lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

සුද්දන්ගෙන් අපට ලැබුණු නවීන අලුත් අවුරුදු උත්සව අංග

සිංහල අලුත් අවුරුද්දේ කෙළි සෙල්ලම්  සඳහා හිමිවන තැන සුළු පටු නැත.  ‍වසර දහස් ගණනක අතීත උරුමයක් සේ සැලකෙන  සිංහල අලුත් අවුරුද්දේ කෙළි සෙල්ලම් ද එපමණකටම පැරණි යැයි පොදු මතයක් තිබේ. එම කෙළි සෙල්ලම් පොදුවේ සාමූහික ක්‍රීඩා සහ ගෘහස්ථ ක්‍රීඩා ලෙස කොටස් දෙකකට බෙදිය හැක.

මීට දශක පහ හයක් දක්වා සිංහල අලුත් අවුරුදු සමයන්හි අප රටේ කමත්වල දක්නට ලැබුණු ගරායක් ශාන්ති කර්මය,සොකරි ආදී ජන නර්තනාංග ද දැන් දක්නට නැත. එමෙන්ම පංච කෙළිය,ඔළිඳ කෙළිය ආදී ගෘහස්ථ ක‍්‍රීඩා ද ශීඝ‍්‍රයෙන් අභාවයට යමින් පවතී.  ඒ හැරුණු කොට මේවර කෙළිය,එළුකොටු බැඳීම,ඉනිවැට පෙරැළීම, ඔන්චිලි පැදීම,චක්ගුඩු පැනීම ආදී සාමූහික ජන ක‍්‍රීඩා ද අප ජන සමාජයෙන් ශීඝ‍්‍රයෙන් ඉවත් වෙමින් පවතී. සිංහල අලුත් අවුරුදු කෙළි සෙල්ලම් මගින් අපගේ දේශීය අදීන සංස්කෘතික ලක්ෂණ විදහාපාන බව පොදුවේ පිළිගැණුන ද පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන පාලන සමයන්හි යටත් විජිත බලපෑමෙන් අපේ සංස්කෘතියට සම්ප්‍රදායට එක් වූ  ජන ක්‍රීඩා සහ විනෝදාංග රාශියකි.

අපගේ සාම්ප‍්‍රදායික ජන ක‍්‍රීඩාවල එන කොපර කොපර පිපිඤ්ඤා වැනි ක‍්‍රීඩාවන් අප රට ආක‍්‍රමණය කළ පෘතුගීසි හමුදාවන්ගේ සෙබළුන් කළ ක‍්‍රීඩා ඇසුරින් අප ජන සමාජයට අවශෝෂණය වූ ඒවා බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.

කවුරුන් කෙසේ කීවත් වර්තමාන සිංහල අලුත් අවුරුදු උත්සව ආකෘතිය තුළ දේශීය මුහුණුවරකට වඩා දැකිය හැකි වන්නේ ඉරු නොබසින අධිරාජ්‍යයෙන් අප ලත් සංස්කෘතික දායාදයන්ය. එහෙත් අපේ සිංහල අලුත් අවුරුදු උත්සව සඳහා සුද්දන්ගෙන් ලත් මෙම දායාදයන් පිළිබඳව ප්‍රසිද්ධියේ කීමට අපි මැලි වෙමු.

අප රටේ සිංහල අලූත් අවුරුදු උත්සවවල තරග ඉසව්වක් වන ගම හරහා දිවීම දහ නව වන සියවසේ එංගලන්තයේ ඇරැඹි රට හරහා දිවීම (Cross Country Running)නම් පාසල් ධාවන තරගයකින් ආරම්භ වූවකි. සිංහලයෙන් ගම හරහා යන වදන යෙදුණ ද අද එම තරගය අප රටේ ද හැඳින්වෙනුයේ ක්‍රොස් කන්ට්රි යන ඉංග‍්‍රීසි නමින්ම ය.

එමෙන්ම දැනට සිංහල අලූත් අවුරුදු උත්සවවල ප‍්‍රධානතම අංගයක් සේ සැලකෙන පාපැදි ධාවන තරග ද බෙල්ජියම,කොලොම්බියාව,ඩෙන්මාර්කය,ප‍්‍රංශය,ජර්මනිය,ඉතාලිය ඇතුළු යුරෝපාකරයේ පවත්නා මාර්ග පාපැදි තරග (Road Bicycle Racing)  ඇසුරින් අප ජන සමාජයට එක්වූ නවතම අංගයකි.

සංගීත පුටු තරගය පිළිබඳව කීමට ඇත්තේ ද එය බටහිර රටවල සිදුකරන සංගීත පුටු තරග (Musical Chairs Games) එලෙසින්ම මෙහි ද ක‍්‍රියාත්මක කිරීමක් බව ය.

එමෙන්ම, දැනට සිංහල අලූත් අවුරුදු උළෙලවල්වල අතිශයින් ජනප‍්‍රිය අංගයක් වන අවුරුදු කුමාරිය තේරීමේ තරගය ද හුදෙක් බටහිර රූපරාජිනී තරගයන්හි (Beauty Pageant) අනුකරණයකි. මා එසේ පවසනුයේ එම තරගාවලියක ආරම්භයේ සිට අවසන් වටය (Grand Finale) හා අවුරුදු කුමාරියට ජයග‍්‍රාහී පළඳනාව (Sash) පැළඳවීම දක්වා සියලූම අංග ඔස්සේ බටහිර රූ රැජින තරගයක අංග මනාව විදහා දැක්වෙන බැවිනි.

ඒ අනුව වර්තමාන සිංහල අලුත් අවුරුදු උත්සවය අපගේ සාම්ප්‍රදායිකත්වයට වඩා බටහිර සංස්කෘතික ආභාෂය ඇතිව අප ජන සමාජය විසින්  පවත්වනු ලබන්නක් බව අවංකවම පිළිගැනීමට අපට සිදුවනු ඇත.

තිලක් සේනාසිංහ

Please publish modules in offcanvas position.