lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

පිටිසර ගමෙන් පැමිණ ලක්මව රන්, රිදීයෙන් සැරුසු දිරිය දියණියෝ

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හද්දා පිටිසර  සූරියවැව මහවැලි කඩආර දොම්පෙයායේ පදිංචිව සිටිනා නිමාලි ඉන්දියාවේ බුවනේෂ්වර්හි  පිහිටි කාලිංග ක‍්‍රීඩා පිටියේ එක් අන්තයක සිට තම රටට රන් පදක්කමක් දිනාගෙන ගෞරවයක් අත් කර දෙන්නට යුහුසුළුව බලා සිටින්නීය.මීටර් 800  දුර දිවීමේ කාන්තා තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් සුළු වේලාවක්ය. ආබාධයට ලක්වූ පාදය ඇයට එක් වරම මතක් වූවාය.මට මේ තරගයෙන් ජයගන්න පුළුවන් වේවිද නිමාලි තමන්ගෙන්ම ප‍්‍රශ්න කළාය. නිමාලි වට පිටබැලූවාය. ආසියාවේ කෙටි දුර ධාවන ශූරියන් කිහිප දෙනෙකුම ඇය පසු කර දුවන්නට මාන බලමින් සිටින අයුරු නිමාලි ගේ නෙත ගැටෙන්නට විය.තරගය ආරම්භ වෙන්නට තවත් ඇත්තේ නිමේෂයකි.දවස පුරා මහවැලි කඩ ආරේ මහපොළව සමග පොරබදා විඩා බරව කළුවරත් සමග ගෙදරට ගාටන නිමාලි ගේ අම්මා ඇයට සිහිවූවාය.මම කොහොම හරි දිනනවා.නිමාලි අදිටන් කරගත්තාය.
මීටර් 800 තරගය ආරම්භ විය. නිමාලි විදුලි වේගයෙන් ඉදිරියට ඇදුණාය. තමා ආසන්නයෙන්ම තමන් ගේ සහෝදර ක‍්‍රීඩිකාව වූ ගයන්තිකා තුෂාරි අබේරත්නත් ඉන්දියානු ක‍්‍රීඩිකාවත් හරි හරියට තරගයේ යෙදෙන අයුරු නිමාලි දුටුවාය.විනාඩි 02.05.23 දී තරගය නිමා කරන්නට නිමාලිට හැකි විය. විනාඩි 02.05.27 න් තරගය අවසන් කරන්නට සූරියවැව කටුවන යායේ පදිංචි 31 වියැති ගයන්තිකා තුෂාරි අබේරත්න සමත් වූවාය.
සූරියවැව නබඩගස්වැව මංසන්ධියෙන් හැරී මහවැලිකඩආර දොම්පෙයායේ පිහිටි නිමාලිගේ නිවස බලා යන්නට ඇත්තේ ඉතා දුෂ්කර මාර්ගයකින්ය..මහ මග ගමන් කරනා වාහන වලින් නැගෙනා දුවිලි කදු ඇඟ පුරා දැවටෙද්දීම අපි නිමාලිගේ නිවස සොයා ගියෙමු. උළු සෙවිලි කරන ලද නිමාලිගේ නිවසෙහි කපරාදුව ගසා ඇත්තේ ඉතා මෑතකදීය. බිමට සිමෙන්ති ටිකක්වත් දමා ගන්නට නිමාලිගේ පවුලේ අයට තවම නොහැකි වී ඇත. නිමාලිගේ ගෙයි දොර වසා තිබුණි. අපි දොරට තට්ටු කළෙමු. මද වේලාවකින් නිදි බරිත දෑසින් යුතුව කෙසඟ සිරුරක් ඇති නිමාලි ලියනආරච්චිනම් ආසියානු ධාවන සූරිය අපට මුහුණ දුන්නාය.ඊයේ ගෙදර එනකොට ? වුණා ටිකක් බුදිය ගත්ත. නිමාලි කටහඬ අවදිකළාය.
අපි ‘ලක්බිම පත්තරෙන්’ ඔයා ගැන පත්තරේට ලියන්න ආවේ. අයියෝ...ඇය නොරිස්සුම් ස්වභාවයක් පා ගෙට ගියාය. අපි වටපිට බලන්නට වූවෙමු. පෙනෙන තෙක්මානයේම ඇත්තේ දරිද්‍රතාවේ ලකුණුය. මහපොළව වියළී ගොසින්ය. වැහි පොදක පහස ලබපු කාලයක් මහ පොළවට මතක නැතිවා සේය. ඉඳහිට හමන සුළං රැුලි සමග දුවිලි අපේ ඇස් කන් ද ආක‍්‍රමණය කරමින් හමාගෙන ගියහ.
එන්න ඇතුළට. මං ගැන මොනව ලියන්නද. අන්න ලියන්න අපේ සුජිත් සර් ගැන . සුජිත් සර් මට පියෙක් වගෙයි. යාළුවෙක් වගෙයි. සුජිත් සර් නැත්නම් අද නිමාලි ලියනආරච්චි කියන ක‍්‍රීඩිකාව නෑ.එතුමා තමයි මගේ දක්ෂතා දැකලා මාව උනන්දු කරල මේ තත්ත්වයට ගත්තේ . ඒ නිසා සුජිත් සර් ගැන ලියන්න නිමාලි ඉල්ලීමක් කළාය. ඉතින් නිමාලි නැත්නම් සුජිත් සර් කියල කෙනෙකුත් නෑ නේ අපි කීවෙමු. ඇය සිනාසුණාය. ඔව් ඒක ඇත්ත. ක‍්‍රීඩකයෝ නැත්තන් පුහුණුකරුවන් නෑ. පුහුණුකරුවන් නැත්නම් ක‍්‍රීඩකයෝ නෑ. සුජිත් සර් කියන්නෙ විශේෂ පුද්ගලයෙක්.
මෙවර 22 ආසියානු මලල ක‍්‍රීඩා උළෙලට මම යන්න නෙමෙයි හිටියෙ මගේ කකුලේ ආබාධයක් තියෙනවා.ඒ නිසා මට දුවන්න බැරිවෙයි කියල මට හිතුනා. ඒ නිසා මම නොයන්න හිටියේ. නමුත් සුජිත් සර් කිවුවා ඔයාට දිනන්න පුළුවන් ඔයා යං කියලා. සර්ගේ වදේටම මම ගියා. නමුත් අවසාන අවස්ථාව වෙනකම්ම මට මංගැන විශ්වාසයක් තිබුණේ නෑ. සුජිත් සර් මගේ මානසික මට්ටම හැදුවා මම බැන්ඬේජ් ගහගෙන දිවුවා. මම දිනුවා. මෙවර ආසියානු ක‍්‍රීඩා උළෙලෙදි ලංකාවට එකම රන් පදක්කම ගේන්න මට පුළුවන් කම ලැබුණා. ඇය කියන්නීය.
නිමාලි අකුරු කරන්නට මුලින්ම ගියේ වැවේගම කනිෂ්ඨ විද්‍යාලයටය. උසස්පෙළ කළේ නබඩගස්වැව මහා විද්‍යාලයෙනි. මගේ තාත්ත 2002 අවුරුද්දෙදී මිය ගියා තාත්තා මිය ගියාට පස්සෙ අපේ පවුලෙ බර දරන්න වුනේ අම්මට. මුලදී සපත්තු දෙකක් ගන්න වත්කමක් අපිට තිබුණෙ නැහැ. තාත්ත මිය ගියාට පස්සෙ අපේ පවුලම අසරණ වුණා. අම්ම කුලී වැඩ කරල අපිට කන්න දුන්න. අයියල දෙන්න ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල හවසට කුලී වැඩට ගියා.අම්ම කුලී වැඩ කරල ඉතිරි කරපු සල්ලිවලින් මට දුවන්න සපත්තු දෙකක් අරන් දුන්නා.තරග වලට සහභාගි වෙන්න මුදල් අවශ්‍ය වුණාම අම්ම කුලී වැඩ කරල ගත්තු සල්ලි මට දුන්නා. ආර්ථික ප‍්‍රශ්න නිසාම අයියලා දෙන්නගෙ අධ්‍යපනය කඩා කප්පල් වුණා.
අපිට පුහුණු වීම් කරන්න පුළුවන් පිටිටනියක් ඒ කාලෙ සූරියවැවේ තිබුණෙ නෑ. නබඩගස්වැව ඉස්කෝලේ වළ ගොඩවල් එක්ක මම දුවපු හැටි මට තාම මතක් වෙනවා. තරග වලට කොළඹ ගිහිල්ලා ආපහු එන්න විධියක් නැතිව මහ ? මහපාරවල් ගානෙ දුක් විදපු හැටි මට තාම මතකයි. නිමාලි සිය කටුක ඉතිහාසය අප හමුවේ තැබීය.
නිමාලිට ලැබි තිබූ ජයග‍්‍රහණයේ කුසලාන සියයකට ආසන්න ප‍්‍රමාණයක් නිමාලිගේ නිවසේ බිත්තියක් පුරා එල්ලා තිබිණි. එම කුසලාන නිමාලි මේ වන විටත් ගත කරනු ලබන කටුක ජීවන ගමනට අස්වැසිල්ලක් වී තිබූ බවක් නම් අපට පෙණුනේ නැත.
මම 2009 වසරේදී ගුවන් හමුදාවට බැදුණා. ගුවන් හමුදාවෙන් මගේ ක‍්‍රීඩා ජීවිතයට ලැබෙන ආලෝකය ඉතාමත් ඉහළයි. සජිත් පේ‍්‍රමදාස ඇමැති තුමා මෑතකදී කොළඹින් නිවසක් දුන්නා. නමුත් මගේ පුහුණුකරු ඉන්නේ සූරියවැව නිසා මම දිගටම සූරිය වැව ඉඳගෙන පුහුණු වීම් කරනවා. නිමාලි කියන්නීය. 
ඇය සේම 22 ආසියානු ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 800 රිදීපදක්කම දිනා ගත් ගයන්තිකා තුෂාරි ආටිගල අබේරත්නගේ ගමත් සූරියවැවය. සූරියවැව කිරිඉබ්බන් ආර පාරේ මද දුරක් ගොස් දකුණට හැරී කටුවන යාය ගම සොයා ගෙන යන විට ගැමියෙකු කීවේ අලි ගම් වැදී ඇති බවයි. මහත්තයල පරිස්සමෙන් යන්න. සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය පැත්තේ හිටිය අලි රංචුව දැන් ගම් වදිනවා. කටුවන යායෙ ගමේ ගෙවල් හත අටක්ම මේ වෙන කොට මහපොළවට සමතලා කරලා. කී දෙනෙක් නම් අලි පාගල මරල තියෙනවාද? ගයන්තිකාගේ ගමේ පවතින සැබෑ තත්ත්වය ගැමියෙකු අප සමග කීවේ ඒ අයුරින්ය.
ගයන්තිගේ නිවසට ගිය අපට දැක ගැනීමට හැකි වූයේ වසා තිබූ නිවසයි. ගමන නිෂ්ඵල වූවායැයි අපට සිතිනි. මද වේලාවකින් අපගේ ආගමනය දැන ගත් ගයන්තිගේ පියා අප හමුවට පැමිණියේ මඩ නාගෙනය. වම්බටු වගාවක් තියෙනවා මහත්තයෝ ඒකට වතුර ගහනවා උදේ ඉඳලා. හෙන්රි අබේරත්න ආටිගල අප සමග පැවසීය. මහත්තයලා කවුද? අපි ‘ලක්බිම පත්තරෙන්’ ගයන්තිකා ගැන විස්තර ටිකක් ගන්න ආවෙ. අනේ ඒ දරුව ගෙදර නෑ අක්කයි නංගියි දෙන්නම දුවන්න දක්ෂයෝ කොළඹ ඉදගෙන තමයි පුහුණුවීම් කරන්නේ.
අක්ක නිලංකා සංජීවනී ආටිගල අබේරත්න. එයා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. එයත් දුවන්න දක්ෂයි. කීප වරක්ම රටවල් කිහිපයකම ගියා.ජයග‍්‍රහණ රටට ගෙනාව.එයා නිසා තමයි නංගිත් ක‍්‍රීඩා අංශයෙන් ඉදිරියට ගියේ.
හෙන්රි මහත්තයට මතකද ළමයි දෙන්න ක‍්‍රීඩාවට යොමු වුණේ කොහොමද කියල. .මතකයක් තියෙනවා එයාල දෙන්නම ඉස්කෝලෙ ගියේ සූරියවැව මහා විද්‍යාලයට. කිලෝ මීටර් පහක් මේ අලි ඉන්න කැලේ මැදින් පයින්ම ඉස්කෝලෙ ගියා. ගිනි කූඨක අව්වෙ ඔය ළමයි දෙන්න ඉස්කොලෙ ගිහිල්ල එන හැටි මට තාම මතකයි මහත්තයෝ.
මම මෙහාට ආවේ 69 අවුරුද්දෙ. මේක අලි ඉන්න කැලේ මහ පොළවත් එක්ක පොර බදල මම මගේ ළමයි හතර දෙනා උස් මහත් කළා . අපි ඉතින් නොවිඳිනා දුක් විඳල තමයි ජීවත් වුණේ.
ගයන්තිකාගේ නිවස ද නිමාලිගේ නිවසට නොදෙවෙනිය. මහ පොළවට සිමෙන්ති ටිකක් අතුරා ගන්නට තවමත් ඔවුනට හැකියාවක් ලැබී නැත. 
අපි ආ වග දැන ගත් ගයන්තිකාගේ මව වන ඇසිලින් නෝනා කොහේදෝ සිට හති දමා ගෙනම දුව ආවාය. පාරට ගියා ත‍්‍රීවීල් එකක් හොයා ගෙන එන්න. ඇසිලින් නෝනා අහිංසක සිනාවක් පැවාය. ඒ කාලෙ ගොඩක් අග හිග කම් මැද්දෙ තමයි අපි ජීවත් වුණේ. දැන් කියලත් වෙනසක් නෑ. ඒ කාලේ වගේ ම දැනුත් ජීවත් වෙන්න අපි නොවිදිනා දුක් විදිනවා. අපිට වතුර නෑ . යන්න එන්න පාරක් නෑ. අලින්ගෙන් කරදර එන්න එන්නම වැඩි වෙනවා.ඇසිලින් නෝනා සිය කටුක අත් දැකීම් විස්තර කරන්නට වූවාය. ගයන්තිකාගේ හා ඇයගේ වැඩිමහල් සොයුරිය වූ නිලංකා සංජීවනීගේ කුසලාන රැසක් දුවිලි කමින් සාලයේ පරණකැබිනට්ටුවත් මත උඩ බලා ගෙන සිටින අයුරු අපේ නෙත ගැටිණි.
ගයන්තිකාගේ තොරතුරු ලබා ගත් අපි නිවසින් නික්මෙන්නට සූදානම් වූහ. ආපසු එන ගමනේදී කනාටු වූ වම්බටු යායකට මැදිව සිට ගත් කාන්තාවක්  දුවිලි කාගෙන උදැල්ලක් හා පොර බදමින් සිටින අයුරු අපට කියා පෑවේ ගයන්තිකාගේ දෙමා පියන් විඳිනා වූ දුක් ගැහැටේ තරමය.
ඊ ළගට අප සොයා ගියේ නිමාලිගේ ක‍්‍රීඩා පුහුණුකරු වූ සුජිත් අබේසේකරය.
නිමාලි ට වගේ ම මම අවුරුදු ගණනාවක් ගයන්තිකාගෙත් ක‍්‍රීඩා පුහුණු කරු විධියට වැඩ කළා.මම දැන් නිමාලිගෙ ක‍්‍රීඩා පුහුණු කරු විධියට කටයුතු කරනවා. අවම සම්පත් ඇතිව තමයි නිමාලි වගේම ගයන්තිකාත් මේ තත්ත්වයට ආවේ . සූරියවැව ප‍්‍රදේශයේ මේ වන තුරුවත් දුවන්න පුළුවන් ක‍්‍රිඩා පිටියක් නෑ. හරි හැටි ක‍්‍රීඩා පිටියක්වත් නැතිවයි නිමාලිල  මේ දස්කම් දක්වන්නේ. අපි ගම්වලින් යන මේ ක‍්‍රීඩකයන් ගැන ආඩම්බර විය යුතුයි. නිමාලි මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන ලෝක මලල ක‍්‍රීඩා තරගාවලියටත් සුදුසු කම් ලබල තියෙනවා.
සූරියවැවෙන් ප‍්‍රදේශයෙන් බිහිවෙන ක‍්‍රීඩකයනුත් අරගෙන ඉදිරියට යන්න නිමාලි කටයුතු කරනවා. ඔවුනට උපදෙස් දෙනවා පමණක් නෙමෙයි තමන්ගෙ බත් එක පවා දෙන්න ඇය පරිත්‍යාගශීලී වෙලා තියෙනවා. ආසියානු තරගාවලිය සදහා දකුණුපළාත් ආණ්ඩුකාර වරයා සමගම දකුණු පළාත් ක‍්‍රීඩා ඇමැතිවරයාත් දැක්වූ දායකත්වය සිහිපත් කළ යුතුමයි. ඔහු කියන්නේ කෘතවේදීවය.
 
චන්ද්‍රසේන ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 434

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 1502

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 1868

ජයසේන මහතාට කලකට පසු හමුවූ 'දෙවන මනමාලයා'

IMAGE 2017 Jul 19 16:26
අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර...
Views - 3748

මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්

IMAGE 2017 Jul 19 12:06
මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ....
Views - 2722

කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව

IMAGE 2017 Jul 18 16:17
කතරගම ඇසළ උත්සවය හුදු ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි ආගමික උත්සවයක් පමණක් නොවේ. එය එක්තරා...
Views - 3376

Please publish modules in offcanvas position.