Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කැලණි වැලි දුම්රිය පාරට ඒ නම ලැබුණේ 'ක්ලබ් එකක්' නිසාද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් අංකනය කොට තිබේ. ඒ අනුව කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය අංක 01 වශයෙන්ද, මහනුවර - මාතලේ අංක 02 වශයෙන්ද, කොළඹ කොටුව (රාගම සන්ධිය හරහා) පුත්තලම් මාර්ගය අංක 03 වශයෙන්ද හැඳින්වෙයි. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන උතුරුදිග දුම්රිය මාර්ගය අංකනය කොට ඇත්තේ අංක 04 වශයෙනි. මේ අතර මැදවච්චිය දුම්රිය සන්ධිය හරහා වැටී ගත් කොළඹ තලෙයිමන්නාරම් මාර්ගය අංක 05 ලෙසද, මහව සහ ගල්ඔය සන්ධි හරහා වැටී ඇති කොළඹ - මඩකලපුව සහ කොළඹ - ත්‍රිකුණාමල දුම්රිය මාර්ග අංක 06 සහ 07 ලෙසින්ද හැඳින්වෙයි. කොළඹ සිට මාතර දක්වා දිවෙන දකුණු දිග දුම්රිය මාර්ගය සඳහා දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් ලැබී ඇති අංකය අංක 08 වන අතර අතීතයේ අවිස්සාවේල්ල සන්ධිය හරහා මරදානේ සිට ඕපනායක සහ යටියන්තොට දක්වා විහිදුණු කැලණිවැලි දුම්රිය මාර්ගයට දී ඇති අංකය අංක 09 වේ.

අතීතයේ අඩි 2 යි අඟල් 6 ක් පළල පටු ආමාන දුම්රිය මඟක් හෙවත් 'පුංචි කෝච්චි පාරක්' ලෙස පැවතුණු මෙය 1993 වසරේ සිට අඩි 5 යි අඟල් 6 ක් පළල වූ පුළුල් ආමාන හෙවත් සාමාන්‍ය දුම්රිය ධාවනය සඳහා අවිස්සාවේල්ල දක්වා පමණක් සීමා කොට ඇත.

කැලණිවැලි සමාජ ගොඩනැගිල්ල

අතීතයේ ඕපනායක සහ යටියන්තොට දක්වා වූ පුංචි කෝච්චි පාරවල් දෙක බෙදෙන මන්සන්ධි දුම්රියපොළ වූයේ අවිස්සාවේල්ලයි. මෙම දුම්රිය මාර්ගයේ 'කැලණිවැලි' යන නම ආවාට ගියාට යොදන ලද්දක් නොවේ ඒ පසුබිමෙහි රසවත් කතාවක් තිබේ. මේ ඒ කතාවයි.

අප රටට දුම්රිය මාර්ග අවශ්‍ය බවට ජනතාව කිසිදා උද්ඝෝෂණය කොට නැත. 1867 දී මහනුවර දක්වා දුම්රිය මඟක් තැනීම සම්බන්ධයෙන් උඩරට ගැමියන් ඇතුළු ජන ප්‍රධානීන් විරුද්ධ වූ බවට නම් මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. කාල් මියුලර් විසින් ලියන ලද 'යකඩ යකා' සහ සරත් ධර්මසිරි විසින් ලියන ලද 'භේරුණ්ඩ පක්ෂියා' වැනි නවකතා මඟින් කොළඹ - මහනුවර දුම්රිය මඟ තැනීම සම්බන්ධයෙන් එවකට පැවැති උඩරට ජනයාගේ ආකල්ප යම් තරමකින් විස්තර කෙරේ.

කැලණි වැලි සමාජයට පිවිසෙන දොරටුව

සැබැවින්ම උඩරට දුම්රිය මාර්ග අවශ්‍ය වූයේ එවක උඩරට පුරා පැතිර තිබූ 'කෝපි වගා අධිරාජ්‍යය' ටය. 1830 - 1850 කාලය තුළ ශ්‍රී ලංකාවේ කෝපි වගාව මෙරට ආර්ථික සංවර්ධනයට ප්‍රබල සහයක් දැක්වූ අතර 1860 වන විට ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වලින් ‍හෙක්ටයාර් ලක්‍ෂයක් පමණ කෝපි වගාව සඳහා යොදන ලදී. ඒ අනුව 1860 වන විට ලෝකයේ විශිෂ්ටතම කෝපි නිෂ්පාදකයන් වශයෙන් බ්‍රසීලය හා ඉන්දුනීසියාව සමඟ සම තත්ත්වයක සිටීමට අපට ද හැකිවිය.
සැබැවින්ම අප රටේ උඩරට දුම්රිය මාර්ග පද්ධතිය ආරම්භ වූයේ එම කෝපි අස්වැන්න කොළඹ වරායට ගෙන ඒමට මිස මහජන සේවාවක් පිණිස නොවේ.

මෙම කෝපි වගාව ප්‍රවාහනය කිරීම සඳහා වූ දුම්රිය මඟ 1873 ගම්පොළ දක්වාත් 1874 නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලදී. නාවලපිටිය, දොළොස්බාගේ කඳු පන්තියෙන් මෙපිට කොටස අයත් වන්නේ සබරගමු පළාතට සහ කෑගල්ල දිස්ත්‍රික්කයටයි.කැලණි වැලි සමාජයට පිවිසෙන දොරටුව ඒ වන විට ශ්‍රී ලංකාවේ තේ සහ රබර් වගාවන් ද කෙමෙන් පැතිරෙමින් තිබූ අතර Hemileia Vastatrix නම් වන කෝපි කොළ මළ කෑමේ රෝගය නිසා විකල්ප වගාවන් සෙවීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැඟිණ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා(1883-1890) විසින් ඌව සහ සබරගමු පළාත් නව පළාත් වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර තේ වගාවට අමතරව  සිංකෝනා වගාව මෙරට ව්‍යාප්ත කරවීමේ පුරෝගාමියා වනුයේ ද ඔහුය.

මේ වන විට උඩරට කෝපි වගා කරුවන්ට ඇති ප්‍රවාහන පහසුව සබරගමුවේ කෝපි, තේ සහ රබර් වගා කරුවන්ට නොතිබීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැන නැඟුණි. විශේෂයෙන් මෙම උද්ඝෝෂණයට මුල් වූයේ අවිස්සාවේල්ලේ සිට යටියන්තොට ආදී ප්‍රදේශ මුල් කොට ගත් කැලණි නිම්න වැවිලිකරුවන්ය. ඒ සඳහා කැලණි නිම්න ප්‍රදේශ වලට දුම්රිය මඟක් අවශ්‍ය බවට ඔවුහු හඬ නඟන්නට වූහ. ඒ උඩරට ‍කෝපි වගාව ඉක්මනින් කොළඹ වරායට සේන්දුවීම මත කොට ඔවුන් සමඟ තරඟ කිරීමට තමන් ඇති නොහැකියාව මුල් කර ගනිමිනි. මෙම හඬ නැගීම වඩාත් ප්‍රබල වූයේ 1890 – 1895 අතර  මෙරට ආණ්ඩු කළ ශ්‍රීමත් එලිබෑන්ක් හැව්ලොක් ආණ්ඩුකාරවරයාගේ සමයේ දීය. මෙම හඬ නැඟීම මුල්කොට කැලණි මිටියාවතේ වැවිලි නිෂ්පාදන අඟනුවරට ගෙන ඒම සඳහා දුම්රිය සේවයක් තිබිය යුතුයි යන හඬ හිරුනොබසින අධිරාජ්‍යයටද  යාන්තමින් ඇසෙමින් තිබුණු අතර ඒ සඳහා  රජය යෝජනා කිහිපයක් කෙරෙහිම අවධානය යොමු කොට තිබිණ.රුවන්වැල්ල හා නාවලපිටිය සම්බන්ධ කෙරෙමින් දුම්රිය මඟක් තැනිය යුතු බව ඉන් පළමු වැන්නය. දෙවැන්න වේයන්ගොඩ හරහා රුවන්වැල්ල දක්වා නව දුම්රිය මාර්ගය සකස් කළ යුතු බවය. තුන්වැනි යෝජනාව වූයේ කොළඹ සිට පාදුක්ක, කොස්ගම, අවිස්සාවේල්ල, රුවන්වැල්ල යන ප්‍රදේශ හරහා දුම්රිය මාර්ගයක් තැනිය යුතු බවය.

පැරණි තුරඟ තරඟ පිට්ටනිය

මේ සඳහා 1894 ඩබ්ලිව්.ඩබ්ලිව්. මිචෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලදී. මේ වන විට කැලණි මිටියාවතේ වැවිලිකරුවෝ සිතාවක කඳු වළල්ලට මැදි වූ අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේ 'කැලණි නිම්න සමාජය (Kalani valley Club)'නමින් වැවිලි කරුවන්ගේ සංවිධානයක් පිහිටවාගෙන තිබුණි. කැලණි ගඟ මිටියාවතේ වතු පාලකවරුන්ගෙන් යුත් මෙම සංගමය පිහිටුවා ගන්නා ලද්දේ 1884 ය. ඔවුන්ගේ එම සමාජ ශාලාව මුලදී පොල්අතු සෙවිලි කර තනන ලද්දක් බවත් පසුව එය ශීඝ්‍රයෙන් දියුණුවට පත් වූ බවත් ජන ප්‍රවාද වලින් පැවසේ.

සතියකට වරක් පමණ තමන්ගේ වතු වල සිට අශ්වයන්ගේ පිටින් මෙම කැලණි නිම්න සමාජය වෙතට එන ඉංග්‍රීසි ජාතිකවතු පාලකවරයන් මෙය තම විනෝද පාරාදීසයක් ලෙස යොදා ගත්හ. එහි තුරඟ තරඟ පිටියක් පවා ඉදිකිරීමට තරම් මොවුන්ගේ විනෝදකාමීත්වය ප්‍රබල විය. වතු පාලක ජීවිතයේ ඇති ඒකාකාරීත්වය පිටු දැකීමට මොවුන්ට මෙම කැලණි නිම්න සමාජයේ ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

එහිදී  ඉහත සඳහන් සබරගමුවට දුම්රිය මඟ ගෙන ඒම සම්බන්ධයෙන් පැවැති මිචෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ඒ සඳහා යන විය හියදම් ඇස්තමේන්තු කරන ලදී. එහිදී නාවලපිටියේ සිට රුවන්වැල්ල දක්වා අඩි දෙදහසකටත් වඩා බෑවුමක් තරණය කිරීමට යෝජිත දුම්රිය මාර්ගයට සිදුවන අතර ඒ සඳහා භූවිෂමතාව සැකසීම පිණිස පමණක් විශාල මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කරන ලදී.

ඊට අතරව වේයන්ගොඩ සිට රුවන්වැල්ල දක්වා දුම්රිය මඟ තැනීමේ දී බිංගෙවල් සහ පාලම් කිහිපයක් තැනීමට සිදුවන බවටත් එම කමිටුව නිර්දේශ කොට තිබුණි. එබැවින් පහසුම මඟ වූයේ කැලණි ගං මිටියාවතේ උස් බිමක් මුල්කොට මෙම රුවන්වැල්ල ප්‍රදේශයට සමීපවන දුම්රිය මඟක් තැනීමය. එබැවින් 'කැලණි නිම්න සමාජයේ (Kalani valley Club)' වැවිලි කරුවන්ගෙන් ආණ්ඩුකාරවරයාට නිරතුරු බලපෑම් එල්ල වූ අතර කමිටුව එය අඩි 02 අඟල් 06 ක් පළල පටු ආමාන දුම්රිය මඟක් හෙවත් 'පුංචි කෝච්චි පාරක්' විය යුතු යැයි නිර්දේශ කරන ලදී. ඊට හේතු වූයේ සබරගමුවේ වැවිලි නිෂ්පාදන වරාය වෙත ගෙන ඒම සඳහා වේගවත් ගමනක් අවශ්‍ය නොවීම සහ පටු ආමාන දුම්රිය මාර්ගය, එහි එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමත් තරමක් ලාභදායක වීමය. ඒ අනුව 1896 ජූලි මාසයේ දී අදාළ වැය ඇස්තමේන්තුව සකස් කොට 1897 අගෝස්තු මාසයේ දී යටත් විජිත මහලේකම්වරයා වෙත එම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන ලදී.මෙසේ ඇස්තමේන්තු කරන මුදල රුපියල් පනස්පන්ලක්ෂ පහළොස්දහස් නවසීය හතලිස් එකකී.එම ඇස්තමේනතුව සකස් කොට තිබුණේ කොළඹ සිට යටියන්තොට දක්වා කොටසටය. ඒ අනුව කැලණි නිම්න සමාජය මේ සම්බන්ධයෙන් දැරූ උත්සාහයට කළ ගුණ සැලකීමක් වශයෙන් එවකට අප රට පාලනය කළ ශ්‍රීමත් ජෝෂප් වෙස්ට් රිජ්වේ (ක්‍රි.ව 1895 – 1903) ආණ්ඩුකාරවරයා විසින් මෙම මාර්ගය 'කැලණි වැලි මාර්ගය' ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 1902 සැප්තැම්බර් 15 වෙනි දින මරදාන සිට අවිස්සාවේල්ල දක්වා එහි 'පුංචි කෝච්චිය' ධාවනය කිරීම අරඹන ලදී. ඒ සමඟම එම මාර්ගය යටියන්තොට දක්වා දීර්ඝ කළ අතර එය 'කැලණි නිම්න (Kalani valley)' දුම්රිය මඟ ලෙස ප්‍රකට විය.

ඇස්තමේන්තු ගත කරන ලද මුදල ඉහත සඳහන් වුවද ඒ සඳහා  රුපියල් විසිහත්දහස් නවසිය තිස් අටක වැඩිපුර මුදලක් වැය වූ බව සදහන්ය.

පැරණි තුරඟ තරඟ අට්ටාලය

ඉන්පසුව 1908 වසරේ දී කුරුවිට දක්වාත්  ඉන්පසු 1916 රත්නපුරේ සිට දෑල දක්වාත්, 1919 යේ දී දෑල සිට ඕපනායක දක්වාත් එය  දීර්ඝ කරන ලදී.

එහෙත් කැලණි ගඟක් පැත්ත පළාතක නොවුවද අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා එම කොටස නම් වූයේ ද කැලණි වැලි දුම්රිය මාර්ගය ලෙසය.

ඒ අනුව අද වන විට මෙම සමස්ත දුම්රිය මාර්ගයම කැලණි වැලි හෙවත් කැලණි නිම්න දුම්රිය මාර්ගය ලෙස හැඳින්වුවද මෙහි සැබෑ කැලණි මිටියාවත් දුම්රිය මාර්ගය වනුයේ කොළඹ සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා දිවෙන පුංචි කෝච්චි පාර පමණි. ඊට හේතුව එම දුම්රිය මගේ අවිස්සාවේල්ලෙන් ඔබ්බෙහි සෑම ස්ථානයක්ම කැලණි ගඟ‍ට කිලෝ මීටර් අතළොස්සකට වඩා දුරින් නොපිහිටීමය. ඒ කෙසේ හෝ මෙම දුම්රිය මාර්ගයට මේ නම යෙදූ 'කැලණි නිම්න සමාජය' (Kalani valley Club)' නම් සමාජශාලාව  තල්දූව මීවිටිගම්මන මාර්ගය අද්දර දී ඔබට දැකබලා ගත හැක. මේ වන විට ද ඉතා සක්‍රීය සමාජ ශාලාවක් ලෙස පැවැතීම විස්මයට මෙන්ම සොම්නසටද කරුණකි.

කැලණි වැලි දුම්රිය මාර්ග‍ය දිගේ සවාරියක් ළඟදීම

සටහන හා ඡායාරූප - තිලක් සේනාසිංහ

Comments  

0 #1 Naween 2017-09-12 15:22
කැලණිවැලි මාර්ගය දිගේ යන සවාරියට අපටත් සහභාගී විය හැකිද?
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 179

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 246

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 259

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2086

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3495

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9384

Please publish modules in offcanvas position.