lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

වත්මන් සිංහල අලුත් අවුරුද්දේ “නිල පානය” අරක්කුද?

නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් සිංහල අලූත් අවුරුද්දේ ‘‘නිල ආහාරය’’ කිරිබත ය. එහෙත් නිල පානයක් පිළිබඳව කිසි තැනක සඳහන්ව නැත. නමුදු ඇත්ත ඇති සැටියෙන් කතා කළහොත් සිංහල අලූත් අවුරුද්දේ ජාතික මට්ටමේ ව්‍යවහාරික නිල පානය තේ, කෝපි, බෙලි මල්, ඉරමුසු හෝ රණවරා නොවේ. එය වූ කලී ඒකාන්ත වශයෙන් අරක්කුම ය.

මෙය සිංහල අලුත් අවුරුද්දේ “ගුණ රුව” අතිශයෝක්තියෙන් වර්ණනා කෙරෙන සමයකි. නමුදු එතුළ ගැබ්වී ඇති දුර්දාන්ත ලක්ෂණ පිළිබඳව නිසි සමාජ කතිකාවක් හට ගෙන නැත. එහෙත් ඒ පිළිබඳව විවෘත සමාජ කතිකාවක් අත්‍යවශ්‍ය වී තිබේ. ඒ සිංහල අලුත් අවුරුද්දේ පරමාදර්ශයක් වන සදාචාර වර්ධනය නූතනයේ නිසි පරිදි ස්ථාපිත වී නොමැති බැවිනි.

සිංහල අලූත් අවුරුද්ද පිළිබඳ මෙම සදාචාර පරිහානිය ක‍්‍රමයෙන් වර්ධනය වූවකි. නමුත් මගේ නිරීක්ෂණ අනුව එය වේගවත් අයුරින් වර්ධනය වීමට පටන් ගන්නට ඇත්තේ අප රටේ පාලනය ඉංග‍්‍රීසීන් හට අයත් වූ දහ නව වන සියවසේ සිට ය.  ප‍්‍රසිද්ධියේ නොකළ යුතු බවට යම් සමාජ සම්මතයක්ව පැවැති සුරාපානයට සහ ගව මාංශ අනුභවයට ඉංග‍්‍රීසි යුගයේ යම් සමාජමය වටිනාකමක් ලැබුණු අතර අන්ධානුකරණයෙන් ඔවුන්ගේ එම සංස්කෘතියට නතු වූ සිංහල බෞද්ධයෝ ද ගව මස් කෑම සහ සුරාව නවපන්නයක් සහ විලාසිතාවක් වශයෙන් සලකන්නට පටන් ගත්හ.

දහනව වන සියවසේ අවසාන භාගයේ මෙරට පැවැති සිංහල අලූත් අවුරුද්දේ ස්වභාවය කියාපාන කදිම සාක්ෂියක් 1891වසරේ දී ටී. බස්තියන් ද සිල්වා මහතා විසින් ලියා පළකරන ලද ‘‘අවුරුදු මාලය’’ නම් පද්‍ය රචනයෙන් දැක්විය හැක. කවි හැත්තෑ අටකින් සමන්විත ‘‘අවුරුදු මාලය’’ කවි පෙළෙහි එවක ජන සමාජයේ සමරන ලද සිංහල අලූත් අවුරුදු උළෙලක ඇති සියලූ අංග ඇතුළත්ව තිබේ. එමෙන්ම එහි 10, 30, 39, 40, 54, 55යන කවි මගින් එවක සිංහල අලූත් අවුරුද්ද නිමිති කොට පැවැති සුරාපානය පිළිබඳව පැවසෙයි.

එහි දී අරක්කු පිළිබඳව සේම බීර, විස්කි, බ‍්‍රැන්ඩි ආදිය පිළිබඳව ද සඳහන් වීමෙන් එකල ද විදේශීය මත්පැන් සාමාන්‍ය ජනතාව අතරට පත්ව තිබූ අයුරු පැහැදිලි වෙයි.

ටී. බස්තියන් සිල්වා විසින් විරචිත ‘‘අවුරුදු මාලය’’ කවි පෙළ ශ‍්‍රී ලංකා යුනෙස්කෝ මණ්ඩලය විසින් 1986වසරේ ප‍්‍රකාශිත පූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද හිමියන් විසින් සම්පාදනය කරන ලද ‘‘සිංහල මාල කවි සංග‍්‍රහය’’ නම් කෘතියට ද ඇතුළත් කොට තිබේ.

එහි දහනව වන සියවසේ අග භාගයේ අලුත් අවුරුදු උළෙලක සුරාවට හිමිවූ තැන විස්තර වනුයේ මෙලෙසිනි.

දස වන කවිය

රැස් කර තම තමන් නෑ මිතුරන්  සියලූ

විස් තර ලෙස අහර කා බී ගෙනඅයලූ

තිස් සෙම වෙරි මතින් කියමින් වන       වරලූ

රැස් කර ගෙන කෙළිති අවුරුද්දට           යහලූ
 


තිස් වන කවිය

ජැන්ඩි අරන් තරුණ සලෙළු ඇවිත්        නටාවි

බ‍්‍රැන්ඩි බීපු දනන් මත්ව ඔලූව    වනාවී

පන්ඩි මරා මාළු කමින් අරක්කු  බෝවී

චණ්ඩි ගැටයො නිතරම අඬ දබර           කරාවි

 

තිස්නව වන කවිය

ආල වඩන ඉලන්දාරි ගැටයො එක්         වෙලා

කෝල නැතුව ගොසින් ගෑනු මැදට පැමි            ණිලා

ආල රබන් ගසා ඉඳන් මතට ලොබ        වෙලා

බීලා ගොසින් බුදිය ගනිති බතුත් වැර     දිලා

 

හතළිස්වන කවිය

දේකි බොහොම පිරිය වඩන රබන් බෙර           ගැසුන්

නාකි පහේ ගෑනු පිරිමි අවුත් වට            ඉඳන්

මේකි කියා බණිති ඉඳන් බීලා වෙරි        මතින්

නාකි ගෑනු පුංචි බාල ගසයි බෙර           ඇසින්
 

පනස් හතරවන කවිය

පෝටර බීර විස්කි ද රොන් අරක්කු        ද

වාකර බීම බ‍්‍රැන්ඩි ද මත් වෙනාත ද

කෑදර වෙලා බීමට තරුණන්ට    සොඳ

ආදරයෙන් අරන් යති වරුසේ ගැන        ද

 

පනස්පස් වන කවිය

අරගෙන ගොසින් බීලා වෙරි වෙලා       දන

තැන තැන වැටී බුදියති සෙම පෙරා        ගෙන

යන එන දනන් දැකලා ඒවා       ඇසින

අපමණ මිග කියති ඒ කාරණේ  ගැන

 

සිංහල අලූත් අවුරුදු සමය වනවිට අප රටේ විවිධාකාර පුවත්පත් වෙළඳ දැන්වීම්වලින් පිරී යයි. ඒ අතරින් ජාතික පුවත්පත් වශයෙන් තමන් විසින්ම හඳුන්වා ගනු ලබන දිනපතා සහ ඉරිදා බොහෝ පුවත්පත්වල පසුගිය කාලයේ සිංහල අලූත් අවුරුද්ද මුල් කොට අපූරු දැන්වීමක් පළ කෙරිණ. ඒ එම පුවත්පතක සාමාන්‍ය උස වන සෙන්ටි මීටර් පනස් හයක ප‍්‍රමාණයට ළංවන අරක්කු බෝතලයක සේයාරුවකි. එහෙත් ඒ දැන්වීම තුළ ද එම අරක්කු බෝතලය තනි වී නැත. ඒ ඊට ඉහළින් එරබදු අත්තක් සහ ඒ මත වසා හිඳින කොහෙකුගේ චිත‍්‍රයක් නිසා ය.  එමෙන්ම එම යෝධ අරක්කු බෝතලය ඇත්තේ ද නිකම් තැනක නොවේ. රුපියලේ දෙකේ රිදී පැහැති කාසි කිහිපයක් සහිත බුලත් කොළයක් මත ය.

මෙම දැන්වීම දකින  ඕනෑම අයකුගේ සිතට නැගෙන එක් අදහසක් තිබේ. ඒ කොහා සහිත එරබදු අත්ත නියෝජනය කරන සිංහල අලූත් අවුරුද්දේ දී බුලත් කොළවලින් සංකේතනය කෙරෙන සාමය සහ රිදී කාසිවලින් සංකේතනය කෙරෙන සෞභාග්‍යය උදෙසා අරක්කු පානය කළ යුතු බව ය. නමුදු පවත්නා සමාජ යථාර්ථයන්ගෙන් කට්ටි පනිමින් සිංහල අලූත් අවුරුද්ද මුල් කොට රටේ අහිංසක දුප්පත් ජනතාවට මාධ්‍ය මගින් දවල් හීන පෙන්වන තුට්ටු දෙකේ ප‍්‍රාසාංගික විද්වතුන් සිංහල අලුත් අවුරුද්ද මුල්කොට සිදුවන මෙම බරපතළ සදාචාර පරිහානිය පිළිබඳව කටේ කෙළ පොදක් හලා නැත.

එමෙන්ම සිංහල අලූත් අවුරුද්දේ ජාතික පානය වශයෙන් අරක්කු ඇතුලු සකලවිධ මත්පැන් හඳුන්වා දීමට මා පෙළඹවූයේ මතු දැක්වෙන හේතු සාධක මුල්කර ගනිමිනි.

1.2006වසරේ අංක 27දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ක‍්‍රියාත්මක කිරීමෙන් පසුව දුම්වැටි සහ මත්පැන් ප‍්‍රචාරණයට තහංචි පැනවෙන තුරුම ජාතික වශයෙන් හඳුන්වා ගන්නා පුවත්පත් ඇතුළු සියලූම පුවත්පත් මගින් ඉහත සඳහන් ව්‍යසනකාරී පණිවුඩය සහිත වෙළෙඳ දැන්වීම් සමාජගත කිරීම.

2.එම සමාජ ඛේදවාචකය සම්බන්ධයෙන් අප සමාජයේ  සදාචාරය, සංස්කෘතිය පිළිබඳ කතා කරන කිසිදු පුද්ගලයකු හෝ සංවිධානයක් වෙතින් සෘජු විරෝධයක් එල්ල නොවීම.

ඒ අනුව සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර අතරේ විශේෂ පුන්‍ය කාලයක් සහ ඉන්පසුව එය නිමාවට පත්වීමක් හුවා දැක්වීම නිසා සිංහල අලූත් අවුරුදු පුණ්‍ය කාලයෙන් පසු අප කාටත් සකල විධ දුෂ්චරිතවලට මං පාදන දිගු ‘පාප කාලයක්’ උදාකර ගැනීමේ ස්වභාවික අවකාශයක් ලැබීම මේ සමස්ත ඛේදවාචකයට ප‍්‍රධාන හේතුවකැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Please publish modules in offcanvas position.