lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

ඔහු අලුත් දේ කරන්න බය නොවූ සිනමාකරුවෙක්

ලාංකේය රිදී තිරයේ තවත් දැවැන්ත තාරකාවක් නිවී ගියේය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර මහතා අප අතරින් වෙන්වන විට හෙතෙම 78 වැනි වියේ පසුවිය. 1967 වසරේ තිරගත වූ “සත් සමුදුර” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා වූ ඔහු සිරි ගුණසිංහයන් සමග එහි සම තිර පිටපත් රචකයා ලෙසද කටයුතු කළේය. චිත්‍රපට 13ක් අධ්‍යක්ෂණය කරන වසන්ත ඔබේසේකර ඉන් හයකම පිටපත් රචකයා ලෙසද කටයුතු කළේය. සිරිල් වික්‍රමගේ සහ සෝමසිරි දෙහිපිටිය ප්‍රධාන රංගනයෙන් එක් වූ, වික්ටර් රත්නායකයන් ගයන “අඩවන් දෑසින් පවසනු රහසින්” ගීතයෙන් හැඩගැන්වුණු “වෙස්ගත්තෝ” (1970) යනු සිනමාවේ වසන්ත උදානයේ ඇරඹුමයි. අනතුරුව වල්මත් වූවෝ (1976), දියමන්ති (1977), පලඟැටියෝ (1979), දඩයම (1983), කැඩපතක ඡායා (1989), මාරුතය (1995), දොරකඩ මාරාව (1998), තීර්ථ යාත්‍රා (1999), සළෙළු වරම (2001), අසනි වර්ෂා (2005), සෙව්වන්දි (2006) අධ්‍යක්ෂණය කළ වසන්තගේ තිස් හත් වසරක සිනමා අධ්‍යක්ෂ භූමිකාවට විරාමය තැබෙන්නේ සෞම්‍ය ලියනගේ සහ චාන්දනී සෙනෙවිරත්න රඟන (ආගන්තුකයා) (2007) චිත්‍රපටයෙනි. මේ නිර්මාණ සඳහා හොඳම අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා ලෙස ජනාධිපති සම්මාන, සරසවි සහ OCIC සම්මාන රැසකින් පිදුම් ලැබූ වසන්ත ඔබේසේකරයන්ගේ චිත්‍රපට ජාත්‍යන්තර උළෙලද නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබිය. “වල්මත් වූවෝ” 1976 දී සෝවියට් දේශයේ Tashkent International Film Festival උළෙලත් 1975 ඉතාලියේ OCIC සිනමා උළෙලත් නියෝජනය කළ අතර “මාරුතය” 1994 දී ස්විට්සර්ලන්තයේ Fribourg International Film Festival නියෝජනය කරයි. ඒ සමගම “පළඟැටියෝ, දඩයම, දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා සහ සළෙළු වරම යන චිත්‍රපට සමගාමී වර්ෂවලදී අන්තර්ජාතික ඉන්දියානු සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් ලැබිය.
වම් ඉවුරේ සිනමාකරුවෙකු ලෙස හැඳින්වෙනු ලැබෙන වසන්ත ඔබේසේකරයන්ගේ වියෝවත් සමග ඔහු පිළිබඳ නොනිමි මතකයන් අවදි වෙමින් පවතී. ලක්බිම ඉරිදා සංග්‍රහය සමග පිළිසඳරක යෙදෙන ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් යනු වසන්ත ඔබේසේකරයන්ගේ සමකාලීන නිර්මාණ ශිල්පිනියක ලෙසින්ද හඳුන්වාදිය හැකිය. මේ අවදිවන්නේ වසන්ත පිළිබඳ සුමිත්‍රාගේ මතක මංපෙතයි.

වසන්ත ඔබේසේකරයන් සමග ඔබේ ඇසුර ගැන මතකය සිහිපත් කළොත් ?
මට මතක විදියට හැත්තෑවේ දශකයේ මුල ප්‍රංශ රජයෙන් ලංකාවට සිනමාව සම්බන්ධ ශිෂ්‍යත්වයක් ලබා දුන්නා. ඒකට අයදුම් කළ අය අතරින් හතර දෙනෙක් තෝරාගත්තා. මමයි වසන්ත ඔබේසේකර සහ කොමූර් කියන සංස්කරණ ශිල්පියා එක්ක තව එක්කෙනෙක් තමයි තේරුණේ. අපි ප්‍රංශයේ අවුරුද්දක්ම කිට්ටු මිත්‍රත්වයකින් එකට ඉගෙන ගත්තා. ඒක හරි විනෝදජනක කාලයක්. අපිට ඉගැන්නුවේ සිනමාව සහ සංස්කරණය ගැන. එතකොට ලංකාවට ටෙලිවිෂන් එක ඇවිල්ලත් නෑ. අවුරුද්ද ඉවර වුණාම වසන්ත ලංකාවට ගිහින් සිනමාවට සම්බන්ධ වුණා. මට තවත් මාස හයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණු නිසා මම පහුවෙලා ආවේ.

ලංකාවෙදි නැවත හමුවෙලා වැඩකරන්න අවස්ථාවක් ලැබුණද?
අපි එකට වැඩ කරලා නෑ. ඒත් වසන්ත ඒ කා‍ලේ ඉඳන්ම ලෙස්ටර්ව ළඟින් ආශ්‍රය කළා. වසන්ත ඒ කා‍ලේ හිටියේ ලෝරිස් පාරේ. මම විතරක් ප්‍රංශයේ ඉන්න කාලෙදීත් වසන්ත හවසට ලෙස්ටර්ව මුණ ගැහිලා කතාබහ කරන්න, ‍පොඩි මධුවිතක් තොල ගාන්න පුරුදු වෙලා හිටියා. එළියට යන වෙලාවට අපේ ගේට්ටුව ඇරලා තියෙනවා දැක්කොත් ඇවිල්ලා කතාබහ කරලා යන මට්ටමට ඒ යාළුකම තිබ්බා.

සිනමාකරුවෙක් විදියට වසන්ත ඔබේසේකර තුළින් ඔබ දුටු විශේෂත්වයන් මොනවාද?
වසන්ත හැමවෙලාවෙම අලුත් දෙයක් කරන්න ඕනේ කියලා හිතුවා. ඒක එයා හැම වෙලාවෙම කියනවත් එක්ක. සංස්කාරකවරියක් විදියට මම දකින විශේෂත්වය තමයි වසන්තගේ නිර්මාණවල ශබ්දයේ අර්ථය සහ රූපයේ අර්ථය විසංයෝජනීය බව. වසන්ත එයාගේ මුල් නිර්මාණ කීපයෙන් පස්සේ Linear narrative ඒ කියන්නේ රේඛීය ආඛ්‍යානය කියන ආකෘතිය සම්පූර්ණයෙන්ම ඛණ්ඩනය කළා. රූපයෙන් පෙන්නන දේට විරුද්ධ අදහසක් හරි වෙනත් අදහසක් හරි දනවන ශබ්දයක් යෙදවීම තමයි වසන්තගේ ක්‍රමය. ඔහු ඒ වගේ දේවල්වලට සැබෑ දක්ෂයෙක්.

වසන්ත ඔබේසේකරගේ නිර්මාණ අතරින් ඔබගේ ප්‍රියතම නිර්මාණය වෙන්නේ මොකක්ද?
පලඟැටියෝ තමයි. අනිත් හැම දේකටම වඩා ඒක ඉහළයි.

වඩාත් අවධානයට පාත්‍ර වන “දඩයම” වගේ නිර්මාණ තිබියදීත් ඔබ ඇයි “පළඟැටියෝ”ට ඇළුම් කරන්නේ?
මම විතරක් නමෛයි. ප්‍රංශයේ එකට ඉගෙන ගත්ත යාළුවෝ පවා වසන්තව ට්පචඵඵඩධනනඥප කියලා හඳුවන්වන තරමට “පළඟැටියෝ” විශිෂ්ටයි. වසන්තගේ සිනමා භාවිතය, නිර්මාණකරණයේ නිර්භීත බව, අලුත් දෙයක් කිරීමේ උනන්දුව වගේ හැම දෙයක්ම මේ චිත්‍රපටය ඇතුළේ තිබුණා.

වසන්ත ඔබේසේකරගේ නිර්මාණ සම්බන්ධව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඇගයීම කොයි වගේද?
මට හිතෙන විදියට ලෙස්ටර් වුණත් වඩාත්ම කැමති වුණේ “පලඟැටියෝ” චිත්‍රපටයට තමයි. වසන්ත කියන්නේ එයා හුඟක් ගරු කරපු නිර්මාණකරුවෙක්. වසන්තගේ නිර්මාණවල තියෙන වෙනස් බව ගැන ලෙස්ටර් පැහැදීමෙන් කතා කළා. නිතරම කිව්ව දෙයක් තමයි “වසන්ත තව ටිකක් නීට්නස් එක ගැන හිතන්න ඕනේ” කියලා.

මේ වගේ පසුබිමක වසන්ත - ලෙස්ටර් - සුමිත්‍රා කියන කුලකය එක නිර්මාණයක දකින්න නැත්තේ ඇයි?
ඒක තමයි. වසන්තගේ චිත්‍රපටවලින් බාගයක් වගේම එයාගේ තිර පිටපත්. ඒ නිසා එක්කෝ අපිට එයාගේ පිටපතක් අධ්‍යක්ෂණය කරන්න හරි එහෙමත් නැත්නම් ලෙස්ටර්ගේ පිටපතක් වසන්තට අධ්‍යක්ෂණය කරන්න හරි තිබ්බා කියලත් හිතෙනවා. ඒත් මම හිතන්නේ එහෙම දෙයක් නොවුණේ අපේ කාර්යබහුලත්වය එක්ක තමයි. අපි ඉතා හොඳ යාළුවෝ විදියට සහ සිනමාකරුවෝ විදියට අනේ‍යා්න්‍ය ගෞරවයෙන් කටයුතු කළා. ඒත් කල්පනා කරලා බලනකොට අපි ගමන් කළේ එකිනෙකට සමාන්තර සිනමා මාර්ග දෙකක කියලාත් හිතෙනවා. වසන්ත ටිකෙන් ටික එයාගේ සිනමාව හරහා එයාගේම අනන්‍යතාවක් ගොඩනගා ගන්නකොට අපිත් අපේ සිනමාව තුළ ඒ දේ සඳහා කාර්යබහුල වුණා. අන්තිමට මේ හැමදේවල්ම කරලා විවේකයක් අරගන්නකොට අපි තුන්දෙනාම වයස ගිහින්. එකට කරපු නිර්මාණයක් නෑ. ඒත් යාළුකම එහෙමම තිබුණා.

සිනමාවේ අනන්‍යතාවක් කියන දේ ගොඩනගා ගන්න වසන්ත සමත් වුණා කියලා ඔබ විශ්වාස කරනවද?
ඔව්. මුල්ම සිනමා නිර්මාණවලට වඩා ප්‍රබලව අවසානයේ කරපු නිර්මාණවල වසන්ත ඔබේසේකර කියන අනන්‍යතාව දකින්න පුළුවන්. ඒ දේ එන්නේ අත්දැකීම් සහ සිනමා භාවිතය හරහා. වසන්ත සහය අධ්‍යක්ෂණයකින් දායක වුණේ “සත් සමුදුර”ට විතරයි. ඊට පස්සේ හැම නිර්මාණයකම අධ්‍යක්ෂ එයා. එතකොට තිබ්බ සිනමාවත් එක්ක වසන්ත තමන්ගේ නිර්මාණවල ජීව ගුණය පවත්වාගෙන යන්න සමත් වුණා.

වසන්ත ඔබේසේකරගේ වෙන්ව යාම ඔබට දැනෙන්නේ කෙසේද?
මම හිතන්නේ වසන්ත සිංහල සිනමාවට ඉතුරු කරලා යන හිස්තැන තව කල්පයක් ගියත් පුරවන්න ලැබෙන්නේ නැහැ. ඔහු හැම වෙලාවෙම අත්හදා බැලීම, නවීන ක්‍රමවලින් නිර්භීත සිනමාකරුවෙක් වුණා. ඒ වගේම අලුත් පරම්පරාවට නිර්ලෝභීව තමන්ගේ දැනුම බෙදා දුන්නු ගෞරවනීය සිනමාකරුවෙක්. ලාංකේය සිනමාවට කරපු සේවය වෙනුවෙන් ස්තුති කිරීම සහ වසන්තට තුනුරුවන් සරණ ලැබේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව.

සහන් කසීර වික්‍රමසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 433

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 1502

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 1866

ජයසේන මහතාට කලකට පසු හමුවූ 'දෙවන මනමාලයා'

IMAGE 2017 Jul 19 16:26
අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර...
Views - 3747

මොළය මිය ගිය කතකට දින 123කට පසු නිවුන් දරු උපතක්

IMAGE 2017 Jul 19 12:06
මොළය මිය ගිය මවක් දින 123කට පසු නිවුන් දරුවන් බිහිකිරීමේ විශ්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ....
Views - 2722

කඳසුරිදුන්ගේ බිරියන් දෙදෙනාග‍ේ කතාව

IMAGE 2017 Jul 18 16:17
කතරගම ඇසළ උත්සවය හුදු ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි ආගමික උත්සවයක් පමණක් නොවේ. එය එක්තරා...
Views - 3375

Please publish modules in offcanvas position.