lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

සිංහල අලුත් අවුරුද්දට වෙනස් දෙමළ අලුත් අවුරුද්ද

උදාවන අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වශයෙන් හැඳින්වුව ද දෙමළ ජනතාව මේ සඳහා සූදානම් වන ආකාරය, ඔවුන්ගේ චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදිය පිළිබඳ එතරම් අවබෝධයක්  අප තුළ නැත. අප දකින්නේ අලුත් අවුරුදු දිනයේ රූපවාහිනී සජීවී විකාශන ඔස්සේ දෙමළ ජනතාව අලුත් අවුරුදු උළෙල පවත්වන ආකාරය පමණි. ඉන් ඔබ්බට අප ඒ පිළිබඳ සොයා බලන්නේ නැත. නමුත් අප දකින දෙයට වඩා, එය පසුපස අප නොදන්නා දෑ බොහොමයක් තිබේ. අප රට පුරා දෙමළ ජනතාව විසිරී පැතිරී සිටියත් අපේ‍්‍රල් මාසයේ උදාවන අලුත් අවුරුද්ද උත්සවශ‍්‍රීයෙන් සමරන්නට පෙළඹෙන්නේ බොහෝ විට ශ‍්‍රී ලාංකීය දෙමළ බහුතරයක් වෙසෙන උතුරු පළාතේ ය. ඊට අමතරව කොළඹ වැනි ශ‍්‍රී ලාංකීය දෙමළ ජනතාව ද මෙය සමරති. ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ජනතාව මේ සම්බන්ධ විශේෂ උනන්දුවක් නොදක්වති.

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද හින්දු චාරිත‍්‍ර වාරිත‍්‍ර හා විශ්වාසයන් පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ මෙය අපගේ අලූත් අවුරුදු උත්සවයට සපුරාම වෙනස් උත්සවයක් බව ය. අප රටින් බැහැර සමස්ත ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සමරන ආකාරය අනුව එම වෙනස්කම තවත් පැහැදිලිව පෙනෙයි. අප රටේ සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ ජාතික නැකැත් කමිටුව මගිනි.එසේ වුව ද තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ අපේ‍්‍රල් 14වැනිදා ය. ඒ අනුව අප රටේ දෙමළ ජනතාව ද මෙරට ජාතික නැකත් කමිටුවේ නියමයන් පිළිනොපදිති.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප‍්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන්නේ අපේ‍්‍රල් ය. එය චිත‍්‍රා මාසය නමින් හැඳින්වෙයි. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ‍්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‘සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද මෙම මාසයේ දී ය. මෙම මාසය දෙමළ බසින් ‘පුත්තන්ඩු’, ‘වරුද පයිරප්පු’ හෝ ‘චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ‘පුත්තන්ඩු වාස්තුකල්’ හෝ ‘ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කාල්’ යැයි පවසමින් දෙමළ ජනතාව අලූත් අවුරුදු දිනයේ දී එකිනෙකාට සුබ පතති. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපූර්, මිතිලා, මඩිෂා, ත‍්‍රිපුර ආදී ප‍්‍රාන්තවල ද මෙම දිනයේ අලූත් අවුරුද්ද සැමරේ.

හින්දු ආගමික විශ්වාසයන්ට අනුව ලෝකය මැවූ බ‍්‍රහ්ම විසින් වසර දිවා රාත‍්‍රී දෙකොටසකට බෙදා තිබේ. ඒ අනුව සෑම වසරකම ජනවාරි 14-17අතර දිනයක යෙදෙන තෛපොංගල් ඔවුන්ගේ වාර්ෂික දහවලේ උදාව හෙවත් සූර්ය මංගල්‍යය සැමරෙන දිනයයි. ඉන් මාස දහයකට පසු ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේ දිනයෙක එළැඹෙන දීපාවලී උළෙල එම වාර්ෂික රාත‍්‍රියේ ආරම්භක උත්සවයයි. පහන් වැට යන අරුත දෙන දීප + ආවලී යන වදනින්ම එය රාත‍්‍රිය හා සම්බන්ධ උත්සවයක් බව පැහැදිලි ය.

මෙසේ බ‍්‍රහ්මගේ ලෝක නිර්මාණය අනුව හින්දුන්ට මාස දහයක ආධ්‍යාත්මික දහවලක් සහ මාස තුනක ආධ්‍යාත්මික රාත‍්‍රියක් හිමිවෙයි.  එහෙත් ඔවුන් ‘චිත‍්‍රා’ මාසය පදනම් කරගත් මේ අලුත් අවුරුදු උත්සවය සමරනුයේ එම ආධ්‍යාත්මික දිවා රාත‍්‍රී භේදය අනුව නොවේ. බ‍්‍රහ්මයා විසින් ‘සත්‍ය යුග’ නම් නව යුගයක් උදාකිරීම මුල් කරගනිමිනි. දකුණු ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල උදාගී, යුගාදී, සම්වත්සාරාදී ආදී නම්වලින් හැඳින්වෙන මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දට යම් තරමකට සමානය. එසේවුවත් මෙය සැමරෙනුයේ මාර්තු මාසයේ දෙවන අර්ධයේ හෝ අපේ‍්‍රල් මාසයේ මුල් අර්ධයේ ය. ඒ කෙසේ හෝ අපේ‍්‍රල් 14දාට යෙදෙන පුත්තාන්ඩු අලූත් අවුරුදු උළෙල වෙනුවෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල නිවාඩු දිනයක් ප‍්‍රකාශයට පත් කෙරේ. මෙම උළෙල වෛශාඛි, මේෂ සංක‍්‍රාන්ති ආදී නම්වලින් ද ඒ ඒ ප‍්‍රදේශබදව සැමරෙයි. ඉන්දීය මධ්‍යම රජය මගින් අපේ‍්‍රල් 14දින නිවාඩුව ප‍්‍රකාශයට පත්කොට ඇති අතර ඒ ඉන්දීය මානව හිතවාදියකු වන බී. ආර්. අම්බෙඞ්කාර් තුමන්ගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් මිස අලුත් අවුරුද්දක් මුල් කොට නොවේ.

අප රටේ සේම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමේ පදනම ඇති අස්වනු මංගල්‍යයක් වන මෙය ඉන්දියාවේ ප‍්‍රසිද්ධියට පත්වී ඇත්තේ ප‍්‍රාදේශීය අලූත් අවුරුදු උළෙලක් ලෙසිනි. අප සිංහල අලූත් අවුරුද්දේ ස්නානයට වැදගත් අංගයක් හිමිවන සේ ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශවල මෙම උත්සවය ද සම්බන්ධ ප‍්‍රධානම අංගය වනුයේ ශුද්ධ ජලය ස්නානය කිරීම ය.

ඒ තත්ත්වය පසෙක තිබිය දී අපි දැන් දෙමළ අලූත් අවුරුදු චාරිත‍්‍ර සමහරක් වෙත යොමුවෙමු.

අලූත් අවුරුදු දිනයේ අලූයමින් අවදි වන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැුගෙන යාමේ චාරිත‍්‍රයක් තිබේ. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප‍්‍රතිමාවන් වේ. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද පෙන්වනු ලබයි. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

දෙමළ නිවෙස්වලට ඇතුළු වන දොරටුව අසල බිම කාන්තාවන් විසින් ‘කෝලම්’ හෝ ‘රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙය අපගේ සිංහල අලූත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සමාන ය. මෙම කෝලම් රටාවලට මැදින් ‘කුක්තු විලක්කු’ නම් පහනක් තබනු ලබයි. ‘කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත‍්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‘කන්නි’ යන්නෙහි අරුත වන්නේ ‘සුබ දසුන’ වැන්නකි. ඔවුහු මේ අවස්ථාවේ දී රන් ආභරණ, පලතුරු, එළවළු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ද විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල නිවෙස් ෙදාරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්ලා තිබෙනු දැකිය හැකි ය. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ  දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේ දී ඒ අසලින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා එ්වා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලූත් අවුරුද්ද සමග මුසුකර ගැනීම මගින් තම ජීවිත වෙත එල්ල වන අභියෝගයන්ට මුහුණ දීමට පන්නරයක් හා ශක්තියක් දෙමළ ජනතාව අපේක්ෂා කරති. දෙමළ ජනතාව අලූත් අවුරුදු දිනයේ දී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලූත් අවුරුද්දේ ‘කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදු කෙරෙන්නේ අවිවාහක තරුණ තරුණියන්, විශේෂයෙන් කුඩා දරුවන් සමඟ ය. එයින් බලාපොරොත්තු වන්නේ වාසනාවන්ත බවයි. මෙය සිංහල අලූත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට යම් සබැඳියාවක් දක්වයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‘ආර්පිඩු’ නමින් හැඳින්වේ. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සමාන ය. සිංහල ජනතාව මෙන්ම ශ‍්‍රී ලාංකික දෙමළ ජනතාවට ද පුණ්‍ය කාලයක් තිබේ. එය ‘පුණ්‍ය කාලම්’ නම් වේ. එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ‍්‍ර ‘මරුති-නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදු කරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත‍්‍රයට සමාන ය. නමුත් අප හා ඔවුන් අතර පවත්නා මෙම අවුරුදු සැමරුම්වල ප‍්‍රධාන වෙනසක් ද තිබේ. එනම් අප දින කිහිපයක් තුළ ඉටු කරන අලුත් අවුරුදු චාරිත‍්‍ර ඔවුන් එක් දිනයක් තුළ ඉටු කොට නිමා කිරීම ය.

 

 

 

Please publish modules in offcanvas position.