Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කඩවර-කම්බිලි වරමින් සාත්තර කියන දෙවොලකට ගියෙමි

ගල්ගමුවට නොදුරින් ඇතැයි කියන කඩවර - කම්බිලි වරමින් ශාස්ත්‍ර කියන ස්ථානයක් පිළිබඳව මට අසන්නට ලැබුණේ මීට වසර කිහිපයකට ඉහතදීය. ඒ මා වන්නි හත්පත්තුවේ යක්ෂ දේව ප්‍රවාද එක් රැස් කරමින් සිටි අවධියේය. 
එතැන සාත්තර කියන කපුවාට කඩවර කම්බිලි දෙන්නව මාරුවෙන් මාරුවට ආරූඪ වෙනවා; එතකොට කපුවාගේ මනුස්ස වේෂය එහෙම් පිටින්ම නැතිවෙනවා; සාත්තරේ අහන්න ගිය මනුස්සයා ගිය කාරණේ විතරක් ‍නෙවෙයි; ඒ මනුස්සයගේ අලගිය තැන් මුල ගිය තැන් සේරම ඒ කපුවා යක්ෂාරූඪයෙන් කියාගෙන යනවා; අහගෙන ඉන්න හැමෝගෙම ඇඟවල්වල හිරිගඩු පිපෙන විදිහට. 
එම පුවත මට මුල් වරට අසන්නට ලැබුණේ වන්නි හත්පත්තුවට අයත් ඇහැටුවැව දිවුල්ගනේ ගැමියෙකුගෙනි. එමෙන්ම එම කඩවර කම්බිලි දේවාලයේ වැඩ කෙරෙන දින දෙක වන බදාදා සහ සෙනසුරාදා දින දෙකෙන් සෙනසුරාදා පෙරවරුවක දිවුල්ගනේ ග්‍රාමයේ තරුණයකු ද සමග මෝටර් සයිකලයකින් ඉන් කිලෝමීටර් විසි පහක් තිහක් ගෙවා එම දේවාල වෙත ගියෙමි. එම දෙවොල පිහිටියේ පාළුවට ගිය පුරාණ වැව් පිටියක් අද්දර දැවැන්ත සියඹලා ගසක් යටය. ඒ ඉදිරියේ කමතක් වැනි කුඩා බිම් කොටසක් විය. බ්ලොක් ගලින් තනා ටකරන් සෙවිලි කළ එම දෙවොල මෑතකදී ඉදි කරන ලද්දක් බව බැලූ බැල්මටම පෙනිණ. එම දෙවොලට සහ සියඹලා ගසට ඔබ්බෙන් කපුවාගේ නිවෙස පිහිටා තිබිණ. මධ්‍යම පාන්තික නිවසක් වූ එහි ගෙමිදු‍ලේ ට්‍රේලරයක් සහිත අත් ට්‍රැක්ටරයක් නවතා තිබෙනු දක්නා ලදී. 
පෙරවරු නවය පමණ වන විට සුදු සරමකින් පමණක් සැරසී සිටි කපු මහතා කඩිසර ගමනින් නිවස දෙස සිට දෙවොලට පැමිණියේය. ඔහු ඒ මොහොතේ දිය නා හිඳින බව තෙත බේරෙන ගෙල දක්වා කෙස් වැටියෙන් මනාව පැහැදිලි විය. අවුරුදු හතළිහක් පනහක් පමණ වයසක සිටි සිහින් සිරුරැති කපු මහතාගේ මුව තද රත් පැහැයෙන් දිස් වූයේ අඩු වැඩිය පදමට දමා දිනකට බුලත් විට දහයක් පහළොවක්වත් සැපීම නිසා යැයි  මට සිතිණ.. දෙවොලට පැමිණි කපු මහතා සාස්තර ඇසීමට පැමිණියවුන් පිළිබඳව වගේ වගක් නොමැතිව පළමුව දෙවොල තුළට දුම් අල්ලා දෙවනුව දෙවොල වටා යමින් දුම් අල්ලන්නට විය. 
ඒ සඳහා කලින් සූදානම් කරන ලද කට්ටකුමංජල් සාම්බ්‍රානි සේම, ‍පොල් කටු අඟුරුද දෙවොල තුළ තිබෙන්නට ඇත. එමෙන්ම එහි අගු පිළ අද්දර කොප්පරා වියැළීම සඳහා සූදානම් කොට තිබූ ‍පොල් ගොඩක් ද දැකිය හැකි විය. ඒ බැතිමතුන් විසින් දෙවියන් ඉදිරියේ ගසන ලද ‍පොල් යැයි මට සිතිණ. කපු මහතා විසින් අල්ලන ලද සුවඳ දුම් දෙවොල හාත්පස සහ පාළු වැව් පිටියේ නිසල වාතලයේ පැතිර යන අතරේ දෙවොල තුළට වන් ඔහු ඉතා සිහින් සීනුවක් හඬවමින් පැරණි කඩවර කම්බිලි කවි පෙළක් ගායනා කරන්නට විය.  
ඉන්පසුව කමෛන් කපු මහතාගේ ප්‍රකෘති කට හඬ ගිලිහී ගිය අතර සීනු හඬද ක්‍රමයෙන් වේගවත් විය. ඉන්පසු ඔහු වෙව්ලුම් හඩින් කතා කළ භාෂාව කුමක්ද යන්න අප තබා ඔහුවත් දැන සිටියාද යන්න රහසකි. 
අර මොකක්ද මන්දා මළ ඉලව්වක් නැති වෙච්ච උන් වර එසේ අමුතුම බසකින් කතා කරමින් සිටි කපු මහතා වෙව්ලුම් හඩින් කෑ ගැසීය. එවිට ඒ කතා කරනුයේ කපු මහතා නොව කඩවර හෝ කම්බිලි යැයි සිතූ නිසාදෝ සාත්්තර ඇසීමට පැමිණ සිටින්නවුන්ගේ දෙනෙත් තරමක් පුළුල් වී ඇති ලෙසක් මට හැඟුණි. 
මගෙත් පහුගිය දවසක පෙන්ඩ්‍රයිව් එකක් නම් නැති වුණා. ඔය කඩවරට හරි කම්බිලිට ඒකද දන්නේ නැහැ. පෙනිලා තියෙන්නේ? 
මම මා සමග සිටි තරුණයාට මුමුණා කීවෙමි. එහෙත් මා එසේ කියා කට ගැනීමටත් පෙර වයස අවුරුදු විස්සක විසි පහක පමණ තරුණියක පෙරටු කරගත් බුලත් හුරුල්ලක් ද අතැති වියපත් කාන්තාවක් එම දෙවොල වෙත පියමං කරනු දක්නට ලැබිණ. ඉන්පසුව කඩවර කම්බිලි ආරූඪ වූ එම කපුවාගේ සැර පරුෂ සහ එම තරුණියගේ හෝ වියපත් කාන්තාවගේ මිමිනුම් හඬ වරින් වර ඇසෙන්නට විය. 
අර පවුල් ජීවිතේට කෙළවා ගත්ත එවුන් වර ඉනික්බිතිව එම කපුවාගේ උස් හඬ දේවාලයෙන් පිටත පවා රැව් පිලි රැව් දෙන්නට වූ අතර එසැනින් මම ඒ වන විට සාස්තර ඇසීමට සැදී පැහැදී සිටින්නවුන්ට නොහැඟෙන සේ ඔවුන්ගේ මුහුණු දෙස බැලීමි. එවිට සාස්තර ඇසීමට පැමිණ සිටියවුන්ගෙන් තරමක් දුරස් වන්නට සිටි මැදි වියේ යුවළක් හෙමි හෙමින් දේවාලය වෙත ගාටනු දැකිය හැකි විය. මුඩු හිසින් යුතු පිරිමියා එම කාන්තාවටත් වඩා ආභරණ පැළඳ සිටියේය. හැබෑවට තොපේ ඔළු ගෙඩි වලට හෙණ ගහලද? ඇයි තොපි ඔහොම තකතීරු වැඩක් කරන්න හිතුවේ කියපියව්. කපුවා එලෙස යටි ගිරියෙන් බෙරිහන් දුන් විට ඒ සමගම මතු වූ එම කාන්තාව රහසින් කී වදන් මටද හොඳින්ම ඇසිණ. 
මගේ නම් කැමැත්තක් තිබුණෙම නෑ; මෙයාගේ බල කිරීමටයි මමත් කැමති වුණේ. ඇය එසේ කී පසු කපුවා එය මුල් කොට ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න අසන්නට වූ අතර ඒවායින් පැවැසුණු ඔවුන් පිළිබඳ සම්පූර්ණ කතාව කදිමට ගොනු ගැසීමට පැත්තක සිටි මටද හැකි විය. විවාහක ස්වාමි පුරුෂයෙකු සහ විවාහක භාර්යාවක වන මොවුන් දෙදෙනා පසුගිය වසර තුළ මැද පෙරදිග රටක රැකියාවන් හි යෙදී තිබේ. එහිදී ඇති වූ අනියම් ප්‍රේම සම්බන්ධයක් මත මොවුන් දෙදෙනා පසුගිය කාලය තුළ එහි අඹු සැමියන් ලෙසද ජීවත්වී ඇත. මේ අතර එම කාන්තාවගේ සේවා ගිවිසුම අවසන් වී ඇය මව්බිමට පැමිණෙන විට තම පෞද්ගලික මුදල් වැය කොට ඇගේ තනියට ඔහුද මෙහි පැමිණ තිබේ. ඉන්පසු  එම කාන්තාවට තම ගම් බිම් බලා යාමට ඉඩ නොදුන් එම පිරිමියා කොළඹට නුදුරු ඇනෙක්සියක ඇය මාස ගණනාවක් රඳවා ගෙන ඇත්තේ ඇය නොමැතිව ජීවත් වීමට නොහැකි බව පවසමිනි. ඔහුගේ එම පෙරැත්තය කෙතරම් ප්‍රබලද යත් පසුව තම සැමියා සහ දරු පවුල අමතක කොට ඔහු හා මෙහි රහසේ ජීවත් වීමට ඇයද කැමැති වී තිබේ. ඉන්පසුව කාගෙන් හෝ ලැබුණු තොරතුරක් මත කිලෝමීටර් එකසිය පනහකටත් වැඩි දුරක් ගෙවා ඔවුන් මෙම වන්නි හත්පත්තුවේ කඩවර කම්බිලි දෙවොලට පැමිණ ඇත්තේ තම අනාගතය පිළිබඳ සිත තුළ රජයන අවිනිශ්චිත බව දුරුකර ගැනීම පිණිසය.  
ඒ කෙසේ හෝ දෙවිවරුන් හෝ යකුන්ගේ ආරූඪයෙන් කියැවෙන මෙබඳු සාත්තර ඇසීමට යන බොහෝ දෙනෙක් නොදන්නා වැදගත් රහසක් තිබේ. එනම් තමන් අසන බව කියන සාස්ත්‍ර සැමවිටම කියන්නේද තමන් විසින්ම බවය.
 
තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 184

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 247

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 261

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2087

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3497

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9385

Please publish modules in offcanvas position.