේතුව වුණේ. මම කෑගහගෙන එතැනට ගියා. එතැන හිටපු කලාකරුවෝ හා මාධ්‍යවේදීන් එකතු වෙලා තමයි එදා අයියව බේරගත්තේ. ඒ සිද්ධි මාලාව අදටත් මට මැවිලා පේනවා.

ආදරය ජීවිතයට සතුටක්ද, දුකක්ද?
ආදරය කොහොමද දුකක් වෙන්නේ? මම මගේ සහෝදරයන්ගේ, හිතවතුන්ගේ ආදරය ලබනවා. මේ මාධ්‍ය සාකච්ඡාවට මාව එකතු කරගන්නෙත් ඔයගොල්ලෝ මට ආදරේ හින්දනේ. ආදරය නැතුව ජීවත් වෙන්න බැහැ. ආදරය තමයි ජීවිතය ජීවත් කරවන්නේ.

පෙම්වතුන් අතර, අඹු-සැමියන් අතර පවතින ආදරය ජීවිතයට ළංකර නොගන්නේ ඒක සතුටක් නොවන නිසාද?
මම විවාහ වෙලා නැති හින්දා සැමියකුගේ ආදරය ලැබිලා නැහැ. හැබැයි ඔය කියන ආදරය ජීවිතයේ යම් යම් කාලවලදී, යම් යම් අවස්ථාවලදී සතුටින් විඳලා තියෙනවා.

ආදරය කෙළවර වන්නේ විවාහයකින් කියලා බොහෝ අය කියනවා. පෙම් කරන කාලවලදී විවාහය දක්වා දුර යන්න හිතුණේ නැද්ද?
විවාහය කියන්නේ සංස්ථාවක්. ගැහැනිය හා පිරිමියා එකතු වෙලා සමාජයක් ගොඩ නගන්න දෙන බලපත්‍රයක්. ආදරය එහි සාධකයක් විතරයි. ආදරය විවාහයකින් කෙළවර වන්නේ නැහැ. ආදරය ඉන් එහාට යන දෙයක්.

ගැහැනියකගේ ආරක්ෂාවට, රැකවරණයට විවාහයත් අවශ්‍ය බව ‍පොදු සමාජ පිළිගැනීමයි. ඒ අවස්ථාව නොමැති වීම ගැන දුකක් නැද්ද?
එක ගැහැනියක් තමන්ගේ ආරක්ෂාවට මනුස්සයෙක් හොයාගන්න එකද විවාහයකින් ලබන රැකවරණය? ඒක කොයිතරම් වැරදි මතයක්ද? ආරක්ෂාව අවශ්‍ය සමාජයේ ඉන්න සියලුම ගැහැනුන්ට ඒ ආරක්ෂාව ලැබෙන්නේ පිරිමින්ගෙන් නමෛයි, සමාජ සංස්කෘතික හා දේශපාලන පද්ධතියෙන්. ගැහැනියකට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් ගොඩනැගුණු සමාජයක ගැහැනියකට තව කෙනෙකුගේ ආරක්ෂාව අවශ්‍ය නැහැ.

දීපානි හිතන්නේ ගැහැනියකට හිමිවිය යුත්තේ මුල් තැනද, සම තැනද, නිසි තැනද?
ගැහැනියකට මුල් තැන හිමිවිය යුතුයි කියන එක විහිළුවක්. නිසි තැන කියන එකෙන් අදහස් කරන්නේ කුස්සිය හා දරුවෝ හදන එක. මම කියන්නේ ගැහැනියකට අවශ්‍ය සම තැන. ගැහැනිය හා පිරිමියා අතර තියෙන්නේ සුළු වෙනස්කම් කීපයක් විතරයි. මොළය, හදවත, රුධිර සංසරණය එකයි. බුද්ධියෙන් හා ශක්තියෙන් වැඩි හෝ අඩු වන්නේ ඒ ඒ කෙනාගේ ශාරීරික තත්ත්වය මත මිසක් ස්ත්‍රී පුරුෂ බව මත නමෛයි. රටක ජනාධිපති වෙන්න, අගමැති වෙන්න ගෑනුන්ට හැකිනම් ඇයි ඇයට සම තැන හිමිකරගන්න බැරි?

උතුම් මාතෘත්වය ලබන්න පුළුවන් ගැහැනියකට විතරයි. ඒ අවස්ථාව ලබන්න බැරිවීම ගැන දුකක් දීපානිගේ හිතේ නැද්ද?
දරුවකු කුස දරා සිටින, දරුවකු ප්‍රසූත කරන වේදනාව මම විඳලා නැහැ. ඒත් මට දරු දුක තියෙනවා. මගේ සහෝදරයන්ගේ දරුවෝ මගේ දරුවෝ. අවුරුදු 25 ක් තිස්සේ මම ඉන්නේ මිතුරියකගේ නිවසේ. ඇය විවාහ වුණේ, දරුවන් ලැබුවේ මම එහෙට ආවට පස්සේ. ඒ දරුවෝ නාවන, කවන, ‍පොවන, නිදි කරවන හැමදේම මම කළා. ඒ දරුවෝ ජයග්‍රහණයක් ලබද්දී මට දැනෙන සතුට, ඒ දරුවන්ට යම් ලෙඩක් දුකක් හැදුණම මට දැනෙන දුක ඒ දරුවන්ගේ මවට දැනෙන හැඟීම් වගේමයි.

ආරියවංශ කුලතිලක

IMAGE

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 3483

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 2135

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 4361

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ගේ roomshare පොළකට ගියෙමු

IMAGE 2017 Mar 24 10:45
තිර‍යකින් බෙදා වෙන් කරන ලද එකම ලැඟුම්හල් කාමරය ගම්පහ ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන පෙම්වතුන්...
Views - 3731

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 2136

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 4135

Please publish modules in offcanvas position.