lakbima.lk
2017-03-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.1100 , විකුණුම් මිල රු153.9600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.187.8700 , විකුණුම් මිල රු194.3400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.0600, විකුණුම් මිල රු.168.2900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.151.3300 , විකුණුම් මිල රු.157.4000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.4800 , විකුණුම් මිල රු.115.9300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.4500 , විකුණුම් මිල රු.118.5800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3504 , විකුණුම් මිල රු.1.4021 |

සයිටම් නමැති නිවැරදිකරු එල්ලා මැරීමට පෙර

සයිටම් හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස රජයට බලකරමින් විවිධ සංවිධාන රට පුරා උද්ඝෝෂණ සහ විරෝධතා දියත් කරන්න පටන් අරගෙන. රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් පංති වර්ජනය කරලා. රෝහල් වල වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජන කරනවා. විවිධ දේශපාලන පක්ෂ, විශේෂයෙන් එම වෛද්‍ය විද්‍යාලය අරඹා ප්‍රවර්ධනය කිරීමට සියලු කටයුතු ඉටු කළ එවක පාලක පක්ෂයේ සිටි දේශපාලකයන් පවා අද විරෝධතා දක්වන්න එකතුවෙලා. ඒ මෙම ආයතනයේ ගැටලුවක් ඇති බව ප්‍රමාද වී හෝ වැටහීයාම නිසා වෙන්මද නැතහොත් සැමදාම අපේ රටේ වෙනවා වාගේ හුදු දේශපාලන වාසි ලබාගැනීමට පමණක්ද යන්න ගැටලුවක්.
ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ගැටලුවක් ද යන්නත් ප්‍රශ්න සහගතයි. ඒ වගේම අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරමින් සිදුවන මේ ක්‍රියා සැබෑ ජනතා විරෝධතාද නැතහොත් ජනතා විරෝධතා ලේබලය යටතේ එළි දැක්වෙන වෙනයම් ක්‍රියාකාරකම්ද යන්නත් අප සිහි නුවණින් විමසා බැලිය යුතුයි.
මෙම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්නෙත් අපේ රටේම දරුවන්. ඔවුන්ට එරෙහිව විවිධ අභුත චෝදනා එල්ලකොට පීඩාවට පත්කිරීම කවුරුන් කළත් ඉතාම අසාධාරණයි.

රටේ වැඩිවන ජනගහනය සදහා සහ රටේ සංවර්ධනය සදහා අවශ්‍ය ආර්ථික සංවර්ධනයට ප්‍රතිපත්ති තීරණය කිරීමේ පරම වගකීම රජය සතුවෙනවා. මේ සඳහා අවම වශයෙන්  ඉදිරි අවුරුදු සීයක පමණ කාලයකට ගැලපෙන ලෙස දිගු කාලීන,කෙටි කාලීන සහ මධ්‍යකාලීන සංවර්ධන ක්‍රියාදාමයන් සැලසුම් කර ක්‍රියාත්මක කළයුතු වන්නේ පාලකයන් වෙනස්වන විට එම ප්‍රතිපත්තීන් වෙනස් නොවන අන්දමේ ජාතික සැලසුමකට අනුවයි. ලොව දියණු සෑම රටකම සිදුවන්නේ එයයි.

අපේරටේ ජාතික සම්පත් සංයුතිය අනුව විදේශ විනිමය සැලකිය යුතු අන්දමකට උපයාගැනීමට හැකි සම්පත් අප සතුව නැහැ. දැනටමත් අපි ජීවත්වෙන්නේ අපගේ විදේශගත ශ්‍රමිකයන්, විශේෂයෙන් කාන්තාවන් විදෙස් නිවාසවල බැල මෙහෙවර කරලා එවන මුදල්වලින්. මෙම තත්වය නිසා දරුවන් පවුල් සංස්ථාව සහ  සමාජය ශීඝ්‍ර විනාශ වෙමින් පවතිනවා.

මෙමතත්වය වෙනස් කරන්න හැකි එක ප්‍රධාන ක්‍රමයක් ලෙස මා දකින්නේ අන් බොහෝ රටවල් සිදුකරනවා වාගේ "අධ්‍යාපනය විකිණීමයි”. ලෝකයේ බොහෝ රටවල විශ්වවිද්‍යාලවල අපේ රටේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් ඉගැන්වීමේ කටයුතුවල යෙදෙනවා. ඇමරිකාවේ නාසා වැනි ඉතා ඉහළ තාක්ෂණයක් භාවිතා කරන ආයතන තුළ පවා ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් 250කටආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදෙනවා. අපි ලෝකයේ ඉහළම බුද්ධියක් සහිත ජාන උරුමයක් අති ජාතියක්. ඒ නිසා මුලු ලෝකෙටම නවීන තාක්ෂණයත් එක්ක මුසුකොට ගුණාත්මක අතින් ඉහළ උසස් අධ්‍යාපන පාඨමාලා අපගේ රටේ පෞද්ගලික සරසවි වලින් ලබාදිය හැකි නම්,කවදාහරි ලෝකයේ හොඳම අධ්‍යාපන කේන්ද්‍රය ශ්‍රීලංකාව බවට පත් කිරීමට අපට හැකි වේවි. බොහෝ විදෙස් සිසුන් අධ්‍යාපනය ලබාගැනීමට අපේ රටට ඒවි. වසරකට දහස් ගණිනින් අපේ රටින් වෙනත් රටවලට අධ්‍යාපනය සදහා යන සිසුන් අප රටේ රැදේවි. එමගින් රටට හොඳ ආදායමක් ලැබේවි. මේ අයුරින්ම 1987දී එවක ඇතිකළ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විශාල වශයෙන් උද්ඝෝෂණ වැඩ වර්ජන සිදුකරමින් වසාදැමීමට නෙයෙක් කණ්ඩායම් කටයුතු කළා. නමුත් ඉන් අනතුරුව 1998දී මැලේසියාවේ ආරම්භ කළ මොනැෂ් වෛද්‍ය විද්‍යලය දැන් විශාල ආදායමක් ලබන මෙන්ම ලෝකයේ හොදම වෛද්‍ය උපාධි ලබාදෙන ආයතනයක් වෙලා. ඇත්තෙන්ම මෙය අපගේ රටට හරවාගත හැකිව තිබූ සුවිසල් ආදායම් මාර්ගයක්.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රටේ තැන් තැන්වල පවත්වන උද්ඝෝෂණ වලට එකතු වන්නේ සීමිත පිරිසක්. ඒවගේම ඒ අය අතරිනුත් බොහෝ දෙනෙක් පෞද්ගලිකව කතාකරන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමට විරුද්ධ නැහැ. නමුත් තම සංගම්වල නායකයන්ගේ තීරණවලට අවනත වීමට ඔවුන්ට සිදුවෙලා. විශ්වවිද්‍යාලවල සිසුන්ට මේ පිළිබද කිසිදු අවබෝධයක් නැතිව විරෝධතාවලට සම්බන්ධ වෙන්න සිදුවෙලා. අවාසනාවට මෙම විරෝධතාවල ඉදිරියෙන්ම යන්නේ බෞද්ධ ස්වාමින්වහන්සේලා. මේ අය ගැන විශේෂයෙන් පිටරටවල උදවිය ඇතිකරගන්නා ආකල්පය අපේ රටට අතිශය අවාසිදායකයි. මේවා දකින විදේශිකයන් අපේ රටේ ප්‍රධාන ආගම වන බුදුදහමේ ආගමික නායකයන් ප්‍රචණ්ඩකාරී කළහකාරී ආවේගශීලී පිරිසක්  ලෙස ඔවුන් වටහාගන්නවා.
විධායකය ව්‍යවස්ථා දායකය අධිකරණය කියන්නේ අපේ රටේ සමාජ ආර්ථික දේශපාලනික ව්‍යුහයට උරදී සිටින ප්‍රධානතම බල කණු තුනයි. ඒ අනුව රටේ ඉහළම අධිකරණයකින් දුන් තීන්දුවකට එරෙහිව මෙලෙස විරෝධතා දැක්වීම සපුරා නීතිවිරෝධියි. එම තීරණයට එරෙහිව කරුණු දැක්විය යුතුනම් එය කළ යුතු නම් එය කළයුතු වන්නේ මහපාරේ සිට ජන ජීවිතයට බාධා කරමින් නොව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ශීලාචාර ලෙස නඩුපවරා කරුණු දැක්වීමෙනුයි. අනෙක් අතට අධිකරණ තීරණයක් වෙනස් කිරිමට ජනාධිපතිවරයාට වත් බලතල නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙනවා. ඉතින් අධිකරණ තීරණයක් වෙනස් කිරීමට නීතිවිරෝධීව බලපැම් කරමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට කඩාවදින්නට යම් යම් පිරිස් උත්සාහ කරන විට තම බලය යොදා ඔවුන් පලවා හරිනු හැර පොලීසියට  කළහැකි දෙයක් තිබේද? මෙම නිත්‍යානුකූල ක්‍රියාදාමය 'රාජ්‍ය ත්‍රස්තවාදය' ලෙසින් හැදින්වීම තුළින් රටේ පවත්නා ව්‍යවහාර නීතිය කසළ ගොඩට ඇද දමන බව මෙම විරෝධතා සංවිධානය කරන අයත් පැහැදිලිවම දන්නා දෙයක්.

අපේ රටෙන් පිටරටවල් වලට වැඩිපුරම සිසුන් ප්‍රමාණයක් යන්නේ වෛද්‍ය උපාධිය ලබාගන්නයි. ලෝකයේ වැඩිම වියදමක් දරන්න වන උපාධිය වෛද්‍ය උපාධියයි. අපේ රටේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයන්ට තෝරාගන්නා සීමිත ප්‍රමාණයට ඇතුලත්ව නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට නොහැකි වන දරුවන්ට මුදල් ගෙවා තමන් කැමති නම් වෛද්‍ය විද්‍යාව හැදැරීමට අපේ රටේම අවස්ථාව ඇතිකිරීම සාධනීය පියවරක්. එම දරුවන්ගේ වෛද්‍ය අධ්‍යාපනය දේශීය මෙන්ම අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට යටත්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ අධීක්ෂනය යටතේ  ඉහළ මට්ටමේ උපාධියක් දක්වා එම දරුවන්ට ලබාදිය යුතු වෙනවා. නිදහස්(නොමිලේ) අධ්‍යපනය මෙන්ම මුදල්ගෙවා අධ්‍යාපනය ලබාගැනීමට ඇති නිදහස නිදහස ද තහවුරු කිරීම වැදගත් වනවා.

විදෙස් රටවලින් උපාධිය ලබාගෙන එන වෛද්‍ය උපාධිධාරින් එම විශ්ව විද්‍යාලවලින් ලබන අධ්‍යාපනය සහ පුහුණුව පිළිබද අප රටේ කිසිදු ආයතනයක් සොයා බලන්නේ නැහැ. මේ නිසාවෙන්ම තමා රුසියාවේ විශ්ව විද්‍යාලයකින් මීට වසර කිහිපයකට පෙර එම විශ්වවිද්‍යලය තියෙන තැනවත් නොදන්නා පිරිසකට කුරුණැගල ප්‍රදේශයේ පෙට්‍රල්ෂෙඩ් එකක උඩ තට්ටුවේ පංති පවත්වා අනතුරුව වෛද්‍ය උපාධිය පිරිනමා තිබුණේ. ශ්‍රීලංකා වෛද්‍ය සභාව විසින් පිළිගන්නා විදෙස් විශ්වවිද්‍යාල වලින් උපාධිය ලබාගෙන එන අයගෙන් සියයට අසූපහක්ම ඒ අය සඳහා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වන ඊ.ආර්.පී එම් විභාගයෙන් අසමත්වන්නේ එම උපාධිය නියමිත ප්‍රමිතියට නොමැති නිසා නොවේද?

වෛද්‍යවරු වන්නේ බුද්ධිය අතින් ඉහලම පිරිසක් නොවෙයි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන විට තමන් පාඩම් කරන ලද තමන්ට පහසු ප්‍රශ්න ලැබුණොත් ඔහු විභාගයෙන් සමත්ව වෛද්‍ය විද්‍යලයට ඇතුල් වෙනවා. ඒ කියන්නේ මේ සදහා "වාසනාව"ත් යම් ප්‍රමාණය කටදායක වෙනවා. ඒ අනුව අහඹුලෙස දැනුම පරික්ෂා කෙරෙන වත්මන් විභාග වලින් යමෙකුගේ බුද්ධිය නිවැරදිව මනින්න බැහැ.

අපේ රටේත් පෞද්ගලික අංශයෙන් මෙවන් අයට ගුණාත්මක සහ ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය උපාධියක් ලබාදීමත් ඉන් අනතුරුව රාජ්‍ය විශ්ව විද්‍යාල හැර දෙස් විදෙස් සියලු වෙනත් වෛද්‍ය විද්‍යාලවලින්උපාධිය ලබාගන්නා අය සදහා ශ්‍රීලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන ඊ.ආර්.පී.එම් විභාගයට පෙනී සිට ඉන් සමත්වන වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය වෘත්තියේ යෙදීමට අවසරදීම වඩාත් සුදුසුවනවා. ඔවුන්ට රජයේ රැකියාවක් ලබාදීම අවශ්‍යම වන්නේ නැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් වැයකර බිහිකරනා වෛද්‍යවරුන්ගෙන් පෙරලා රටට සේවයක් ගැනීම සාධාරණ නිසා ඔවුන්ට රජයේ රැකියා ලබාදීම යුක්ති සහගත වනවා. අනෙක් වෛද්‍ය උපාධිධාරින් ලියාපදිංචිය ලබා අප රටේම පෞද්ගලික අංශයේ හෝ විදෙස්ගතව සිය රැකියාව කරාවි. ඒ මත අද වන විට රට පුරා 'පඳුරක් පඳුරක් ගාණේ' දක්නට ලැබෙන හොර දොස්තරලා සහ හොර ඩිස්පැන්සරි වඳවී යාමත් වෛද්‍ය වෘත්තිය කිසියම් ප්‍රමිතියකට සහ ස්ථාවරත්වයට පත් වීමත් නිරායාසයෙන්ම සිදු වෙවී.
එලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇති කළ විට තරගකාරිත්වය මත උපාධියට වැයවෙන මිල තීරණය වේවි. තරඟකාරිත්වය මතම ලෝකයේ නවිනතම දැනුම, උපකරණ ඉගන්වීමේ ක්‍රමවේදයන් ලංකාවටත් ලැබේවි. දැනටත් ලංකාවේ පෞද්ගලික රෝහල් අතර ඇති තරඟය නිසා ලෝකයේ නවීනතම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම, උපකරණ,පරීක්ෂණ ආදිය අපේ ජනතාවට ලැබිලා තියෙනවා.

වෛද්‍ය පශ්චාත් උපාධි ලබාගැනීමට අපේ රටේ තියෙන්නේ ඉතාම සීමිත අවස්ථාවක් නිසා පෞද්ගලික අංශයේ මෙම විශ්ව විද්‍යාලයන් මගින් එම පශ්චාත් උපාධීන් පවා ලබාගැනීමට පහසුකම් සැලසීම සුදුසු වෙනවා. එමගින් පෞද්ගලික අංශයට වෙනම විශේෂඥ වෛද්‍යවරුන් බිහිකිරීම ඉතා ඵලදායි වනවා. එමගින් රජයේ වෛද්‍ය සේවයට සමගාමීව පූර්ණකාලීන පෞද්ගලික වෛද්‍ය සේවයක් බිහිවේවි. එමගින් රාජ්‍ය සම්පත් අවභාවිතාවත් අවම වේවි. උද්ඝෝෂණය කළයුත්තේ අවම පහසුකම් සහිත රජරට සහ නැගෙනහිර වැනි රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් සයිටම් ආයතනයේ මට්ටමට පහසුකම් සපයන ලෙසයි.

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන දරුවන්ගේ පාඨමාලාවේ අඩුපාඩු ඇත්නම් සුදුසු පරිදි ප්‍රමාණවත් පුහුණුවක් ලබාදීමත් ඉන් අනතුරුව එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අධීක්ෂණය මත ගුණාත්මකව ඉදිරියට පවත්වාගෙන යාමටත් පියවර ගැනීම වැදගත් වනවා. ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සදහා එහි පාලන අධිකාරියට උදව්කළ යුතු වනවා. ඔවුන්ගේ සායනික පුහුණුවට මුදල් අයකර හෝ රජයේ රෝහල් ලබාදිය යුතුවෙනවා. කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාල හිමියෙක් හිතාමතාම ගුණාත්මක අතින් පහත් උපාධි පිරිනමන්න උත්සාහ ගන්නේ නැහැ.
කැළණිය සහ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍යපීඨයන් වල සේම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ එම් .බී. බී. එස්. අවසාන උපාධි පරීක්ෂකයකු වන විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද පෙරේරා මාධ්‍යයට පැවසූ මේ අදහසත් අතිශයින්ම වැදගත්.

“ මගේ අත්දැකීම් වල හැටියට රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුවෙකුගේ දැනුම් මට්ටම කුසලතා සයිටම් විශ්ව විද්‍යාල සිසුවෙකුගේ කුසලතා අතර කිසිම වෙනසක් නෑ. නමුත් ඇතැම් අවස්ථා වලදී රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට වඩා දැනුම හා කුසලතා අතින් වැඩි සිසුන් සයිටම් ආයතනයේදී මට හමුවී තිබෙනවා.”

වෛද්‍යවරයෙකුට වැරදුනහොත් එක් පුද්ගලයෙක් වරෙකට මිය යා හැකියි. එහෙත් එවනි අවාසනාවත්ත සිදුවිමකින් පසුව එය එම වෛද්‍ය වරයාගේ වෘත්තියටත් අයහපත් බලපෑමක් සිදුවෙනවා. නමුත් ගුවන් යානා ඉංජිනේරුවෙකුට හෝ මහල් ගනණාවක් උස ගොඩනැගිලි හදන ඉංජිනේරුවෙකුට වැරදුණහොත් ජීවිත දහස් ගණනක් එකවර විනාශ වෙනවා. ඒ නිසා මෙම වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය ගැන දක්වන උනන්දුව පෞද්ගලික අංශයෙන් දැන් කිසිදු විරෝධයකින් තොරවම ලබාදෙන ඉංජිනේරු උපාධීන් සදහා නොදක්වන්නේ ඇයිද යන්න ගැටලු සහගතයි. පිරිසක් එක්කරගත් පමණින්, උද්ඝෝෂණ විරෝධතා සංවිධානය කළද ඉන් සමස්ත ශ්‍රීලාංකීය ජනතාවම නියෝජනය වන්නේ නැහැ. බොහෝ සංවිධාන පදනමක් නොමැතිවම මෙම විරෝධතාවලට සහභාගීවන්නේ මෙම විරෝධතාවයන්ගේ පෙරමුණේ සිටින්නේ මෙරට ජන ජීවිතයට සෘජු බලපෑමක් එල්ල කළහැකි ප්‍රබල වෘත්තීය සමිතියක්වන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය නිසා ඔවුන්ගේ "පහනින්" තමන්ද ගොඩයාමේ අරමුණින් බවත් නම් පැහැදිලියි.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ MBBS (PERADENIYA)

Comments  

0 #1 De Silva 2017-03-20 17:01
wELL SAID DOCTOR.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දුර්වල විභාග ක්‍රමයකින් විශිෂ්ටතමයන් බිහිවන්නේ කොහොමද?

IMAGE 2017 Mar 29 17:01
පාසල් අධ්‍යාපනයේ වර්තමාන විභාග ක්‍රමය ඉතා දුර්වල බව ජනාධිපති වරයාගේ සිට රටේ සැවොම එක සේ...
Views - 271

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

IMAGE 2017 Mar 29 16:16
ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව...
Views - 414

උල්කාපාතයෙන් ජපාන යේ රංගන වරම් හිමිකරගත් ටිකිරිබණ්ඩා

IMAGE 2017 Mar 29 15:58
ලෝක ප‍්‍රසිද්ධියට පත් පොළොන්නරුව දිඹුලාගල කුඩාවැව වෙල්යායට පතිත වු උල්කාපාත කොටස් සම්බන්ධ...
Views - 791

වලපනේට බස් රථ බැරි නම් තවලම් සේවයක් වත් ඕනෑ

IMAGE 2017 Mar 29 11:11
මාර්ග පහසුකම් නොතිබූ අතීතයේ කන්ද උඩරට වලපනේ ප්‍රදේශය ප්‍රසිද්ධව තිබුණේ තවලම් සම්බන්ධයෙනි....
Views - 1168

බිග් මැච් තහනම ඇවිලෙන ගින්නක් පිදුරු වලින් වහනවා වගේ!

IMAGE 2017 Mar 28 15:52
ශ්‍රී ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය...
Views - 931

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

IMAGE 2017 Mar 28 10:26
’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම...
Views - 821

Please publish modules in offcanvas position.