lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ඉන්දියාවේ ‘අග‍්‍රා’ නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත්, ‘ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ සංවර්ධන කොමිසම’, කෙටියෙන් හැදින්වෙන්නේ ‘එස්කැප්’ (ESCAP) සංවිධානය යනුවෙනි. තායිලන්තයේ බැංකොක් අගනුවර මූලස්ථානය කර ගෙන ක‍්‍රියාත්මක වන එය, වර්තමානයෙහි ආසියා සහ පැසිෆික් කලාපීය රටවලට මනරම් ‘සංවර්ධන සිහින’ සපයන්නාය.
වර්ෂ 2030දී පමණ සැබෑ වන්නේ යයි කියන ඔවුන්ගේ එක් ‘සංවර්ධන සිහිනයක’ අත්දැකීම, මේ ආකාරයට ‘සිතින් මවා ගැනීමට’ පුළුවන.
ඉන්දියාවේ ‘අග‍්‍රා’ නුවර සිටින ව්‍යාපාරිකයෙකුට, කිසියම් භාණ්ඩ තොගයක් ඉතා ඉක්මනින් සිංගප්පූරුවට යැවීමට  ඕනෑ වේ. ඔහු ඒවා, අග‍්‍රා නුවරින් පටන් ගන්නා ජාත්‍යන්තර AH43. අධිවේගී මහා මාර්ගයේ දිවෙන කන්ටේනර් ට‍්‍රක් රථයකට පටවයි. ඉක්බිති ට‍්‍රක් රථය සිය හුරුපුරුදු වේගයෙන් නාග්පූර්, හයිද්‍රාබාද්, බැංගලෝර්, මදුරෙයි සහ ධනුෂ්කොඩි යන ඉන්දීය නගර ඔස්සේ පැමිණ, ‘ඉන්දු-ලංකා පාලම’ හෝ ‘උමං මාර්ගය’ මතින් ශ‍්‍රී ලංකාවේ මන්නාරමට ළගාවේ. එතැන් පටන් එය දඹුල්ල, කුරුණෑගල, කොළඹ, සහ ගාල්ල ඔස්සේ මාතර නගරයට පැමිණෙයි. ට‍්‍රක් රථය එතැනින් දිවෙන්නේ හම්බන්තොට ජාත්‍යන්තර වරායටය. ඉන්දීය භාණ්ඩ තොගය එතැනින් සිංගප්පුරුවට නැව්ගත කෙරේ.
‘එස්කැප්’ (ESCAP) සිහිනයේ හැටියට, AH43. යනු අනාගතයේ ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට, ශ‍්‍රී ලංකාවේ මාතරට දිවෙන ජාත්‍යන්තර අධිවේගී මහා මාර්ගයයි. අග‍්‍රා නුවර සිට එයින් මාතරට ඇති දුර කිලෝමීටර් 3024කි. අග‍්‍රා නුවරින් ඇරඹෙන AH1. අධිවේගී මාර්ගය නවදිල්ලි අගනුවර ඔස්සේ පාකිස්තානයට දිවෙයි. AH44. අධිවේගී මහා මාර්ගය ඇරඹෙන්නේ ලංකාවේ දඹුල්ලෙනි. එය ත‍්‍රිකුණාමලය නගරය දක්වා විහිදෙයි. ඒ අනුව, ලංකාවේ ‘දඹුල්ල’, ඉන්දියාවේ ‘නාග්පූර්’ හෝ ‘ක‍්‍රිෂ්ණගිරි’ මෙන් ජාත්‍යන්තර හුවමාරු නගරයකි.
‘එස්කැප්’ (ESCAP) සිහිනය තුළ AH යනුවෙන් හැදින්වෙන්නේ, 'Asian highway' හෙවත් ‘ආසියානු අධිවේගී මාර්ගය’ යන්නයි. අනාගතයේ දී AH අංක සහිත අධිවේගී මාර්ග රාශියක්, රටවල් 32ක් පුරාවට විහිදෙන ආකාරය ඔවුන්ගේ ‘සංවර්ධන සිහිනය’ තුළ දැකිය හැකිය.
'ASian highway' හෙවත් ‘ආසියානු අධිවේගී මාර්ගය’ පිළිබද කතාව තවදුරටත් සිහිනයක්ම නොවේ. එය ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 32ක් පුරා විහිදයන ජාත්‍යන්තර සංවර්ධන ව්‍යාපෘතියකි. ඉන්දියාව මෙන්ම ලංකාව ද ඊට ඇතුළත්ය.
ඉන්දියාවේ, රාමේෂ්වරම්හි පිහිටි ‘ධනුෂ්කොඩි’ වෙරළත්, ලංකාවේ, තලේමන්නාරමේ වෙරළත් යා කෙරෙන  ‘ගොඩබිම් පාලමක්’ සහ මුහුද යටින් දිවෙන ‘උමං මාර්ගයක්’ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ගැන කතාබහක්, දැන් කලක පටන්ම වරින්වර අසන්නට ලැබේ.
ඉන්දු - ලංකා පාලම් සහ උමං මාර්ග ව්‍යාපෘතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුදත් අති විශාල අන්තර්ජාතික සංවර්ධන සැලසුමක කොටසකි. එය ක‍්‍රියාත්මක කරන්නේ ‘එක්සත් ජාතීන්ගේ, ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ සංවර්ධන කොමිසම’ (ESCAP)  මගිනි! ඔවුන් අතින් කෙරෙන්නේ, ආසියාව සහ යුරෝපය යා වන ලෙස නව අධිවේගී මාර්ග ජාලයක් (Asian Highway  Network) ඉදිකිරීමයි. එය හඳුන්වන්නේ 'Trans Asia Road' යනුවෙනි. එයට දුම්රිය මාර්ග ජාලයක් ද අයත්වේ. යෝජිත ව්‍යාපෘතිය ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 32ක් පුරාවට පැතිර යයි. ශ‍්‍රී ලංකාව 2004 වසරේ අප‍්‍රියෙල් මස 26 වැනිදා එයට එකඟතාව පළ කරමින් අත්සන් කර තිබේ.
‘ඉන්දු-ලංකා පාලම් සහ උමං මාර්ග ව්‍යාපෘතිය’ යනුවෙන් ලංකාවේ කතාබහට ලක්ව ඇත්තේ, 'Trans Asia Road' නම් දැවැන්ත ජාත්‍යන්තර සංවර්ධන සැලසුමේ, ශ‍්‍රී ලංකාවට සම්බන්ධ යෝජනාවයි.

ඉන්දීය හෙළිදරව්ව

ඉන්දු - ලංකා පාලම් සහ උමං මාර්ග ව්‍යාපෘතිය ගැන මුලින්ම හෙළිදරව් කර තිබුණේ, 2015 වසරේය. ඒ, ඉන්දීය රජයේ ක්ෂුද්‍ර, මධ්‍ය හා කුඩා පරිමාණ කර්මාන්ත ඇමැති, කල්රාජ් මිෂ්රා විසිනි. ඊටපසුව ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිං, ඉකුත් 2015 වසරේ සැප්තැම්බර් 14, 15 සහ 16 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නියැළුණි. ඒ අතර සැප්තැම්බර් 15 වැනිදා ඉන්දීය ‘පී. ටී. අයි. (PTI)  ‘අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවාව’ අනාවරණය කළේ, පෝක් සමුද්‍රසන්ධියේ ‘ආදම්ගේ පාලම’ හරහා ඉදිකිරීමට යෝජිත පාලම සහ උමං මාර්ගය පිළිබදව ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කෙරුණු බවයි. ඔවුන් එය පළකර තිබුණේ, ඉන්දීය රජයේ ප‍්‍රවාහන හා අධිවේගී මාර්ග පිළිබද අමාත්‍ය, නිතින් ගද්කරි (Nitin Gadkri) උපුටා දක්වමිනි. ඒ සමගම එය, 'Times of India, bdnews24.com, Asian Mirror, The Indian Express, The Economic Times' ආදී ඉන්දීය සහ ආසියානු කලාපයේ සියලූම පුවත් සේවා මෙන්ම, ලංකාවේ පුවත් සේවා ඔස්සේද විකාශනය විය.
මාධ්‍යයෙහි සදහන්වූ තොරතුරු අනුව, යෝජිත පාලම සහ උමං මාර්ගය ඉදි කෙරෙන්නේ ලංකාවත් ඉන්දියාවත් අතර, පෝක් සමුද්‍රසන්ධියෙහි ඇති ‘ආදම්ගේ පාලම’ නමැති ‘වැලි පරපත් පන්තිය’ ඔස්සේය. එය ඉන්දියාවේ රාමේෂ්වරම්හි ධනුෂ්කොඩි වෙරළේ සිට, ලංකාවේ, මන්නාරමේ පිහිටි තලේමන්නාරම් වෙරළ දක්වා පැතිර ඇති වැලිපර පන්තියකි. ඒ ඔස්සේ ඉදිවන පාලම දිගින් කිලෝමීටර් 22කි. එහි මුහුදට යටින් දෙරට යා කෙරෙන උමං මාර්ගයක් ද ඉදිකෙරේ. මේ සදහා වැය වෙතැයි ගණන් බලා ඇති මුදල, ඇමෙරිකානු ඩොලර් බිලියන 5.19කි. එය ‘ණයක්’ හැටියට ලබා දෙන්නැයි ඉන්දීය රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා ඇත. ‘සාක්’ කලාපයට අයත් ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය  යන රටවල් ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කරගැනීමේ වැඩපිළිවෙළට, ශ‍්‍රී ලංකාව ද එක්කරගැනීම ව්‍යාපෘතියෙහි අරමුණයි. අමාත්‍ය නිතින් ගද්කරි මහතා උපුටා දක්වමින් ඉන්දීය පුවත් සේවාවන්හි ඒ බව පළ කර තිබේ. ඉන්දියාව සහ ලංකාව අතර ‘නිදහස් ගමනාගමනයක්’ ඇති කිරීම, ව්‍යාපෘතියෙහි ඉලක්කය බව කියවේ.

පාලමට එරෙහිව හඩක්

මේ තොරතුරු ලංකාවේ මාධ්‍යයෙහි ද පළවීමත් සමගම හටගත්තේ උණුසුම් තත්ත්වයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරු යෝජිත පාලමට එරෙහිව කතාකරන්නට පටන් ගත්හ. සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ද ඊට එරෙහි මත දක්වන්නට වූහ. ජනමාධ්‍ය ද ඉන්දු - ලංකා පාලම් ව්‍යාපෘතියට එරෙහිව හඩ නැගීය. උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා පවසා තිබුණේ, මෙය ආන්දෝලනයට පත් ‘සීපා’ ගිවිසුම ඔස්සේ කරළියට එන දෙයක් යයි කියමින්, යෝජිත පාලම නිසා ලංකාවට ඇතිවන අහිතකර තත්ත්වයන් පෙන්වා දෙමිනි. මේ අතර ඉන්දීය ‘පී. ටී. අයි. (PTI) පුවත් සේවාවේ ප‍්‍රවෘත්ති උපුටා දක්වමින්, යෝජිත පාලම් ව්‍යාපෘතිය ගැන ඉන්දියාවේත්, ලංකාවේත් ජනමාධ්‍යයෙහි දිගින් දිගටම පුවත් පළ කෙරිණි. ලංකාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී, යෝජිත පාලම් ව්‍යාපෘතිය ගැන ඔහු සමග සාකච්ඡුා කළ බව ඉන්දීය රජයේ ප‍්‍රවාහන හා අධිවේගී මාර්ග පිළිබද අමාත්‍ය නිතින් ගද්කරි පැවසී යයි, ඒවායෙහි සදහන් විය.
මුලදී ශ‍්‍රී ලංකා රජය, ඉන්දු - ලංකා පාලම් ව්‍යාපෘතිය ගැන කිසිදු අදහසක් පළ නොකළේය. ලංකා රජය එයට එකගවීද?, නැද්ද? යන්න පවා මතයක් පළ නොකෙරිණි. එහෙත් 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ, තම ඉන්දීය සංචාරයේ දී ‘ඉන්දු - ලංකා පාලම’ ගැන හෝ ‘සීපා ගිවිසුම’ සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බව කියා සිටියේය. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඉන්දීය සංචාරයේ ප‍්‍රතිඵල ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරමිණි. නවදිල්ලි නුවර පැවති සකච්ඡාවලදී, අත්සන් කිරීමට යෝජිත ‘ඉන්දු - ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම’ ගැන කතිකා කෙරුණු බවද රනිල් වික‍්‍රමසිංහ අනාවරණය කළේය. ‘ඉන්දු - ලංකා පාලම’ ගැන හෝ ‘සීපා ගිවිසුම’ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන සදහන් කළ ඔහු, ඉන් ඉන්දු - ලංකා සබඳතාවලට හානි විය හැකි යයි ද අනතුරු ඇගවීය.
කෙසේවෙතත්, 2015 වසරේ දෙසැම්බර් 16 වැනිදා ඉන්දීය ‘ද හින්දු’ පුවත්පත, ව්‍යාපෘතිය ගැන වැඩි විස්තර සහිත පුවතක්ද පළකර තිබිණි. එය පළකර තිබුණේ, ඉන්දීය රජයේ අමාත්‍ය, නිතින් ගද්කරි (Nitin Gadkri) උපුටා දක්වමිණි.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

(ලබන සතියේ තව කොටසක්)

(ESCAP සංවිධානයේ නිල වෙබ් අඩවියෙහි එන තොරතුරු ඇසුරිනි)

Comments  

-1 #1 sisi 2017-05-02 13:01
me wage dee walata virudhdha wenna epa
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 198

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 1859

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 1413

මත්පැන් ‘තිත්ත කරන’ පෙත්ත අතුරුදන්?

IMAGE 2017 Aug 15 17:23
මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල...
Views - 1128

කාලගුණ විද්‍යාඥයන් සුනාමි ගැන දන්නෙ කොහොමද? (Voice cut)

IMAGE 2017 Aug 15 13:00
සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර...
Views - 676

අත්තනගලු ඔයේ මාළුන්ට දන්සලක් (Video)

IMAGE 2017 Aug 14 12:58
ලක් ඉතිහාසයේ එදා මෙදා තුර වාර්තා වන සුවිසල්ම දානය සිරිසඟබෝ රජතුමා විසින් පිරිනමන ලද්දකි. ඒ...
Views - 2029

Please publish modules in offcanvas position.