Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි තරම්. මොකද ඔහු තමන්ගේ අනන්‍යතාවය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කරලයි මෙලොවින් නික්ම ගියේ. ඉදිරි මාසයේ යෙදෙන කේමදාසයන්ගේ නව වැනි ගුණ සැමරුම නිමිත්තෙන් සුවිශේෂී කටයුත්තකට ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ප්‍රමුඛ කේමදාස පදනම මේ දිනවල සූදානම් වෙනවා. ඒ ගැන තතු මුලින්ම හෙළි කරන්නත් එක්කයි කේමදාසයන්ගේ බාල දියණිය වන ගයාත්‍රි කේමදාස මෙලෙස කතා බහට එක් වුණේ.
 
කේමදාසයන්ගේ ගුණ සැමරුම මෙවර වෙනස්ම ආකාරයකට පවත්වන්න සූදානමක් තිබෙන බව ආරංචි වුණා. ඇත්තටම කොහොමද මෙවර ඒ කටයුතු පෙළගස්වන්න හිතාගෙන ඉන්නේ?
අපේ තාත්තා ලංකාවේ චිත්‍රපට සංගීතය තුළත් විප්ලවයක් කරපු සංගීතඥයෙක්. ඒ නිසා තාත්තා චිත්‍රපට සංගීතය වෙනුවෙන් දැක් වූ දායකත්වය මෙවර ඔහුගේ ගුණ සැමරුමේදී යළි සිහිපත් කරන්න අපි තීරණය කළා. ලබන ඔක්තෝබර් මස 24 වැනිදාට තාත්තා අප අතරින් වියෝ වෙලා වසර 9ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් තාත්තා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට පහක් ඇතුළත් චිත්‍රපට උළෙලක් පැවැත්වීමට අපි මේ වන විට කටයුතු සූදානම් කරමිනුයි ඉන්නේ. 
 
මොනවාද මේ චිත්‍රපට උළෙ‍ලේදී දිග හැරෙන චිත්‍රපට? 
ඔක්තෝබර් 20 වැනිදා සිට 24 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදීයි මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ. එහිදී ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට තමයි “ගොළු හදවත”, “බඹරු ඇවිත්”, “හංස විලක්”, “නිධානය” සහ “සිරි මැදුර”. මෙය සම්පූර්ණයෙන්ම නොමි‍ලේ පවත්වන චිත්‍රපට උළෙලක්.  
 
මේ චිත්‍රපට උළෙ‍ලේදී ප්‍රේක්ෂකයන්ට මුල් වරට විඳින්නට ලැබෙන අත්දැකීමුත් තිබෙනවා නේද?
ඔව්. මෙහි විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි “හංස විලක්” චිත්‍රපටය DVD ආකාරයට සංරක්ෂණය කිරීමෙන් අනතුරුව පළමු වරට ප්‍රදර්ශනය කෙරෙන්නේ මෙම චිත්‍රපට උළෙ‍ලේදී වීම. ඒ හැරුණාම මේ චිත්‍රපට උළෙලට සමගාමීව ප්‍රවීණ සහ නව පරපුරේ කලාකරුවන් සහභාගි කරගෙන සංවාද මාලාවක් පවත්වන්නත් අපි බලා‍පොරොත්තු වෙනවා. ඒකත් වෙනස්ම විදිහේ අත්දැකීමක් වේවි. 
 
කේමදාස මාස්ටර්ගේ දියණියන් දෙදෙනා කොහොමද ඔහුගේ උරුමය මේ වන විට ඉදිරියට ගෙනියන්නේ? 
අක්කා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරියක්. නමුත් ඇය සංගීතය අත්හැරලා නැහැ. විදෙස්ගත වෙලා හිටියත් ඇය එහි ඔකෙස්ට්‍රා එකකත් වාදනය කරනවා. මම හැදෑරුවේ සංගීතය. ඒ නිසා සංගීතය පැත්තෙන්ම තවත් ඉදිරියට යන එක තමයි මගේ අරමුණ. “තණ්හා රති රඟා” චිත්‍රපටයෙන් මම මෑතකදී චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් යොමු වුණා. 
 
ඒ වගේම ඔබ ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක්ම එළි දක්වන්න සූදානමින් සිටිනවා කියලත් ආරංචියි? 
ඔව්. මෑතකදී මම කූඩු කළ කිරිල්ලියක් ගී ගයන විට සහ වැට කඩුළු සහිත සංවාදයක් නමින් වෙනස්ම විදිහෙ Gallery Performance දෙකක් පැවැත්වුවා. ඉදිරියේදී තවත් චිත්‍රපට තුනක සංගීත කටයුතු කරන්න බාරගෙන තියෙනවා. ඒ වගේම සංගීත ඔපෙරාවක් කරන්නත් මේ දිනවල මම සූදානම් වෙනවා. 
 
කේමදාසයන්ගේ ගීත රැක ගැනීම අද වන විට ඔබලාට අභියෝගයක් වෙලාද? 
තාත්තාගේ ගීත මේ වන විට කේමදාස පදනමේ අයිතිය යටතේයි තිබෙන්නේ. අපි කවදාවත් තාත්තා සංගීතවත් කරපු ගීත භාවිත කිරීම කාටවත් තහනම් කරලා නැහැ. හැබැයි අඩුම තරමේ අපට දැනුම් දීමක්වත් නොකර ඒවා විවිධ අවස්ථාවන් සඳහා භාවිත කරන අයත්, ඒ ගීත ගායනා කරලා මූල්‍යමය වාසි ලබාගන්න ගායක ගායිකාවනුත් ඉන්නවා. අනික ජංගම දුරකථන සමාගම් පවා රිගින් ටෝන් විදිහට තාත්තාගේ සංගීතය යොදා ගත්තත් මේ වන තෙක් ඒ කිසිදු සමාගමක් ඒ සඳහා ලැබිය යුතු කර්තෘ භාග අපට ගෙවලා නැහැ. 
 
කිෂාන් කනංකෙ

ශලනි ප්‍රනාන්දු කියන්නේ කලා ලෝකයට පායා එන අලුත් තරුවක්. දවෛනි ඉනිමේ චූටි මැණිකේ එහෙම නැත්නම් ලිහිනි කිව්වාම දැන් ඈ ගැන කවුරුත් දන්නවා. 2017 දෙරණ අවුරුදු කුමරිය වූ ඇය පළමු වතාවටයි “රිද්ම” හරහා මේ විදියට පාඨකයන් හමුවට එන්නේත්. 
 
2017 දෙරණ අවුරුදු කුමරිය හරහා කරළියට ආපු ශලිනි ප්‍රනාන්දුට චූටි මැණිකේ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද කියලා මුලින්ම කිව්වොත්? 
2017 දෙරණ අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලැබිමම තමයි මට චූටි මැණිකේ වෙන්න අවස්ථාව ලබා දුන්නේ. එහෙම නොවුණා නම් මගේ ගමන මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. කවදාවත් ප්‍රසිද්ධියේ රඟපාලා මම හා පුරා කියලා නොතිබුණු රඟපෑවේත් ඔය කියන දෙවැනි ඉනිමේ චූටි මැණිකේ කියන චරිතයම තමයි. 
 
කොහොමද මේ දවස්වල චූටි මැණිකේට ලැබෙන ප්‍රතිචාර? 
මගේ රඟපෑමට මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. පුංචි චරිතයක් රඟපෑවත් මගේ චරිතේ ගැන ගොඩක් දෙනා කතා කරනවා. මට සුබ පතනවා. ඒ වගේම චූටි මැණිකේගේ අහිංසක කමටත් ගොඩක් දෙනා ආදරේ කරනවා. හිතාගන්න බැරි සතුටක් තමයි මේ හැම දෙයක් නිසාම මට දැනෙන්නේ. 
 
අවුරුදු කුමාරි තරගෙට ආපු ශලනිට නිළියක් වෙන්න ලැබිලා මුලින්ම කැමරාව ඉස්සරහට ගියාම මොකද හිතුණේ? 
මම රංගනය ගැන කිසිම හැදෑරීමක් කරලා තිබුණේ නැහැ. ඒ නිසා පළමු දවසේ කැමරාව ඉස්සරහට යනකොට ලොකු බයක් දැනුනා. මගේ බය දැකපු දෙවැනි ඉනිමේ සියලු දෙනාම මාව දිරිමත් කළා. නළු නිළියන් වගේම නිෂ්පාදන කණ්ඩායමෙනුත් විශාල සහයක් ලැබුණා. ඒ නිසා තමයි අද මම මේ විදියට හැමෝම කතා කරන රංගන ශිල්පිණියක් වුණේ. 
 
චූටි මැණිකේ කියන චරිතය ශමල්කාවයි, දෙව්මිවයි, පසුකර ඉදිරියට යාවිද කියලා අන්තර්ජාලයේ හුවමාරු වෙන සටහන ගැන ඔබ මොකද කියන්නේ
ඒක තීරණය කරන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. ලැබෙන ප්‍රතිචාර අනුව නම් චූටි මැණිකේ කියන චරිතය ටිකෙන් ටික මිනිස්සු අතරට ගිහින් කියලා හිතෙනවා.
 
ඔබ පෞද්ගලිකව දවෛනි ඉනිමේ වැඩිපුරම කැමති චරිත මොනවාද කියලා ඇහුවොත්? 
පිරිමි ළමයින්ගෙන් මම වැඩිපුරම කැමති අනුහස්ටයි. ඒ වගේම චබිටයි. එතකොට ගැහැනු ළමයින්ගෙන් ශමල්කාටයි දෙව්මිටයි මං හරිම කැමතියි. 
 
ශලිනිගේ අනාගත බලා‍පොරොත්තුවත් රංගන ශිල්පිණියක් විදියට දිගටම රැඳී සිටීමද? 
ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වීම තමයි ලොකුම බලා‍පොරොත්තුව. මම ඒ පැත්තෙන් තමයි මගේ අධ්‍යාපන කටයුතු වුණත් කරගෙන යන්නේ. ඒත් ඒ හැම දෙයක්ම අතහැරලා ශලිනි ඉදිරියේදි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්නත් පුළුවන්. හැබැයි තවම ඒක තීරණය කරන්න කල් මදි. 
 
පෞද්ගලික ජීවිතයේත් ඔබ චූටි මැණිකේ තරම් අහිංසකද? 
චූටි මැණිකේ නම් හරි නිහඬ චරිතයක්. ඒත් ශලිනි නම් ඒ තරම් නිහඬත් නැහැ. ඒ තරම් අහිංසකත් නැහැ (හිනා) 
 
ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත්?
මගේ ශක්තිය මගේ අම්මයි, අයියයි. මම කොහේ ගියත් අම්මා මගේ පිටිපස්සෙන් ඉන්නවා. තාත්තා ජීවතුන් අතර නැති වුණත් තාත්තාගේ ආශීර්වාදය මට හැමදාකම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. මට තවම වයස 19යි. අපි දැනට පදිංචි වෙලා ඉන්නේ මීගමුවේ. 
 
සමන්මලී නැලිගම

හුලවාලි වශී ගුරුකම්, රොඩී දැහැන, නීචකුල බන්ධන ආදී වශයෙන් සැලකෙන ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ විශාල හා'හෝවක් මේ වන විට සමාජය පුරා පැතිර තිබේ.

රූපවාහිනිය, පුවත්පත් ආදී මාධ්‍ය ඔස්සේ සතියක් තුළ එම මන්ත්‍ර කරුවන් විසින් පළ කරනු ලබන දැන්වීම් වල මූල්‍ය වටිනාකම ගණනය කළ හැක්කේ රුපියල් මිලියන ගණනිනි. ඒ අනුව ‍ඉහත සඳහන් ගුප්ත ශාස්ත්‍ර මුල්කොට කෙතරම් සුවිසල් මූල්‍ය සංසරණයක් අප සමාජය තුළ පවතී දැයි  වටහාගත හැක. ඒ අතරේ මෙම ගුප්ත ශාස්ත්‍ර මුල්කොට සිදුවන දහසකුත් එකක් වංචනික ක්‍රියා සමාජයේ සැඟව ඇති බවද ප්‍රසිද්ධ රහසකි. ඊට හේතුව මේවාට නතු වන්නවුන් තමන් මුහුණ පෑ වංචා පිළිබඳව නීතිය හෝ සමාජය හමුවේ අනාවරණය නොකිරීමය.

මේ අතර මෙම ගුප්ත ශාස්ත්‍ර මුල්කොට ස්ත්‍රී දූෂණ සහ අපචාර සිදුවීම් රාශියක් සිදුවන අතර ඔබ මෙය කියවන ‍මොහොතේ ද දිවයිනේ කිනම් හෝ තැනක එවන් ඛෙදවාචක කිහිපයක් සිදුවෙමින් පැවතීමේ අරුමයක් නැත.

රොඩී ජනතාව සතුව ඇතැයි පැවසෙන යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ මහත් බියක් පැවති බවට ඵෙතිහාසික සාක්‍ෂි  ඕනෑතරම් තිබේ. 

ඕනෑම කුලවත් වංශවත් කාන්තාවකගේ සිහිවිකල් කොට නීච කුල බන්ධනයට නතු කරගනිමින් ඇය තම වාසස්ථානය හෙවත් කුප්පායම වෙතඅද්දවා ගැනීමේ ගුප්ත හාස්කම් බලයක් මෙම ගෝත‍්‍රිකයන් සතුව ඇතැයි පැරැන්නෝ තදින්ම විශ්වාස කළහ. විශේෂයෙන් මෙම ගෝත‍්‍රයේ පිරිමියකු වෙනත් කුලයක කාන්තාවකගේ සිරුරට අත තැබීමෙන්ම ඇය මෙම බන්ධනයට නතු වන බවක් එකල ප‍්‍රචලිතව පැවතිණ.

මිනිසුන් දහස් ගණන් රැස්වන බදුල්ලේ පැවැත්වෙන (ආගමික) උත්සව අතරට රහසින් රිංගන මෙම මිනිසුන්ගේ වසඟයට පත්වීම වළක්වනු පිණිස ඒවාට එක්වන කුලවත් කතුන් හතර පස්දෙනා එකිනෙකාගේ අත්වැල් අල්ලාගෙන ගමන් කළ පුවතක් ලූවිස් එෆ් ලෙසින් 1861 වසරේ තැබූ සටහනක (A Brief Account of Ceylon, Jafna) දැක්වෙයි.

නමුත් රොඩී ගෝත්‍රිකයන් සතුව එවැනි හාස්කම් බලයක් ඇතැයි පැවසීම පට්ටපල් බොරුවකි.

මෙම හුලවාලී මන්ත‍්‍ර ගුරුකම්වල පාරම්පරික හිමිකරුවන් බව පැවසෙන රොඩී හෙවත් ගාඩි ජනයා පිළිබඳ විවිධ මුඛ පරම්පරාගත කතා පවතී. එහෙත් ඔවුන් පිළිබඳ තතු ශ‍්‍රී ලංකාවෙන් බැහැරට ගෙන යාම පිළිබඳ ගෞරවය ක‍්‍රි.ව. 1660-1679 අතර මෙරට එළිමහන් සිරකරුවකු ලෙස දිවි ගෙවූ ඉංග‍්‍රීසි ජාතික රොබට් නොක්ස් ශී‍්‍රමතානන්ට අවිවාදයෙන් පුද කළ යුතුය. ශී‍්‍ර ලංකාවේ විශේෂිත ජන කොටසක් වන මෙම ජනයා පිළිබඳව ඉන්පසු විවෘත අවධානයක් යොමුව ඇත්තේඉංගී‍්‍රසි යටත් විජිත සමයේ බව මූලාශ‍්‍ර විමසීමේදී පෙනෙයි. ෆර්ගියුසන්, එමර්සන්ටෙනන්ට්, හියු නෙවිල්, ජෝන් ඩොයිලි, විල්හෙම් ගයිගර් ආදී බටහිරජාතිකයන් මෙම ජන කොටස පිළිබඳ විවිධ තොරතුරු වාර්තා කිරීමෙන් අනාගත පරපුර උදෙසා ඉටුකළ මෙහෙවර අති විශිෂ්ටය. ඔවුන් අතරින් 1865 ශී‍්‍ර ලංකාවට පැමිණි ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිලධාරී හියු නෙවිල් මෙම කූරගන්දෙණිය ඇතුළු එම ජනතාව වෙසෙන ස්ථානවලට ගොස් ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරය වටහාගෙන ඒ පිළිබඳව මානව සහ සමාජ විද්‍යාත්මක නිරීක්‍ෂණ සිදුකොට තිබීම විස්මය දනවන්නකි. ඒවා මුල් කොට තැප්‍රොබේන් වැනි සමකාලීන වාර ප‍්‍රකාශනයන් හි ඔහු තැබූ සටහන් අදත් ජීවමාන ය. එමෙන්ම ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්වකවානුවේ කන්ද උඩරට බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රමුඛ කොමසාරිස් පදවිය හෙබවූ ශී‍්‍රමත් ජෝන් ඩොයිලිගේ වාර්තාවල ද හුලවාලී ගුරුකම් සඳහා ප්‍රසිද්ධ  කූරගන්දෙණිය සහ එහි ජනතාවගේ ඉඩම්හිමිකම් පිළිබඳව පවා සඳහන් වීම විශේෂත්වයකි. එහෙත් ඒ කිසිදු සටහනක ඔවුන් සතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව එක් වදනකු ද සටහන්ව නැත.

ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යා අංශාධිපති පදවිය හොබවා පසුව ශ‍්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවට එක්වී ශ‍්‍රී ලංකාවේ ජන වර්ග පිළිබඳව ශාස්ත‍්‍රීය අධ්‍යයනයක් කළ සුප‍්‍රකට මානව විද්‍යාඥ එම්.ඩී. රාඝවන් මෙරට රොඩී ජනයා පිළිබද විශිෂ්ට නිබන්ධනයක් ඉදිරිපත් කොට තිබේ. එම ක්ෂේත‍්‍රය පිළිබඳ සිය ගවේෂණ ඇසුරින් 1956 වසරේ එළිදැක්වුණු ඔහු විසින් රචිත Handsome Beggars, The Story of The Ceylon Rodiya නම් කෘතිය එම ජන සමාජයේ අඳුරු මුළු රාශියක් ඒකාලෝක කරමින් එල්ල කෙරුණු අතිශය දීප්තිමත් අලෝක ධාරාවකි. සමස්ත ශී‍්‍ර ලාංකික රොඩී ජනතාව වෙත අතිශය ආදරණීය වූත් සානුකම්පිත වූත් බැල්මක් හෙළන රාඝවන් පඬිවරයා මෙම කූරගන්දෙණිය ගැමියන් හා සුහද සමීප ඇසුරක් පැවැත් වූ බවට ප‍්‍රබල සාක්‍ෂි තම කෘතියෙන්ඉදිරිපත් කරයි. කූරගන්දෙණිය ජනතාව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවස සිට හිමිකම් කියන පැහැදිලි ඉතිහාසයක උරුමක්කාරයන් බව කියන රාඝවන් 1948 වසරේසිදු වූ කූරගන්දෙණියේ ගම් ප‍්‍රධානියා හෙවත් අවුසඳා හුලවාලියාගේ පුත්කරුණාරත්න ගේත් එම ජන වර්ගයටම අයත් ගම්පළ වේවැල්දෙණියේ යශෝගේත් විවාහමංගල්‍යය පිළිබඳව වර්ණනා කරනුයේ ඔවුන්ගේ සාම්ප‍්‍රදායක මංගල චාරිත‍්‍ර එකි'නෙක අතිශය විචිත‍්‍රවත් අයුරින් අප හමුවට ගෙන එමිනි. මට හිතෙන හැටියට රාඝවන් එම ගැමියන්ගේ මගුල් තුලා ආදියට පවා සහභාගි වී තිබේ. එහෙත් ඔහු පවසනුයේ සමකාලීන සිංහල බෞද්ධ සමාජයේ පැවැති මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත ශාස්ත්‍ර අභිබවන වෙනත් විශේෂිත කිසිදු ගුප්ත ශාස්ත්‍රයක් මොවුන් සතුව නොමැති බවය. ඒ අනුව මෙම හුලවාලී මන්ත්‍ර ගුරුකම් හුදෙක් ඔවුන් විසින්ම මෝඩයන් ගොඳුරු කර ගනු පිණිස මවා පාන සෙප්පඩ විජ්ජාවක් බව පෙනේ.

වත්මන් කූරගන්දෙණියේ මන්තර ගුරුකම්කරුවන් ගණුදෙනු කරුවන් හා එක්වන ප‍්‍රධානතම මාර්ගය පුවත්පත් දැන්විම් බව ඔබ දනියි. ඒ දැන්වීම්වල පළ කෙරෙන දුරකථන අංක ඔස්සේ ලැබෙන දුරකථන ඇමතුම් එකක්වත් අපතේ නොහැරීමට ඔවුහු වග බලා ගනිති. ඒ එම පුවත්පත් දැන්වීම් සඳහා සතිපතා රුපියල් දස දහස් ගණන් වියදම් වන නිසා ය. එකම පවුලේ සාමාජිකයන් විසින් එකිනෙක දුරකථන අංක යොදා ගනිමින් විවිධාකාර පුවත්පත් දැන්වීම් පළ කිරීම ද ඔවුන් වෙතින් සිදුවන දෙයකි.

මෙම මන්ත‍්‍රකරුවන් හා මන්ත‍්‍ර කාරියන් අතර ශී‍්‍ර ලංකාවේ භාවිතා වන සෑමජාලයකටම අයත් ජංගම දුරකථන සම්බන්ධතා තිබේ. එහෙත් පුවත්පත් දැන්වීම් වල පළ කරනුයේ එවායින් තෝරාගත් කිහිපයක අංක පමණි.

පුවත්පත් දැන්වීමක පළවන එවන් දුරකථන අංකයක් ඔස්සේ එම මන්ත‍්‍රකරුවකු, මන්ත‍්‍ රකාරියක අමතන ගණුදෙනු කරුවකුට එම දුරකථනය හැඬවීමේ නාදය (Ring in Tone) ලෙස බොහෝ විට ඇසෙන්නේ බොදු බැති ගීයකි. නැතහොත් ආශිර්වාදාත්මක ශ්ලෝකයකි. එසේම නැතිනම් සුචරිතය, සදාචාරය, පිළිබඳව පැවසෙන කවි හෝ විරිඳු පෙළකි. එය ද එම ඇමතුම දෙන්නා පහදවා ගැනීමට කූරගන්දෙණියේ  හොර ඇදුරන් යොදන උප්පරවැට්ටියකි.

ඉන්පසුව එම මන්ත‍්‍රකරු, මන්ත‍්‍රකාරිය හෝ එම පවුලේ සාමාජිකයකු එම ඇමතුමට පිළිතුරු දෙන විට ඇමතුම දෙන්නාට ඇමතුමින් පසුබිමින් යම් විශේෂිත හඬක් ඇසෙන්නට ද බැරි නැත. බොහෝ විට ඒ මන්ත‍්‍ර ජප කරන හඬකි. එසේත් නැතිනම් දේවකන්නලව්වකි.

”ඔව් දරුවා කියන්න කාරණේ ”

ඔබ කූරගන්දෙණියේ හුලවාලි ගුරුකම් කරන ස්ථානයකට දුරකථන ඇමතුමක් දුනහොත් ඇතැම් විට මන්ත‍්‍රකාරියගේ මිමිනුම් හඬක් ඇසෙන්නේ ඉහත කී පසුබිම් හඬ අතරින් මතු විය හැක.

”මෑණියෝ මොකක් හරි වැඩක් නම් මම පස්සේ කතා කරන්නද?”

එබඳු අවස්ථාවලදී මම ද අසා ඇත්තෙමි.

”ලොකු වැඩක් නම් තමයි, ඒත් කමක් නැහැ. කියන්න දරුවා කාරණේ”

එවිට ඔවුන්ගේ පොදුපිළිතුර වනුයේ එයයි.

එවන් සිදුවීම් අත් දකින දුරකථන ඇමතුම් දෙන බොහෝ දෙනකුට සිතෙනුයේ එම ස්ථානය ලොකු ලොකු වැඩ කරන තැනක් බවය. එහෙත් ඒවායේ කෙරෙන මෙලෝමළ ඉලව්වක් නැත. කෙරෙනුයේ ඉතාම සරල බාල බොළඳ වැඩක් පමණි. එනම් පුවත්පත් දැන්වීම් වලින් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන විට නිවසේ සී.ඩී. ප්ලේයරය කි‍්‍රයාත්මක කිරීම පමණි.  ඔවුන් මුල්වරට ගණුදෙනුකරුවන් ගොනාට අන්දවනුයේ එබඳු ”ගුරුකම්” වලිනි.

කූරගන්දෙණියෙන් මන්තර ගුරුකම් වැඩ කරගැනීමට රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කර බකංනිලාගෙන ඉන්නට සිදුවී ඇති පිරිස ද ලක්‍ෂ ගණනකි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉල්ලන් කෑම සිය ජීවන වෘත්තිය කරගත් රොඩී ගෝත‍්‍රිකයන්ගෙන් නිකරුණේ 'ඉල්ලන් කෑ හැටි' සමාජයට නොකියති. එහෙත් ශත පහක වත් ඵලප‍්‍රයෝජනයක් නොමැතිව තමන් අතින් ඔවුනට බිලි වූ විශාල ධනස්කන්ධය ආපසු ගැනීමට රහසිගතව හූල්ලන්නවුන් සේම වීරියදරන්නෝ ද හිඟ නොවෙති.

ඔවුන් ඒ සඳහා ගන්නා පළමු පියවර කූරගන්දෙණියේ මන්තර ගුරුකම්කරුවන්ට දුරකථනයෙන් බැණ වැදීම ය. නැතහොත් තර්ජනය කිරීමය. එහෙත් එසේ බැණුමක් දෙකක් අසා කෝප වීමටහෝ දුරකථනය මඟහැරීමට තරම් ඔවුහු අඥාන නොවෙති. 

”දෙයිහාමුදුරුවනේ රුපියල් අසූහතර දාහක් වියදම් වුණා නේන්නම්. ඒක නේන්නම් දරුවෝ මටත් මේ හිතාගන්න බැරි.”

ඔවුන් දුරකථනයට පිළිතුරු දෙනුයේ ඇමතුම දෙන්නාට සීයට සීයක් පක්‍ෂපාතී ලෙස කරුණු දක්වමිනි. එවිට තම බැණුමේ සැර ටිකක් හෝ බාලකර ගන්නට ඇමතුම දෙන්නාට ඉබේටම සිදුවෙයි.

”මම හිතන්නේ දරුවෝ මේක ඔය දරුවා සංසාරේ කරපු මහා බරපතල පාපකරුමයක් හින්දාවෙච්ච දෙයක්. නැත්නම් කීයටවත් මෙහෙම වෙන්න බැහැ. කමක් නැහැ මට ආයෙත් ඔයදරුවාගෙන් එක තඹ දොයිතුවක් වත් එපා. පූජා භාණ්ඩ වලට  ඕන නම් තව රුපියල් විසිදාහක් විතර යාවි ඒක මගේ අතින්ම පලච්චාවේ. මම ඔය දරුවාගේ වැඩේ මොන ක‍්‍රමයකින් හරි කරලා දෙන්න බලන්නම්කෝ”

ඉහත සඳහන් අන්දමේ සාටෝපකාරී වදන් ඇසෙත්ම බොහෝ දෙනකු ඊට තරමක් හෝ නතුවීම ස්වභාවික ය. එහෙත් යමකු එසේ පමණ ඉක්මවා නතු බවක් පළ කිරීම ද නැවතත් ඔවුන්ගෙන් 'ඉල්ලන් කෑමට' මුල්වන පොටකි.

”මයෙ පුතේ ඇත්තෙන්ම කියනවා නම් මාත් කියලා එහෙමට ඉතුරු කරගත්තු දෙයක් නැහැ.මොකද මම මේවා සල්ලි හම්බු කරන දේවල් නෙවෙයිනේ”

යනුවෙන් මන්ත‍්‍රකරු හෝ මන්ත‍්‍රකාරිය පහත් හඬින් මුමුණනු ගණුදෙනුකරුට අසාගත හැකි වනු ඇත. එමෙන්ම ඒසමඟම ඔහුට ඊටත් වඩා පහත් හඬකින් මෙබඳු වදන් කීපයක් ද අසාගත හැකි වුවහොත් කෙසේවත් පුදුම විය  යුතු නැත.

”ඒ හින්දා දරුවෝ ඒ පූජා භාණ්ඩවලට යන වියදමෙන් කොටහක් හරි මට ලැබුණොත් නම් ලොකු උදව්වක්”

දුරකථනය මගින් එල්ලවන තම ගනුදෙනුකරුවාගේ බැණුම ඉතා පහත් නින්දිත මට්ටමක තිබුණ දඉන් පසුගාමී නොවීම මෙම බොහෝ ඇදුරන්ගේත් ඇදුරුවරියන් ගේත් පොදු ලක්‍ෂණයකි.විශාල ධනයක් වියදම් කළ ද අරමුණු ඉටු නොවීම ගැන පැවසෙන වහසි බස්වලට ඔවුහු සාවධානව සවන්දෙති. එම මන්ත‍්‍රකරු අද්දර ඇති තවත් දුරකථනයක් හැඬවෙනු ඇමතුමදෙන ගණුදෙනුකරුට ඇසෙනුයේ ඒ අතරේ ය. 

”දරුවා පිටරටකින් කෝල් එකක් තියනවා මම මොකක්ද බලනකන් ඔහොමම තප්පරයක් ලයින් එකේ ඉන්න.”

මන්ත‍්‍රකරු හෝ කාරිය එසේ කියනුයේ තමන්ට සැරපරුෂ ලෙස බැණ වදින ඉච්ඡාභංගත්වයට පත් ගණුදෙනුකරු පිළිබඳ කිසිදු අහිතක් නොමැති අයුරිනි.

”හත්දෙයියනේ” 

විදේශ දුරකථකන ඇමතුමට මන්ත‍්‍රකරු එසේ පිළිතුරු දීම අරඹනු ඉහත ගණුදෙනුකරුට ඇසේ. 

”දෙයියනේ කවදද? මොනවා වෙලාද?"

ඒ සමගම මන්ත්‍ර කරු හෝ මන්ත්‍ර කාරිය අනෙක් දුරකථන ඇමතුම දෙන තැනැත්තාගෙන් නොඉවසිලිමත්ව අසනු ගණුදෙනුකරු අසා සිටිනුයේ පිබිද එන කුතුහලයෙනි. 

”වාහනයකට යට වෙලා ඔළුව පොඩි පට්ටම් වෙලා....... අනේ අප්පොච්චියේ”

ඒ සමගම මන්ත‍්‍රකරු හෝ කාරිය සුසුම් ලනු ද ඉහත ගණුදෙනුකරුට ඇසේ.

”ඒකනේ දරුවෝ මම කිව්වෙ ඔය වගේ දේකට ඔච්චර බරපතල ගුරුකමක් කරවා ගන්න එපා කියලා.කොහොම හරි ඔය මනුස්සයට ඔහොම විපතක් වෙයිදෝ කියලා මට මුලදිම සැකයකුත් ඇතිවුණා. ඒත් ඉතින් ඔය දරුවගේ බලකිරීමට තමයි මම තරම් බරපතල වැඩක් කළේ....... "

තම දුරකථනයෙන් මඳ වශයෙන් හෝ නැගී එන එම හඬට මුල් ගනුදෙනුකරු ඊළඟට සවන් දෙනුයේ තම කුතුහලයට එක් කරගත් ප‍්‍රබල විස්මයක් ද සමගිනි.

”ඔව් ඉතින් ඔය වගේ ස්වාමි පුරුෂයෙක් නම් ඉන්නවට වඩා නැති එකම තමයි හොඳ; කෝකටත් ඔය දරුවා ලංකාවට ඇවිත් කිසිම වෙනසක් නැතුව ඒ මළගමේ වැඩ වලට සම්බන්ධ වෙන්න. හැබැයි අපේ මේ ගුරුකම් වැඩේ ගැන කටේ කෙළ බිංදුවක් හලනවා එහෙම නෙවෙයි. බැරි වෙලාවත් මේ කතාව එහෙම ප‍්‍රසිද්ධ වුණොත් අපි දෙන්නත් ගස්තමයි.”

මන්ත‍්‍රකරු හෝ කාරිය අනෙක් දුරකථනයෙන් සිදුකරන එම සංවාදය අසා සිටින මීට පෙර දුරකථනයෙන් බැණ වැදුණු ගණුදෙනුකරුට ඔය අතරේ තම සිරුර දහඩියෙන් තෙත් වනු දැනීම අතිශය ස්වභාවික ය. ඒ සමගම වැය වූ මුදලට වඩා තම ජීවිතය වටිනා බව සැණින් නිගමනය කරන ඔහු හනික ඇමතුම විසන්ධි කරයි. නැතහොත් දුරකථනය ද ක‍්‍රියා විරහිත කොට දමයි. ඒ මහා බල සම්පන්න හුලවාලි මන්ත‍්‍රාචාර්යවරයාගේ හෝ වරියගේ කෝපය හෝ ශාපය තමන් වෙත යොමු නොවනු පිණිස ය. නමුදු මන්ත‍්‍රකරුගේ දෙවන දුරකථනයට එන්නේ සැබෑ දුරකථන ඇමතුමක් නොවේ. එය වූ කලී ඔහු සමීපයේ ඇති වෙනත් ජංගම දුරකථනයක් ව්‍යාජ ලෙසින් නාද කරවීමක් පමණි.

කූරගන්දෙණියේ මන්ත‍්‍ර ගුරුකම්කරුවන් තමන් ලූහුබැඳ එන සතුරන්ගෙන් මිදීම පිණිස ක‍්‍රියාවට නංවන මෙම අපූරු ගුරුකම පිළිබඳ පාඩම මා උගත්තේ ද කූරගන්දෙණියේම වියපත් ඇදුරෙකු වෙතිනි. කූරගන්දෙණියේ හුලවාලි මන්තර ගුරුකම් පිළිබඳ එළියට නො ආ තවත් එබඳු ”රස රහස්” බොහොමයක් අදත් ඔවුන් අතරේ ක‍්‍රියාවට නැංවෙනු ඇත.උපායශීලි ලෙස කූරගන්දෙණියේ මන්තර ගුරුකම් පාරාදීසයට රිංගා ගන්නා ඔබට උපක‍්‍රමිකව ඔවුන් වෙතින්ම ඒ ගුරුකම් ඉගෙන ගැනීමට ද බැරිකමක් නැත.

 

තිලක් සේනාසිංහ

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය මෙන්ම දරුවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නේ නැත. සිය පියා ජනපති පදවියට පත් වූ දා සිට මේ දක්වා එම පවු‍ලේ කිසිවෙක් කිසිදා මාධ්‍යයට කතා කරද නැත. එම පිළිවෙත මුල් වරට බිඳ දමමින් ජනපතිගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන ගිය සතියේ මාධ්‍යයට කතා කළාය. ඒ ඇය ලියූ “ජනපති තාත්තා” ‍පොත ගැන කතා කිරීමටය. මේ චතුරිකා ලක්බිමට දුන් සාකච්ඡාවය. 
 
ජනාධිපති කෙනෙකුගෙ දුවක් වුණාට ඔබ ‍ලේඛිකාවක් නොවෙයි. ඇයි මේ ‍පොත ප්‍රසිද්ධ ‍ලේඛකයෙකු අතින් ලියවන්නෙ නැතුව ඔබ විසින්ම ලියන්න සිතුවේ?
මම ‍ලේඛිකාවක් හැටියට ප්‍රසිද්ධ නැති කෙනෙක් බව ඇත්ත. නමුත් කලා නිර්මාණවලට මට තියෙන්නේ පාසල් කාලයේ සිට බැඳීමක්. මම පත්තරවලට ලිපි, රචනා ලියා තිබෙනවා. 
ඒ එක්ක අපේ තාත්තාගේ ජීවිතය ගැන බොරු පිම්බිම්, සුදු හුණු ගෑම් උපහාර නැතිව ඇත්ත ඇති සැටියෙන්ම ජනතාවට කියන්න මට අවශ්‍ය වුණා. ඒකයි මේ ‍පොත මමම ලිව්වේ.. 
 
තාත්තා ගැන ‍පොතක් ලියන්න ඕනේ කියලා හිතුණේ තාත්තා ජනාධිපති වුණාට පසුවද?
‍පොතක් ලිවීම ගැන සිතීමට පෙර තාත්තගේ ජීවිතයේ විවිධ අවස්ථාවල් අපේ දරුවන්ට දැනගන්න ලියලා තියන්න ඕනේ කියලා මට සිතුණු අවස්ථා තිබුණා. 2013 වසරේ තාත්තාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හොඳම සෞඛ්‍ය ඇමැතිවරයාට හිමි සම්මානය ලැබෙනවා.  එම සම්මානය අරගෙන ලංකාවට තාත්තා එනකොට තාත්තගේ අම්මා, අපේ ආච්චි මෙලොවින් සමුගන්නවා. ඊට වඩා ජීවිතයේ ළමා කාලය, තරුණ කාලය, මැදි වයස ඔය වකවානු ඉතාම සුවිශේෂියි. ඒ සුවිශේෂී කාරණා ලියා තබන්න ඕනේ කියලා සිතුවිල්ලක් සිතේ තිබුණා. ඒ නිසා තාත්තා ගැන තොරතුරු රාශියක් දින වකවානුත් සමගම මම එකතු කරගෙන තිබුණා. විශේෂයෙන් ‍පොදු අපේක්ෂක සටන මේ ‍පොත ලියන්න මාව බොහෝ සෙයින් පෙළඹුවා. 
 
හිටපු ආණ්ඩුවෙන් එළියට බැහැලා ඔබගේ තාත්තා ‍පොදු අපේක්ෂකයා වනවිට දරුවකු ලෙස සිතට දැනුණේ කුමන හැඟීමක්ද?
පැවැති පාලනය පෙරළා දැමීමට, ඉතා නොබියව ආණ්ඩුවෙන් එළියට බැහැලා තාත්තා ‍පොදු අපේක්ෂකකම භාරගත්තා. තාත්තාගේ දේශපාලන ජීවිතයේ හැමදාමත් එවැනි අභියෝග තිබුණා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් තාත්තා බේරුණා. ‍පොදු අපේක්ෂක සටනට මුහුණ දුන්නු මාස එක හමාර අපේ ජීවිතවල තීරණාත්මක කාලයක් වුණා. අපේ අම්මා, නංගී, මල්ලී, අපි හැමෝම වෙන ඕනම දෙයකට මුහුණ දෙන්න සූදානම් වුණා. මගේ දරුවෝ ‍පොඩියි. එහෙම හිතෙද්දී මගේ සිතේ බියක් තිබුණත් අපි තාත්තව තනි කළේ නැහැ.
 
ජනවාරි 8 රාත්‍රිය කිසිදා අමතක නොවන රාත්‍රියක් වෙන්න ඇති නේද?
ඒ දවස කවදාවත් අපට අමතක වෙන්නේ නැහැ. හෙට දවසේ අපිට කුමක් වෙයිද කියලා දන්නේ නැහැ. හිතේ හිස් බවකුත් තිබුණා. දිනන්න කලින් දවසේ රෑ මගෙ නංගිගෙ දුව ඇවිත් අපේ අම්මගෙන් ඇහුවා ආච්චි අම්මේ හෙට අපිට මොකද වෙන්නෙ කියලා. ඒ වචන ඇහුණු අම්මයි තාත්තයි තිගැස්සුනු බවකුත් මම දැක්කා. කොහොම වුණත් අපේ තාත්තා නම් ඔහුගේ දේශපාලන අත්දැකීම් නිසාම එදා රාත්‍රිය සාමාන්‍ය විදිහට ගතකළා. එය අපිටත් විශාල ශක්තියක් වුණා.
 
දේශපාලන නායකයන් පිළිබඳව ලෝකයේ ඕනෑ තරම් ‍පොත් ලියවිලා තිබෙනවා. ජනාධිපති තාත්තා කෘතියත් තවත් එක් නායකයෙක් පිළිබඳව ලියැවුණු දේශපාලන කෘතියක් පමණක් වෙයිද?
මේ ‍පොත ලියන්න පටන්ගත් දිනවල ඔය ප්‍රශ්නය මගේ හිතෙත් තිබුණා. කියවන අයට රසයක් දැනෙන ආකාරයට මම මේ ‍පොත නවකතාවක හැඩරුවට ලිව්වා. ඒ වගේම මේ සඳහා තුන් හතර දෙනෙක් එකතු කරගෙන විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා තාත්තා සම්බන්ධ ඇතැම් සිදුවීම් ගවේෂණය කර තොරතුරු එකතු කරගෙනයි මම ‍පොත ලිව්වේ. ඒ වගේම මෙහි සියලු කාරණා සත්‍ය තොරතුරු ඇසුරින් සකස් කරලා තියෙනවා. 
 
මෛත්‍රීපාල සිරිසේන කියන දේශපාලන චරිතය මෙම කෘතිය ඇතුළේ පෙළගස්වා ගත්තේ කොහොමද?
ඈත ගමක මහගෙදරක ගහට කොළට ආදරය කරමින් හැදෙන වැඩෙන, ඒ වගේම කුඹුරු යායවල් ඇළ දොළවල් 
දිය කඩිතිවල කොලු ගැටව් සමග කෙළි සෙල්ලම් කරන තාත්තාගේ ළමා කාලය මම මේ කෘතිය තුළ ඉදිරිපත් කර තිබෙනවා. හැත්තෑ එකේ කැරැල්ලට තාත්තා හසුවෙනවා. තරුණ වයසේදීම සිරගත වෙනවා. අත් දෙකේ මාංචු දාගෙන උසස් පෙළ ලියනවා. මේ දේවල් සත්‍ය තොරතුරු ඇසුරින්ම සටහන් කළා. ඉන්පසු තාත්තා තරුණයෙකු විදිහට තමන්ගේ දේශපාලන භූමිකාව පටන්ගත්තු වෙලාවේදී මුහුණ දුන්න විවිධ අර්බුද, කකුලෙන් ඇදීම්, කැපිලි කෙටිලි, තාත්තා ඒවාට මුහුණ දෙන ආකාරය පරිච්ජේද ලෙස පෙළ ගස්වා තිබෙනවා. සිරිමාවෝ මැතිනිය චන්ද්‍රිකා මැතිනිය, ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයන් සමග එම නායකත්වයන්ට ගරු කරමින් තාත්තා දේශපාලනය කළ හැටි මෙහිදී මම ඉදිරිපත් කර තිබෙනවා. 
 
තාත්තා ගැන ‍පොතක් ලියනවා කියලා තාත්තට කිව්වේ කවදද?
තාත්තට මම මුලින් කිව්වේ නැහැ. හැබැයි අම්මා දැනගෙන හිටියා පස්සේ තාත්තා දැන ගත්තා. මම තාත්තා ගැන විවිධ තැන්වලට මගේ කාර්ය මණ්ඩලයේ අය යවලා තොරතුරු හොයන කොට එක දවසක් තාත්තා නුවර මාලිගාවේ ඉඳලා මගෙන් ඇහුවා චතු, මොකද මගෙ තොරතුරු හොයන්නේ කියලා. කොහොම හරි තාත්තා දැනගත්තා. ‍පොතේ හරි වැරදි බලන්න තාත්තට ‍පොත දෙන්න සිදුවෙන හින්දා මම තාත්තගෙන් අවසර ගත්තා.
 
අවසර ගනිද්දී තාත්තා මොනවද කිව්වේ ?
තාත්තා කිව්වා ළමයෝ ඉස්සෙල්ලාම මට ඕක බලන්න ඕනේ කියලා. තාත්තා එච්චරමයි ඒ ගැන කිව්වේ.
 
මන්ත්‍රී තාත්තා ඇමැති තාත්තා වෙලා අනපේක්ෂිත ලෙස ජනාධිපති තාත්තා වෙයි කියලා කවදාවත් හිතුවද?
අපේ තාත්තා මේ රටේ ජනාධිපති වෙයි කියලා කවදාවත් අපි හිතුවේ නැහැ. ජනාධිපති කෙනෙකුගේ දුවෙක් වෙන්න හීන දැකපු කෙනෙක් ‍නෙවෙයි මම. 
 
අද ඔබ ජනපති මැදුරේ සුව සැප විඳිනවා. මොනවගේ හැඟීමක්ද සිතට දැනෙන්නේ?
ජනපති මැදුරේ තවමත් අපි එක රැයක්වත් ජීවත් වෙලා නැහැ.  මේ සියලු දේ තාවකාලිකයි. තාත්තා අපිට සීමා මායිම් පෙන්නලා තියෙනවා. තාත්තා අපිට හැම දේම ආදර්ශයෙන්ම පෙන්නුවා. ඇත්තටම තාත්තා අදටත් පෙන්වා දෙන ජීවිතාබෝධය පුදුමාකාරයි. ඒ වගේම අදටත් අපි ගෙවන සරල සාමාන්‍ය ජීවිත හරිම සුන්දරයි. 
 
රටේ ජනාධිපතිගේ දුවෙක් වෙලාත් ඒ සැපසම්පත් විඳින් නැහැ කියලා පැවැසීම ඇතැමුන්ට නම් විහිළුවක් නේද?
ජනාධිපති වුණා කියලා අපේ තාත්තගේ කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. පුංචි කා‍ලේ මාවයි නංගිවයි අත්දෙකට වඩා ගත්ත වගේ තාත්තා අද මගේ දරුවෝ ගෙදරට එනකොටම වඩා ගන්නවා. අම්මා කෙහෙල් කොළේ ඔතලා දෙන බත් එකයි තාත්තා තවමත් කන්නේ. තාත්තා ජනාධිපති වුණා කියලා අපේ ජීවිත මහ ලොකුවට වෙනස් වුණේ නැහැ. අපිට එහෙම අවශ්‍යත් නැහැ. ගෙදරට අවශ්‍ය දේවල් මිලදී ගන්න මම තාමත් එදා වගේ වෙළෙඳසල්වලට යනවා. අනික මේ රජ ගෙවල්වලට වඩා අපේ පුංචි ගෙවල් හරි සිරියාවන්තයි කියලා අපි හිතනවා. 
 
දේශපාලනඥයෙකුගේ දරුවන් ලෙස ඔබලාගේ ජීවිත විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන බව අමුතුවෙන් පැවැසීමට කාරණාවක් නොවෙයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා සමග දරුවන් ලෙස ඔබලා ගතකළ ළමා කාලය කෙබඳුද?
අපේ තාත්තා කොච්චර කාර්ය බහුල වුණත් හරිම සමබරයි. අපේ හැම දෙයක්ම මුල් වෙලා ක‍ලේ තාත්තා. පාස‍ලේ සියලු රැස්වීම්වලට අම්මා අවේ නැහැ. මන්ත්‍රී කාලෙත්, ඇමැති කාලෙත් තාත්තා තමයි ඒ රැස්වීම්වලට ආවේ. අනික තාත්තා අපිට හැමදේම කියලා දුන්නා. මැතිවරණ දවස්වලට අපේ ගෙවල්වල සීයකට දෙසීයකට තේ හදනවා, උයනවා. අපි තමයි ඒවා කරන්න ඕනේ. ට්‍රේ එකක තේ අල්ලනකොට ඒ ට්‍රේ එක පාත්කරන්න, හරියට මිනිස්සුන්ට සලකන්න කියලා තාත්තා අපිට බැණපු අවස්ථා තියෙනවා.  
 
රටේ ජනතාව මුහුණ දෙන අනේක විධ ප්‍රශ්නවලට විසඳුම් දෙමින් කාර්යබහුල ජීවිතයක් ගතකරන ජනාධිපති තාත්තා සමග අද ගෙවන ජීවිතය කොයි වගේද?
වෙනසක් නැහැ, තාත්තා කවදාවත් දේශපාලන ක්‍ෂේත්‍රයේ තිබූ ප්‍රශ්න ගෙදර ගෙනාවේ නැහැ. තාත්තා මහා පරිත්‍යාග කරපු කෙනෙක්. අගමැතිකම, තනතුරු තානාන්තර පරිත්‍යාග කරමින් පුදුමාකාර ඉවසීමකින් දේශපාලනය කළ කෙනෙක්. හැබැයි ඒ දේවල් ගෙදර එනකොට අරගෙන ආවේ නැහැ. තාත්තා ජනාධිපති වුණත් අපි ගැන හොයලා බලන එක අඩු කරලා නැහැ. අපිට නිතරම කතා කරලා අපි මොනවද කරන්නෙ බලනවා. වැරැද්දක් කරලා තියෙනවා නම් අදටත් තාත්තා අපිට එදා වගේම බණිනවා.
 
දේශපාලන ප්‍රශ්න තාත්තා ගෙදර ගෙනාවේ නැහැ කියලා ඔබ කිව්වට අපිට මතකයි ඔබගේ තාත්තා ජනාධිපතිවරණයේ ‍පොදු 
අපේක්ෂකයා වනවිට ප්‍රසිද්ධියේ පැවැසුවා මම මේ තීරණය ගන්නට පෙර බිරිඳගෙන්, දුවලා දෙන්නගෙන් පුතා දහම්ගෙන් ඇහුවා කියලා?
ඒක ඇත්ත, තාත්තා මේ රටට යහපාලනය, සහජීවනය ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න පැවැති ආණ්ඩුවෙන් එළියට බැසීම මොනතරම් තීරණාත්මකද? අනික ඒ තීරණය හරි යයිද වැරදියිද කියලා කවුද දැනගෙන හිටියේ. පැරදුනොත් අපේ ජීවිතවලට මොකද වෙන්නේ. ඒ නිසා තාත්තා අපි සමග කතා කළා. අපි කවුරුත් එදා තාත්තට හයියක් වුණා මිසක් තාත්තාගේ තීරණය පස්සට ගත්තේ නැහැ.  
 
ඔබගේ තාත්තා මේ ආණ්ඩුවේ යම් යම් කාරණා පිළිබඳවත් තීන්දු තීරණ ගන්නා ආකාරය රටේ ජනතාව දකිනවා. එවැනි තීන්දු තීරණ ගැනීමේදීත් ඔබලාගෙන් අහනවාද?
කවදාවත් නැහැ. ඔහු ජනාධිපති ලෙස රටේ ජනතාවට හොඳ රටක් හදන්නයි දිවා රෑ වෙහෙසෙන්නෙ. සමහර වෙලාවට හරියට කෑමකුත් ගන්න එතුමාට වෙලාවක් නැහැ. මේ රටේ මිනිස්සු සතුටින් ඉන්නවා දැකීම තමයි තාත්තගේ එකම සතුට.  
 
ඒ වගේම ජනාධිපතිවරයා ගන්න ඇතැම් තීන්දු තීරණ රටේ බොහෝ විවේචනයට ලක්වෙන අවස්ථාවන්ද දකින්න තිබෙනවා. එවැනි අවස්ථාවල ඔබලා තාත්තා සමග කතා කරන්නේ නැද්ද?
ඊටත් කියන්න තියෙන්නේ පෙර පිළිතුරමයි. දේශපාලනයේ මහා අත්දැකීම් ඇති අපේ තාත්තට උපදෙස් දෙන්න, අදහස් දෙන්න අපට සුදුසුකම් මදි.
 
ජනාධිපති තාත්තා ගැන ‍පොතක් ලියලා ඒ හරහා ඔබ දේශපාලනයට එන්නද හදන්නෙ? 
මේ ‍පොත ගැන විවිධ විවේචන එල්ල වෙන්න පුළුවන්. ඒවා ප්‍රශ්නයක් නොවෙයි. මගේ අරමුණූ වුණෙත් තාත්තාගේ ජීවිතය ගැන ප්‍රශ්න හමුවේ ජීවිතය අතහරින, තරුණයන්ට, තරුණියන්ට පෙන්වාදීම මිස දේශපාලනය කිරීම නොවෙයි. 
 
සිරිසේනලාගේ දේශපාලනය තාත්තාගෙන් පසු අවසන් වෙයිද? 
තාත්තා හැමදාම කියන්නේ ඔටුන්න පළඳවන්න කුමර කුමාරිකාවෝ එයා ගාව නැහැ කියලයි. ඒ වගේම තාත්තා අපිට කියලා නැහැ දේශපාලනයට එන්න කියලා. එයා හැමවෙලාවේම අපිට කියන්නෙ නායකයෝ බිහි වෙන්නේ ජනතාව අතරින් කියලයි. 
 
කෙළින්ම පිළිතුරක් දෙන්නකෝ ඔබ දේශපාලනයට එනවද නැද්ද කියලා?
වෘත්තීමය. දේශපාලනය කරගත්ත පියෙකුට දාව මම ඉපදෙනවා. ඇරිස්ටෝටල් කියනවා සියලුම සත්වයෝ දේශපාලනඥයෝ කියලා. මම දකින, උගත් දේශපාලනය කියන්නේ පක්ෂවලට බෙදිලා පාර්ලිමේන්තුව තුළ කරන බල අරගල දේශපාලනයක් නොවෙයි. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන සේවයයි, මම දේශපාලනය හැටියට දකින්නේ. මම මේ වනවිටත් ස්වේච්ඡා සමාජ සේවිකාවක් හැටියට මට හැකි පමණින් බොහෝ දේවල් කරනවා.
 
ජනාධිපති තාත්තා කෘතියේ දෙවන කොටසක් නැද්ද? මම එහෙම අහන්නෙ තාත්තාගේ දේශපාලනය තවත් ඉදිරියටත් ගලාගෙන යන නිසයි.
ඒ ගැනත් මම හිතලා තියෙනවා. මගේ තාත්තා ජනාධිපතිවරයා වශයෙන් නික්ම යන දවසට ඒ ජනාධිපති ධුර කාලයේ මුහුණ දුන්න දේවල් නිර්මාණයක් හැටියට එළියට දාන්න බලා‍පොරොත්තුවක් තියෙනවා.
 
පානුක රාජපක්ෂ

“වසූදා” ටෙලි නාට්‍යය තුළින් රංගනයට පිවිසි ඇය “හංස පිහාටු” “මාද ඔබම විය” වැනි ටෙලි නාට්‍යය හරහා මෑත කාලයේදී වැඩිපුර කතාබහට ලක්වූවාය. පුංචි තිරය සිය රංගනයෙන් ඔපවත් කළ මේ රංගන ශිල්පිනිය විවාහ වී මව් පදවිය ලැබිමෙන් අනතුරුව අද වනවිට තාවකාලිකව රංගනයෙන් දුරස්ව සිටියි. ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ගයාත්‍රි රාජපක්ෂ නම් මෙම රංගන ශිල්පිනිය කලකට පසු ඔබ හමුවට එයි. 
 
මේ දවස්වල ඔබ රංගනයෙන් තාවකාලිකව දුරස්වෙලා නේද..?
ඔව් ... මම අන්තිමට රඟපෑවේ “හංස පිහාටු” ටෙලි නාට්‍යයේ. ඊට කලින් “මාද ඔබම විය” ටෙලි නාට්‍යය කළා. ඒ දෙකේම අවසන් අදියර වනවිට මම මව් පදවියට සැරසිලා හිටියේ. ඊට පස්සේ මම තාවකාලිකව රඟපෑමෙන් අයින්වුණා. පුතා ඉපදුනාට පස්සේ දැන් පුතාගේ කටයුතු වෙනුවෙන් තමයි දවසම ගත වෙන්නේ. පුතා ටිකක් ලොකු වෙනකල් රඟපාන්න යන්නේ නැහැ.
 
පුතාගේ විස්තර දැනගන්නත් ගයාත්‍රිගේ රසික පිරිස කැමති ඇති ..
පුතාගේ නම “ආර්යන් ප්‍රිම්හාන්”.. එයාට දැන් වයස අවුරුද්දයි මාස 5 යි. දැන් නම් ටිකක් දඟයි. නිතරම එයා ළඟටම වෙලා ඉන්න ඕන.. දැන් වචන කෑලි කියනවා. හරියට වචන හසුරුවන්න බැරි වුණාට තාත්තා කියන වචනේ  නම් හරියටම කියනවා ..   
ගයාත්‍රිගේ සැමියා විදෙස්ගතවෙලා ඉන්න හිංදා දරුවාගේ සියලු කටයුතුවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ තනියම නේද?
සැමියා (අනුරාධ පනංවල) වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්. විදෙස් ගතවෙලා හිටියට එයාට මාසෙකට වතාවක් විතර ලංකාවට ඇවිත් යන්න පුළුවනි. අම්මා ඉන්නේ මගේ ළඟ. ගෙදර කටයුතු කරන්නේ අම්මා. මම පුතාගේ වැඩ ටික කරනවා.  
 
ගයාත්‍රිගේ ටෙලි නාට්‍ය ජීවිතය ගැන කතා කළොත්  .. 
මම එක්තරා මනාලියන් හැඩ ගැන්වීමකට සහභාගි වුණා. ඒ අවස්ථාවේ මාව දැකලා වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. ඊට පස්සේ තමයි “වසූදා” ටෙලි නාට්‍යයේ “මොරින්” කියන චරිතය රඟපාන්න  අවස්ථාව උදාවුණේ. එතනින් තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වුණේ. මේ වෙද්දි ටෙලි නාට්‍ය විස්සක විතර රඟපාලා තියෙනවා .  
 
සමහර නළු නිළියන් ටෙලි නාට්‍යය එකක් දෙකක් රඟපෑවත් බොහෝ කතාබහට ලක්වෙනවා. වසර ගණනක රංගන ඉතිහාසයක් තිබුණත් ගයාත්‍රිට ලැබුණු අවස්ථා සහ කතාබහට ලක් වූ අවස්ථා අඩුයි කියල හිතෙන්නේ නැද්ද .. ?
මම රඟපාන්න ගියත් වැඩියේ කාත් එක්කවත් සම්බන්ධ වෙන්නේ නැහැ. මගෙ කොටස කරලා පැත්තකට වෙලා ‍පොතක් කියවනවා. මට මේ ක්ෂේත්‍රයේ කිසිම යාළුවෙක් නැහැ. උත්සව අවස්ථාවකටවත් සම්මාන උළෙලකටවත් ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒකත් මගේ නිහඬ බවට හේතුවක් වෙන්න ඇති. හැබැයි මට ඒක ප්‍රශ්නයක් ‍නෙවෙයි. කලාවට ගොඩක් ආසයි තමයි. ඒත් මම මුල්තැන දෙන්නේ දරුවටයි ගෘහ ජීවිතයටයි.
 
ජනප්‍රිය චරිතවලට කටකතා හැදෙනවා. කටකතා නිසාම ප්‍රසිද්ධ වූ නළු නිළියනුත් ඉන්නවා.. 
මේ අවුරුදු 8ට කිසිම කටකතාවක් හැදිලාම නැහැ. කටකතා හිංදා ඇති වෙන්නේ ජනප්‍රි්‍රයත්වයක් ‍නෙවෙයි ප්‍රසිද්ධියක්. ඒ වගේ ප්‍රසිද්ධියකින් වැඩක් නැහැ. මට කටකතාවක් හැදිලා ඒත් එක්ක මාව රටේම කතාබහට ලක්වෙන චරිතයක් වුණොත් මට නම් දරාගන්න බැරි දුකක් ඇතිවෙයි. ඉදිරියටත් කටකතාවක් හදාගන්නේ නැතුව ඉන්න  මම වගබලා ගන්නවා.
 
ජනප්‍රිය චරිතවලට ‍පොදු වාහනවල යන්න බැරිබව සාමාන්‍ය විදියට ඉන්න බැරිබව ඇතැමුන් කියනවා. ගයාත්‍රිටත් ඒ තත්ත්වය ඒ වගේමද .. ?
මට ගමන් බිමන් යන්න මගේ වාහනේ තියෙනවා. ඒ වගේම මම බස් එකේ යන අවස්ථාත් තියෙනවා. ඒ වගේ අවස්ථාවන්වලදී රසිකයින් මාව හඳුනාගෙන කතා කරනවා. සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් ලස්සනට අඳින්න පළඳින්න ආසයිනේ .. මමත් එහෙමයි. ඒත් නිළියක් කියලා ගොඩක් හැඩට ඇඳගෙන ලොකු මේකප් එකක් දාගෙන පාරේ යන්න මම කැමති නැහැ..
 
ගයාත්‍රිගේ රංගන ජීවිතයට සැමියාගෙන් තහංචි එල්ලවෙලා නැද්ද .. ?
කොහෙත්ම නැහැ.. එයා මම රඟපානවට ගොඩක් කැමතියි. 
 
ටෙලි නාට්‍යවලදී නළුවන් එක්ක පෙම් ජවනිකා රඟපාන්න වෙනවනේ. ඒ වගේ ජවනිකා රූපවාහිනියේ විකාශය වෙද්දි එය නරඹන සැමියාගේ ප්‍රතිචාර කොහොමද .. ?
හිනා වෙවී බලාගෙන ඉන්නවා. ඊට එහා කිසි දෙයක් කියන්නේ නැහැ. 
 
දක්ෂතාවයේ හැටියට රඟපාන්න ලැබුණු අවස්ථා ගැන ගයාත්‍රි සෑහීමකට පත්වෙනවාද .. ?
මට වැඩියෙන්ම ලැබෙන්නේ අහිංසක චරිත. නපුරු චරිතයක් රඟපාන්න ආසයි. ඒ වගේම තමයි තවම සිනමාවට එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. සිනමාව තුළත් හොඳ රංගනයක් කරන්න ආශාවෙන් ඉන්නවා.  
 
ආරියවංශ කුලතිලක

මේ කතාව ලියන විටත් දිවයින පුරා ආරම්භ වී තිබූ විදුලි සේවක වර්ජනය නිමා වී නැත. මේ නිසා රටේ විවිධ පළාත්වලින් සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. නමුත් ඉන් සංවේදීම සිදුවීමක් වාර්තා වන්නේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙනි.

ඒ හෘදයාබාධයක් නිසා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළුවීමට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු  විදුලිය නොමැති නිසා රෝහලට භාර නොගැනීමෙන් ‍පොළොන්නරුව  රෝහලට ගෙන යන අතරතුර මගදී මිය යාමය. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ   කුමාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි  පනස් හය හැවිරිදි  එම්.ජී.එස්. කරුණාරත්න මහතායි. එක් දරු පියෙකු වන ඔහු මිය යන විට හිඟුරක්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙසත් කුමාරගම, යටියල්කොන කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙසත් සේවය කරමින් සිටියේය.

හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 53ක් පුරා  විහිදෙන්නෙකි.  එහෙත් එම විශාල  ප්‍රදේශය ආවරණය  කරන්නට  සිටින්නේ සීමිත මහජන සෞඛ්‍ය පරීක්ෂක පිරිසකි. කරුණාරත්න මහතා ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිසා තමන්ගේ සෞඛ්‍ය කලාපයට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙසද වැඩ බැලීමට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

කරුණාරත්න මහතා ඉකුත් 13 දිනද තම සුපුරුදු රාජකාරි නිමවා නිල නිවසට පැමිණ විඩාහැර තම බිරිඳ වන ලක්ෂ්මි මල්කාන්ති විසින් පවත්වාගෙන යන මල් වගා කිරීමේ කාර්ය නිරීක්ෂණයටද ගියේය. ඒ සවස 3.00ට පමණය. සැමියා හා බිරිඳ එක්ව එම වගාවේ කටයුතු විමසා බලා නැවත නිල නිවසට එන්නේ සවස 6.00ට පමණය. එහෙත් එම නිවසේ සාමාන්‍ය කටයුතු සිදුවන අතර ඔවුන් නිදන්නට යන්නේ රාත්‍රී 10.30ට ආසන්න වේලාවකය.  එතැන් සිට වූ සිදුවීම් පෙළ කරුණාරත්න මහතාගේ බිරිඳ වන කේ.ඩී.ඒ. ලක්ෂ්මි පෙරේරා මල්කාන්ති දසනායකගේ වචනවලින් සටහන් වන්නේ ‍පොළොන්නරුව නාගරික හදිසි මරණ පරීක්ෂක එල්.එම්. චමින්ද ලක්මාල් මහතාගේ සටහන් ‍පොතේය.

‘අපි එදා නිදා ගන්න කොට රෑ 10.30 විතර වුණා.  පාන්දර 3.00ට විතර සැමියා මට ඇහැරවලා කිව්වා පපුව ටිකක් රිදෙනවා කියලා. පස්සේ මම එරන්ද මල්ලිගේ ත්‍රීවීල් එකට කතා කරලා සැමියා ඒකේ  නංවාගෙන හිඟුරක්ගොඩ ඉස්පිරිතාලෙට එක්කරගෙන ආවා. එහෙම ඇවිත් විනාඩි 10ක් විතර කතා කළාට පස්සේ තමයි වෛද්‍යවරයෙක් ආවේ. එතනදී එම වෛද්‍යවරයා කිව්වා ඉස්පිරිතා‍ලේ ලයිට් නැහැ. මොකුත් කරන්න විදිහක් නෑ. ඔහොම්මම  ‍පොළොන්නරුවට අරන් යන්න කියලා. හිඟුරක්ගොඩින් සැමියාට ප්‍රතිකාරයක් කළේ නැහැ. පස්සේ මම සැමියා එක්කගෙන හිඟුරක්ගොඩට ආවා. එහේ ඉන්න  අසේල පුතාට කතා කරලා එයාගේ කාර්  එකෙන් ‍පොළොන්නරුව ඉස්පිරිතාලෙට යන්න පිටත් වුණා. ඒ යන්න කලින් සැමියා අකිල පුතාලගේ ගෙදරින්  වතුර ඉල්ලගෙන බිව්වා. ‍පොළොන්නරුවට යන ගමන් සැමියා කිව්වා කාර් එකේ හෙමින් යමු මට අමාරුයි කියලා. පස්සේ අපි විනාඩි 15කින්   20කින් විතර සැමියා ‍පොළොන්නරුව ඉස්පිරිතාලෙට අරගෙන ආවා එතනදී සැමියා පරීක්ෂා කළ වෛද්‍යවරු කිව්වා සැමියා මිය ගිහින් කියලා. මට මේ ගැන සැකයක් නැහැ. පපුවේ අමාරුව නිසා එයා නැති වෙන්න ඇති.'

මෙහිදී මිය ගිය කරුණාරත්න මහතාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ‍පොළොන්නරුව මහරෝහ‍ලේ අධිකරණ වෛද්‍ය ඩබ්.කේ.බි.එස්. රාජපක්ෂ මෙනවිය සඳහන් කර ඇත්තේ මිය ගිය අයගේ සිරුරේ නහරවල මේදය  තැන්පත් වීම නිසා ඇති වූ හෘදයාබාධයකින් මෙම මරණය සිදු වී තිබෙන බවය.

කරුණාරත්න මහතා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව සැබෑවකි. එහෙත් රෝගාතුරව හිඟුරක්ගොඩ රෝහලට ගෙනා ඔහුට මූලික ප්‍රතිකාර හෝ ලබා නොදී ඉන් පිට කිරීම ගැටලු සහගතය. රෝහ‍ලේ විදුලිය නොමැතිකම යම් ප්‍රශ්නයක් වුවද ඒ වනවිට  එහි රාජකාරියේ නිරත සිටි වෛද්‍යවරයාට ඉටිපන්දම් එළියකින් හෝ රෝගියා වෙනුවෙන් යමක් කිරීමට තිබූ බව ඔහුගේ සමිප  මිතුරෝ  කියා සිටිති.  ඇරත් කරුණාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. සේවය කළේ හිඟුරක්ගොඩ රෝහල් භූමියේම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේය. සෞඛ්‍ය සේවයේම අයෙකුට  හිඟුරක්ගොඩ රෝහලින් දැක්වූ සැලකිල්ල මෙයනම් සෙසු සාමාන්‍ය රෝගීන්ට  ඔවුන් දක්වන්නේ කවර සැලකිල්ලක්දැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරන්නේ නිකමට නොවේ. අනෙක් අතට   හදිසි  විදිලි බිඳ වැටීමකදී භාවිත කිරීමට රෝහල තුළ විදුලි  ජනක යන්ත්‍රයක්ද තිබේ. එය ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූයේ මන්දැයි සොයා බැලිය යුත්තකි.

තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වැඩවර්ජන කිරීමේ අයිතිය පිළිබඳව අපට කිසිදු වාදයක් නැත. එහෙත් තම වැඩ වර්ජනයක් හේතුවෙන් මහජන සේවා බිඳ වැටී වටිනා මිනිස් ජීවිත මෙලෙස අකාලයේ අහිමිවන්නේ නම් තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සඳහා මහජන පීඩාව අවම වන මීට වඩා සහනශීලී පිළිවෙතක් අනුගමනය කළ නොහැකිද යන්න සියළු වෘත්තිකයන් විමසා බැලිය යුතුය.


ආර්.ඒ. බණ්ඩාර - හිඟුරක්ගොඩ / ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 761

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 1475

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1320

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1300

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1774

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2781

Please publish modules in offcanvas position.