Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ගම්පහ යනු ගම්මාන පහක් එක්වීමෙන් සැදුම්ලත් පුරවරයකි. මෙම ගම්පහ පිළිබඳව විවිධ මතවාද තිබේ. එහෙත් පැරණිතම ජනශ්‍රැති මූලාශ්‍රවලට අනුව මෙම ගම්පහට අයත් ගම්මාන පහ වනුයේ ඉහළගම, පහළගම, මැදගම, අලුත්ගම සහ පට්ටියගමය.
මෙම පැරණි ගම්පහට හෙනරත්ගොඩ ද  එක්විය යුතුයැයි සමහරෙක් කියති. එහෙත් හෙනරත්ගොඩ හෙවත් සෙනරත්ගොඩ යනු මැදගමට සහ පහළගමට මායිම්වන අතීතයේ ප්‍රභූන් ජීවත් වූ ප්‍රදේශයකි. එනිසාම ඉංග්‍රීසීන් විසින් තනන ලද කොළඹ මහනුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙම ඉසව්වේ දුම්රිය පළක් තැනීමට අදහස් කළ ඉංග්‍රීසීහු ‍එය හෙනරත්ගොඩ වශයෙන් නම් කළහ. වත්මන් ගම්පහ දුම්රිය ස්ථානයට නොදුරින් 1864 වස‍රේ දෙසැම්බර් 27 දින විවෘත කරන ලද එම හෙනරත්ගොඩ දුම්රිය පළ අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලයකි. එහි පුරාවිද්‍යා ප්‍රකාශන සහිත වෙළඳ කුටියක් ද තිබේ.
ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අතුරින් මුල් තැනක් ගන්නා හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේය. එය ආරම්භ කරන ලද්දේ හෙනරත්ගොඩ දුම්රිය පළ ආරම්භ කොට වසර දොළහකට පසු 1876 වසරේය.එහෙත් අස්ගිරිය ප්‍රදේශයේ හෙනරත්ගොඩක් නැත. එසේ නම් ගම්පහ මල්වත්තට ඒ නම යෙදුණේ කෙසේද?
වත්මන් ගම්පහ යන නම බිහිවීමට මුල් වූ ඉහළගම, පහළගම, මැදගම, අලුත්ගම සහ පට්ටියගම යන ගම්මානවලට වඩා හෙනරත්ගොඩ ප්‍රසිද්ධියට පත්වූයේ දුම්රිය පළ එනමින් හැඳින්වුණු බැවිනි. එනිසාම පැරැන්නෝ එම මුළු ප්‍රදේශයම හෙනරත්ගොඩ වශයෙන් හඳුනාගෙන සිටි බැවින් දුම්රිය පළට සැතපුමක හමාරක දුරින් පිහිටි උද්භිද උද්‍යානය ද කවුරුත් දන්නා හෙනරත්ගොඩ නමින්ම හැඳින්වීමේ කිසිදු අරුමයක් නැත. ඒ අනුව ගම්පහ යන නාමය බිහි වීමට තුඩුදුන් ගම්පහට හෙනරත්ගොඩ නම් ග්‍රාමයක් අයත් නොවන බවත් එය එවක මැදගම සහ පහළගම අතර පිහිටි 'ගොඩැල්ලක්' මිස ගම්වරයක් නොවන බවත් යළි අවධාරණය කළ යුතුය.
හෙනරත්ගොඩට ඒ නම ලැබුණේ පහළොස් වන සියවසත් දහසයවන සියවසත් අතර කාලයක එහි විසූ හමුදා ප්‍රධානියකු සහ ඔහුගේ ඥාති පිරිවර නිසා බව පෙනේ. මේ හමුදා ප්‍රධානියා හෙවත් සේනාධිපතිවරයා උඩුගම්පොළ රාජධානියේ රජ කළ සකල කලා වල්ලභ රජුගේ යුද හමුදාවේ සේවය කළ අයෙකු බව පෙනෙයි. අදත් ගම්පහ ආශ්‍රිතව සෙනෙවිරත්න, සේනාරත්න, සෙනරත් ආදී පෙළපත් නම් සහිත බොහොමයක් ජීවත් වෙති. මොවුන් හා මෙම පැරණි සෙනරත් වරුන් අතර ඇති ඵෙතිහාසික සහ මානව විද්‍යාත්මක සබැඳියාව වෙනම විමසා බැලිය යුතුය.
ඉංග්‍රීසින් විසින් පැරණි හෙනරත්ගොඩ, දුම්රිය පළ තනන කාලයේ එම ප්‍රදේශයේ විසූ ප්‍රභූ පවුලක සියලු සාමාජිකයන් අකල් මරණවලට ලක්ව එක් පුද්ගලයෙක් පමණක් ඉතිරිවිය. ජීවිතයේ මැදිවිය සාමාන්‍ය සමාජ ආර්ථික තත්වයකින් යුතුව ගත කළ මොහු වියපත් වීමත් සමඟ කාත් කවුරුත් නොමැතිව අසරණ විය. ඒ වන විට හෙනරත්ගොඩ දුම්රිය පළ මුල් කොට නියම්ගමක් හෙවත් වෙළඳ නගරයක් නිර්මාණය වෙමින් පැවැතීම මත එම ප්‍රදේශයේ ඉඩකඩම් වල වටිනාකම ද සැලකිය යුතු ලෙසින් ඉහළ නැංවිණි. එනිසා හෙනරත්ගොඩට ඔබ්බෙන් පිහිටි පිටිසරබද ගම්මානවලින් පැමිණි සමහරෙක් වෙළහෙළදාම් සඳහා එම පුද්ගලයා සතු ඉඩකඩම් බලහත්කාරයෙන් අල්ලා ගත්හ. ඒ වන විට 'මුත්තා' යනුවෙන් ගම්වැසියන් විසින් හඳුන්වනු ලැබූ ඔහු තම ජීවිතයේ අවසන් කාලයේ අක්කර කාලක පමණ භූමි භාගයක පිහිටි ගරා වැටුණු නිවහනක කළ දවස ගෙවමින් සිටියේය.
ප්‍රභූ පවුලකට අයත් වූවෙකු බැවින් සාමාන්‍ය ජන සමාජය ඉදිරියට ගොස් සිඟමන් යැදීම ද මුත්තාට කෙසේ වත් කළ නොහැකි විය.එනිසා හෙනරත්ගොඩ ආශ්‍රයේ පිහිටි මැදගම ගම්වාසීහු දිනපතා සලාක ක්‍රමයකට මුත්තාට කෑම සැපයීමට පුරුදු වූහ. එනිසාම ජීවිතයේ අවසන් කාලය දුක් කරදරයකින් තොරව ගත කිරීමට මුත්තාට හැකිවිය.
"කවදා හරි මං මැරුණු දවසක මාව මේ ඉඩමේම වළ දමාපල්ලා; නැත්නම් පිටස්තර එවුන් ඇවිත් මේ ඉඩම් කෑල්ලත් කොල්ල කයි; ඒත් මගේ මිනිය මේකේ තියන කම් එකෙක්වත් මේකට කෙළ හලන එකක් නැහැ." තම ජීවිතයේ අවසන් කාලයේ දී 'මුත්තා' තමන්ට උවටැන් කිරීමට එන අසල්වාසීන්ට කීය.
"ඒ වගේම මගේ මිනිය වළලපු තැන උඹලා පොල් පැළයක් ඉන්දවපල්ලා; එතකොට මට පුළුවන් දැන් බැරි වුණාට මැරිලා උඹලට කළගුණ සලකන්න."
ජීවිතයේ  අවසන් කාලයේ දී මුත්තා තමන්ට උවටැන් කිරීමට එන අසල්වැසියන්ට කීය.
ඒ කෙසේ හෝ මුත්තා ගේ සිතැඟි පරිදිම ඔහුගේ මළ කඳ එම ඉඩමේ ම මිහිදන් කළ මැදගම ගැමියෝ මිනී වළ මත පොල් පැළයක් සිටවූහ. එළෙස සිටවා වසර පහ - හයක් තුළ පීදුණු  මෙම පොල් පැළය වසර දහයක් දොළහක් පමණ යන විට විස්මිත පලදාවක් සහිත ගසක් වූයේ සියල්ලන් අන්ද මන්ද කරවමිනි. කෙසේ හෝ පසුව මෙම ගසේ පොල් පලදාව එම ප්‍රදේශයේ මුත්තාට පිහිටවූ පවුල් රාශියක පොල් අවශ්‍යතා සපුරාලීමට සමත් වූ බව කියනු ලැ‍බේ.
"අපි මුත්තාට කරපු ඇප උපකාරවලට මුත්තා මිනී වළේ ඉඳගෙනත් අපිට කළගුණ සලකනවා."
පසුව එම පොල් පලදාව සම්බන්ධයෙන් මැදගම ගැමියෝ එසේ කීහ. එනිසාම පසුව එම ඉඩම 'තනිපොල් ගහ වත්ත'  යනුවෙන් හඳුන්වන ලද බව ද පැවසෙයි.
මැදගම ප්‍රදේශයේ වැඩිහිටියකු ගෙන් අසා දැන ගත් මෙම ප්‍රවෘත්තිය 1976 වසරේ දී  එවක පාසල් සිසුවෙකුව සිටි මා හා පවසන ලද්දේ ගම්පහ, මැදගම, සුනන්දාරාම වාසී ව වැඩ සිටි අපවත් වී වදාළ ශාස්ත්‍ර විශාරද පූජ්‍ය පණ්ඩිත පත්තඬුවන චන්ද්‍රසිරි හිමිපාණන් විසිනි. නමුදු අතීතයේ මුත්තා විසූ, ඔහු භූමදාන කළ සහ විස්මිත පලදාවක් සහිත පොල් ගස තිබූ බිම් කඩ අද වන විට නූතන ගම්පහ නගරය විසින් මුළුමනින් වසා ගෙන ඇතැයි මට සිතේ.


තිලක් සේනාසිංහ

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වැසි ඇද හැළෙයි. පාලි භාෂාවෙන් වැස්ස හැඳින්වෙනුයේ 'දෙවො' යනුවෙනි. එමෙන්ම වර්ෂාවට අධිපති නැතහොත් වර්ෂාව ලබාදෙන දෙවි කෙනෙකු පිළිබඳවද අපගේ ජන ව‍හරෙහි එයි. ඒ දෙවිඳුන් හැඳින්වෙනුයේ 'වැස්ස වලාහක දෙවියන්' යනුවෙනි.

එහෙත් පොදු ජන විශ්වාසයක් වන මෙම 'වැස්ස වලාහක' දේව සංකල්පය පසෙක තිබිය දී මෙම වැස්ස වලාහක දෙවියන්ගේ ඡායාරූපයක් කැමරාගත වූ දුලබ අවස්ථාවකි මේ.

තම ජංගම දුරකථනය මඟින් මෙම සේයාරුව ලබාගෙන ඇත්තේ කෑගල්ලේ දීවල පදිංචි කෑගල්ලේ පෞද්ගලික ආයතනයක සේවය කරන අමිල හතුරුසිංහය. මේ ඔහු ඒ පිළිබඳව අප හා කී කතාවයි.

"පහුගිය 12 වෙනිදා මම සේවය නිමකරලා ආයතනයෙන් එළියට එනකොට වෙනදා කවදාවක්වත් නැති අමුතුම ආලෝකයක් පැතිරිලා තියෙනවා දැක්කා. මේ ආලෝකය රාත්‍රී සේවා මුරයට එන අයත් දැකලා එහි හිටපු අයගෙන් අහලා තිබුණා. අපේ ආයතනයේ ඉදිරිපස තියෙන 'ලයිට් සෙටප් එක' වෙනස් කළාද කියලත්. නමුත් ඒ අයට තේරුන්ගන්න බැරි වුණාට මේක ස්වභාවික කාන්තිමත් ආලෝකයක්. කොහොම හරි  මම කෑගල්ලෙන් බුලත්කොහුපිටි පාරට එනකොට හාත්පස අඳුර අතරින් මතුවෙලා තියෙන මේ ආලෝකය තුළින් මිනිස් මුහුණකට සමාන මුහුණක් දර්ශනය වුණා. ඒක මට අදහගන්නත් බැරුව ගියා. මම ඒ වෙලාවෙම මගේ කැමරාවෙන් පින්තූර 03 ක් ගැහුවා. නමුත්  බලනකොට ඒ පින්තූර 03 න් එක පින්තූරයක විතරයි මේ මූණ වැදිලා තිබුණේ. අනෙක් පින්තූර වල තිබුණේ සාමාන්‍ය අහස. ‍ඊට පස්සේ මේ පින්තූරය අමුතු නිසා මම මේවා ගැන දන්න කියන වැඩිහිටි කිහිප දෙනෙක් ගෙන් විස්තර ඇහුවා.

එතකොට තමයි ඒ එක්කෙනෙක් කිව්වෙ මේ වදිහට ඇසිපිය තියෙන බවක් කියවෙන්නේ වැස්ස වලාහක දෙවියන්ට කියලා. වැස්ස ඇදහැලෙන්නේ ඒ දෙවියන්ගේ ඇසිපිය වලින් කියලාත් පරණ පොත් වල තියෙන බවක් ඒ තැනැත්තා කිව්වා. කොහොම හරි මට පස්සේ ආරංචි වුණා ඒ පැත්තේ සරුංගල් අරිමින් සිටි ළමයි කිහිප දෙනෙකුටත් මේ දර්ශනය මේ විදිහටම දකින්න ලැබිලා දුරකථන වලින් මේ විදිහට පින්තූර ගත්තා කියලා. ඒ පින්තූරවලත් මේ වගේම මූණක් දකින්න තියෙනවලු. නමුත් පුදුමෙ කියන්නෙ ඒ පින්තූර වලිනුත් එක පින්තූරයක් විතරලු වැදිලා තියෙන්නේ. කොහොම නමුත් මේ පින්තූරෙ ගැන විවෘත කථා බහක් තිබුණොත් හොඳයි කියලා මම හිතනවා."

අමිලගේ මෙම ප්‍රකාශය සම්බන්ධ යමක් කීම හෝ තීරණයකට එළඹීම අපට කළ නොහැක්කකි. මේ සම්බන්ධ තීරණ ගත යුත්තේ ඔබ විසිනි.

සාමාන්‍ය අහස දිස්වූ ඡායාරූප...


ඡායාරූප - අමිල හතුරුසිංහ

එස්.ටී.පී සිල්වා

 

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවාසනාවන්ත ලෙස අපවත් නොවුනානම් බෞද්ධ දර්ශනය උපයෝගී කරගෙන රටේ ප්‍රශ්න යම් ප්‍රමාණයක් විසදීමට කටයුතු කරනු ඇතැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ පසුගිය දා පැවැති ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයක දීය. එහිදී වැඩිදුරටත් කථා කළ මහාචාර්යවරයා කියා සිටියේ බෞද්ධ දර්ශනයෙන් සමාජ පෙරළියක් කළ හැකි බව පසුගිය මැතිවරණයේ දී සනාථ වූ බවත් ඒ හැකියාව සමාජ සංවර්ධනයට යොදා ගැනීමට කටයුතු නොයෙදීම ගැටලු කාරී තත්ත්වයක් බවත්ය.

එම වීඩියෝ පටය පහතින්...... 



එස්.ටී.පී. සිල්වා

කොට්ටාව ග්‍රාමය තම උපන්බිම කරගත් ශාන්ත විජේසිරි නම් වූ මොහු කලා පවුලකින් සංගීත ක්ෂේත්‍රයේ හිණිපෙත්ත කරා යාමට වාසනාව ලැබිමෙන් පසු ‍පොඩි ජෝතිපාල නමින් ජනතාව අතරට පිවිසියේය. එච්.ආර්. ජෝතිපාල නම් වූ ඒ අග්‍රගණයේ ගායකයා ඉදිරිපිටදීම ඔහු අනුකරණය කරමින් ඔහුගේ ආශිර්වාදය මැද ලතා වල්‍පොල ගායිකාව හා එක්ව ගී රැසක් ගයා ජනාදරයට පාත්‍ර වූ මොහු දේශීය සංගීතයේ පියාවන විශාරද ඩබ්.ඩී. අමරදේවයානන්ටද තබ්ලා වාදනයෙන් දායක විය.
විවාහ දිවියට පිවිස දරුවන් 05 දෙනකුගේ ආදරණීය පියකු ලෙසින් පවු‍ලේ සියලුම යුතුකම් ඉටුකොට අවසානයේදී එම ගිහි දිවියෙන් සමුගත්තේ තම ආදරණීය බිරිඳ දරුවන් හා ඥාතීන්ගේ විශේෂ ආශිර්වාදය මතයි.
ශාන්ත විජේසිරි කලාකරුවා ප්‍රසිද්ධ තබ්ලා වාදකයකු, ඡායාරූපශිල්පියකු,  මාධ්‍යවේදියකු හා ‍ජ්‍යොතිෂඥ ලෙස කටයුතු කරමින් 1970 වසරේදී කලායතනයක්ද පවත්වාගෙන යමින් කලාවට මහත් සේවාවක් ඉටු කළේය.
වාදනයෙන්, ගායනයෙන් හා රංගනයෙන් රටට දැයට  සමාජයට ඔහු කළ සේවය අතිමහත්ය. ආදර්ශමත් පියකු ලෙසින් තම බිරිඳ ඇතුළු දරුවන්ගේ  අනාගත සුභසිද්ධිය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුවද තමාගේ සියලුම බලා‍පොරොත්තු සුන් කරමින් අවස්ථා කීපයකදීම  ඔහුට මුහුණදීමට සිදුවූ රෝග පීඩාවලදී ඔහුගේ යටිසිත කොදුරමින් ඔහුට බලකර ඇත්තේ ගිහි දිවිය තම සසර ගමනට  බාධාවක් බවකි.
තම නිවස අසල වූ වත්තේගම ජිනරතන හිමි වැඩවසන කුරුවිට බෞද්ධ විහාරස්ථානයට වී දවසේ වැඩිවේලාවක් ඔහු  බණ භාවනාවේ හා ආගමික  වතාවත්වල යෙදෙමින් බිරිඳ හා දරුවන්ගේ හිත පළුදු නොවනසේ තම සුමග සොයා යන ගමනට  ඔවුනගේ කැමැත්ත හා ආශිර්වාදය ලබා ගත්තේය. එම විහාරස්ථානයේ වස්සාන  සමයේ කැපකරු ලෙස මාස 03ක සේවාවටද එක්වූ ඔහු තම  සසර ගමන කෙටි කරගන්නට  තම පැවිදි දිවිය උරුම වී ඇති බව සනාථ කර ගත්තේ දෙනෙක් සතුටු කඳුළෙන් පුරවා ගනිමිනි.
මිනිස් ජීවිතයේ  සියලුම සැප සම්පත් ආශාවන් පරයමින් හා බුදුහිමි දේශනා අනුව යමින් පැවිදි දිවිය තෝරාගත් ශාන්ත විජේසිරි කලාකරුවා මාධ්‍යයට කීවේ ගිහි දිවියත් සමග අපාගතවීමට වඩා පැවිදි වී නිවනට යාම තමාට සම්පතක් බවයි. 
තම ආදරණීය බිරිඳ දරුවන් හා ඥාති හිතමිතුරන්ගේ උතුම් ආශිර්වාදය මැද 2016 ඔක්තෝම්බර් මස 26 දින කුරුවිට විහාරස්ථානයේ පැවැති විශේෂ ආගමික උත්සවයකදී වත්තේගම ජිනරතන හිමි ඉදිරියේ කොට්ටාවේ  විජයවංශ  නමින් පැවිදි  බිමට පිවිසි මෙම කලාකරුවා ඊට නොබෝ දිනකින්  බෝත‍ලේගම සාමවිහාරාධිපති ශාස්ත්‍රපති  බෝත‍ලේගම සංඝරතන නාහිමියන්ගේ විශේෂ ආරාධනයක් මත මේ වන විට බෝත‍ලේගම සාමවිහාරවාසි හිමිනමක් ලෙස වැඩ වසති.
ජෝන් ඇන්ටනි - වෙන්නප්පුව

“වැඩක් නැතිනම් මිනි මයිනර් එකක් බලන්න කුලියාපිටියට ගිහින් එමුදැයි පසුගියදා මිතුරෙකු මගෙන් විමසීය. සැබවින්ම සති අන්තය එහෙමට වැඩක් නොතිබුණ හෙයින්ද මිතුරාගේ ඇරයුම අගට ඉංග්‍රීසි කාරයක්ද ඇඳී තිබූ හෙයින්ද මමද එක පයින්ම ගමනට එක්වන්නට තීරණය කෙරුවෙමි. මද්දහනට පෙර කුලියාපිටියට ගිය අපි මග තොරතුරුවලට අනුව මෝටර් රිය හිමියා සොයා ගියෙමු. එහෙත් රථයේ හිමිකරු පවසා සිටියේ මුළු කාර් එකම දැන් බැලිය නොහැකි බවයි සැබවින්ම ඔහුගේ මේ ප්‍රකාශය මා තුළ ඇති කළේ බලවත් කුහුලකි. එහෙත් මිතුරා තුළින් දිස් වූයේ ඔහු එකී තත්ත්වය ගැන දැනුවත් බවයි. කෙසේ හෝ අවසානයේ නිවසේ පිටුපසට වන්නට පිහිටි ගබඩාවක් හැර විකිණීමට බලා‍පොරොත්තු වන රථය පෙන්වීමට එහි හිමිකරු එකඟ විය. පුදුමයකි. එහි වූයේ පාන් ගෙඩියක් දෙකට මැදින් කැපූ ලෙස කැපූ මිනි මයිනර් රථයක බාගකි. ඇයි මේක කැපුවේ කෝ මේකේ අනිත් කෑල්ල මා විමසුවෙමි. අනිත් බාගය ආවේ ඊයේ පෙරේදා. ඒක කුරුණෑගල තියෙනවා. ඔයා ගන්නවා නං කියන්න. එහේ ගෙනිහිං පාස්සලා වැඩ ඉවර කරලා දෙන්න. මට ලක්ෂ හතයි හැබැයි පාස්සලා පේන්ට් කරන කෙනාට ලක්ෂ 1   1/2 විතර අය කරනවා. ඔයාට ලක්ෂ 8 1/2 වැය කොට වාහනේ ෆිනිෂ් කරගන්න පුළුවන්. ඔහු කටේ දිවේ නොගෑවී කියාගෙන ගියේය.
එක එල්‍ලේම මේ නීති විරෝධීව කරන මගඩියක් බව වටහාගත හැකි වුවද මගේ මිතුරා එය ගණන් ගන්නා බවක් නොපෙනුණි.
ඉතින් මේක කොහොමද රෙජිස්ටර් කරන්නේ මම අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමි.
මොන රෙජිස්ටර්ද මොරිස් මයිනර් එකක ‍පොතක් අරගෙන දුවන එකනේ. කවුරුත් කරන්නේ එහෙමයි.
කිසිසේත් මේ රථය මිලට ගත යුතු නැති බව මා පහදා දුන්නද මාසයකට පමණ පසු මගේ මිතුරා එම රථය මිලට ගෙන තිබුණි. එය ඔහු 4ශ්‍රී කාණ්ඩයේ අංකයක් සහිතව දැනුදු භාවිත කරයි.
සැබවින්ම මේ හුදකලා සිදුවීමක් නොව රට පුරා ෙදෙනිකව ඉහළ යන මෝටර් රථ වාහන මගඩියක තවත් එක පැතිකඩකි.
1950 දශකයේ අග භාගයේ බ්‍රිතාන්‍යයේ නිපද වූ මිනි මයිනර් මෝටර් රථ අදටත් ලොව පුරා එකසේ ජනප්‍රිය මාදිලියකි. එහෙත් දැන් රටට මිනි මයිනර් ගෙන එන්නේ බ්‍රිතාන්‍යයේ නොව ජපානය සහ යුරෝපය් වෙනත් රටවලිනි. එම රටවලද වර්තමානයේ සුලබව භාවිත වනුයේ ජර්මනියේ  බි.එම්.ඩබ්ලිව්, සමාගමේ සන්නාමය යටතේ නිපදවන මිනි රථ නිසා බ්‍රිතාන්‍යයේ නිපද වූ පැරණි මාදිලියේ රථ එකී රටවල භාවිත නොවන තරම්ය. (එම රටවල් 1998 තරම් මෑත කාලවල බ්‍රිතාන්‍යයේ නිපදවූ මිනිමයිනර් රථ භාවිතයෙන් ඉවත් කර ඇත.) එහෙත් එම රථවල ශ්‍රී ලංකාවේ ඇති 1950-60 දශකවල ගෙන ආ මිනි මයිනර් රථවල නැති වායු සමීකරණ වායු බෑග වැනි පහසුකම් බොහෝ ඇත.
ලංකාවට මෝටර් රථ අමතර කොටස් ගෙන එන ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන් මෙවැනි මිනි මයිනර් රථ අඩු ගානට ලබා ගනිති. එහෙත් ඒවායේ නිෂ්පාදිත වර්ෂය ලංකාවේ අනුමත කාල පරාස ඉක්මවා යන බැවින් පාවිච්චි කළ මෝටර් රථ ලෙස රටට ගෙන ඒමට ඔවුනට නොහැක. එවැනි අවස්ථාවල ඔවුන් අනුගමනය කරන ‍පොදු ක්‍රමය වනුයේ මිලට ගත් රථ කැබලි දෙකකට කපා රටට ගෙන ඒමය. ඒ අමතර කොටස් ලෙසිනි.
ලංකාවේ තරුණ පරපුර අතර මිනි මයිනර් රියට ඇත්තේ කිසිදා අඩු නොවනා ඉල්ලුමකි. ඒ තත්ත්වය දන්නා ව්‍යාපාරිකයන් මිනි මයිනර් රථ කැබලි කර රටට ගෙනැවිත් එකට පුරුද්දා විකුණති.
දැනගැනීමට ඇති ආකාරයට මෙලෙස දෙකට කපා ගෙන එන රථවල කෑලි යළි පුරුද්දා පින්තාරු කර වයර්වල සබඳතා සකසාදීමට රුසියෝ වෙසෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේය. ඔවුන් ඒ සඳහා රු. 125,000 සිට රු.ලක්ෂ 2 දක්වා මුදල් අය කරති.
ඉන් අනතුරුව ඇත්තේ ව්‍යාජ ලෙස එකලස් කළ මිනි මයිනර් රියට සුජාත බවක් ලබා දීමය. ඒ සඳහා ඇත්තේද අපූරු ක්‍රමයකි. ඒ පැරණි මොරිස් මයිනර් රියක ලියාපදිංචි සහතිකයක් (‍පොතක්) ලබාගෙන එහි සඳහන් අංකයට සැකසූ අංක තහඩු යුවළක් රථයේ එල්ලා ගැනීමය. කාරණාව වඩාත් හොඳින් තහවුරු කරගැනීම සඳහා කළයුත්තේ ‍පොත මිලට ගන්නා මයිනර් රථයේ එන්ජින් කාමරයේ සවිකර ඇති ටැග් එක ගලවා අලුතින් පිරිද්දූ මිනි මයිනර් රියේ එන්ජින් කාමරය තුළ සවි කිරීමය. මේ සඳහා වැය වනුයේ ඇලුමිනියම් රිවට් හතරක් පමණි.
කලකට පෙර ගැනුම්කරුවෝ ‍පොත පමණක් නොව මයිනර් රියේ ටැග් එක පිළිබඳවද උන්නදු වූහ. එහෙත් අද වන විට ‍පොතේ ඇති තොරතුරුවලට අනුව ව්‍යාජ ටැග් සැකසීම පංචිකාවත්තේ සුලභව සිදුවන බැවින් වාහනය ඇසින් නොදැක ‍පොත පමණක් මිලට ගැනීමට ඕනෑ තරම් දෙනා ඉදිරිපත් වෙති.
මේ කරුණ තහවුරු කරගැනීමට ඔබට ඇවැසි නම් ඒ පිළිබඳව වැඩි දුරටත් වෙහෙසිය යුතු නොවේ. ඔබ කළ යුත්තේ මහ මග අයිනේ දිලිසෙන්නට පින්තාරු කර නවතා ඇති මිනි මයිනර් රියක් තුළට එබි බැලීමය. 3,4, ශ්‍රී කාණ්ඩ මිනි මයිනර් රථවලින් බහුතරයකට අද ඇත්තේ ස්වයංක්‍රිය ගියර් පද්ධතීන්ය. තවත් ඒවායේ ද්විත්ව වායු බෑග්,  සමීකරණ වැනි පහසුකම්ය. තවත් රථවල ට්‍රිප් ටොනික් ගියර් පද්ධතිය එහෙත් 3,4, ශ්‍රී කාණ්ඩවල රථ ලංකාවේ ලියාපදිංචි කළේ 1959-60 වැනි වසරවලය. එම යුගයේ බ්‍රිතාන්‍යයේ නිපද වූ මිනි මයිනර් රථ සියල්ල අයත් වනුයේ මුලික තත්ත්වයේ මෝටර් රථ (ඕචඵඪජ ජචප) කාණ්ඩයටය. ඒවායේ පෙරකී නවීන සුඛෝපභෝගී අන්ගෝපාංග සවිකර නැත. බොහෝ විට මෙවැනි මිනි මයිනර් රථ භාවිත කරන බහුතරයක් තමුන් කාගේ හෝ වංචාවකට හසුව ඇති බව නොදනිති. ඔවුන් කාගෙන් හෝ මිනි මයිනර් රියක් මිලට ගෙන ඇත. නමුත් එහි එම රිය නීති විරෝධීව රට තුළට ගෙනැවිත් මෙහිදී එකලස් කර මයිනර් ‍පොතකින් සුජාත බව ලබා ගත් එකක් බව ඔවුන් නොදනි. ඊට මූලික හේතුව මොරිස් මයිනර් සහ මිනි මයිනර් යන රථ දෙකටම එකම වර්ගයේ එන්ජින් (ර්ඪදධප 1000-ඒභඵබඪද ඪද තඪදඥ) භාවිත කිරීමය. එබැවින් රථ දෙකම මයිනර් 1000 ලෙස හඳුන්වා දීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම ජාවාරම නිසා ගරාජවල දිරා යමින් තිබූ මොරිස් මයිනර් රථ ලක්ෂ එක හමාරට දෙකට විකුණා ගත හැකි වූ අවස්ථාද ඇත. ඒ ඒවායේ ‍පොත ටැග් එක ලබාගැනීමටය. ඇතැම්හු ‍පොත සහ ටැග් එක පමණක් ගෙන රථය පරණ යකඩවලට දමන්නට එහි හිමියාටම පරිත්‍යාග කිරීමට තරම් පරිත්‍යාගශීලීහු වෙති. අද වන විට මෙම තත්ත්වය නිසා මොරිස් මයිනර් රථ පමණක් නොව   ඒභඵබඪද ථචයඪ ඒභඵබඪද ජ්චපඪදච වැනි රථවලද ඉහළ ඉල්ලුමක් බිහිව ඇත. ඒ ඒවායේද ‍පොත ලබාගැනීමටය. එබැවින් ඔබ මිනි මයිනර් රියක් මිලට ගන්නේ නම් එහි සුජාත බව පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම වැදගත්ය.
මොරිස් මයිනරය මෙන්ම මිනි මයිනරයද නිපදවූයේ එකම ඉංජිනේරුවෙකි. ඒ ඇලෙක්ස් ඉසිගෝනිස්ය. එහෙත් අද මොරිස් මයිනරය වනසා මිනි මයිනරයෙන් වැජඹේ. අපේ ගම්වල උදවිය කැ‍ලේ ගසක් නසන්නට කැ‍ලේ ගසක් ඕනෑ වන බව කීවේ මෙවැනි දේවලටය.

මෙවැනි වාහන මිලදී ගන්නට එපා

මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි

නීති විරෝධීව රටට ගෙනැවිත් වෙනත් අංක යටතේ ධාවනය වන  වාහන රාශියක් තිබෙනවා. මිනි මයිනර් ඉන් එකක් පමණි. මෙවැනි රථවල ඇත්තේ ව්‍යාජ චැසි අංකයක්. එබැවින් මෙම රථ පරිහරණය නීති විරෝධීයි. මෙවැනි දේ මුලින්ම පාලනය විය යුත්තේ රේගුවෙන්.
තමුන් මෝටර් රියක් මිලට ගන්නකොට ‍පොතේ ඇති චැසි අංකයම වාහනයේ තිබේදැයි සොයා බැලිය යුතුයි. මෙවැනි වාහන මිලට ගැනීමෙන් කවදා හෝ ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. එබැවින් එකලස් කරන ලද වාහන මිලට ගන්න එපා. මෙවැනි වාහනවලට විරුද්ධව ‍පොලීසිය තදින් ක්‍රියාකරනවා.

 අරුණ ලක්‍ෂ්මන් ප‍්‍රනාන්දු

ලුතිනන් ජෙනරාල් (එකල) සරත් ෆොන්සේකා දෙදහස් පහේ දෙසැම්බරයේ යුද හමුදාපති ධුරයට පත් වන විට ජගත් ජයසූරිය නිලයෙන් (තාවකාලික) මේජර් ජෙනරාල්වරයකි. යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරය දරමින් සිටි ජගත් ජයසූරිය, සරත් ෆොන්සේකා යටතේ ලද මුල්ම පත්වීම වූයේ යාපනය 52 වැනි සේනාංකාධිපති ධුරයය. එම ධුරය දරමින් සිටියදී ඔහු ජාතික ආරක්ෂක උපාධිය හැදෑරීමට චීනය බලා ගියේය. එම උපාධිය හදාරා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය ලංකාවට පැමිණි කාලයේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති පදවිය පුරප්පාඩු වී තිබුණේ ඒ එම ධුරය දැරූ මේජර් ජෙනරාල් උපාලි එදිරිසිංහ විශ්‍රාම ලැබිම නිසාය.
   පුරප්පාඩු වූ වන්නි ආඥාපති ධුරයට පත්වූයේ මේජර් ජෙනරාල් ජගත් ජයසූරියය. පසු කලක යුද හමුදාපතිවරයා විසින් ඔහු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ධුරයටද පත් කරන ලදී. එකල ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර කිසිදු අමනාපයක් නොවීය. වවුනියාවේ පිහිටි වන්නි   ආරක්ෂක සේනා ආඥාපති මූලස්ථානයට එකල නිතර යන හමුදාපතිවරයා සිනහමුසු මුහුණින් පිළිගත්තේ ජගත් ජයසූරියයි. එකල වන්නි ආඥාපතිවරයාට අයත් ප්‍රදේශ වූයේ මන්නාරම, වවුනියාව හා මුලතිව්ය. වන්නි අවසන් සටන තිබුණේ මේ බිමේය. එහෙත්  ධුරයෙන් වන්නි ආඥාපතිවරයා වුවත් ජගත් ජයසූරියට පැවැරුණු රාජකාරිය වූයේ වන්නි සටනේ නිරතව හුන් සේනාංකවලට අවශ්‍ය පහසුකම් සැපයීම පමණි. ඊට හේතු වූයේ සිවු වැනි ඊළාම් සටනේ සියලුම ප්‍රහාරක සේනාංකවලට සෘජුවම අණ දුන්නේ යුද හමුදා මූලස්ථානයෙන් වන නිසාය. එම පිළිවෙත මදකට බුරුල් වූයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා උදෙසා පමණි. යාපනය අර්ධද්වීපයේ කෙරෙන මෙහෙයුම්වල, මෙහෙයුම් බලතල එකල යාපනය ආඥාපතිවරයා වූ මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිට හිමිව තිබුණි. ඔහු යුද හමුදාපතිවරයාගේ අතිශය විශ්වාසය දිනාගත් නිලධාරියකු විය.
එහෙත් ජගත් ජයසූරියට මෙහෙයුම් බලතල හිමි නොවීය. හැරත් ඔහු සටන් බිමේ අණ දෙන්නෙකු ලෙස කීර්තියක් දිනාගෙන තිබුණේ නැත. හමුදාපති පුටුවේ වාඩි වනතුරුම ජෙනරාල් ජයසූරියට වීර පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූවේය. මෑත කාලයේ වීර පදක්කමක් නැතිව හමුදාපති පුටුවේ වාඩි වූ එකම හමුදාපති ඔහුය. කෙසේ නමුදු ජෙනරාල් ජයසූරිය රණ වික්‍රම පදක්කම ගසා ගත්තේ ඔහු හමුදාපති ධුරයට පත් වීමෙන් ඉක්බිතිවය. එය යුද හමුදාවේ දැඩි ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් විය. මක්නිසාදයත් රණ වික්‍රම පදක්කම ලැබෙන්නේ සිය දිවි නොතකා තම සගයන්ගේ දිවි බේරා ගැනීමට සටන් බිමේදී සතුරා සමග මුහුණට මුහුණ සටන් කරමින් වීර වික්‍රමාන්විත දස්කම් දක්වන වීරයන්ටය. එහෙත් යුද හමුදාපතිවරයා තියා සේනාංකාධිපතිවරයකුවත් සටන් බිමේ සතුරා සමග මුහුණට මුහුණ සටනට යන්නේ නැත. ඒ නිසා යුද හමුදාවේ වීර පදක්කම් පිරිනැමීමේ ක්‍රමවේදය ගැන දන්නා අයෙකුට ජෙනරාල් ජයසූරිය රණ වික්‍රම පදක්කමට හිමිකම් කියූ ආකාරය ගැන ප්‍රශ්නයක් ඇති වීම සාධාරණය.
ඔහු වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධුරය දරන විට ඔහු හිමිකම් කීවේ උත්තම සේවා පදක්කමට පමණි. එය පිරිනමන්නේ පහළොස් වසරක නොකැළල් සේවයටය.
හැරත් සිව්වැනි ඊළාම් සටනට අණ දුන් සියලුම සේනාංකාධිපතිවරුන්ට හා ආඥාපතිවරුන්ට යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශංසාත්මක ලිපි ලැබුණද මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට එය ලැබුණේ නැත. දෙදහස් නවයේ මැයි විසි අට වැනිදා යුද හමුදා මූලස්ථානයේ පැවැති එම ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට වන්නි ආඥාපතිට ඇරයුම් පතක්වත් නොවීය. නිල වශයෙන් ඊට හේතුව ලෙස එකල කියැවුණේ මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය වන්නි සටනට සෘජු අණ දීමක් නොකළ බවය. එහෙත් පසුබිමෙන් ඇසුණු කතාව වූයේ ඒ වන විටත් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර සීතල යුද්ධයක් ඇරඹී ඇති බවය. යුද හමුදාපතිවරයා ලංකාවේ නැති අතරතුරේ වන්නි ආඥාපතිවරයා යුද බිමට ගොස් ලකුණු දා ගැනීම සරත් ෆොන්සේකාගේ කෝපයට හේතු වී තිබුණි. එය උච්චස්ථානයට ළඟා වී තිබුණේ යුද්ධයේ අවසන් දින කීපයේ යුද හමුදාපතිවරයා චීනයේ නිල සංචාරයක ගොස් සිටි දවස්වලය.
අවසන් සටනට අණදෙමින් සිටින සේනාංකාධිපතිවරුන් සමග මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය වෙල්ලිමුල්ලි වයික්කාල් බිමේ සිටීම යුද හමුදාපතිවරයාගේ නොසතුටට හේතු වූ බව එකල කියැවිණි. යුද හමුදාපතිවරයා ලංකාවේ නැති අතරේ මේජර් ජෙනරාල් ජයසූරිය ලවා යුද්ධය අවසන් කිරීමේ සැලසුමක්ද එකල ක්‍රියාත්මක වූ බව පැවැසුනි.
එකල යුද බිමට යනවිට මේජර් ජෙනරාල් ජයසූරිය සෙන්පති කොබ්බෑකඩුව මෙන් අවශ්‍ය විටක දිගහැර වාඩිවිය හැකි බස්තමක් පරිහරණය කළේය. ඔහුගේ එම බස්තමද හමුදාපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.
මේ අතරේ යුද්ධය අවසන් වීමෙන් පසුව යුද හමුදාපතිවරයා වෙල්ලිමුල්ලි වයික්කාල් බිමට ගොස් සියලුම සේනාංකාධිපතිවරුන්ට සුබ පැතුවේය. ඒ හමුවට මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට ඇරයුමක් නොවීය. මේ ලිපියේ මුලින් කී පරිදි හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකටත් මේජර් ජෙනරාල් ජයසූරියට කැඳවීමක් නොවීය. ඒ සියල්ලෙන් දුන් සංඥාව වූයේ යුද හමුදාපතිවරයා මේජර් ජෙනරාල් ජයසූරියට පල නොකියා පලා බෙදමින් සිටින බවය.
තත්ත්වය මෙසේ තිබියදී වන්නි ආඥාපතිවරයා යුද හමුදා ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා සැලසුමක් ගැන තොරතුරු පැතිර ගියේය. එම සිද්ධියට වන්නි ආඥාපතිවරයාගේ අධි සහයක අත්අඩංගුවට ගන්නා බවද කියැවුණි. සිද්ධිය හේතු වී තිබුණේ විනය විරෝධී චෝදනාවකි.
යුද හමුදාපතිවරයාගේ නියමයෙන් වන්නි ආඥාපතිවරයා අත්අඩංගුවට ගැනීම පැවැරී තිබුණේ එකල යුද හමුදා විනයාආරක්ෂාධිපතිව හුන් බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු යුද හමුදා ‍පොලීසියටය.
මේ සිද්ධිය ජනපති මහින්ද රාජපක්ෂගේද කනට වැකී තිබුණේය. ඔහුට මේ ආරංචිය ගිය බව පැවසෙන්නේ ජනපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහාය. ඔහු මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අයත් වූ සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ නිලධාරියකු විය.
වන්නි ආඥාපතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි කාලයේ හමුදාවේ ඉහළ පුටු මාරුවක් ආවේය. වහාම ක්‍රියාත්මක වූ ජනපතිවරයා යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා නිෂ්ක්‍රිය කිරීමට ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කළේය. පුරප්පාඩු වූ යුද හමුදාපති ධුරයට ජෙනරාල් ෆොන්සේකාගේ නිර්දේශය වූයේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිය. එහෙත් ජනපතිවරයා මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කර, යුද හමුදාපති ධුරයට මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය පත් කළේය. එම පත්වීම කරන විට ජගත් ජයසූරියට වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරු දහ දෙනෙක් සිටියහ. ඉන් පස් දෙනෙක් සේවා රෙජිමේන්තුවලට අයත් බැවින් ඔවුන්ට හමුදාපති පුටුවට හිමිකමක් නොවීය. එහෙත් අනෙක් නිලධාරීන් සුමිත් බාලසූරිය, ජී.ඒ. චන්ද්‍රසිරි, එන්.ඒ. රණසිංහ හා පරාක්‍රම පන්නිපිටිය යන නිලධාරීන් සිටියදී හමුදාපති පුටුව හිමි වූයේ ලුතිනන් ජෙනරාල් ජයසූරියටය. ඔහු එම ධුරයට පත්වූයේ දෙදහස් නවයේ ජූලි පහළොස් වැනිදාය.
මේ හදිසි පත්වීම ගැන තමාද පුදුමයට පත් වූ බව ඔහු එකල මාධ්‍යයට කීවේය.
කෙසේ නමුදු තනතුරු මාරුවෙන් පසුවද ජෙනරාල් සරත් ෆොන්සේකා ජගත් ජයසූරිය අරබයා අනුගමනය කළ පිළිවෙතේ වෙනසක් නොවීය. එහි කූඨප්‍රාප්තිය වූයේ සරත් ෆොන්සේකා වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේ පැවැති ආචාර පෙළපාළියකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා අතර සීතල යුද්ධය එම උත්සවයේදී එළියට පැන්නේය. ජෙනරාල් ෆොන්සේකා සිය කතාවේදී යුද හමුදාපතිවරයාටත්, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වූ හමුදාපති බිරියටත් වටෙන් පහර දුන්නේය. උත්සව සභාව අවසානයේදී යුද හමුදාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට මුහුණ දුන්නේ අපහසුවෙනි.
අවසානයේදී ෆොන්සේකා හමුදා දිවියට සමුදී ජනාධිපතිවරණයට ඉල්ලීය. කොකාගේ වාරය අවසන වී තිත්තයාගේ වාරය ආවේය. සරත් ෆොන්සේකා සිටි ගෙය වට කිරීමට ලුතිනන් ජෙනරාල් ජයසූරියගේ නියෝග මත යුද හමුදා ‍පොලීසියේ නිලධාරීහු ගියහ. ෆොන්සේකා කෝපයෙන් ගිගිලුවේය. සෙබළු ආපහු හැරුණි. ඒ අතරේ ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පැරදුණේය. ලුතිනන් ජෙනරාල් ජයසූරිය යළිත් වරක් සෙබළු පිටත් කර හැරීය. ඒ ෆොන්සේකාගේ පරම සතුරකු ලෙස ප්‍රකට මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ අණ දීම යටතේය. ඔහු ෆොන්සේකාට පහර දී කුදලාගෙන විත් හිරේ දැම්මේය. ඉක්බිතිව යුද්ධාධිකරණයට පමුණුවා දඬුවම් පැමිණවීය. සරත් ෆොන්සේකාගේ තරු පටි පදක්කම් ගලවා ඔහුගේ නම යුද හමුදා ඉතිහාසයෙන් මකා දැම්මේය. යුද හමුදාපති නිල කාමරයේ තිබූ ෆොන්සේකාගේ ඡායාරූපය ගලවා වීසි කළේය. එදා තමා අත්අඩංගුවට ගැනීමට මාන බැලූ බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු දුසිමක් පමණ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හමුදාවෙන් නෙරපා දැම්මහ. මේ සියල්ල වූයේ ජගත් ජයසූරිය යුද හමුදාපති පුටුවේ වාඩි වී සිටියදීය. එවකට සිටි පාලකයන්ගේ අවශ්‍යතාව පරිදි ෆොන්සේකාට එරෙහි මේ සියලු වැඩවලට අණ දුන්නේ ජගත් ජයසූරියය. ඉක්බිතිව ඔහු ජෙනරාල් නිලයට උසස් වී යුද හමුදාපති පුටුවට සමුදෙමින් ආරක්ෂක මාණ්ඩලික පුටුවේ වාඩි විය.
දෑ අවුරුද්දක් ගත වූ කල්හි යළිත් වරක් ෆොන්සේකාගේ වාරය ආවේය. මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ පසු ජෙනරල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කෙරුණි. ඒ වෙනුවෙන් උත්සව පැවැත්වූයේ ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට පිටියේය. උත්සවය සභාවට එනවිට ෆීල්ඩ් මාර්ෂල්වරයා පිළිගැනීමට ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් ජෙනරාල් ජගත් ජයසූරිය හා ත්‍රිවිධ හමුදාපතිවරු පෙළ ගැසී හුන්හ. ජෙනරාල් ජයසූරිය ෆීල්ඩ් මාර්ෂල්වරයාට සැලියුට් ගසා සුබ පැතීමට අත දිගු කළේය. ඒ මොහොතේ නිම නොවන වෛරය යළිත් එළියට ආවේය. ජයසූරිය ගණන් නොගත් ෆොන්සේකා ඉවත බලාගත්තේය. ත්‍රිවිධ හමුදාපතිවරු ඉදිරියේ ජෙනරාල් ජයසූරිය අපහසුතාවට පත් වෙද්දී ෆොන්සේකා යුද හමුදාපතිවරයාගේ ආචාරය මුලින් පිළිගත්තේය.
දෙදහස් පහළොවේ ජූලි මාසයේදී ජෙනරාල් ජගත් ජයසූරිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉසුඹු ලැබිය. ඉක්බිතිව ජනපතිවරයා විසින් ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලදී. එම ධුරයේ දෑඅවුරුද්දක් රාජකාරී කර ලංකාවට ආපසු වූ දේ දැන් රටම දනී. ඊට හේතු වූයේ දෙන්නාගේ නයි මුගටි වෛරය බව දෙන්නාගේම අතීතය බලන විට හොඳට පෙනේ.

ලලන්ත නානායක්කාර

IMAGE

කාමරංකා කන්න එපා

IMAGE 2017 Sep 24 13:10
වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ...
Views - 3881

ඔය කියන නිරුවත් ඡායාරූපවල ඉන්නේ මම ‍නෙවෙයි

IMAGE 2017 Sep 24 12:18
ගයාත්‍රි ඩයස් දැන් අන්තර්ජාලයේ පුවත් මවන්නියක් බවට පත් වෙලා. ඒ විදියට ඇය ගැන පැතිර ගිය එක්...
Views - 1766

මම මිය ගියේ නැහැ

IMAGE 2017 Sep 24 11:59
රොඩ්නි වර්ණකුල හදිසියේ මිය ගිය බවට බොරු පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ එහා මෙහා වුණා. මේ...
Views - 1014

අද කාලේ කඨින පිංකම් අස්සේ 'බෝතල් පාටි'ත් දානවා

IMAGE 2017 Sep 22 15:40
කඨින චීවර මාසයක් ළඟ ළඟම එයි. බෞද්ධයන්ට සිදුකළ හැකි අට මහ කුසල් අතරින් මුල්ම කුසලය වන කඨින චීවර...
Views - 1045

16 වියැති සිසුවිය බස් නැවතුමේ දී හෘදයාබාධයකින් මියයයි

IMAGE 2017 Sep 22 11:12
තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව...
Views - 3502

සුමති සම්මාන හිමිකරගත් කලා ලොවේ දිදුළන තරු

IMAGE 2017 Sep 21 12:27
ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22...
Views - 3987

Please publish modules in offcanvas position.