lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

සිංහල අලුත් අවුරුද්ද අපට මෙතරම් රහ වැටෙන්නේ ඇයි?

’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම කුමක් ද? බොහෝ විට එය අතිශය ප‍්‍රබෝධමත් හැඟීමක් වීමට පුළුවන. එහෙත්,  ඒ ප‍්‍රබෝධය ඔබේ සිත තුළට පිවිසියේ ඇයිදැයි ඔබ නිකමට හෝ සිතා බලා තිබේ ද?

‘මමත්වය’ මෙලොව ජීවත් වන සෑම සත්වයකු තුළම ස්වභාවිකවම පිහිටා ඇති දෙයකි. යමකු තුළ ‘මමත්වය’ නොමැති වුවහොත් ඒ තැනැත්තාගේ පැවැත්ම ද එතැනින්ම හමාර වෙයි. බුදු දහමේ එන දාර්ශනික විග්‍රහයට  අනුව පැවසෙනුයේ ද පුද්ගලයාගේ පැවැත්මට ඉවහල් වන මමත්වය දුරලීම තුළින් පුද්ගලත්වය අහෝසි වන බව ය. නැතහොත් ඒ තැනැත්තා නිවනට සපැමිණෙන බව ය. මෙහි සඳහන් ආගමික මතවාදය පසෙකලූව ද එහි එන දාර්ශනික සංකල්පය වැදගත් ය.

පුද්ගලයා තුළ පවත්නා ‘මමත්වය’ හුදකලා ස්වරූපයක් උසුලන්නක් නොවේ. ඒ වටා තවත් බොහෝ කරුණු එ්කරාශී වීමෙන් ඒ මමත්වය විස්තෘත හෙවත් පැතිරුණු ස්වභාවයක් උසුලයි. මම, මගේ යන මමත්වය එසේ දෙවනුව පැතිර යන්නේ අපි, අපේ වශයෙනි. මෙය මිනිසාගේ සාමූහික සත්ව ලක්ෂණ අතරින් ප‍්‍රධාන එකකි.

අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගී, මල්ලී, බිරිඳ, දුව, පුතා ආදී වශයෙන් විහිද යන මමත්වය පිළිබඳ අන්‍ය සාධක ඒකරාශී වූ විට එය අපි, අපේ ස්වරූපය දරයි. ඉන්පසු අපි අප සතු එවැනි පොදු පුද්ගලයන් සහ සම්පත් අපේ වශයෙන් හඳුන්වමු. ඒ අපේ නැන්දා, අපේ මාමා, අපේ ආච්චි, අපේ සීයා, අපේ ගෙදර, අපේ ඉඩම, අපේ ගම, අපේ පන්සල ආදී වශයෙනි. බුදු දහමෙහි පැවසෙන්නේ මෙම තත්ත්වය තෘෂ්ණාව මත පදනම් වන්නක් බව ය.

ප‍්‍රජාව යනු මෙලෙස ක‍්‍රමයෙන් විහිද යන මමත්වයේ තවත් විස්කෘත අවස්ථාවකි. අපේ ගමේ මිනිස්සු, අපේ පාසලේ ළමයි, අපේ කාර්ය මණ්ඩලය, අපේ ගමේ අය, අපේ රටේ අය, අපේ ජාතියේ අය.... එසේ විවිධ ප‍්‍රජා ඒකක හැඳින්වීම පිණිස යොදන වදන් කිහිපයකි.

ඒකතාව පසෙක තබා දැන් අපි යළි සිංහල අලූත් අවුරුද්ද වෙතට පිවිසෙමු.

සිංහල අලූත් අවුරුද්ද අපට අතිශය ප‍්‍රබෝධජනක උත්සවයක් වනුයේ ඇයි?

එය අපගේ ජාතියට, එනම් සිංහල ජාතියට, එමෙන්ම අපගේ ආගමට එනම් බුද්ධාගමට, අපගේ සංස්කෘතියට එනම් සිංහල බෞද්ධ සංස්කෘතියට උරුමකම් කියන අපේම උත්සවයක් බැවිනි. කොටින්ම එය අපේම දෙයක් බැවිනි.

ඉහත සඳහන් සමාජ සංස්කෘතික පසුබිමට අමතරව සිංහල අලූත් අවුරුද්ද සඳහා ඉවහල් වන වැදගත් මනෝවිද්‍යාත්මක සාධක ද තිබේ.

මේ ඒ පිළිබඳ සරල පැහැදිලි කිරීමකි.

සිංහල අලූත් අවුරුද්ද පිළිබඳව අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් අපගේ මතකයට පිවිසෙන එක්තරා අවදියක් වේ. ඒ අපගේ ළමා කාලයයි. භින්න වූ ළමා වියක් නොතිබූ  ඕනෑම වැඩිහිටියකු තමන්ගේ ළමා විය තුළ අත්දුටු සිංහල අලූත් අවුරුදු අසිරිය සිහියට නංවා ගනු ලබන්නේ ඉමහත් වූ සතුටකිනි, අහ්ලාදයකිනි. ඊට හේතුව වර්තමානයේ සිංහල අලූත් අවුරුද්දට වඩා අමුතු ආශ්චර්යමත් බවක්, රසාලිප්ත බවක් අප කුඩා කාලයේ අත්දුටු සිංහල අලූත් අවුරුද්ද තුළ තිබූ නිසා යැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් එය අර්ධ සත්‍යයකි.

‘‘අපි පුංචි කාලේ සිංහල අලූත් අවුරුදු කාලයට උයන පිහන රසකැවිලිවල සුවඳින් මුළු ගමම නැහැවී ගියා. ඒ කාලේ අලූත් අවුරුදු රසකැවිලිවල වුණත් අද නැති රසයක් සුවඳක් තිබුණා.’’

වර්තමානයේ රූපවාහිනී සහ ගුවන් විදුලි සිංහල අලූත් අවුරුදු වැඩසටහන්වලට සහභාගී වන වියතුන් එසේ පවසනු මම අසා ඇත්තෙමි. සැබැවින්ම එසේ වර්තමානයේ කැවුමට, කොකිසට, මුංකැවුමට, අතිරසයට වඩා අතීතයේ පිසුණු එබඳු රසකැවිලි රසයෙන්, ගුණයෙන් අනූන වූයේ කෙසේ ද?

ඊට හේතුව වර්තමානයේ එම කැවිලි වර්ග පිසීමට ගනු ලබන රසායනික පොහොර සහ අභිජනනය කළ ධාන්‍ය වර්ග වෙනුවට අතීතයේ ලබාගැනුණු කෘෂි අස්වැන්න කෘති‍්‍රම පළිබෝධ නාශකවලින් තොර කාබනික පොහොර යොදා වගා කෙරුණු ඒවා යැයි බොහෝ දෙනෙක් කියති. එහෙත් එහි ඊට වඩා පුළුල් මනෝවිද්‍යාත්මක හරයක් ගැබ්ව තිබේ.

සාමාන්‍යයෙන් වැඩිහිටියකුට සාපේක්ෂව වයස අවුරුදු දොළහෙන් පමණ පහළ කුඩා දරුවකුගේ සංවේදීතාවන් ප‍්‍රබල ය. එනිසාම එම දරුවාගේ සුඛාස්වාදය (Pleasure) ඉහළ මට්ටමක පවතී. දකින, අසන, විඳින ආදී වශයෙන් වන  ඕනෑම යහපත් සංවේදීතාවයකින් වැඩිහිටියන්ට වැඩි රසයක්, සුඛාස්වාදයක් භුක්ති විඳීමට දරුවකුට අවකාශ තිබේ. එමෙන්ම එම රසය, සුඛාස්වාදය දරුවාගේ මතක ගබඩාවට පිවිසි පසු වැඩිහිටි වියේ දී පවා මතකය තුළින් එ් රසය භුක්ති විඳීමට, උරගා බැලීමට යමකුට පුළුවන.

‘‘අපි පුංචි කාලේ ගෙදරක පරිප්පු ව්‍යංජනයක් හදන කොට ඒකේ සුවඳ අහල පහළ ගෙවල්වලටත් දැනුණු හැටි අපිට තවම හොඳට මතකයි.’’ සමහරුන් එසේ කියනු මම ද  ඕනෑ තරම් අසා ඇත්තෙමි. ඒ සඳහා ද බොහෝ දෙනා දෙන පිළිතුරු වනුයේ එම පරිප්පු බීජ වැඩි අස්වැන්නක් සඳහා කෘත‍්‍රිම ලෙස අභිජනනය නොකළ ස්වභාවික ඒවා වීම සහ එම වගාවන් සඳහා කෘත‍්‍රිම පළිබෝධ නාශක සහ රසායනික පොහොර නොයෙදීම ආදී හේතූන් මත එම පරිප්පු ව්‍යංජනයක් පිසීමේ දී එහි සුවඳ දසත විහිද යන බවකි. අපි දැන් ඒ කතාව පසෙකින් තබමු.

කුඩා කාලයේ අලූත් ඇඳුමක් තෑගි ලැබුණු විට එය ඇඳීමට පෙර සිඹිමින් ඒවායේ සුවඳ බැලූ අයුරු අපට තවමත් මතක ය. අලූතින් ලබාගත් පාසල් පොත පත සම්බන්ධයෙන් ද එසේම ය.

එමෙන්ම ඇතැම් විට තවමත් එම සුවඳ අපගේ මතකයන් තුළ ගැබ්ව තිබිය හැක. එහෙත් අතීතයේ නිපදවූ රෙදිවලට, ඇඳුම්වලට හෝ පොත්පත්වලට විශේෂිත සුගන්ධයක් කවා තිබූ වගක් අප අසා නැත. විශේෂයෙන් 1970ට පසුව දේශීය වශයෙන් නිපදවුණු රෙදිවලින් වහනය වූයේ සුවඳක් නොව භූමිතෙල් ගඳකි. එහෙත් එම ඇඳුම් ලැබීමේ ප‍්‍රීතියෙන් සිටි අපට එම දුගඳ සුවඳක් මෙන් දැනුණි. එමෙන්ම එම සුවඳ මතක සුවඳක් සේ තවමත් අප මතකයේ රැඳී පවතී.

වර්තමානයේ සිංහල අලූත් අවුරුද්ද සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ ඇති මෙම ලෝලීත්වයට ද සිත තුළ පවතින අතීත මතක සුවඳ බොහෝ විට හේතු පාදක වන බවට සැක නැත. අතීතය සම්බන්ධයෙන් අප තුළ පවත්නා මෙම විශේෂ ලෝලීත්වය මනෝ විද්‍යාවේ දී හැඳින්වෙනුයේ Nostalgiaයනුවෙනි.

මිනිසුන් වශයෙන් අප ගත කරන ජීවිත තුළ යම් රටාත්මක බවක් පවතී. බොහෝ විට මේ රටාත්මක බව තුළ කිසියම් චක‍්‍රානුකූල බවක් ද ගැබ්ව තිබේ. උදයේ පිබිදුණු මොහොතේ සිට රාත‍්‍රී නින්දට යන මොහොත දක්වා අප විසින් සිදු කරනු ලබන ක‍්‍රියා තුළ පවත්නා මෙම චක‍්‍රානුකූල බව නිසා ඉන් කිසියම් ඒකාකාරීත්වයක් පැන නැගීම වැළැක්විය නොහැක. ජීවිතය නිරන්තරයෙන් ඒකාකාරී චක‍්‍රයට නතුවීම බොහෝ දෙනකු හඳුන්වනුයේ ‘ජීවිතය එක තැන පල්වීමක්’ ලෙසිනි. සැබැවින්ම එම පල්වීම අතිශය අතෘප්තිදායක ය. එනිසාම එම එ්කාකාරීත්වය පිටුදැකීම පිණිස මනැස කිසියම් සුඛාස්වාදන දිශානතියට යොමු කරවීම (Diversion)ස්වභාවික මනෝ චිකිත්සක සංසිද්ධියකි. එමෙන්ම එය මනැස නවතාවක් (Innovation)වෙත යොමු කරනු ලබන්නක් ද වෙයි. එනිසා ද සිංහල අලූත් අවුරුද්ද යන වදන ඇසීම පවා අපගේ සිත් ප‍්‍රබෝධයට පත් කරවීමට සමත් වී තිබේ.

‘රට වටේ ගිහින් ගෙටම ආවා වගේ’ යනුවෙන් සිංහල බසෙහි පිරුළක් තිබේ. ඉන් පැවසෙනුයේ භෞතික සහ ලෞකික වශයෙන් දියුණුවට සහ සංවර්ධනයට පත්වන මිනිසා එමඟින් අත්දකිනු ලබන කිසියම් අසංතෘප්තියක් හමුවේ නැවත තම ජීවිතයේ ආපස්සට ගමන් කරන බවකි. මෙම මානසික තත්ත්වය මනෝ විද්‍යාත්මකව ප‍්‍රතිගමනය (Regression)නමින් හැඳින්වෙයි. එමෙන්ම සමාජ, ආර්ථික, සංස්කෘතික වශයෙන් ඉහළ තලයන් වෙත එසැවෙන මිනිසා තුළ එමගින් ඇතිවන යම් අතෘප්තියක් මත මනෝමය වශයෙන් හෝ තම මුල් දිවියට පිවිසීමේ අවශ්‍යතාවක් ද හට ගනියි.මෙම තත්ත්වය මනෝවිද්‍යාවේ සඳහන් වනුයේ ප‍්‍රාථමිකකරණය (Primitivaion)යනුවෙනි.

ඒ අනුව අප කා තුළත් පවතින සිංහල අලූත් අවුරුදු ලෝලීත්වය පහත දැක්වෙන අන්දමින් සාරාංශකරණය කළ හැකි ය.

1.සාමූහිකත්වයට හුරු වූ සත්ව විශේෂයක් වන මිනිසුන් වශයෙන් අප සතුවූ මමත්වය මත පදනම් වන පහසුවෙන් කුළු ගන්වා ගත හැකි ජාති, ආගම්, සංස්කෘතික ආදී වශයෙන් වන සාමූහික හැඟීම්වලට අවස්ථාවක් සලසා දීම.

2.අපගේ ළමා විය මත පදනම් වන අතීත කාමය පිළිබඳ හැඟීම් යළි කුළුගන්වා ගත හැකි වීම.

3.සාමාන්‍ය ජීවිතයක් තුළ පවත්නා ඒකීය රිද්මයක් සහිත වක‍්‍රානුකූල බව විවිධාංගීකරණයට යොමුවීම මත භුක්ති විඳීමට ලැබෙන නවතාවය. (බොහෝ දෙනකු අවුරුදු මිහිර වශයෙන් අර්ථ ගන්වනුයේ මෙම තත්ත්වයයි.)

4.මනැසට නිරතුරුව දැනෙන විඩාබර බව හමුවේ ප‍්‍රතිගමනය  සහ ප‍්‍රකෘතිකරණය පිළිබඳව මිනිස් සිත් සතන් තුළ හටගන්නා ස්වභාවික නැඹුරුව ක‍්‍රියාවට නැංවීම.

මේ අනුව සිංහල අලූත් අවුරුද්ද එම ජාතික, ආගමික, සංස්කෘතික ධාරාවට අයත් සියලූ දෙනාගේ මනැසට මහත් ප‍්‍රබෝධයක් ගෙන දෙන නිමිත්තක් වීමේ කිසිදු අරුමයක් නැති බව මම ද ඉඳුරාම පිළිගනිමි.

 

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Please publish modules in offcanvas position.