lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

නාගරික නෝනලාගේ ‘මයිල්ඩ් හාල්’ සංස්කෘතියෙන් අත් මිදෙමු

කොතෙක් අගහිඟකම් පැවැතිය ද දැන් උදාවී ඇත්තේ අප්‍රේල් මාසයයි. එය මුළු රටම පාහේ උත්සව පවත්වන මාසයක් බව නොදන්නා කෙනෙක් නැත. අප්‍රේල් මාසයේ ලංකාවේ පැවැත්වෙන ලොකුම ජාතික උත්සවය 'සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයයි' සමහරු එයට 'සිංහල හා දෙමළ අවුරුද්ද' යයි ද කියති. ලංකාවේ සිංහල ජනයාද, දෙමළ ජනයාද සමෝසමේ අලුත් අවුරුද්ද සැමරීම එයට හේතුවයි. කැලැන්ඩර් ව්‍යවහාරයෙන් අප්‍රේල් යයි කියන මාසය, දකුණේ සිංහල ක්‍රමයට අනුව 'බක්' මාසයයි.
මේ ලිපිය ලියන්නේ ළඟ එන 'අලුත් අවුරුද්ද ගැන කීමටම නොවේ. මුළු රටම වැළඳ ගෙන සිටින 'ජේත්තුකාර ආහාර සත්තාවක්', අලුත් අවුරුද්ද පිටින් දමා 'යහපත් අතට' පෙරළාගත හැකි බව මතක් කර දීමටය. එනම් කොළඹ ද ඇතුළුව නාගරික සමාජයේ දැන උගත් නෝනලා, සිංහල භාෂාවේ 'ඩී' අක්ෂරය නිවැරදිව උසුරුවමින් 'මයිල්ඩ්' යයි තෙපලන ඉංගිරිසි වචනයේ 'රෝගී ස්වභාවය' ගැන යමක් පැහැදිලි කර දීමටය. කොළඹ ද ඇතුළුව නාගරික සමාජයේ නෝනලා බොහොම දෙනෙක් 'බත් කෑම' සම්බන්ධයෙන් 'මයිල්ඩ්' යන කාරණය අධික ලෙස ප්‍රිය කිරීම ඊට හේතුවයි.
ඔවුන්ට අනුව 'බතට' ගන්නා සහල 'මයිල්ඩ්' නැතිනම් එය 'මහත් ජරා හාලකි' ඒ අයට 'රතු සහල්' අප්පිරියා සහගත දෙයකි. හාල්වල ‍පොත්ත රතු නම් අරහංය එබැවින් බොහොම දෙනෙක් බත සරිකර ගන්නේ, 'සුදු' සහල්වලිනි. නාගරික සමාජය සහල් තෝරා ගැනීමේදී 'මයිල්ඩ්' යයි කියන්නේ එයින් ඉදෙන බත, 'සුමුදු' කෑමට පහසු, සිනිඳු බවින් අනූන වීමයි. 'සුදු සහල් වර්ග' හෝ 'රතු කුරුට්ට' (නිවුඩ්ඩ) ඉවත් වන තරමට පාහින ලද රතු සහල් වර්ග 'මයිල්ඩ්'ය.
ඔවුන් සිතන ආකාරයට, රතු කුරුට්ට සහිත සහල් වර්ග 'මයිල්ඩ් නැති බැවින්' කෑමට දුෂ්කරය. සුදු සහල් නම් 'හොඳටෝම මයිල්ඩ්'ය. අනෙක නාගරික සමාජය බෙහෙවින් ප්‍රියකරන 'සම්බා' හෝ 'කීරි සම්බා' යන සහල් වර්ග, උපරිමයෙන්ම 'මයිල්ඩ්' බව ඔවුන්ගේ ඇදහීමයි. ‍පොදු ව්‍යවහාරයේදී ඒවා 'සුදු සහල්'ය.
නාගරික හෝ වේවා, ග්‍රාමීය හෝ වේවා 'මයිල්ඩ්' සහල්වල සුමුදු රසයට වහවැටුණු බොහොම දෙනෙක් නිතර මුණගැසිය හැකි ස්ථානද එමට තිබේ. මහේශාක්‍ය පෞද්ගලික රෝහල් හෝ චැනල් සේවා මධ්‍යස්ථාන ඉන් ප්‍රධානය. දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය, ‍පෝෂණ ඌණතා රෝග (නීරක්තිය වැනි) සහ අධි ‍පෝෂණය මුල්කර ගෙන වැළඳෙන රෝගාබාධ ඔවුන් අතර සුලභය. ඒ අයට, සුදු හෝ මයිල්ඩ් සහ‍ලේ බත කකා, බෙහෙත් බිබි ජීවත් වන්නට සිදුවී තිබේ.
දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණවීම වැනි බෝ නොවන, නිදන්ගත රෝග වැළඳීමට හේතුවන ප්‍රධාන කාරණය. 'මයිල්ඩ්' හෝ 'සුදු සහල්' බත ආහාරයට ගැනීම නොවන බව සත්‍යයකි. එහෙත් එය 'සැලකිය යුතු කාරණාවක්' බව වර්තමාන පිළිගැනීමයි. පැරණි දේශීය වෙදකමේ මෙන්ම නව විද්‍යාත්මක පර්යේෂණ මගින් හෙළිදරව්වී ඇත්තේ, 'මයිල්ඩ් කළ' රතු සහල් හෝ 'සුදු සහල්වල' මෙලෝ
‍පෝෂණ ගුණයක් නැති බවයි. වෛද්‍යවරුන්ද කියන්නේ නිතරම 'රතු සහල්වල' බත වළඳන ලෙසය.
එහෙත් රටවැසියන් විශාල පිරිසක් තවමත් 'කුරුට්ට' හෙවත් 'නිවුඩ්ඩ' නැසූ රතු සහල් හෝ සුදු සහල් වර්ග හඹා යමින් සිටිති. ළඟ ඕන අලුත් අවුරුද්දට ද ඔවුන් 'හොඳටෝම මයිල්ඩ්' කළ රතු සහල් හෝ සුදු සහල් මිලදී ගන්නවා ඇත.
රටට අවශ්‍ය 'බත' සැපයීම, ලංකාවේ අතීත රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි ප්‍රධාන කාර්ය භාරය වූයේය. එකල භාවිත කෙරුණේ 'දේශීය පාරම්පරික වී වර්ග'යි. රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව 'යල සහ මහ' වශයෙන් 'කන්න'  (වී වගා කෙරෙන වකවානු) දෙකකදී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිත විය.
වර්තමානයේ රට පුරා වගා කෙරෙන්නේ 'නව වැඩිදියුණු කළ' නවීන වී ප්‍රභේදයන්ය. එසේ වුව ද, බත මෙන්ම සහල ද උපදින 'වී' වර්තමානයේ පවා අපේ රටේ වගා කෙරෙන ප්‍රධාන ආහාර බෝගයයි. රටේ සමස්ත කෘෂිකාර්මික භූමියෙන් සියයට 34ක් පමණ වෙන්ව ඇත්තේ 'වී' වගාව පිණිසය. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2015 වසරේ රටේ සමස්ත වී නිපැයුම මෙට්‍රික් ටොන් මිලියන 4.8කි. වී අස්වනු නෙළා ගත් සමස්ත භූමිය, හෙක්ටයාර් 10,88,374කි. හෙක්ටයාර් එකක සාමාන්‍ය වී අස්වනු ඵලදායීතාව කිලෝ ග්‍රෑම් 4429කි.
වර්තමාන ලංකාවේ ගොවීන් බහුතරයක් වගා කරන්නේ, දෙමුහුන් සහ නව වැඩිදියුණු කළ නවීන වී ප්‍රභේද බව ඉහත ද සඳහන් කළෙමු. ඒ සඳහා කෘත්‍රිම රසායනික ‍පොහොර, කෘත්‍රිම රසායනික පළිබෝධනාශක වර්ග, නවීන වගා උපක්‍රම, නවීන උපකරණ හා යන්ත්‍ර ද බහුලව භාවිතා කෙරේ. එය නවීන කෘත්‍රිම රසායනික ගොවිතැනකි. 'බත' රටේ ප්‍රධාන ආහාරය වන බැවින්, ලංකාවාසීන්ගේ වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 100ක් යයි ද ගණන් බලා තිබේ. දැන් මුළු රටම නවීන, රසායනික වී ගොවිතැනින් උපදින බත අනුභව කරන බව, මෙහි අර්ථයයි. එය රටට ප්‍රචලිත වූයේ වර්ෂ 1960න් පසුව එළඹුණු සුප්‍රකට 'හරිත විප්ලවයේ' අනුහසිනි.
හරිත විප්ලවයෙන් උපන් නවීන බත අනුභව කරන අපට, එසේම 'මයිල්ඩ් කළ' හෝ 'සුදු සහල්' බහුලව අනුභව කරන අපට දැන් සිදුව ඇත්තේ කුමක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීම සඳහා ලංකාවේ 'යුනිසෙෆ්' ආයතනයේ (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) නිල වබේ අඩවියට යා යුතුය.

ලංකාවේ ජනතාවට ඔවුන් පිරිනමා ඇති ‘සෞඛ්‍ය සහතිකය’ මෙසේය.

ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 29ක්ම, අඩුබර දරුවන් වශයෙන් (උපත් බර කිලෝ ග්‍රෑම් 2.5ට අඩු) උපත ලැබුවෝ වෙති. රටේ සමහර දිස්ත්‍රික්කවල මේ අනුපාතිකය සියයට 37.4කි.

ලංකාවේ අඩු බර දරුවන් වැඩියෙන්ම වාර්තා වන දිස්ත්‍රික්කය (සියයට 32.8) බදුල්ලයි. ඊළඟට ත්‍රිකුණාමලය (සියයට 27.8)යි. මහනුවර දිස්ත්‍රික්කයේ එය සියයට 25.3කි. ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 11.6කි.

ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන්, බර අනුව උස ප්‍රමාණවත් නොවන පිරිස සියයට 14කි. වයසට අනුව බර නැතිකමින් පෙළෙන පිරිස සියයට 29කි. ළමුන්ගෙන් සියයට 7ක්ම අධික බර ඇති අයයි.

වයස මාස 06-11 අතර දරුවන්ගෙන් සියයට 58ක්ද, මාස 12-23 අතර දරුවන්ගෙන් සියයට 38ක්ද, නීරක්තියෙන් (‍ලේ හිඟකමෙන්) පෙළෙන්නෝය.

ගැබිනි කාන්තාවන් අතර නීරක්ති තත්ත්වය සියයට 16කි.
'යුනිසෙෆ්' නිල වබේ අඩවිය මෙසේ කියන විට, සෞඛ්‍ය අමාත්‍යාංශ කළ සමීක්ෂණයකට අනුව බෝ නොවන, නිදන්ගත රෝග පිළිබඳ තත්ත්වය මෙසේය.

රටේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 39කි.

දියවැඩියාවෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 30.4කි.

හෘද රෝගවලින් පෙළෙන්නන් සංඛ්‍යාව සියයට 9.0කි.
මේ කාරණාවලින් පෙන්නුම් කරන්නේ කුමක්ද? 1960 වසරෙන් පසුව, හරිත විප්ලවයෙන් උපන් බත අනුභව කරන මිනිසුන් ලෙඩ දුකට වැටී ඇති බව නොවේද? හොඳටෝම 'මයිල්ඩ් කළ' හෝ 'සුදු සහල්' බත් අනුභව කළ අය ද ලෙඩවී ඇති බව නොවේද?
ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය වර්ෂ 2000 දී පටන්, අපේ රටේ දේශීය පාරම්පරික සහල්වල ‍පෝෂණ ගුණය සහ බෝ නොවන රෝග පාලන ගුණය අරභයා දැවැන්ත පර්යේෂණ මාලාවක් කළේය. එය සිදු වූයේ කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාරගේ මෙහෙයවීමෙනි.
කාර්මික තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් වන ආචාර්ය නන්දනී එදිරිවීර (කෘෂි සහ ආහාර තාක්ෂණ අංශයේ හිටපු ප්‍රධානී) දමිතා රාජපක්ෂ, ආචාර්ය තේජා හේරත්, බෝඹුවල වී පර්යේෂණ ආයතනයේ ආචාර්ය අමිතා පී. බෙන්තොට, ආචාර්ය එස්.එම්. විජේසුන්දර ඇතුළු විද්වතුන් පිරිසක් දේශීය සහල්වල ‍පෝෂණ ගුණය අරභයා පර්යේෂණ කළහ. දේශීය පාරම්පරික සහල්වල බෝ නොවන රෝග පාලන ගුණය ගැන පර්යේෂණය කළේ, කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ
පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය කාංචන අබේසේකරයි. පාකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකාවේ අකන්සාස් විශ්වවිද්‍යාලයේ සහාය එයට ලැබිණි.

පර්යේෂණ මාලාවෙන් හෙළිදරව්වූ අන්දමට,

දේශීය පාරම්පරික රතු සහල් වර්ග (රතු කුරුට්ට සහිත) බොහොමයක, දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග පාලනය කිරීමේ විශිෂ්ට ගුණයක් ඇත.

එසේම දැනට භාවිතයේ ඇති 'නව වැඩිදියුණු කළ' වී වර්ගවල 'රතු සහ‍ලේ' ද (රතු කුරුට්ට සහිත) බෝ නොවන රෝග පාලනය කිරීමේ ගුණ යම් තරමකට තිබේ. එහෙත් දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල බෝ නොවන රෝග පාලනය කිරීමේ ගුණය ඊට වඩා වැඩිය.

පොදුවේ, රතු කුරුට්ට සහිත සහල්වල බෝ නොවන රෝග පාලනය කිරීමේ ගුණ යහමින් තිබේ. එහෙත් සුදු සහල්වල හෝ රතු කුරුට්ට ඉවත් කළ (මයිල්ඩ් කළ) සහල්වල එබඳු ගුණයක් නැත්තේය. සහල්වල ඇති ‍පෝෂණීය සහ ඖෂධීය ගුණ සියල්ල, එහි ඇති 'රතු කුරුට්ටේ' අන්තර්ගතව තිබිම ඊට හේතුවයි. කුරුට්ට හෙවත් නිවුඩ්ඩ ඉවත් කළ විට සහ‍ලේ ඇති යකඩ සංයුතිය සියයට 80කට වඩා ඉවත්ව යයි.

බෝ නොවන රෝග පාලනය සම්බන්ධයෙන්, සුදු හීනැටි, ගොඩ හීනැටි, දික් වී සහ මසුරන් යන දේශීය පාරම්පරික සහල් වර්ගවල ඇති ගුණය ඉතා විශිෂ්ට බව පර්යේෂණයෙන් හෙළි විය. එබැවින් කාර්මික තාක්ෂණ ආයතනය කියන්නේ, නිතරම 'රතු සහල්' (මයිල්ඩ් නොකළ) ආහාරයට ගැනීමෙන් නිරෝගී ජීවිතයකට උරුමකම් කිව හැකි බවය. එසේම දේශීය පාරම්පරික රතු සහල් වර්ගවල බත අනුභව කරන්නට හැකි නම්, ඊටත් වඩා හොඳය. එයින් නිරෝගී බව තව තවත් වැඩිවේ.
කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණයට හසුවූ දේශීය පාරම්පරික සහල් වර්ග 25කින්, වැඩිම ‍ප්‍රෝටීන් සංයුතිය වාර්තා වූයේ (සියයට 13.3ක්) පච්චපෙරුමාල් සහලෙනි. අවමය වාර්තා වූයේ (සියයට 10.7) සුලැයි සහලෙනි. පාරම්පරික සහල්වල යකඩ සංයුතිය වැඩිම (සියයට 3.4ක්) සහල රතු හීනැටිය. අඩුම සහල (සියයට 2.1) හොඬරවාලය. දේශීය පාරම්පරික සහල්වල සින්ක් සංයුතියද සියයට 2.9ත් 3.9ත් අතර විය.
* එහෙත් ජනප්‍රිය 'කීරි සම්බා' (බි.ජී. 360) සහ‍ලේ ‍ප්‍රෝටීන සංයුතිය සියයට 7.4කි. යකඩ සංයුතිය සියයට 1.8කි. සින්ක් සංයුතිය සියයට 2.5කි.
* සුප්‍රකට මහ සම්බා (බි.ජී. 358) සහ‍ලේ ‍ප්‍රෝටීන සංයුතිය සියයට 6.6කි. යකඩ සංයුතිය සියයට 1.8කි. සින්ක් සංයුතිය සියයට 2.7කි.
* බි.ජී. 352 නම් සුදු සහ‍ලේ ‍ප්‍රෝටීන සංයුතිය සියයට 7.5කි. යකඩ සංයුතිය සියයට 1.9කි. සින්ක් සංයුතිය සියයට 2.9කි.
මෙයින් පෙනෙන්නේ සුප්‍රකට, මහේශාක්‍ය, මිල අධික, කීරි සම්බා ඇතුළු සුදු සහල් වර්ගවල මෙලෝ ගුණයක් නැති බවය. එසේම ඒවා නිරන්තරව ආහාරයට ගැනීමෙන් මහජනයාගේ සෞඛ්‍යය රැකෙන්නේද නැති බවය.
එබැවින් මෙවර අලුත් අවුරුද්දට, 'මයිල්ඩ් නොකළ' රතු සහල් අනුභව කිරීමෙන් නිරෝගිමත් ජීවිතයකට මුලපුරන්නට පුළුවන. නාගරික නෝනලාගේ 'මයිල්ඩ් හාල්' සංස්කෘතියෙන් අත්මිදී, 'රතු සහල්' භාවිතයට එළඹීම කොයි අතටත් හොඳය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

Comments  

-3 #1 roshan 2017-04-02 19:15
Good news
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2629

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1072

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8836

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3900

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.