lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක පමණ වන්නට ඇත. දෙදරු පියකු වන  එම නිවසේ ගෘහමූලිකයා තම අසල්වාසී මිතුරන් කිහිප දෙනකු සමඟ  අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවසේ ආලින්දයේ මත්පැන් සාදයකට එක්ව සිටියේය.

ඒ අතරතුර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණ. ඒ වන විටත් තරමක බමන මතින් සිටි ඔහු හනික එතැනින් ඉවත්ව නිවස තුළ සිටි තම බිරිඳ සමීපයට ගියේය.

“ඔයා දන්නවාද අනුර? අර අපේ තාත්තගේ මළ ගෙදර ඇවිත් නැහීගෙන වැඩ කළේ?  මිනිහත් දැන් අවුරුද්දට අපේ ගෙදර එනවලු”  හෙතෙම තම බිරිඳට කීය. “ මිනිහගේ වයිෆුත් එනවලු” ඒ සමඟම ඔහු යළිත් කීය.

“කලින් දන්වන්නේවත් නැතුව; මේ හදිසියේ?” බිරිඳ ඇසුවේ තරමක විස්මයකිනි.

“ අවුරුද්දට ගෙදරකට එන්න කලින් දැනුම් දෙන්න ඕනේද ළමයෝ; ඔය කෑම තියෙන්නේ උතුරන්නම;  ඒ දෙන්නටත් ඕවයින් කෑම ටිකක් දීලා දෙන්නට නිදා ගන්න තැනක් ලෑස්ති කරන්න විතරයිනේ තියෙන්නේ? උන් දෙන්න හෙට පාන්දරින්ම යයි”

ව්‍යාපාරිකයා කීය. එමෙන්ම ඔහු කී කරුණේ අමුතු බැරෑරුම් කමක් ද නොපෙනුණ බැවින් වැඩි කැමැත්තකින් තොරව වුව ද බිරිඳ ඔහුගේ එම ඉල්ලීම අනුමත කළාය.

කාලය පැයක් පමණ ඉක්මිණි. ත්‍රිරෝද රථයක් ඔවුන්ගේ නිවස ඉදිරියේ නතර කෙරුණු අතර ඉන් බැස ගත්තේ එම යුවලය. ඔවුන් ගේ දෑත්වල ලොකු ගමන් බෑග් තිබූ අතර බටහිර පන්නයට ඩෙනිම් දිග කලිසමකින් සැරසී සිටියද ඇය අහිංසක ගැමි තරුණියක බව ව්‍යාපාරිකයා ගේ බිරිඳට සැනින් වැටහුණි.

“කාලෙකින් එන්න බැරිවුණ හින්දා අළුත් අවුරුද්දේ අක්කලා බලලා යන්න ආවා;  ආ... අඳුන්වලා දෙන්නත් බැරි වුණානේ මේ මගේ වයිෆ්”  ඔහු පවසත්ම එම තරුණියද අහිංසක ලෙස සිනාසුණාය. ඉන් පසු ව්‍යාපාරිකයා කී පරිදිම එම යුවල සඳහා නිවසේ හොඳම කාමරය වෙන් කෙරිණි.

“කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගෙන වොෂ් එකක් දාලා එන්න කෑම ටිකක් කන්න” එම ගෘහණිය කීවාය. ඒ අනුව එම කාමරය තුළට වැදුණු ඔව්හු පැය බාගයක් පමණ කිසියම් රහසිගත කතා බහක යෙදෙන අයුරු එම ගෘහණියට ඇසිණි. ඒ සමඟම ඒ සැමියා බිරිඳට තරවටු කරන බවක් ද ගෘහණියට වැටහිණි. ඇය කී පරිදි ඇඳුම් මාරු කරගත් එම යුවල නාන කාමරයට ගොස් පැමිණියේ ඉන් පසුවය.

“එහෙනම් කෑම ටිකක් කමු නේද? අර කට්ටිය නම් අද දවල්ට කන පාටක් නැහැ” ගෘහණිය එම යුවලට කීවාය.

“බඩගිනි නම් ඔයා කන්න; මම අර කට්ටියත් එක්ක ටිකක් කතා කර කර ඉදලා එයාලත් එක්කම කන්න එන්නම්” මඳ අවසරයකින් සැමියා ආලින්දයට පැන ගත් අතර එම බිරිඳ පමණක් කෑම මේසයට වාඩි වූවාය.

“කොහේද නංගි ඔයාගේ ගම?” කෑම බෙදන අතරේ ගෘහණිය ඇසුවාය.

“මම මතුරට; අක්කා” ඇය අවිහිංසක ලෙස සිනාසුණාය.

“අනුරලා නම් නුවර ටවුන්එකේමයි මං හිතන්නේ. ඉතින් කවදද ඔයාල ගමේ ගියේ?” එම තරුණියගේ පිඟානට මාළු පිණි බෙදන අතරේ එම ගෘහණිය යළි ඇසුවාය.

“මම නම් ගියේ පසුගිය අටවෙනිදා....” එම තරුණිය සිහින් හඬින් තොල් මැතිරුවාය.

“එතකොට එයා?” ගෘහණිය යළිදු ඇසුවාය.

“ඒක මං දන්නේ නෑ අක්කා” එවිට රහසින් මෙන් කී තරුණිය මට බොරු කියලා පුරුදු නැහැ” යනුවෙන් කීයේ ගෘහණියගේ සිත තුළට මහත් කුතුහලයක් පිවිසුවමිනි.

“මගේ ගම මතුරට. මගේ මහත්තයා හමුදාවේ; එයා යුද්දේදි නැතිවුණා.” තරුණිය අවිහිංසක ලෙස එලෙස තම කතාව කියද්දී ගෘහණිය විස්මයෙන් ඇළලී යමින් ඊට සවන් දුන්නාය.

“මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා; අපේ අම්මයි තාත්තටයි මගේ දරුවන්ටයි මටයි ජීවත් වෙන්න මහත්තයගේ පැන්ෂන් එක මදි හින්දා මම දරුවෝ දෙන්න අම්මලට බලා ගන්න දීලා; දැන් පිළියන්දල ෆැක්ට්‍රි එකක වැඩ කරනවා; මම නතර වෙලා ඉන්නෙත් ඒ කිට්ටුමයි.

ඔය අයියව මට ජීවිතේ ඉස්සරවෙලාම මුණ ගැහුණේ අදමයි. ඒ නුවර ගුඩ්ෂෙඩ් බස් පෝලීමේ දී; කොහොම හරි බස් එකට නැග්ගට පස්සේ අපි දෙන්නා කතා බහ කරලා හිතවත් වුණා. එතකොට තමයි එයා කිව්වේ මීට අවුරුදු පහකට කලින් එයාගේ වයිෆ් එයාව දාල වෙන මනුස්සයෙක් එක්ක ගිහින් දැන් එයා ජීවිතේ තනිවෙලා ඉන්නේ කියලා.”

එම තරුණිය කී කතාව එක්වරම ඇදහීමට අපහසු වුවද ගෘහණිය නොඉවසිලිමත්ම ඊට කන් දුන්නාය.

“ඔය අතරේ තමයි අපේ බෝඩිමේ ඇන්ට් මට කෝල් කළේ. එයාලත් අවුරුද්දට එයාලගේ ගමේ ගිහින්; හක්මන. ආපහු පිළියන්දල එන්න විදිහක් නැතුව ඉන්නවලු; අපේ බෝඩිමේ අනික් හැම ළමයටම කතා කළාම කිව්වලු එයාලත් අද එන්න හිටියට එන්න වෙන්නේ නෑ කියලා; බෝඩිමේ ඇන්ටි කියනවා මට අදට විතරක් ඒ ළඟ ගෙදරක රෑ නතර වෙන්නලු. එයා ඒ ගෙදර මිනිස්සුන්ට ෆෝන් කරලා කියන්නම්ලු; ඒත් ඒ මිනිස්සු හරි නෑ අක්කා; හැම තිස්සෙම ඉන්නෙ බීලා කුණුහරුප කියා ගත්තු ගමන්. එතකොට තමයි බස් එකේ මාත් එක්ක ආපු අයියා කිව්වේ ඕක ඔයා සත පහකටවත් ගණන් ගන්න එපා; එහෙනම් අපි දෙන්නා යක්කලින් බහිමු; යක්කල මගේ යාළුවෙකුගේ ගෙස්ට් හවුස් එකක් තියනවා කියලා; ඒ අයියා එහෙම කියන කොට මම කිව්වා අනේ අයියා තරහවෙන්න නම් එපා මම නම් මැරුවත් ඔය වගේ ගමන් එන්නේ නෑ කියලා; ඊට පස්සේ  එයා සෑහෙන වේලාවක් කල්පනා කරලා තමයි කිව්වේ මගේ හොඳම යාළුවා ඉන්නේ නිට්ටඹුව කිට්ටුව. එහෙනම් අපි එහේ ගිහින් හෙට උදේ කොළඹ යමු කියලා. එතකොට මාත් ඇහුවා එහේ කවුරු කවුරුද ඉන්නේ කියලා. එතකොට තමයි එයා කිව්වේ එහෙ ඔයාව කන්න යක්කු නැහැ. ඒ ගෙදර ඉන්නේ මගේ හොඳම යාළුවයි එයාගේ නෝනයි බබාල දෙන්නයි විතරයි කියලා.”

තරුණිය අහිංසක ලෙසින් මෙසේ පවසන අතරේ සැමියාගේ මිතුරා කිහිප වරක් විවිධ අවශ්‍යතා හුවා දක්වමින් ඇය හා කතාබහක එළැඹීමට උත්සාහ කළ අතර ඔහුගේ එම උත්සාහය ව්‍යර්ථ කිරීමට එම ගෘහණිය සමත් වූවාය.

“මාත් ඇහුවා එතකොට අයියා කවුරු කියලද මාව එයාලට හඳුන්වලා දෙන්නෙ කියාලා. එතකොට එයා කිව්වා ඔයා මගේ නංගී කියන්නම් එතකොට කතාව ඉවරයිනේ කියලා. කොහොම හරි අපි දෙන්න නිට්ටඹුවෙන් බස් එකෙන් බැස්සටත් පස්සේ තමයි එයා කිව්වේ මම එයාලට ඔයාව ඒ විදිහට හඳුන්වලා දෙන එකෙන් පොඩි පහරක් තියෙනවා; මොකද මට නංගිලා නැහැ කියලා එයාලා දන්නවා;  නමුත් දැන් අපේ වයිෆ් මාත් එක්ක නෑ කියලා කවුරුවත්ම දන්නේ නැහැනේ; ඒ හින්දා මම එයාලට ඔයා මගේ වයිෆ් කියන්නම් කියලා. ඒත් එතකොට මමත් කිව්වා ඔයා ඒ අයට මොනවා කිව්වත් කමක් නෑ  හැබැයි අද රෑට අපි දෙන්න එකම කාමරේක නම් නිදා ගන්න බැහැ කියලා; ඒක තමයි අක්කා දැන් කාමරේට ගිය වේලාවේ අපි දෙන්න අර තරම් වේලාවක් කතා කළේ. හැබැයි මම එයාට මගේ අත ළගින් වත් අල්ලන්න දුන්නේ නැහැ. නමුත් එයා මට අන්තිමේ කිව්වා අද මම උඹේ කැමැත්තෙන් හරි අකමැත්තෙන්හරි මගේ වැඩේ කර ගන්නවා කියලා.”

යුවතියගේ එම කතාව හමාරවීමත් සමඟම ගෘහණිය ආලින්දයේ සිටි සැමියාත් ඔහුගේ මිතුරු පිරිසක් අතරට ගියාය. “ඔයාල ඔහොම බිබී ඉන්න මම මේ නංගිත් එක්ක පොලීසියට යනවා; මේ නංගිට ඕනෙලු පොලීසියට පැමිණිල්ලක් කරන්න.”

මිතුරන් අතරට පැමිණි එම ගෘහණිය හඬ නඟා පවසත්ම එම ආලින්දය මැදට හෙන ගෙඩියක් පතිත වූවාක් මෙන් සියල්ලෝම විපක්ෂිත වුහ.

“පැමිණිල්ලක්? ඒ මොකටද කාට විරුද්ධවද? ඒ වන විට හොඳටම සූර්වී සිටි සැමියා ඇසීය.”

“මේ තිරිසන් බල්ලට විරුද්ධව. මේ ළමයා උගේ වයිෆ් කියන්නේ පට්ටපල් බොරු; මෙතන සිද්දවෙලා තියෙන්නේ බරපතල අපරාධයක්. මේවට නිස්සබ්ද වෙලා හිටියොත් අපේ ඔළුවලටත් ගෙන ගහගනවා; එන්න නංගී යන්න” කී ගෘහණිය තව දුරටත් නිවසේ මොහොතක්වත් නොරැදී එම තරුණිය ද සමඟ මහ මඟට පැමිණ ත්‍රි රෝද රථයකට නැඟගත්තාය. එහෙත් ඔවුන්ට ඒ ගමන වැඩිදුරක් යාමට නොහැකි වුයේ පිටු පසින් පැමිණි මෝටර් සයිකලයක් එක් වරම මාර්ගය හරස්කොට නතර කළ බැවිනි. සාදයට එක්වූ මිතුරකු සමඟ එහි පැමිණ සිටියේ ගෘහණියගේ සැමියාය.

“ඔයාට කියන තැනකට වඳින්නම් පොලීසි විතරක් යන්න එපා; ඕක අනුරයා අපිටත් කොලේ වහලා කරන්න හදපු බලු කමක්. දැන් හරි; අපි ඒ වෙලාවෙම ඌව පන්න ගත්තා; අනේ නංගී මේ ඔයාගෙම් අක්කා කියලා හිතාගෙන ආපහු යමු අපේ ගෙදර; ඔයා එහේ අද විතරක් නෙවෙයි තව මාසයක් නතර වෙලා හිටියත් කමක් නෑ.” ගෙහිමියා කීයේ එම යුවතියට දෑත් එක්කොට ආචාර කරමිනි.

“මොනව වුණත් ඔයත් හරිම මෝඩ කමක් තමයි කරලා තියෙන්නේ නංගී; ඔය වගේ නාඳුනන මිනිස්සු කියන කියන තැන්වලට යන එක හරිම භයානකයි.” එදින රාත්‍රී කෑම මේසයේ දී ගෘහණිය එම තරුණියට අවවාදාත්මකව කීවාය.

“ඒක වෙන්න පුලුවන් අක්කා; ඒත් මං හිතුවා ඔය යන තැන කවුරු හරි ගෑණු කෙනෙක් හිටියොත් මම මගේ ඇත්ත කතාව එයාට කියලා උදව්වක් ඉල්ලනවා කියලා; දැන් බලන්නකෝ මොකද වුණේ කියලා.” තරුණිය කීවාය.

කෙසේ හෝ එළඹුණු සිංහල අළුත් අවුරුද්දේ මෙම මතුරට නංගීට වතුපිටිවල අක්කා ගෙන් ලැබුණු උත්තරීතර මිනිසත් බව මුල් කොට ගත් අලුත් අවුරුදු තෑග්ගේ බලමහිමය කෙතෙක් ද යත් මේ වන විට තරුණිය කරමින් සිටි රැකියාවට වඩා සතුටුදායක මට්ටමක රැකියාවක් වතුපිටිවල ආයෝජන ප්‍රවර්ධන කලාපයන් සොයා දීමට එම යුවල දැනටමත් සමත්ව සිටිති. එමෙන්ම ලබන සතියේ සිට එම තරුණිය ඒ ‘අළුත් නෑදෑ’ නිවසේ නතර වීමට ද නියමිතය.

“අළුත් අවුරුද්දට නෑගම් යාම් ගැන අපි අහලා තිබුණා ඒත් මේ වගේ අවුරුදු නෑගම් යාමක් ගැන අපි උපන් හදවියකට අහලා නැහැ.” එදා එම නිවසේ අලුත් අවුරුදු සාදයට එක් වූ මිතුරෝ තවමත් එසේ කියමින් සිනාසෙති.

කෙටි කතාවකටත් වඩා රසවත් මේ සත්‍ය කතා ප්‍රවෘත්තිය මා වෙත කියා සිටියේ එදා එම නිවසේ අවුරුදු සාදයට එක්ව සිටි සැමියාගේ මිතුරකු විසිනි.

එස්.ටී.පී.සිල්වා

IMAGE

තම රෝගය අමතක කර රෝගියෙකු බේරා ගත් හිත හොඳ දොස්තර

IMAGE 2017 May 28 17:31
  විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩ හෙට්ටි, පසුගිය සති අන්තයේ සිට මෙම සතියේ මුල් දින...
Views - 731

මිහිඳු හිමි දෙවනපෑතිස් හමුව සිදුවූයේ සැණකෙළි බිමකදී ද?

IMAGE 2017 May 26 13:18
පොසොන් පුන් පෝ දිනක මිහින්තලා පර්වතය අභියසදී සිදු වූ මිහිඳු හිමි -  දෙවනපෑතිස් රජු හමුව අහඹු...
Views - 733

මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

IMAGE 2017 May 26 11:36
ගංවතුරින් ඇතිවන ආපදා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ඒ ජීවිත සහ දේපළ හානි වශයෙනි....
Views - 1752

ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා

IMAGE 2017 May 24 09:00
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ...
Views - 11308

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 4731

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 6295

Please publish modules in offcanvas position.