lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන “හිඟමං යැදීම තහනං” කෘතිය පසුගිය 11 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වූ උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මතු කළ ප්‍රධාන කරුණක් වූයේ කවිය අභිභවා කවියාගේ පෞද්ගලිකත්වය උත්කර්ෂයට නැගීම නිසා කවිය දෙවැනි වී කවියාගේ දුකට වෙළෙඳ‍පොළක් නිර්මාණය වීම පිළිබඳවය. බෙනඩික් අරබයා පමණක් නොව, සමස්ත විචාරක ක්ෂේත්‍රය තුළම නොයෙක් විට දැකිය හැකි මේ ප්‍රවණතාව පිළිබඳ උපුල් ශාන්ත සන්නස්ගල සමග “ලක්බිම ඉරිදා සංග්‍රහය” කළ සාකච්ඡාවයි මේ.

කවිය මිස කවියාගේ පෞද්ගලිකත්වය ඉස්මතු වීම සිදු නොවිය යුතු යැයි ඔබ අවධාරණය කරනවා. ඔබ කියන හැටියට කවියාගේ පෞද්ගලිකත්වය ඉස්මතු වීමෙන් සිදුවිය හැකි අගතිය කුමක්ද?
කිසිදු නිර්මාණකරුවෙකුගේ පෞද්ගලික ජීවන භාවිතාවෙන් වියුක්තව කිසිදු කලා නිර්මාණයක් ප්‍රතිනිෂ්පාදනය වන්නේ නෑ. නිර්මාණකරුවාගේ රුචි අරුචිකම් පමණක් නොව ඔහුගේ දෘෂ්ටිවාදයත් පරිකල්පනය සීමා මායිමුත් නිර්මාණයට බලපානවා. ඒ නිසා කවිය පමණක් නොව කිසිදු කලා නිර්මාණයක් පෞද්ගලිකත්වයෙන් වියුක්ත නැහැ. මා ගොඩනගන තර්කය අවශ්‍ය සාන්ද්‍රණය ඉක්මවා පෞද්ගලිකත්වය නිර්මාණකරුවා විසින්ම කලා නිර්මාණයට ඉහළින් සමාජගත කිරීමෙන් සිදු විය හැකි හානිය පිළිබඳව. ඒ සඳහා මෑතම උදාහරණය මං ගන්නේ නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියා. ඔහු ස්වකීය කාව්‍ය කෘති දෙක සමාජගත කිරීමේදී ලංකාවේ එකම හිඟන්නා තමන් බව, වැඩියෙන්ම කුසගින්නේ සිට ඇති නිර්මාණකරුවා තමා බව, තමා ‍පොල් කඩන්නකු බව, දුක් විඳින මිනිසුන් වෙනුවෙන් පමණක් ලියන බව, හාඩ්වෙයාර් එකක සිමෙන්ති කොට්ට ඔසවන්නකු බව කවියට ඉහළින් ඔසවා තබනවා. ඒ නිසා කාව්‍ය කෘතිය ඉක්මවා කෘතියේ අන්තර්ගතය ඉක්මවා මේ ප්‍රකාශන ලංකාවේ සියලු මාධ්‍ය කටගැස්මක් කොට ගෙන සමාජගත කරනවා. ඇතැම් පුවත්පත් බෙනඩික් හඳුන්වන්නේ කවියා වශයෙන් නොව ‘හාඩ්වෙයාර් කම්කරුවා’ වශයෙන්. ඉනික්බිතිව ඔහු අභිසාරිකාවන්, කම්කරුවන්, කසිප්පු වෙළෙන්දන් ඡායාරූප සහිතව ස්වකීය කෘතියේ පළකරමින් දුක යන පැරණි වාමාංශික අලෙවි භාණ්ඩය උත්කර්ෂයට නගනවා. ඔහුගේ කෘති සම්බන්ධව ලියවුණු ලිපි පමණක් නොව, පශ්චාත් විචාර පවා ඒ මඩගොහොරුවේම ගිලෙනවා. මේ නිසා බෙනඩික්ගේ කිසිදු කවියක් පිළිබඳව විධිමත් සාහිත්‍ය කතිකාවක් සංවාදයක් ඇති වූයේ නෑ. එය විශාල විනාශයකට කවියා තල්ලු කරමින් පවතිනවා. එය නොකළ යුත්තක් මෙන්ම නොවිය යුත්තක්. මෑතදී ප්‍රකාශයට පත් වූ මො.ල. සෙනෙවිරත්නගේ ‘හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න’ කෘතියටත් මේ විෂබිජය බෝ වෙලා මො.ල. සෙනෙවිරත්න බෙනඩික් මෙන් ඔහුගේ කිසිදු පෞද්ගලික ජීවන භාවිතාවක් ප්‍රචාරය කරන්නේ නෑ. ඔහුගේ ඡායාරූපයවත් පළ කරන්නේ නෑ. ඒත් බෙනඩික්ගෙන් බෝ වුණු විෂබිජය විචාරකයන් ඉස්සරහට අරන් යනවා. මො.ල. නොකී ඉතිහාසය කුණු ගොඩක් මෙන් අවුසස්නවා. දකුණෙ කැරලි ගැහුවද? උතුරට සම්බන්ධයිද? හිරේ හිටියද? සිංහල කොටියද? යනාදි වශයෙන් මුහුණු ‍පොත පුරා කවි ‍පොත පිටුපස ඇති ඉතිහාසය එළියට අදිනවා. එයත් එක්ක යාළුයි කියලා පෙන්නන්න කට්ටිය උත්සාහ කරනවා. එයත් එක්ක තිබුණු පැරණි සම්බන්ධතා පිළිබඳ මතක අවුස්සනවා. මො.ල.ගෙ ‍පොතෙත් එක කවියක්වත් මේ වන තෙක් විධිමත් සාකච්ඡාවකට හසුවන්නේ නෑ. මා යෝජනා කරන්නේ කවියා ගැන කතා කරමු. එහෙත් ඊට පූර්වයෙන් ඔහුගේ නිර්මාණ ගැන කතා කරමු. ‘කවිය’ ගැන කතා නොකර ‘කවියා’ ගැන කතා කිරීම විචාර භාවිතාවක් නොව ගැමි ගැහැනියකගේ ඕපදූප සාකච්ඡාවක් තරම් ගෝත්‍රිකයි. ප්‍රාථමිකයි.

කාව්‍ය කෘතියක් විචාරය කිරීමේදී කවියට වඩා කවියාගේ දුක සහ පෞද්ගලික ජීවිතය සංවාදයට නැගෙන්නේ නම් එයට වගකිවයුතු වන්නේ විචාරකයන් පමණක්මද? එහිදී කවියාගේ දෑත් පිරිසිදුද?
මේ දෙගොල්ලෝම තකට තක. නොංචිගෙ පස්ස පැත්තෙ මිරිස් ගෑවුණාම නොංචි ගම වටේ දුවනවා දනවෝ කියලා. බෙනඩික් කරපු වැඩේ ඒ වගේ. මො.ල.ගේ මුළු ආත්මයම ගිනි ගනිද්දී එයා ඒ කිසිත් නොකියා නිහඬව කවි ‍පොතක් කරනවා. බෙනඩික්ගෙ ‍පොත සම්බන්ධව ඇති වුණු සංවාදයේ පටුකමට බෙනඩික් වගකියන්න ඕන. මොකද එයා දුක දනවෝ දනවෝ කියලා කෑ ගහපු හින්දා. මො.ල. කෑ ගැහුවෙ නෑ. ඒ වෙනුවට මො.ලගේ ඉතිහාසය කියමින් විචාරකයෝ කෑ ගැහුවා. ඒ නිසා දෙගොල්ලෝම වගකියන්න ඕන. මේ වෛරසය බෝ වුණොත් උප්පැන්න සහතිකයේ ඉඳන් කවි ලියන්න ඉස්සෙල්ලා සමාජයට ‘බයෝ ඩේටා’ එකක් දෙන්න වෙනවා. කවියන්ගේ ‘බයෝ ඩේටා’ එක නොව කවියේ ‘බයෝ ඩේටා’ එක හොයන්න කියන එකයි මගේ අදහස.

ඔබ සිතන පරිදි මේ විචාර ක්‍රමවේද අලුතෙන් නැගෙන ප්‍රවණතාවක්ද? නැතහොත් කාලාන්තරයක් තිස්සේ පැවතෙන හඳුනා නොගත් රෝග ලක්ෂණයක්ද?
සමහර රෝග වාහක තියෙනවා කාලාන්තරයක් තිස්සේ සැඟවී තිබිලා අවශ්‍ය පරිසරය මතු වූ සැණින් ව්‍යාප්ත වෙනවා. ඩෙංගු මදුරු බිත්තර වගේ. පායන කා‍ලේ කට්ට අව්ව කාගෙන වැහි පීල්ලක කාලාන්තරයක් ඇලිලා ඉඳල පින්න වැටිච්ච ගමන් මදුරු කීටයා එළියට එනවා. ඒ නිසා මේ විචාර ලක්ෂණය මුලින් තිබුණේ කුප්‍රකට විදිහට. සරච්චන්ද්‍ර ලියද්දිත් කුප්‍රකට ඕප දූප තිබුණා. සිංහබාහු ලියද්දී එහි ප්‍රස්තූතය කටින් කට කුණු කරවල කෑල්ලක් වගේ රස වින්ද බව අපි දන්නවා. සිංහබාහු ලියන්නේ සරච්චන්ද්‍රයන්ගෙ ලොකු දුව පැනලා ගිය වේදනාවට. එය එකල සමාජය කටගැස්මක් කර ගත්ත එක ඇත්ත. ඒත් ඒ කටගැස්ම ‍ලේඛනගත වුණේ නෑ. සමාජ ප්‍රකාශනයක් වුණේ නෑ. ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියේදී සරච්චන්ද්‍ර ඒක සංයමයෙන් කියනවා. මළගිය ඇත්තෝ නවකතාවේ පසුබිමේ ඇති අප්‍රකට ප්‍රේම කතාවත් එහෙම එකක්. දැන් තාක්ෂණයත් එක්ක සයිබර් අවකාශය ඕපාදූප කටගැස්ම සමාජ භාවිතයක් කරනවා. ශාස්ත්‍රීය ‍ලේඛනයේදී වගේ මුහුණු ‍පොතේ කටගැස්මට වාරණයක් නෑ. ඒ නිසා දැන් ඩෙංගු මදුරු බිත්තර පුපුරන්න  පටන් අරන්. කාලාන්තරයක් තිස්සේ තිබුණු හඳුනා නොගත් ලාංකිකයාගේ ගෝත්‍රික පටු කුහකකම්, ජඩකම්, බලුකම් සියල්ලම දැන් මුහුණු ‍පොතේ සමාජ ප්‍රකාශන බවට පත් වෙනවා. ඒක හරියට ඔක්ස්ෆර්ඩ් ඉගෙන ගත්ත අය පාර්ලිමේන්තු ගියාම ඔවුන්ගේ කුප්‍රකට ඉතිහාසය කවුරුත් දැනන් හිටියේ නෑ. ඒ නිසා මතු පිට ශිෂ්ටකමක් හරි පේන්න තිබුණා. හැබැයි ඕලෙවල් විතරක් පාස් වෙච්ච ලංකාවේ මධ්‍ය මහා විද්‍යාල සෙට් එක පාර්ලිමේන්තු ගියාම දැන් රෙදි ගැලවිලාම නිරුවත පේන්න පටන් ගන්නවා. හැංගිලා හිටපු වනචාරී සංස්කෘතික කීටයෝ පැටව් ගහන කාලෙක අපි මේ ඉන්නේ.

කාව්‍ය සමාජයට ‍පොතක් බිහි කළ පමණින් කවියා හැසිරිය යුතු සීමා මායිම් විචාරකයන් විසින් සලකුණු කරලීම කෙතරම් සාධාරණද?
යන්නෙ කොහෙද කියලා ඇහුවාම මල්ලෙ ‍පොල් කියලා කිව්වොත් ඒ උත්තරේ යම් සාධාරණකමක් තියෙනවා. හැබැයි ඔයා ප්‍රශ්න කරන්නෙ ‍පොල් කුඩු, ‍පොල් කටු ඉස්තිරික්ක. ‍පොල් කිරි, මිටි කිරි, දිය කිරි වගේ ප්‍රශ්න. ඔයාගෙ ප්‍රශ්නෙ තියෙනවා, ‘කවියා හැසිරිය යුතු සීමා මායිම් කියලා, මා ප්‍රකාශ කරන්නේ ‘කවියා හැසිරිය යුතු සීමා මායිම් කිසිවක් ගැන නොවෙයි. ඔහු ඔළුවෙන් හිටගෙන හිටියත් කලිසමට උඩින් යට ඇඳුම ඇඳන් හිටියත් මට ප්‍රශ්නයක් නෑ. මම යෝජනා කරන්නේ කවි ගැන කතා කරමු. කවිය ගැන කතා කරමු. එය සංවාද කරමු. ඒ වෙනුවට උප්පැන්න සහතිකය හෝ ජාතකය පිළිබඳ අනන්‍යතාව අතහරිමු කියලා.

චන්ද්‍රකුමාර වික්‍රමරත්න පිළිබඳ මතකය අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් වරින් වර මතු වන අයුරු දක්නට ලැබුණා. නමුත් ඔහුගේ කවිය යම් යම් දහරාවන් මත අලවන ස්ටිකර් එකක් ආකාරයෙන් මිස කවි ලෙසින් සංවාදයට බඳුන් වෙනවාද?
නිර්මාණකරුවෙකු අකාලයේ මැරුණාම හෝ නො කාලයේ ඝාතනය වුණාම ලංකාවේ පශ්චාත් මරණ පරීක්ෂණ විචාරකයන්ගේ කියවීම ඕක. චන්ද්‍රකුමාර ජීවත් වුණා නම් ඔබ ඔය ප්‍රශ්නෙ අහනවද? සත්‍යවාදියාගේ දින‍පොත ලියපු සුනිල් මාධව ප්‍රේමතිලක තවම ජීවතුන් අතර. ඇයි ලංකාවේ  වම මැරිච්ච චන්ද්‍රකුමාර අගය කරන්නෙ, ජීවත් වෙලා ඉන්න සුනිල් මාධව අගය නොකර? ඇයි ලංකාවෙ විචාරකයෝ මියගිය සේකර අධිනිශ්චය කරන්නෙ, රත්න ශ්‍රී අගය නොකර. ත්‍රිමා විතාන ජීවත්ව හිටියා නම් සයිටම් එකට පක්ෂ වෙයිද විපක්ෂ වෙයිද කියලා සහතික දෙන්න පුළුවන්ද? මේ නිසා චන්ද්‍රකුමාර කියන්නෙ තමන්ගෙ න්‍යාය පත්‍ර සඳහා අලෙවි කිරීමට යොදාගත් ස්ටිකරයක් තමයි. හැබැයි ඒ යට යහපත් කතිකාවතකුත් තිබුණා. ඒක ප්‍රධාන ආඛ්‍යානය නමෛයි. අතුරු ආඛ්‍යානයයි. ප්‍රධාන ආඛ්‍යානය හෙවත් වමේ න්‍යාය පත්‍රය ඒ සඳහා චන්ද්‍රකුමාර පාවිච්චි කිරිම, අතුරු ආඛ්‍යානය ඔහුගේ කාව්‍ය පිළිබඳ යම් ආකාරයක සංවාදයක් මතු වීම. මේකෙන් අර්ථ දැක්වෙන්නෙ කවියක් ලියලා නවකතාවක් ලියලා අකාලයේ මැරියන්, නැත්නම් මරණය කැඳවා ගනින්. සයිටම් පෙළපාළි ගිහිල්ලා හරි කමක් නෑ කවියෙක් මළොත් ඔහු හෙට සිට ලංකාවේ වීර කවියා වෙනවා නියතයි. ලංකාවේ තියෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ විචාර කලාවක්.

1994 වර්ෂයේ රාජ්‍ය සම්මානය දිනූ ‘රෝගීන් මැද නීරෝග ව’ නවකතාව මෙන්ම රචකයා වූ රත්නායක තිලකරත්න අද වන තුරු කිසිම අවධානයකට පාත්‍ර වුණේ නෑ. අදාළ වකවානුවේ ‍පොත සොයා ගැනීම පවා දුෂ්කර වූවා පමණක් නොව ‍පොතේ ප්‍රකාශකයා වූ කේ. ජයතිලක මහතා පවා එය කියවා තිබුණේ නෑ. එහෙම බලනකොට නිර්මාණකරුවා නිර්මාණය පිටුපස සැඟවීමෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට අගතියක් වෙනවා නේද?  
ඔව්. ලංකාවේ නිල විචාරකයෝ කලා කෘතියක් අතට ගන්නකොටම ප්‍රධාන කාරණා තුනක් ඔළුවට ගන්නවා. අතට ගන්නෙ ‍පොත. ඔළුවට ගන්නෙ කුහකකම. ‍ලේඛකයා කවුද? ඔහු අඳුනනවාද? ඔහුගේ දේශපාලනය කුමක්ද? යනාදිය පළමුවැන්න. දෙවනුව තමාගේ කණ්ඩායමේ තමන්ගේ සෙට් එකේ, ස්වකීය කුලකයේ සාමාජිකයෙක්ද නැද්ද යන්න. තුන්වනුව කලා කෘතිය පට්ට ගැසීම සඳහා ‍පොතේ කොහෙන් හෝ කොටසක් සොයා ගැනීමේ උත්සාහය. විචාරකයාට ‍පොරක් වෙන්න පුළුවන්, වීරයෙක් වෙන්න පුළුවන්, සිවිල් වෙන්න පුළුවන්, නිර්මාණකරුවාට වඩා තමන් ප්‍රඥාවන්ත නැණැත්තෙක් බව කිව්වොත් පමණයි. ඉතින් රත්නායක තිලකරත්න කිසිවෙකු දන්නෙ නැත්තේ ඔහු විචාරකයා තුළ, පත්තරකාරයා තුළ සිවිල් වී නැති නිසා. ‘රෝගීන් මැද නීරෝග ව’ ‍පොත විචාරය නොකරන්නේ විචාරකයාට විචාරය කිරීමෙන් තමන්ට ලැබෙන සංකල්පීය ප්‍රාග්ධනයක් නොමැති නිසා.

ඔබ රචනා කළ ‘අම්මා’ නවකතාවටත් මෙවැනිම චෝදනාවක් තිබෙනවා. එසේ බැලීමේදී ඔබත් ඔබේ නිර්මාණ තුළ දුක සහ පෞද්ගලිකත්වය මාකට් කර තිබෙනවා නේද?
‘අම්මා නවකතාව ලියවෙන්නෙම පුද්ගලානුභූතියක්, ප්‍රබන්ධයක් ලෙස ‍ලේඛන ගත කිරීමේ උත්සාහයක් විදියට. පෞද්ගලික ජීවිත කතාවක් ලියද්දී ඒක සාධාරණයි. ඒක කෘතිය ඇතුළෙ තියෙන දෙයක්. පුද්ගලානුභූතියක් ප්‍රබන්ධයක් වෙද්දී පුද්ගලානභූතියේ කොටස් කෘතියට අවශෝෂණය වීම ස්වාභාවිකයි. එය කෘත්‍රිම දෙයක් නමෛයි. විචාරකයෝ ඒකත් ගත්තේ මං පූර්වයෙන් කීව විෂබිජ ක්‍රමවේදයෙන්ම විතරයි. කෘතිය විචාරය කළේ නෑ. විචාරය කළේ මාව. මං නවකතා පහළොවක් විතර ලියලා තියෙනවා. එක නවකතාවක තියෙන කුණු කරවල කෑල්ල අනෙක් කෘති දාහතරත් එක්ක බද්ධ කළ හැකි නම් හෝ සමපාත කළ හැකි නම් ඔබේ යෝජනාව හෝ චෝදනාව මං පිළිගන්නවා.

සහන් කසීර වික්‍රමසිංහ

IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 404

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 765

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 2427

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 1828

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 2399

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 3784

Please publish modules in offcanvas position.