lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

පුරුෂ දරු බීජ වලට බියෙන් පලායන යක්ෂයා

දරු ප්‍රසූතියකට සැරසෙන අතරේ විළි වේදනාවෙන් පීඩිතව දරුවා ප්‍රසූත නොවී මිය යන කතුන් පිළිබඳව අද කලාතුරකින්වත් අසන්නට නොලැබෙන තරම්ය. එහෙත් වෛද්‍ය ‍විද්‍යාව සහ විද්‍යා තාක්ෂණය එතරම් දියුණු නොවූ අතීතයේ එලෙස දරුවා ප්‍රසූත කර ගත නොහැකිව විළි වේදනාවෙන් පීඩිතව මිය ගිය කතුන් පිළිබඳ පුවත් වරින් වර අසන්නට ලැබුණි.

එම ඛේදනීය සිදුවීම් වල පශ්චාත් ඵලයක් වූයේ එම කාන්තාව මරණයෙන් පසු බෝදිලිමා නම් යක්ෂයකු ලෙස රාත්‍රී කාලයට පුරුෂ පක්ෂයට පමණක් ඇසෙන සේ හඬ නැඟීමය. නූතන පරපුර මේ බෝදිලිම් යක්ෂයා පිළිබද ප්‍රමාණවත් කරුණු නොදැන සිටියද මේ යක්ෂයා පිළිබඳ කුමක් හෝ තොරතුරක් නොඇසූ වයස අවුරුදු  පනහ හැට ඉක්මවූ වැඩිහිටියකු සොයා ගත නොහැකි තරම්ය.

අප ජන විශ්වාසයේ පවතින මහසෝනා, රීරියකා ආදී මිනීමරු ‘යක්ෂයන්ට’ සාපේක්ෂව මේ බෝදිලිමා  අහිංසක යක්ෂයෙකි. තමන් විසින් නඟනු ලබන අද්භූත ශබ්දයකින් පිරිමින් බියගන්වනු විනා කිසිදු මනුෂ්‍ය ඝාතනයක් මේ බෝදිලිමා අතින් සිදුවූ බවට කිසිදු වාර්තාවක් නැත. එහෙත් පිරිමින්ට පමණක් ඇසෙන සේ බෝදිලිමා නඟන හඬ සියොළඟ ලොමු දැහැගැන්වෙන තරම් බියකරු යැයි වන්නිහත්පත්තුවට අයත් ඇහැටුවැව, දිවුල්ගනේ පාරම්පරික ගැමියකු වන එච්.එම් ගුණතිලක මහතා මා හා කීය. එහෙත් අනෙකුත් යකුන්ට මෙන් මේ බෝදිලිමා පිළිබඳ නිශ්චිත රූප කායක් නොතිබීමද විශේෂත්වයකි.

බෝදිලිමා යනුවෙන් කුඩා උරග විශේෂයක් ද අපරටෙහි දක්නට ලැබේ. ඇතැමුන් විශ්වාස කරන අන්දමට එම අද්භූත හඬ නඟනුයේ එම සත්වයාට එසේ මිය ගිය කාන්තාවගේ යක්ෂාත්මය ආරූඩවීමෙනි. ඒ අනුව දිවා කාලයේ මෙම බෝදිලිමුන් දකින කාන්තාවන් ‘නොදෝකින් විතරක් ඕකා තමයි ඔය රෑට මූසල විදිහට ශද්ද කරන්නේ’ යනුවෙන් එම සතා සිටින දිශාවට ‘තුහ්’ කියා කෙලගසන අවස්ථාද දක්නට ලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉන්දියානු බෝදිලිමා (Indian chameleon – Chameleon zeylannicus) නම් බෝදිලිම් විශේෂය වහා එම චෝදනාවෙන් නිදහස් කළ යුතුයැයි මට සිතේ. ඊට හේතුව සත්ව විද්‍යාඥයන් ඉතා පැහැදිලි ලෙසම තහවුරු කර ඇති පරිදි මෙම බෝදිලිම් විශේෂය කිසිදු හඬක් නැගිය නොහැකි නිහඬ සත්ව කොට්ඨාශයකි.

Indian chameleon – Chameleon zeylannicus

එමෙන්ම මේ සතා රාත්‍රී කාලයට අද්භූත ලෙස හඬනඟතැයි යන්නද මිථ්‍යාවකි. ඒ දහවල පුරා රුක් වඳුළු අතරේ ආහාර සොයා‍ යන මේ සත්වයා සැන්දෑ ඇඳිරිය වැටෙත්ම තම ඉදිරිගාත් දෙක කොට්ටයක් ලෙස තබා ගනිමින් රැය පහන් වනතුරුම බිළිඳකු සේ නිදාගන්නා බැවිනි. මෙම බෝදිලිමා ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ පමණක් දක්නට ලැබෙන අතර මේ සත්වයා දක්නට නොලැබෙන සෙසු ප්‍රදේශවලත් ප්‍රදේශ වලත් මෙම බෝදිලිම් යක්ෂයා පිළිබඳ විශ්වාසය පැතිර ඇති අයුරු ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ මට අනාවරණය කර ගත හැකි විය.

මීට අමතරව කරමල් බෝදිලිමා යනුවෙන් හැදින්වෙන ‍ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කටුසු විශේෂයක්   උඩරට සහ පහතරට තෙත් කලාප වල දැකිය හැක. ඉංග්‍රීසි බසින් Hump – nosed lizard යනුවෙන් හැඳින්වෙන මේ සතාගේ විද්‍යාත්මක නාමය Lyriocephalus scutatus  ලෙස හැඳින්වෙයි. එහෙත් විද්‍යාත්මක වශයෙන් මෙම කටුස්සන් බෝදිලිමුන් ලෙස නොසැලකේ. ඊටහේතුව Lizardයන්න ඉංග්‍රීසි භාෂාවෙන් කටුස්සා යන්න හැඳින්වෙන බැවිනි.

Lyriocephalus scutatus

මෙහිදී මගේ පෞද්ගලික විශ්වාසයට අනුව බෝදිලිමා යන්න බෝදිරිමා යන්නෙන් බිඳි ආ වදනක් විය යුතුය. බෝදිරිමා යන්න බෝ + දිරි +මා හෙවත් (ප්‍රසූතියේදී)  බොහෝ දිරි ගත් මව’ යන්නෙන් බිදී ආ වදනක් ලෙස අනුමාන කළ හැක.

දරු ප්‍රසූතිය සිදුකරගත නොහැකිව දරුවා කුසෙහි සිටියදීම මිය ගිය කාන්තාව රාත්‍රියට පිරිමින් පමණක් බිය ගැන්වීමට හේතුව ලිංගිකත්වය හා සම්බන්ධ වූවකි. එනිසා ඒ සඳහා වන පිළියමක් වනුයේ බෝදිලිම් හඬ නැගෙන දිශාවට ‘අංකිරි ගොට්ටක්’ තැබීම බවට නුවර කලාවියේ  පැරණි ජන විශ්වාසයක් තිබී ඇත. මෙහි ‘අංකිරි’ යනුවෙන් හැඳින්වෙනුයේ ශුක්‍රානුය. තමන් දරු ප්‍රසූතියේ දී ලත් මාරාන්තික වේදනාකාරී අත්දැකීම මුල්කොට බෝදිලිම් යක්ෂයා ශුක්‍රානු වලට බිය වීම යුක්ති සහගතය.

බෝදිම් යක්ෂයා පසුගන්වන මෙම අපූරු කෙම් ක්‍රමය පිළිබඳව ඔරුක්මාන් කුලමේ චන්දන හිමියන් ලියූ ‘නුවරකලාවියේ නිමිති’ කෘතියේත්,හොරොව්පතානේ පඥානන්ද හිමියන් ලියූ ‘කල්පෙ කෝරලයේ ඇඳහිලි’ කෘතියේත්, කේ.බී මානෑව ලියූ ‘නුවරකලාවියේ ජනවහර’ කෘතියෙත් සඳහන් වෙයි.

මීට අමතරව කන්ද උඩරට වාසීන් විසින් බෝදිලිම් යක්ෂයා පලවා හැරීම පිණිස මීට වඩා ‘ශිෂ්ට’ කෙම් ක්‍රමයක් අනුගමනය කර  ඇත. එනම් බෝදිලිමාගේ හඬ ඇසෙන දිසාවේ ගම්මිරිස් කොලයක් සහ පොල්තෙල් පහනක් තබා ‘ඔය ‍පහනේ තෙල් ගාලා ගම්මිරිස් කොළය රත්කරලා උඹේ බඩ තවාගනින්; එතකොට ඔය රුජාව ඇරිලා යයි.’ යනුවෙන් පැවසීමය. එවිට බෝදිලිම් හඬ මඳින් මඳ අඩුවී නෑසී යන බව පැවසේ.

මෙහිදී ඔවුන් ගම්මිරිස් කොළය වෙනු‍වට බුලත් කොළයක් නොතැබීමට හේතුව එය බෝදිලිමාට අනියමින් කරනු ලබන ඇරයුමක් විය හැකි බැවිනි. මක් නිසාද බුලත් දීම පැරණි සිංහලයන් අතර පැවැති සම්මත ඇරයුම් ක්‍රමයක් වන නිසාය. මීට අමතරව කිසියම් චාරිත්‍ර දාමයකින් පසු බෝදිලිම් හඬ නැගෙන දිශාවට රන් උණ්ඩ යෙදූ තුවක්කුවකින් වෙඩි තැබීමෙන්ද මෙම බෝදිලිම් යක්ෂ උවදුර දුරු කළ හැකි බවට ජන විශ්වාසයක් පැවති බව අප රටේ විසූ ප්‍රමුඛතම මානව ශාස්ත්‍ර විශාරදයකු වූ විභාවි විජය ශ්‍රී වර්ධන මහතා තම පර්යේෂණ නිබන්ධනයකින් ඉදිරිපත් කොට ඇත. එම ජන විශ්වාසයට අනුව එකී කෙම් ක්‍රමය සාර්ථකවූයේ නම් පසුදා උදේ එම වෙඩිල්ල තැබු ස්ථානයේ ප්‍රදේශයේ තිබී බෝදිලිමකුගේ මළ සිරුරක් හමුවිය යුතුය.

අතීතයේ මේ සම්බන්ධයෙන් අප රට පිළිබඳව ප්‍රසස්ථ මානව විද්‍යාත්මක විමසුමක් කළ ආර්. එල් බෝහියර් ලියූ Discovering ceylon කෘතියෙහිද මෙම බෝදිලිම් යක්ෂයා පිළිබඳ වටිනා තොරතුරු රැසක් ඇත.

අතීතයේ මිනී කැපීම යනුවෙන් හඳුන්වන පශ්චාත් මරණ පරීක්ෂණ පිළිබඳ දැඩි නොකැමැත්තක් දැක්වූ ශ්‍රී ලාංකීය ජනතාව මෙලෙස දරුවෙකු කුස හොවාගෙන සිටියදී මියගිය කාන්තාවන්ගේ උදරය පළා දරුවා පිටතට ගෙන දරුවාගේ මළ සිරුර වෙනමත්, එම කාන්තාවගේ මළ සිරුර වෙනමත් භූමදානය කළ බව සඳහන් වේ. ඒ ඇය බෝදිලිමකු වීම වළක්වනු පිණිසය.

එමෙන්ම මෙම බෝදිලිමකුගේ හඬ ඇසුණු සැනින් පිරිමින් ගෙතුළට තල්ලු කොට කාන්තාවන් ගෙමිදුලට පැන පවසන පරුෂ වචන ගොන්න එක් අහිංසක බෝදිලිමෙකු පමණක් නොව යක්ෂ හමුදාවක් වුව  පළවා හැරීමට ප්‍රමාණවත් යැයි ආර්.එල් බෝහියර් ශූරීහු කියති.

කෙසේ හෝ අතීතයේ අප ජන සමාජයේ පැවැති මෙම බෝදිලිමුන් පිළිබඳ විශ්වාස වර්තමානයේ නොමැත්තේ අද වන වන විට දරුවෙකු ප්‍රසූත කිරීමට ගොස් දරුවා කුසේ තබා කාන්තාවකට මිය යාමට ඉඩ නොතබා දරුවා පිටතට ගතහැකි නවීන විද්‍යාත්මක ක්‍රම කොතෙකුත් තිබෙන නිසාදැයි මම හරිහැටි නොදනිමි.

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 582

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 838

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1799

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1306

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 5355

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3274

Please publish modules in offcanvas position.